maithribodhi
maithribodhi

අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න

maithribodhi

බුද්ධ

ඍද්ධිපාද සහ පරිනිර්වාණය

2024-08-08

Maithribodhi

ඍද්ධිපාද වැඩීම කියන්නේ බුද්ධ විෂයට අදාල සුවිශේෂී සංසිද්ධියක්. එම ධර්මතාවය තුළ සිදුවන්නේ  සත්වයාගේ කර්මයට, චින්තනයට සාපේක්ෂව බුද්ධ ගේ වැඩීමයි. සෑම සත්ත්වයෙකුගේම නොදැනුවත් භාවයක් තිබෙනවා. සත්වයාගේ එම අඩුවට සාපේක්ෂව බුද්ධිය පූර්ණ කිරීමක් තමයි,  සතර ඍද්ධිපාද මත  බුද්ධ වැඩෙන විට සිදුවන්නේ. එක් එක් සත්වයාට විමුක්ති මාර්ගය දෙන්න පුළුවන් වන්නේ මේ සාපේක්ෂ වැඩීම නිසයි.

 

ඍද්ධිපාද වැඩීම තුළ ප්‍රබල ශක්තියක් එකතුවෙනවා. ඒ නිසා ඍද්ධිපාද අත්හරින තුරු පිරිනිවන් පාන්න බෑ. ඍද්ධිපාද අතහැරීම සඳහා තවත් ඍද්ධිපාද වඩන බුදුවරයෙක්ට සාපේක්ෂව වඩන යාන්ත්‍රණයක් තිබෙනවා. ඍද්ධිපාද වඩපු බුදුවරයෙකුගේ පරිනිර්වාණය සිදුවන්නේ මේ යාන්ත්‍රණය තුළ ඍද්ධිපාද චිත්තය අතහැරීමෙන් පසුවයි.

 

ඍද්ධිපාද වඩන බුදුවරු හා පසේබුදුවරු එකම කාලෙක ගණනාවක් ඉන්න පුළුවන්. උන්වහන්සේලාට ඍද්ධිපාද එක එක ප්‍රමාණයට වැඩිලා තිබෙන්න පුළුවන්. හැබැයි චතුරාර්ය ශක්තිය දේශනා කරන්න පුළුවන් එක් බුදුවරයෙකුට පමණයි. ඍද්ධිපාද වඩන්නේ බුදුවරු හෝ පසේබුදුවරු විතරයි. එක යුගයක එක් බුදුවරයෙක් පමණයි ඍද්ධිපාද වඩලා පූර්ණය වන්නේ. තව බුදුකෙනෙක් එය අභිබවා යනවා නම් අනිත් බුදුවරයා පරිනිර්වාණය වෙනවා. පසේබුදු කෙනෙක්ට සක්වල දක්වා ඍද්ධිපාද වඩන්න පාරමී මදි. ඍද්ධිපාද වැඩුව කෙනෙක් පරිනිර්වාණය වීම සඳහා තව ඍද්ධිපාද වැඩුණු බුදුකෙනෙක් සමග සිදුවන යාන්ත්‍රණයක්ද තිබෙනවා. ගෞතම බුදු හාමුදුරුවන්ගේ කාලේ හිටපු කාශ්‍යප හාමුදුරුවෝ ඍද්ධිපාද වඩපු පසේබුදු කෙනෙක්. සතර ඉද්ධිපාද වඩනකොට සාපේක්ෂව වේගය වැඩිවෙනවා. ඒ හරහා විශ්වයේ සංඛ්‍යාතයන් තව තවත් දකින්න හැකිවෙනවා. ඒත් පසේබුදුවරයන්ට බණ කියන්න බෑ. මොකද ඒ වේගයත් එක්ක ධර්මය ගොඩනඟන්න පාරමී  වැඩිල නැති නිසා. ඍද්ධිපාද වැඩීම නිසා වැඩි වන වේගය නැවත සමබර වෙන්නේ සසර තුළ ආපු ගමනත් එක්ක වැඩෙන පාරමී වලින්. 

 

ඍද්ධිපාද පැහැදිලි කරද්දී, පාරමී කියන කාරණය පැහැදිලි කරගන්න ඕනා. පාරමී කියන කාරණය තුලදී, සත්වයෙක් ගත්තහම ඒ සත්වයා බුදු කෙනෙක් දක්වා බිහි වෙන්න එයා විසින් පසු කරන්න ඕන, ගොඩනගා ගන්න ඕන, නිර්මාණය කර ගන්න ඕන, දේවල් තියනවා. අතහැරීම, දරා ගැනීම, ඉවසීම, කරුණාව, මෛත්‍රීය සහ ධර්මය තුල සාසනය වෙනුවෙන් කැපවීම වැනි දේවල්. ඒ දේවල් පුරන එක, බුදු හෝ රහත් ඒ කියන තැනට අවශ්‍ය දේවල් පූර්ණය කරගන්න එකට අපි පාරමි කියලා කියනවා.

 

ඍද්ධිපාද වඩන්නේ බුදුවරු සහ පසේ බුදුවරු. බුදුවරයෙක් ඍද්ධිපාද වඩන අවස්ථාව සැලකුවම, ඒ බුදු වරයා මේ සියලුම පාරමි පූර්ණය කරලා ඉවරයි. රහත් වෙන්න සහ බුදු වෙන්න අවශ්‍ය පාරමි පූර්ණය කරලා ඉවරයි. රහත් වෙන කෙනෙක් වඩන්නේ ඍද්ධිපාද නෙවෙයි, පංච බලය. පංච බලය මොකක්ද ? ශුද්ධාව කියන එක බලයක් විදිහටත්, වීර්යය කියන එක බලයක් විදිහටත්, සතිය කියන එක බලයක් විදිහටත්, සමාධිය කියන එක බලයක් විදිහටත්, ප්‍රඥාව කියන එක බලයක් විදිහටත් බල වඩනවා. එතකොට රහත් වෙන කෙනෙක් ඇත්තටම දන් දෙන්න ඕනා, වීර්යය කරන්න ඕනා, සිහිය වඩන්න ඕනා, භාවනා කරන්න ඕනා, ඒ සමස්ථ ක්‍රියාවලියම ගත්තොත් එහෙම රහත් වෙන්න නම් කෙනෙක් පංච බලය වඩන්න ඕනා. රහත් ඵලය දරාගන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ මේ තුළින්.

 

ඍද්ධිපාද වඩනවා කියන දේ මේ විදිහට පැහැදිලි කරන්න පුළුවන්.

 

සිහියට හුලං පාරක් ඇතුල් වෙනවා, පිටවෙනවා දැනෙනවා. ඍද්ධිපාද වඩන එකේ පළවෙනි අවස්ථාව ගත්තොත්, සිහියට පුලුවන් වෙන්න ඕනා හුස්ම උඩට ගන්න තැනම, හට ගන්න තැනම බිදෙන එක දකින්න. ඒවගේම බිදෙන එක දකින ගමන්ම හට ගන්න එක දකින්න පුළුවන් වෙන්න ඕනා. බිදෙන එක දකිනවා, හට ගන්න එක දකිනවා. ඔන්න ඔහොම දකින එක තුල ආපසු මේ බුදු වරයා ඒකට සාපේක්ෂව ප්‍රතිලෝමව වඩනවා. ඒකට සාපේක්ෂව සංඛ්‍යාතය සහ ශක්තිය වඩනවා. එතකොට ඒ සිහිය තුල මේ ඍද්ධිපාද චිත්තය හැදෙන්න පටන් ගන්නවා. එහෙම සංඛ්‍යාතය වැඩිවෙමින් ගිහිල්ලා සතර මහා ධාතු වලට සාපේක්ෂව චිත්තය වඩනවා. බුද්ධ ඥානය වෙන්නෙත් ඒ චිත්තයම තමයි. එතකොට මේ  සියලුම දේවල් වලට සාපේක්ෂව ඒ චිත්තය වඩනවා. සත්වයාට සාපේක්ෂව, Energy වලට, රාගයට, දේශයට, මෝහයට, අවිද්‍යාවට, සසර කෙලෙස් වලට, සමස්ථයටම, තියන සියලු අකුසල් උපද්දවාගන ඒවාට සාපේක්ෂව වඩනවා. ඒ විදිහට වඩපුවම ඒක අරමුණු කල චිත්තයක් බවට පත් වෙනවා. සක්වලම ඒ චිත්තය තුල අන්තර්ගතයි. 

 

එතකොට බුද්ධ ඥානය කියන එක තුල මේ දියුණු කල චිත්තය තියනවා. ඒ දියුණු කල චිත්තය කියන්නේ මොකක්ද ? ඍද්ධිපාද වැඩු චිත්තය. එතකොට සත්වයා ගලවන්න පුලුවන් න්‍යාය, ධර්මතාවය, තියෙන්නේ මේ චිත්තය තුල. මොකද ඒ චිත්තය තුල ඔබ ඉන්නවා. මොන අකුසලය කලත් ඒ චිත්තය තුල සියලු සත්වයෝ ඉන්නවා. එතකොට බුද්ධ ඥානයට තියෙන්නේ ඒ චිත්තය තුල ඉන්න සත්වයාට මාර්ගය දෙන්න. එතකොට ඒ සත්වයා ගැලවෙනවා. මේ චිත්තයට සියලූ සත්වයෝ අහු වෙලා ඉවරයි. ඒ සියලු සත්වයෝ කියලා කියන්නේ මේ චිත්තයත් එක්ක බැලුවම දුවිලි අංශුවක් වගේ. සත්වයෙක් මේ චිත්තයේ  තිබෙන හේතුව අරන් ආවහම ඒ සත්වයාට ගැලවෙන්න පුලුවන්. ඒ සත්වයාට ගැලවෙන්න ඕන ධර්මතාවය බුද්ධ තුළ ගොඩනගලා ඉවරයි. 

 

ඍද්ධිපාද වැඩීමේ සීමාවක් නැහැ. ඍද්ධිපාද චිත්තය මේ සෞරග්‍රහ මණ්ඩලය අභිබවා වැඩෙනවා. එතනදි ඒක නියතයක් බවට පත් වෙනවා. ඊට පස්සේ සක්වලවල් එහාට වඩන්න පුලුවන්. ඒක වැඩුනහම ඒකත් නියතයක් වෙනවා. ඒකට අභියෝග කරන්න එකක් නැහැ. කළු කුහරයට සාපේක්ෂවත් වඩනවා. කළු කුහරයේ තියන අන්ධකාරයට සාපේක්ෂව වඩනවා. කළු කුහරය ආලෝක අංශු බිඳිනවා. එතකොට ආලෝකය උරා ගන්න නිසා ආලෝකයට සාපේක්ෂව වඩන්න බැහැ. එතනදී අදුරට සාපේක්ෂව වඩනවා. අදුරේ තියන ධර්මතාවය අරන් වඩනවා. කළු කුහරය අධික්‍රමණය කරනවා. ඒ චිත්තයට මොකුත් කරන්න බැහැ. ඒ චිත්තය විශ්වයේ ධර්මතාවයක් බවට පත් වෙනවා.

 

සියලුම සත්වයන්ගේ සංඛ්‍යාතයන් මේ චිත්තයට ග්‍රහණය වෙනවා. සම්මා සම්බුදු වුණා කියන්නේ ඒකයි. මුළු සත්ව ලෝකයම මහාබෝධිසත්වයන් තුළ තිබෙනවා. ඒ තුළ තමයි බුද්ධත්වයට පත්වෙන්නේ. අනිත් බුදු වරු තමන් බුදු වුණා කියන්නේ මේ ධර්මතාවයට අනුව නොවෙයි. බුද්ධ ස්වභාවයත් සමග සම්බන්ධ වීමට තමයි බොහෝ අය බුදු උනා කියලා කියන්නේ. ඒක වැරදි නැහැ. හැබැයි ඒ බුද්ධ ශක්තිය ඒ බුදු වරුන්ට පාවිච්චි කරන්න බැහැ. බුද්ධ ශක්තිය පාවිච්චි කරන්න හැකියාව තිබෙන්නේ සෘද්ධිපාද චිත්තයට පමණයි.  බුද්ධ  ස්වභාවයත්  එක්ක සම්බන්ධ  වෙලා ඉන්න විශාල ප්‍රමාණයක්  ඉන්නවා. හැබැයි ඒ බුදු වරුන්ට බුද්ධ ස්වභාවය න්ම අතාරින ප්‍රඥාව නොවැඩුනොත් පිරිනිවන් පාන්න බැහැ. බුද්ධ ස්වභාවයෙන් ගැලවෙන ක්‍රමය ඒ අය දන්නේ නැහැ. 

 

ඍද්ධිපාද වඩන්නේ ඇයි? සත්වයාගේ දුර්වලතාවයට කරන්න දෙයක් නෑ. ඒක හින්දා සත්වයාගේ අඩුව පුරවන්න වෙනවා. ඒක ඇත්තටම තමන් වෙනුවෙන් කරන දෙයක් නෙවෙයි, සත්වයා වෙනුවෙන් තීරණය කරලා කරන දෙයක්. 

 

සම්මා සම්බුදු  කෙනෙක් ඇයි ලෝකේ පහළ වෙන්නේ? ඒ එකම කාරණයක් සඳහායි. ඒ තමයි සත්වයාගේ අඩුව පුරවන්න. සත්වයාගේ අඩුව සම්පූර්ණ කරන්න බැරිනම් සම්මා සම්බුදු කෙනෙක් වන්නේ නෑ. සත්වයාගේ දුර්වලතාවයට සාපේක්ෂව තමයි ඍද්ධිපාද වැඩෙන්නේ. 

 

සත්වයාගේ තිබෙන අඩුව කුමක්ද?

ඒ තමයි ඔවුන්ගේ අඩුව ගැන තිබෙන නොදැනීම.

 

බුදු කෙනෙකුට ඒ අඩුව සම්පූර්ණ කරන්න තිබෙන ක්‍රම මොනවද? 

 

1. සත්වයාගේ කෙලෙස්, රාග, ද්වේශ වලට සාපේක්ෂව චිත්තය වැඩීම. ඒ තුළින් තමයි කෙලෙස් කියන බාධකය අභිබවා සත්වයාට මාර්ගය පෙන්වන්න පුළුවන් වෙන්නේ.

 

2.  සත්වයාගේ විඥානයට සාපේක්ෂව චිත්තය වැඩීම. ඇයි විඥානයට සාපේක්ෂව චිත්තය වඩන්නේ? විඥානය පිළිබඳ අවබෝධය ලබාගන්න. ඒ තුළින් විඥානය අභිබවා මාර්ගය පෙන්වන්න පුළුවන් වෙනවා.


 

3.  සත්වයාගේ මෝහයට සාපේක්ෂව චිත්තය වැඩීම. ඒ තුළින් සත්වයාගේ මෝහය අභිබවා ප්‍රඥාවන්තයෙක් බවට පත් කරන්න හැකිවෙනවා. 

 

4.  සත්වයා කර්මය මත පවතිනවා. ඒ නිසා කර්මයට සාපේක්ෂව චිත්තය වඩනවා. එවිට කර්මය පිළිබඳ අඩුවක් තියෙනවා නම් ඒක සම්පූර්ණ කරන්න පුළුවන් වෙනවා.

 

හැබැයි බුද්ධ ගාව එක දෙයක් නෑ. ඒ තමයි හේතු. සත්වයා හේතු සපයනවා නම් කෙලෙස් නිරෝධය, විඥානය නිරෝධය, මෝහ නිරෝධය,  කර්ම නිරෝධය තුලින් අඩුව සම්පූර්ණ කරනවා. සත්වයා තුළ බුද්ධ අවදිවී නොමැතිකමේ අඩුව සම්පූර්ණ කරනවා. හැබැයි ඒ සඳහා සත්වයා හේතු සපයන්න ඕනා. බුද්ධ ගේ හේතුව වෙන්නේ සත්වයා.

 

මෝහය කියලා කියන්නේ මිනිස්සු මෝහය කියල හිතාගත්ත දෙයකට, විඥානය කියලා කියන්නේ විඥානය කියල හිතාගත්ත දෙයකට, කෙලෙස් කියන්නෙ කෙලෙස් කියල හිතාගත්ත දෙයකට, කර්මය කියන්නේ කර්මය කියලා හිතාගත්ත දෙයකට. ඒ හැම දෙයක්ම විශ්වාසයන් පමණයි.

 

ක්ලේශයක් ක්ලේශයක් වන්නේ කෙසේද, විඥානය විඥානය වන්නේ කෙසේද, මෝහය මෝහය වෙන්නේ කොහොමද? ඔවුන් ඒ කිසිවක් දන්නේ නැහැ. එහෙම වෙන්නේ කොහොමද කියන න්‍යාය දන්නෙ නෑ. විශ්වාසයන් හෝ අවිශ්වාසයන් පමණක් දරාගෙන ඉන්නවා. 

 

ඍද්ධිපාද වඩනවා කියන්නේ සත්වයාගේ අඩුවට සාපේක්ෂව බුද්ධිය පූර්ණ කිරීමයි.ගෞතම බුදු හාමුදුරුවන්ගේ කාලෙ චිත්ත, ජන්ද, වීරිය, විමංසා වඩනවා කියලා හැඳින්වූයේ මේ යාන්ත්‍රණය. 

 

මෛත්‍රී බුද්ධ සාසනයේ ඒ වෙනුවට වඩන්නේ බීජය. ශක්තිය, ජීවය, ගැලපීම. ගැලපීම කියන්නේ අවසානයේදී සම වෙනවා කියන එක. 

 

බීජය

 

ඍද්ධිපාද වඩන්න නම් ඍද්ධිපාද චිත්තය හෙවත් බීජය තියෙන බුදුකෙනෙක්ගෙන් එම බීජය ගන්න වෙනවා. කොහොමද ඒ බීජය ගන්නේ?  සසර ගමන තුල ඍද්ධිපාද  වැඩූ බෝධිසත්වයෙක්ව තේරුම් ගන්න පුලුවන්නම්, ඒ ඕනම කෙනෙකුට මේ බීජය ගන්න පුළුවන්. ඍද්ධිපාද වැඩූ කෙනෙක්ව තේරුම් ගන්න පුළුවන් වෙන්න නම්,  ඍද්ධිපාද වැඩූ අයව සසරේ ඇසුරු කරල තියෙන්න ඕනා. ඒ තුළින් තමයි හේතු කර්ම ශක්තීන් පූර්ණ වෙලා එන්නේ. ඒ හුරුව තේරෙන්න ඕනා. 

 

ඍද්ධිපාද චිත්තය දෙන බුදුවරයා සර්වඥතා ඥානයෙන් යුක්තයි . මේකට කියන නම තමයි බුද්ධ බීජය. බුද්ධ බීජය, බුදු වීම සම්බන්ධයෙන් තිබෙන කාරණයක්. බුද්ධ බීජය ලබන බෝධිසත්වයා අවසානයේ සම්මා සම්බුදු වරයෙක්ම නොවන්න පුළුවන්. ඒ බෝධිසත්වයාගෙන් ශාසනය පිළිබඳ යම් කාරණයක් පූර්ණ වෙන්න ඉඩ තිබෙනවා. බුද්ධ බීජය සෘජුවම මහායානයට අදාල කාරණයක්. 

 

බුදුකෙනෙක් ඍද්ධිපාද දේශනා කරන්නේ ඍද්ධිපාද මතම වැඩ ඉඳගෙන. සත්ත්වයාගේ කුසලයට හා කර්ම ශක්තියට සාපේක්ෂව එය ඕනම වෙලාවක වෙනස් වෙනවා. එය අස්වාභාවිකත්වය වගේ. ස්වභාවයක් පනවන්න බෑ. අස්වාභාවිකත්වයම තමයි ස්වභාවය. 

 

ශක්තිය 

 

ඍද්ධිපාද චිත්තය ලැබුණත් වැඩක් නෑ, ඒක ශක්තිමත් කරන්න ඕනා. ඒ කියන්නේ බීජය හෙවත් චිත්තය ලැබුණා, අවශ්‍ය විවරණය ලැබුණා ඒකට අවශ්‍ය මාර්ගය ලැබුණා. එහෙනම් බීජය ශක්තිමත් කරන්නේ කොහොමද? ඒ සඳහා කාරණා දෙකක් එකට එකතු වෙන්න ඕන. ඡන්දය හා වීර්යය. එනම් ශක්තිය හා ජීවය. ජන්දය කියන්නේ කැමැත්ත. කැමැත්ත ඉෂ්ට වෙන්න නම් වීර්යය ඕන. ශක්තිය ඕන. ශක්තිය පවතින්නේ නැත්තං වැඩක් නෑ. ශක්තිය ක්ෂය වෙන දෙයක්. ශක්තිය පවතින්න ජීව ගුණය ඕන. කොස් ඇටයක් උනහම කොස් ගෙඩි හැදෙන්න අවශ්‍ය ජීව ගුණය ඒක තුළ තියෙන්න ඕනා.

 

කොහොමද ශක්තිය කියන එක හදන්නේ?

 

ආත්ම විශ්වාසය; තමාට තමා කෙරෙහි ඇති විශ්වාසය. මේ විශ්වාසය සියලු සත්ත්වයාට සාපේක්ෂව ගොඩනැගෙන්න ඕන. ඒ සියලු සත්ත්වයන්ට වඩා ආත්ම විශ්වාසය සතර ඍද්ධිපාද වඩන බෝධිසත්වයෙක් තුළ තියෙන්න ඕනා. ඒකෙන් තමයි වචනය හා ක්‍රියාව තුළ ඒ තරම් ප්‍රබල ශක්තියක් ගැබ්වෙන්නේ. බුදු කෙනෙක්  කියන්නේ ආත්ම විශ්වාසයේ අචින්ත්‍ය වූ ප්‍රබලත්වය. ඒ වගේම තමයි ඕනම දෙයක් දරාගැනීමේ හැකියාව, කැප කළ නොහැක්කක් නොමැතිකම.


 

ජීවය

 

ජීවය කියන්නේ ඵලය, මම, ඔබ දන්න මමත්වය නෙවෙයි. ඒක ගොඩනැගෙන්නේ හැඟීම මත හදවත මත. සත්වයා මත තමයි ඒ මමත්වය ගොඩනැඟෙන්නේ. මේ සත්වයා කවදා කොහොම හරි සසරින් එතෙර කරන්න ඕනා කියන මහාකරුණාව. එතකොට ජීවය කියන්නේ හදවත මත ගොඩනැගෙන මේ මමත්වය.  බුද්ධ හැදෙන්නේ මොලය තුලත් නෙමෙයි, හිත තුළත් නෙමෙයි හදවත මත. හදවත භූමියක් බවට පත් වෙනවා. එතකොට හදවත තුළ තමයි බුද්ධිය තියෙන්නේ, මහා කරුණාව තියෙන්නේ. ගෞතම බුදු හාමුදුරුවන්ගේ කාලෙ වීර්යය තමයි ජීවය හෙවත් හදවත වෙලා තිබුණේ. 

 

ගැලපීම:

 

ඍද්ධිපාද චිත්තය, ආත්ම විශ්වාසය, කැපකිරීම, හදවත තුළ ගොඩනැගෙන කරුණාව, බුද්ධිය මේ සියල්ල ගලපගන්න පුළුවන් වෙන්න ඕන. මහා කරුණාව මත මේ දේ පතිත වෙන්ඩ ඕනා. ඔබ යමක් අවබෝධ කරගන්නවාද, යමක් කරනවද, විඳදරා ගන්නවද ඒ සියල්ල තමන් වෙනුවෙන් නෙවෙයි පළමුවද දෙවනුවද තෙවනුවද සත්වයා වෙනුවෙන්ම විය යුතුයි. මේ  ස්ථාපිත වීම තමයි ගැලපීම කියන්නේ. මේ දියදහරාව සත්වයා මත  ගලා ගෙන යා යුතුයි. 

 

කරන්න තියෙන්නෙ ආත්ම විශ්වාසය ගොඩනගා ගැනීම, කැපකිරීම හා දරා ගැනීම සහ හදවත මත සත්වයා වෙනුවෙන් මහා කරුණාව ගොඩනගා ගැනීමයි.

ඍද්ධිපාද සඳහා බීජය ලැබීම හා සත්ත්වයා මත දිය ධාරාවක් සේ ඒ මහා කරුණාව ගලායෑම ධර්මතාවයෙන් සිද්ධ වෙන දෙයක්.

 

බුදුවරු විතරයි ඍද්ධිපාද වඩන්නේ. ඍද්ධිපාද වැඩෙන්නේ කර්ම පථයෙන් ගැල උනාට පස්සේ. එතනදි මහාකරුණාව නිසා ඒ හරහා නව කර්ම පථයක් සකස් වෙනවා. සතර ඍද්ධිපාද වඩන කෙනා තුළ තමන් ආපු මාර්ගය ඉවරවෙලා අලුත් ගමනක් තමයි ඍද්ධිපාද විදිහට පටන් ගන්නේ.

 

බුද්ධ කියන්නේ විශ්වයට සාපේක්ෂව ගොඩනැගෙන ඒත් විශ්වයත් සමග සම්බන්ධ නොවෙන ස්වාධීන ඒකකයක් ලෙස පවතින ධර්මතාවයක්. හැබැයි බුද්ධ කියන ධර්මතාවයට යම් කිසි කෙනක් සම්බන්ධ වුනාට, අපිට කියන්න බැහැ ඒ කෙනා “බුද්ධ“ කියලා. මොකද එයා ඉන්නේ  බුද්ධ  කියන ධර්මතාවයත් සමග මිශ්‍ර වෙලා. එතකොට මිශ්‍ර වෙලා ඉන්න කොට එයාට පවතිනවා බුද්ධ කියන ස්වභාවය. එවිට බුද්ධ  ස්වභාවය සමග සම්බන්ධ වෙලා ඉන්නවා කියලා කියන්න පුලුවන්. බුද්ධ වෙනවා කියලා කියන්නේ, සත්ව පුද්ගලභාවය තුල බුද්ධ කියන ධර්මතාවය එයාගේ ස්වාධීන බල ඒකකයක් මත ගොඩනගා ගැනීමේ හැකියාවක් තියෙන විටයි. එතකොට බුද්ධ කියන ස්වභාවය එයාට පාලනය කරගන්න පුලුවන් වෙන්න ඕනා. ඒ තුල එයා “බුද්ධ “ කියන බවට පත් වෙනවා. ඊළඟට ඒ හැකියාව තමන්ගෙන් වෙන්වුනු වෙනම ඒකකයක් ලෙස ගොඩනගා ගන්න පුලුවන් නම් ඒක බුද්ධ ඥානය බවට පත් වෙනවා. ඒ බුද්ධ ඥානය යොදවලා සත්වයා සසරින් එතෙර කරන්න පුලුවන් නම්, ඒ එතෙර කරන එක තුල පළවෙනි එතෙර කරපු කෙනා බිහි කලාට පස්සේ, මේ බව ඔප්පු වෙනවා ලෝකෙට. මේ සත්ව පුද්ගලත්වයට බුද්ධ කියන ඥානය පාවිච්චි කරලා පුද්ගලයා එතෙර කරන්න පුලුවන් හැකියාව පහල වුනා කියන එක, මේ ලෝකේ ධර්මතාවයක් විදිහට ගොඩනැගෙනවා. එතකොට මේ විදියට ඇරඹෙන සම්පුර්ණ  යාන්ත්‍රණය, සමස්ථ ක්‍රියාවලිය “සම්මා සම්බුද්ධ සාසනය“ බවට පත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? “සම්මා සම්බුද්ධ ඥානේන“ බවට පත් වෙනවා. මොකක්ද මේ ඥානේන? සම්මා සම්බුද්ධ සාසනයට අයිති ඥානයක් මේක. “සම්මා සම්බුද්ධ ඥානේන, සම්මා සම්බුද්ධ සාසනං” කියන්නේ ඒකයි.

 

සම්මා සම්බුද්ධ, පසේ බුද්ධ, සම්මා බුද්ධ, බුද්ධ, මහරහත් බුද්ධ සහ රහත් බුද්ධ වශයෙන් බුදුවරු වර්ග කරල දක්වන්න පුළුවන්. 

 

“බුද්ධ” ට පිරිනිවන සූත්‍රය අහු වෙලා නෑ. ඒ නිසා, බුද්ධ කියන ස්වභාවය ඇතුළෙ ඉන්නවා. ඒ ස්වභාවය තුළ මමත්වයක් තියෙනවා. බුද්ධ බවට පත්වෙලා තමයි ඉන්නේ. ඒ ස්වභාවයට අහුවෙලා ඉන්න බුදුවරයාට ඍද්ධිපාද වැඩීමක් වන්නෙ නෑ.  

 

“සම්මා බුද්ධ” ට පිරිනිවෙන සූත්‍රය අහු වෙලා තියෙන්නේ. ඒ නිසා  බුද්ධ ස්වභාවයෙන් ගැලවිලා ඉන්නේ. 

 

"සම්මා සම්බුද්ධ" කියන්නේ සියලු සංඛ්‍යාතයන්ට සාපේක්ෂව ඍද්ධිපාද උපරිමයට වැඩුණු බුදුවරයායි. සම්මා සම්බුදුවරු එක්කෙනයි එක කාලෙක දි ඉන්න පුළුවන් වෙන්නේ. ශාස්තෘවරු දෙදෙනෙක් එකම යුගයක බිහිවෙන්නේ නෑ.

 

"මහරහත් බුද්ධ" ඇතිවෙන්නේ බෝධිය සහ ඥාන සම්ප්‍රයුක්ත භාවයට අනුරූපව. මහරහත් කියන්නේ මහායාන බුදු වරයෙක්.

 

"රහත් බුද්ධ" අයිති වන්නේ හීනයානයට. දහම අවබෝධ කර ගැනීම තුළින් මම මගේ කියන ස්වභාවෙන් ගැලවිලා නමුත් රහත් බුද්ධ දන්නෙ නෑ මොකක්ද උනේ කියලා. රහත් බුද්ධට තියෙන්නෙ රහත්ඵලය. 

 

රහත්ඵලය නොමැති නමුත් රහත් ස්වභාවය තිබෙන නික්ලේශී ස්වභාවයන් සහිත අයත් ඉන්න පුළුවන්.

 

“පසේ බුදුවරුන්”ට ධර්මය දේශනා කරන්න හැකිවෙන්න පුළුවන්. ඒ සඳහා පාරමී මදි වෙන්නත් පුළුවන්.  නමුත් චතුරාර්ය ශක්තිය දේශනා කරන්න බෑ. පසේ බුදුවරුන්ටත් ඍද්ධිපාද වැඩෙනවා. සතර මහා ධාතුන් වලින් තොර වූ ධර්මතාවය, සතර මහා ධාතු ධර්මතාවයක් බවට පත් කරන්න පසේ බුදු වරයාට බැහැ.

 

සමහර බුදුවරු ඉන්න පුළුවන්, ධර්මය දකිනවා සහ ඍද්ධිපාද වැඩෙනවා, නමුත් ඉන්නේ හින්දු හෝ කතෝලික වැනි සංකල්ප එක්ක. ඒ බුදුවරු දකින ධර්මයේ වෙනසක් නෑ.

 

සම්මා සම්බුදුවරයෙකුගේ පරිනිර්වාණය කියන්නේ ඍද්ධිපාද අතහැරීම. ඒ කියන්නේ සත්වයාගෙන් සමුගැනීම සහ බුද්ධ ඥාණයෙන් සමුගැනීම. එතනදි සත්වයාගෙන් සමුගන්නේ ඊළඟ බුදුවරයාට සත්වයා පිළිබඳ වගකීම භාර දීලා. බුදුවරයා අවසානයේ පරිනිර්වාණය වන්නේ බුදුවරයෙක් විදියට නෙමෙයි රහතන් වහන්සේ නමක් විදියට. 


 

පරිනිර්වාණ යාන්ත්‍රණය:

 

පරිනිර්වාණය වන බුදුවරයා ඊළඟ බුදුවරයා විදියට විවරණ ලත් බුදුවරයාටයි, සත්වයාටයි සාපේක්ෂව ඉර්ධිපාද වඩනවා. ඊළඟ බුදුවරයාට සාපේක්ෂව වඩන්නෙ, සියලු සත්වයා හරහායි. ඒ තුල පරිනිර්වාණය වන බුදුන්ගේ බුද්ධ ඥානය නිරුද්ධ වෙලා යනවා. රහතන්වහන්සේ කෙනෙක් ගේ තත්ත්වයට පත් වෙනවා. 

 

ඊළඟ බුදුවරයා හෙවත් මහාබෝධිසත්වයන් සතුව ඍද්ධිපාද චිත්තය තිබෙනවා. විශේෂයෙන්ම තිබෙන්න ඕන ප්‍රධාන කාරණය තමයි මහා කරුණාව. ඒ වගේම සත්වයා භාර ගන්න ඕනා. 

 

සම්මා සම්බුදු වරයෙක්ට වැඩඉන්න පුලුවන් කාලයක්  තිබෙනවා. ආයුසංස්කරණය කරගත් කාලයක් තිබෙනවා. ඒ කියන්නේ ඕන දෙයක් දරා ගෙන ඉන්න පුලුවන් කාල සීමාවක් තිබෙනවා. ඒ කාල සීමාව ඉවර වුනාම උන්වහන්සේට තේරෙනවා තවදුරටත් ඒ බුද්ධ ශක්තිය සමබර කරගන්න බැහැ කියන දේ. ඒ මොකද, උන්වහන්සේ ඒ යුගයට අදාල කෙනෙක් නෙවෙයි. එතකොට එහෙම වුනාම තමයි පිරිනිවන් පාන්න වෙලාව එන්නේ. එතකොට පිරිනිවන් පාන්න වෙලාව ආවා කියලා තේරෙනවා. ඊලගට බුදු වෙන බෝධිසත්වවරයා ඊට සාපේක්ෂව සැකසෙනවා. සාපේක්ෂව චිත්තය වඩන්න ඒ බෝධිසත්වයන්ට ආරාධනා කරනවා. යම් බුදු වරයෙක් පිරිනිවන් පාන විට, සියලු ඥාන පරිනිර්වාණය වෙනවා. එතකොට මේ ඍද්ධිපාද චිත්තය ඉතුරු වෙනවා. මේ  ඍද්ධිපාද චිත්තයේ යම් ප්‍රමාණයක් ඊලග බුදු වෙන්න ඉන්න එක්කෙනාට සම්ප්‍රේෂණය වෙනවා. නැත්නම් පිරිනිවන් පාන්න බැහැ. නව බුදු වරයාට ඍද්ධිපාද වඩන්න ඕන චිත්තය දිලා ඊළඟට නව බුදු වරයා වර්තමාන සම්මා සම්බුදු වරයාට සාපේක්ෂව අර ලැබුණු ඍද්ධිපාද චිත්තය වඩන්න පටන් ගන්නවා. එසේ ඍද්ධිපාද වඩන කොට යම් ප්‍රමාණයක් නව බුදු වරයාට සම්ප්‍රේෂණය වන අතර, ඉතුරු කොටස සත්වයා මත ගොඩනැගෙන්න ඉඩහරිනවා. පිරිනිවන් පාන්න ඉන්න බුදුවරයා උන්වහන්සේගේ ඍද්ධිපාද චිත්තය අතහරිනවා. මේ යාන්ත්‍රණය තුලදී, ඒ චිත්තය මත යම් ඍද්ධිපාද ප්‍රමාණයක් නව බුදුවරයා තුල වැඩෙනවා. එතැන් සිට නව බුදුවරයා සත්වයාට සාපේක්ෂව ඍද්ධිපාද වඩන්න පටන් ගන්නවා. මේ විශේෂයෙන් දියුණු කල චිත්තය සහ බුද්ධ දරාගන්න  පාරමී වැඩිලා තිබෙන්න ඕනා.

 

ඊළඟ බුදුවරයා සත්වයා භාර ගත්තේ නැත්නම් වර්තමාන සම්මා සම්බුදුවරයාට පිරිනිවන් පාන්න බැහැ. ඒක තමයි කථාවේ තියෙන්නේ කාශ්‍යප හාමුදුරුවෝ එනතුරු ගෞතම බුදුහාමුදුරුවන්ගේ චිතකය දැල්වුනේ නැහැ කියලා. කාශ්‍යප හාමුදුරුවෝ ඊළඟ බුදුවරයාත් එක්ක තමයි එතැනට එන්නේ. 

 

සත්වයාගේ කර්මයට සාපේක්ෂව නව බුද්ධ නිර්මාණය වන යාන්ත්‍රණය සහ කර්ම පථය සැකසීම සිදුවන්නේ ඒ ආකරයටයි. නව බුදුවරයා සඳහා  කර්මපථය එසේ නිර්මාණය වීම තුළ වර්තමාන බුදුවරයා පරිනිර්වාණය වනවා. ඒත් සත්වයා එතනින් එහාට පරණ බුදු වරයාවම තමයි කරපින්නා ගෙන යන්නේ. පරිනිර්වාණය වන තුරු බුදු වරයාව සත්වයා අඳුරන්නේ නෑ. ඉතාම අතලොස්සක් තමා අඳුරගන්නේ. බුදුන් දැකලා එතෙර වන්නේ. බුද්ධ ඥානය අවසානයේ අතහැරීම දක්වාම බුදුවරයකුට පූර්ණය වෙන්න කාරණා තිබෙනවා.

 

Buddha Bodhi ලෝක

ධර්මය, ධර්මතා සහ න්‍යාය

ධර්මය කියන එක සැලකුවාම ඒ තුළ ස්වභාවයන්, ලක්ෂණ, තොරතුරු, ක...
Buddha Bodhi ලෝක

පෘතුවිය, සක්වල හා ආත්මය

*පෘතුවිය ගෝලයක්ද?   අධ්‍යාත්...
Buddha Bodhi ලෝක

ලෝකෝත්පත්තිය

බුද්ධ ඥාන තුල ඇති එක්තරා හැකියාවක් තමයි සෛලයක...
Buddha Bodhi සත්ව

ආලෝකයේ මෝහ අඳුර

බුද්ධ ගේ දර්ශනයට ආලෝකයක් ලෙස දිස්වන බල ක්ෂේත්‍රයක් සූ...

අධ්‍යාත්මය මනසින් දැකිය නොහැක.

ඔබේ ආවේණික ධර්ම මාර්ගය අවංකත්වය හෝ ඥාන දර්ශනය තුලින් සොයාගන්න....