maithribodhi
maithribodhi

අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න

maithribodhi

චිත්ත

කෙලෙස්

2024-08-08

Maithribodhi

ආධ්‍යාත්මය සහ විමුක්ති ගවේෂණය පිළිබඳව මූලිකත්වය දෙන බුදු දහම, ජෛන ආගම සහ හින්දු හා වෛදික දර්ශනයන්  ඇතුළු  පෙරදිග දර්ශන වලදී කෙලෙස් පිළිබඳව ඉතා වැඩි අවධානයක් දෙන බව දකින්නට ලැබෙනවා. කෙලෙස් පිලිබඳ විද්‍යාව නොදැන, කෙලෙස් සමග කටයුතු කිරීමට යාමෙන් ආධ්‍යාත්මික මාර්ගය අනවශ්‍ය සංකීර්ණ තත්වයන්ට පත්කරගෙන ඇති අවස්ථාවන් අද බහුලව දැකගත හැකියි. සාමාන්‍ය කෙනෙක්ගේ පැවැත්ම ගොඩනගා ගැනීමට අවශ්‍ය කාරණා සරලව කෙලෙස් ලෙස හඳුන්වන්න පුළුවන්. නමුත් බොහෝ දෙනා කෙලෙස්වල විද්‍යාව නොදන්නා නිසා කෙලෙස් වල ග්‍රහණයට හසුවෙනවා. ඊට පසුව ඒ කෙලෙස් වංචනික ධර්ම බවට පත්වෙනවා. මේ කෙලෙස් ධර්මතා පිලිබඳව තේරුම් ගත්තම, ඒවායේ ප්‍රශ්නයක් නෑ. කෙලෙස් වංචනික ධර්ම බවට පත්වුණොත් තමයි ගැටළු සහගත වන්නේ. 

 

වර්ථමානයේ සමාජගතව පවතින සාම්ප්‍රදායික බුදුදහම සහ සංස්කෘතිය තුළ හින්දු සහ ජෛන අදහස්ද බොහෝ සෙයින් මිශ්‍රවී පවතිනවා. මේ බලපෑම් ප්‍රබලව පවතින වත්මන් ආගමික පසුබිම් තුළ, කෙලෙස් සම්බන්ධයෙන් සැලකීමේදී බොහෝ දෙනා කෙලෙස් සමග සටන් වදිමින් හෝ කෙලෙස් සම්පූර්ණයෙන්ම නැති කල පරමාදර්ශී ශාන්තුවර ස්වභාවයන් ආධ්‍යාත්මික විමුක්තිය හෝ නිර්වාණය ලෙස විශ්වාස කරමින් කටයුතු කරනවා. නමුත් එය අතිශයින් මුලා සහගතයි. 

 

කෙලෙස් සමග කටයුතු කරන්නේ කෙසේද යන්න අවබෝධ කරගැනීම ඔබේ දහම් මාර්ගය නිවැරදි වන ප්‍රධාන දර්ශකයක්. නැති කරන්නට බැරි දෙයක් වන කෙලෙස් සමග සටන් කිරීම ඔබ තුළ තවත් වෙනස්ම ආකාරයේ පීඩනයක් ඇති කරනවා. කෙලෙස් පිලිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගෙන, කෙලෙස් කළමනාකරණය කරගනිමින්, සෞඛ්‍ය සම්පන්න කායික සහ මානසික පැවැත්මක් ගොඩනගා ගෙන, කෙලෙස් පිළිබඳව දෙන අවධානයෙන් නිදහස් වීම තුල ආධ්‍යාත්මික ගවේෂණය නිවැරදි දිශානතියකට යොමු කරගන්නට හැකියාව ලැබෙනවා. සිහිය, විදර්ශනාව, ඥාන දර්ශනයන් හරහා ඔබේ මමත්ව නිරෝධය සහ ප්‍රඥාව වැඩීම ආරම්භ වන්නේ ඔබ මේ තැනට ආවාට පසුවයි. 

 

කායේන සංවරෝ සාධු 

සාධු වාචාය සංවරෝ

මනසා සංවරෝ සාධු

සාධු සබ්බත්ත සංවරෝ

 

කය, වචනය සහ මනස සංවර කරගැනීම තුළින් ලබාගත් සමබරතාවයක් තුළ කෙලෙස් වල ග්‍රහණයට දැඩිව හසුනොවී සිටීම, ආධ්‍යාත්මික මාර්ගය සඳහා උපකාරී වෙනවා. කෙලෙස් දැඩි වීර්යයෙන් යටපත් කිරීමට යාමෙන් නැවතත් ඔබ අන්තගාමී වන්නට පුළුවන්. කෙලෙස් වලට හසුවෙමින් අන්තගාමී වීමත්, කෙලෙස් නැති කරන්නට යමින් අන්තගාමී වීමත් යන අන්ත දෙකින්ම අවබෝධයෙන් යුතුව නිදහස් වන්නට අවශ්‍යයි. 

 

පෙරදිග දර්ශනයන් තුළ කතා කරන කෙලෙස් සහ බටහිර විද්‍යාව තුල කතා කරන  ඩෝපමයින් (Dopamine) වැනි ස්නායු රසායනිකවල (Neuro Chemicals) ක්‍රියාකාරීත්වයන් අතර සෘජු සම්බන්ධතාවයක් පවතිනවා. සෞඛ්‍ය සම්පන්න හෝමෝන (Hormones) සහ ස්නායු රසායනික ක්‍රියාකාරිත්වයක් පැවතීම මිනිසාගේ කායික සහ මානසික සමබරතාවයට අත්‍යවශ්‍ය කාරණාවක්. එම කාරණා බටහිර වෛද්‍ය විද්‍යාව තුළින් සහ මනෝවිද්‍යාව තුළින් තහවුරු කර ඉදිරිපත් කරන තිබෙනවා. නිරෝගී සතුටින් ඉන්න කෙනෙක් ගත්තම ඒ කෙනාගේ Dopamine වැනි ස්නායු රසායනික ශ්‍රාවය වීම සහ මොළයේ රසායනික ක්‍රියාකාරීත්වයන් සාමාන්‍ය අන්දමින් සිදුවෙනවා. එනම් කෙලෙස් ක්‍රියාත්මක වීමට හැකි උත්තේජනයක් නැතහොත් අරමුණක් ඇතිවිට ගොඩනැගෙන ප්‍රීතිමත් බවට ප්‍රතිචාරයක් ලෙස Dopamine ශ්‍රාවය‍ වෙනවා. Dopamine ශ්‍රාවය වීම මගින් එම ප්‍රීතිමත් බව පවත්වා ගන්නවා. ජීවිතය තුළ ආශ්වාදයන් සඳහා පැවැත්ම ගොඩ නඟාදෙන්නේ මේ ක්‍රියාකාරීත්වයෙන්. මේ ක්‍රියාකාරීත්වය අඩපණ වුණොත්, එදිනෙදා ජීවිතයේදී කිසිදු ආශ්වාදයක් නොදැනීම මත   මනස ලෙඩ වෙලා විවිධ ආබාධයන් ඇතිවෙන්න පුළුවන්. ඒක විද්‍යාත්මකයි. මානසික අවපීඩනය නැතහොත් Depression හැදීමට හේතුවන්නේත් Dopamine අඩුවීම හෝ, Dopamine වල ක්‍රියාකාරීත්වය අඩු වීමයි. දැඩි ආගමික මතවාද තුළ හිරවෙලා කෙලෙස් තවමින් එවැනි පටිපදා තුළ සිරවී සිටින්නන් අතර මේ ස්වභාවය දකින්න පුළුවන්. 

 

එලෙසම ආධ්‍යාත්මික පරිවර්තනයක් හෝ විමුක්තිය කියලා කියන්නේ මොළයේ හෝමෝන හෝ රසායනික ක්‍රියාවලිය සම්බන්ධ කාරණයක් නොවෙයි. එය ඥාන දර්ශනයක් හරහා සිදුවන යථාර්ථ අවබෝධයක් නිසා විය හැකියි. තවද හේතු පලය බිඳියාමක්, විශේෂ කුසල හේතුවක් නිසා සිදුවන කර්ම පථය බිඳීයාමක් හෝ බෝධි චිත්තය හටගැනීම වැනි දෙයක්ද විය හැකියි. 

 

කෙලෙස් කෙලෙස් වන්නේ මමත්වයෙන් ගැනීම නිසයි.  අනවබෝධය නිසයි. කෙලෙස් වලට ඇලීගැලී සිටින්නේත් කෙලෙස් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන්නේත් දෙකම සිදුවන්නේ මමත්වය සහ කෙළෙස් පිලිබඳ අනවබෝධය නිසා. කෙලෙස් නැති කරන්න බෑ. කෙලෙස් වලට සාපේක්ෂව විද්‍යාව පහළ කර ගැනීමයි සිදුවිය යුත්තේ. කෙලෙස් වලට ඇබ්බැහි නොවීමයි සිදුවිය යුත්තේ. උදාහරණයක් විදියට ඔබ රහට කෑම කෑවාට ඒක විමුක්තියට බාධකයක් නෑ. ඔබේ කාය ජීවී අවශ්‍යතා පිනවුනාට එය විමුක්තියට බාධකයක් නෙවෙයි. සාමාන්‍ය කෙනෙකුට ජීවිතයේ තියන කෙලෙස් කියනදේ රහතන්වහන්සේ නමකටත් තිබෙනවා. නමුත් රහතුන් එහි විද්‍යාව දන්නවා. ඒවාට ඇබ්බැහි නොවී සාමාන්‍ය ජීවිතය තුළ ඒ දේවල් කළමනාකරණය කර ගැනීමයි, ඔබ කල යුත්තේ. මේ බව දන්නේ නැතිව කෙලෙස් නැති කරන්න යොමු වෙලා ඉන්නවා නම් ඒක දැඩි මුලාවක්.

 

තමන් නොවන දෙයක් තමන් ලෙස හඳුනාගන්නා දැඩි විශ්වාසය මත ගොඩනැගුණු ආත්මීය සංකල්පයක් ලෙස මමත්වය හඳුන්වන්න පුළුවන්. විමුක්ති මාර්ගය තුළ නිරෝධ වන්නේ මෙම මමත්වයයි. නමුත් බොහෝ දෙනා මෙම දිශානතියෙන් වෙනස් වී කෙලෙස් සමග.සටන් වදින්නත් බවට පත්වෙනවා. කෙලෙස් නැති කරන්න ගියොත් එයා මානසික ලෙඩෙක් බවට පත්වෙනවා. 

 

තවත් වටහා ගත යුතු කරුණක් තිබෙනවා. මේ මොහොත සහ සතුටින් සිටීම කියන්නේ ජීවිතයේ යහපැවැත්මට සහ ආධ්‍යාත්මික පරිවර්තනයකට පහසුදායි වාතාවරණයක් පමණයි. එය ආධ්‍යාත්මික පරිවර්තනයක් නෙවෙයි. එය කායික හා මානසික යහපැවැත්මට සම්බන්ධ කාරණයක් පමණයි. 

 

කෙලෙස් තේරුම් ගැනීම පහසුයි. නමුත් කෙලෙසුන්ගේ හැසිරීම ස්පර්ශ කිරීම එහෙම පහසු කාර්යයක් නොවෙයි. සමහර කෙලෙස් අපට දැනෙනවා. නමුත් සමහර ඒවා අපට දැනෙන්නේ නෑ. එයට හේතුව සමහර කෙලෙස් මමත්වයට ආකර්ෂණය වැඩියි. සමහර කෙලෙස් මමත්වයත් සමඟ ගැටෙනවා. සමහර කෙලෙස් මමත්වයත් සමඟ සමව සිටිනවා. සමහර කෙලෙස් මමත්වයට හානිදායක වෙනවා.සමහර කෙලෙස් විඥානය තුළ නොතිබීම නිසා අපි දන්නෙම නැතිව ඉපදීලා නැතිවෙලා යනවා. අපේ මනසට ගෝචර නොමැතිව පවතින තවත් සමහර  කෙලෙස්ද තිබෙනවා. යමෙකු කෙලෙස් හෝ මමත්වයට එකවර පහර ගසන්ට ගියොත් ඔහු හෝ ඇය කෙලෙස්  වලින්ම විනාශ වෙලා ආධ්‍යාත්මික මාර්ගය වැසී යන්න පුළුවන්. ඒ නිසා ඒ සඳහා ඉතා සියුම් ක්‍රම  අනුගමනය කළ යුතුයි. 

 

කෙලෙස් විෂය පථය ඉතා සංකීර්ණයි. භවයට හේතු වන කෙලෙස් සම්බන්ධයෙන් සිත පරීක්ෂාකල හැකි ප්‍රධාන ක්‍රම කීපයක් පවතිනවා.

 

 1. කෙලෙස් වලට ඉඩ දීලා බැලීම

 2. හුදකලාව  සිට කෙලෙස් නැගෙන ආකාරයන් බැලීම 

 3. සියුම් කෙලෙස්  පවා හොඳින් නිරීක්ෂණය කර බැලීම 

 4. පසු ක්‍රියාවන්ගේ පථයන් පරික්ෂා කර බැලීම

 

සෑම සිතුවිල්ලක්ම ක්‍රියාවක් ලෙස අවසන් වනවා. එම ක්‍රියාව අවසන් වන විටම, එය අවසන්වී  ඊළඟ මොහොතේ අලුත් දෙයක් හටගන්නවා. තවත් විදියකට  කියනවා නම් එක මොහොතක සිටිය මම නොවෙයි ඊළඟ මොහොතේ සිටින්නේ. සුවිශේෂීත්වය මෙයයි. මේ පටිච්ච සමුප්පාදයන් කිසිවක් එකිනෙකට සම්බන්ධ නැහැ.

 

සිත තුළ පවතින කෙලෙස් සහ ඒවා පරිශීලනය කරන මමත්වය තමාගේ පැවැත්ම වෙනුවෙන් විවිධ සූත්‍ර ක්‍රම නිර්මාණය කරනවා. බොහෝ විට එක මොහොතක නිර්මාණය කරන ක්‍රමය තව වතාවක සිදු වන්නේ නෑ. නමුත් අපට එය දැනෙන්නේ නෑ. අපට කෙලෙස් දැනෙන්නේ කෙලෙස් සිතුවිල්ලක් පහළ වූ විටයි. එය ක්‍රියාත්මක කරනවද නැද්ද යන්න තුළට අප සිර වෙනවා. විටෙක සිත ශක්තිමත් නම් එය පාලනය කරනවා. මෙම තත්ත්වය තරමක් හොඳයි, නමුත් එය නිවැරදිම නෑ.  මේ කියන දේ නුවණින් තේරුම් ගත යුතුයි.

 

අපට දැනෙන කෙලෙස් සිතුවිල්ලක් උදාහරණයක් විදියට ගන්න.  ඔබට සිතෙනවා පැණි කජු  අයිස්  ක්‍රීම් එකක් කන්න. මෙහිදී පැණි කජු පවතින්නේ ඔබේ විඥානයේ. විඳීම මමත්වයේ.  ඔබ අයිස් ක්‍රීම් එක කන්නේ නැතුව එය පාලනය කර ගත්තා කියලා හිතන්න. නමුත් ඔබ සිතෙන් කාලා ඉවරයි. ක්ලේශය ඉපදිලා විඳීමද සිදුවී හමාරයි. මෙතන විදීම් දෙකක් තිබෙනවා. එකක් විඥානයේ පැණි කජු විඳීම. අනිත් විඳීම වන්නේ අලුත් අයිස් ක්‍රීම් එක කෑවොත් ඒ හරහා වන විඳීම හෝ නොදී සිටීමෙන් ඇතිවන ගැටීම. රූපය දැනීම් මාත්‍රයක් බවට පත්වන්නේ කෙලෙස් හරහා. මමත්වය ගෝචර කරගන්නේ මේ දැනීම් මාත්‍රය. දැන් මේ වන විට කෙලෙස් හරහා ප්‍රබල ක්‍රියාවලියක් සිදුවී හමාරයි. 

 

සිත තුළින් විඳින කෙලෙස් ඉතා ප්‍රබලයි. වින්දනය ද වැඩියි. ඒ වගේම මෝහය ද වැඩියි. නිදසුනක් ලෙස කෙනෙක්ට භෞතිකව අවස්ථාවක් නොමැති විට ලිංගික රාගය වැඩියෙන් දැනෙන අතර ඒ සඳහා අවකාශය ඇති විට එහෙම අවශ්‍යතාවක් නැහැ ලෙස දැනෙන්නට පුළුවන්. එසේ වන්නේ අවස්ථාවක් නොමැති  විට සිත තුළින් කෙලෙස්  ඉතා  ප්‍රබල වී  නිතර නිතර  විඳින්නට  උත්සාහ කිරීමයි.  මේ අත්දැකීම් එක් එක් අයට වෙනස් වෙන්න පුළුවන්. 

  

මෙතැනදී කෙලෙස් සහ කෙලෙස් සිතුවිල්ල ලෙස කොටස් දෙකකට කඩා ගමු. කෙලෙස් සිතුවිල්ලක් සකස්  වීමට මොනවද ඕනේ.  

 

කෙලෙස්  + දැනීම +  රූපය +  විඥානය ( පෙර හෝ අලුත්)  + විඳීම +  ආත්මීයව දැනීම +  විඥානගත වීම + කය තුළ  එය  ඉෂ්ට කරගැනීමට පසුබිම  සකස්වීම ලෙස එය කොටස් කර දක්වන්න පුළුවන්. දැන් මෙහි  කෙලෙස් සිතුවිල්ල වෙනම දකින්න පුළුවන්.  

 

අවශ්‍ය නම්,  ක්‍රියාව  +   ඵලය   +  විඥානගත වීම  +  නැවත  නැවත විඳීම ලෙස කෙලෙස් සිතුවිල්ල   ක්‍රියාත්මක වන ආකාරයද  දැකිය හැකියි. 

 

එසේ නම් කෙලෙස් කියන්නේ කුමක්ද? කෙලෙස් කියන්නේ ශක්ති ස්වභාවයක්. ඒ තුළ කිසිම භාෂාවක් නැහැ. එම ශක්ති ස්වභාවය දැනෙන විට සියුම් මත් භාවයක්,  බර ගතියක්  දැනෙනවා. මෙතැනදී ප්‍රකාශ කළේ සිතේ කෙලෙස් භාවයන් පිළිබඳවයි. ඒ විතරක් නොවේ.  කයේ ද  කෙලෙස් භාවයන් තිබෙනවා. කෙලෙස් වලින් හැදුන මෙම කය තුළ  බඩගින්න සහ ලිංගික සංවේදී  භාවය තමයි සත්වයාගේ  ප්‍රබලම කෙලෙස් වන්නේ. 

 

ඊළඟට ශරීරයක් තුළ ශරීරයට ආවේණික  ක්‍රියාවන් දෙස බලන්න පුළුවන්. මෙය ඉතා සියුම් ලෙස තේරුම් ගත යුතුයි.

 

1. අප කතා කරන විට උගුර වේලීම  වැලැක්වීමට මුඛය තුළ කෙල උත්පාදනය වීම

2. හෘද ස්පන්දනය, ලේ ගමනාගමනය, ආමාශයේ ඇතැම් ක්‍රියා ,වකුගඩු , මුත්‍ර, මලපහ,  සහ පිරිමින්ගේ  ශුක්‍රාණු නිෂ්පාදනය,  කාන්තාවන්ගේ ඕසප්  වීම  

3. ආහාරයක් දකින විට  ශරීරයේ ජීර්ණ එන්සයිම ක්‍රියාකාරිත්වය ආරම්භය 

 

උදාහරණයක් විදියට ඔබ අඹ ව්‍යංජනයක් දකින අවස්ථාවක් සලකන්න. නැත්නම් කෙනෙක් අමු අඹයක් රසවිදිමින් සිටිනු ඔබ දකින අවස්ථාවක් සලකන්න. අඹ පිළිබඳ රූපය මනස තුළ හටගත් පසු එයට විඥාන දැනුමද එකතු වී,  ඔබේ ශරීරය ඒ වෙනුවෙන් සැකසෙන විදිය ඔබට දකින්න පුළුවන්. ශරීරයේ එම ක්‍රියා නිකෙළෙස් නමුත්, එම ක්‍රියාවන්ගේ විඳීමක් හෝ ඒ පිළිබඳ ගැටීමක් ඇතිවේ නම් ඒවා කෙලෙස් බවට පත් වෙනවා. 

 

 අඹ  වෑංජන > රූපය > මනස > විඤ්ඤාණය > ශරීරය එය ලබාගැනීමට සැකසීම. 

 

ශරීරයට ආහාර අවශ්‍ය වීම සාමාන්‍යයයි.  අවශ්‍ය බව දැනීමද  සමාන්‍යයයි. නමුත් මෙතන සිදුවන්නේ ඇත්තටම දැනීමක්  විතරයි. දැනෙන්නේ කුමක්ද දන්නේ නැහැ. එයට ගත යුතු පිළියමද දන්නේ නැහැ. මෙලෙසයි පළමුව දැනෙන්නේ. එයට දිය යුත්තේ මොනවාද  යන්න අදාල නැත. මෙය දැනීමේ පළමු අදියරයි. නමුත් ඉන් අනතුරුව බුද්ධිමත්ව දිය යුත්තේ මොනවාද යන්න තීරණය කර  අවශ්‍ය නම් දිය හැක. එය තීරණය කරනුයේ  බුද්ධියයි. 

 

පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධ කෙලෙස් සුවිශේෂී වන්නට පුළුවන්. සමහර අයට සමහර කෙලෙස් ඉතා ප්‍රබලව දැනෙනවා. ඇතැම් ඒවා දැනෙන්නේ නෑ. පුද්ගලයගෙන් පුද්ගලයාට කෙලෙස්  දැනෙන සම්භාවිතාවයන්ද වෙනස් වෙනවා. ඒ දේ වෙන්නෙ කොහොමද?

 

අපි කාලයක් එකම විදිහේ කෙලෙස් දිගටම ඇසුරු කරන විට ඒ ඇසුරෙන් කෙලෙස්  චක්‍රාවාට ඇති වෙනවා. මෙලෙස චක්‍රාවාටයක් හටගන්නේ සසර වැඩි කාල‍යක් එකම  කෙලෙසය තුළ වාසය කිරීම නිසයි. උදාහරණයක් විදියට කෙනෙක් ඉතා ඉහල සමාජ මට්ටමක් සහිත පවුල් වල හෝ  ඉහළ කුල වල ඉපදීම තුළින් ඔහු හෝ ඇය තුළ ස්වභාවයෙන්ම මානය අධික වන්නට පටන් ගන්නවා. මේ තුළින් මාන්‍ය චක්‍රාවාට  හැදෙනවා. එවිට මාන්‍ය දුරු කළ ද චක්‍රාවාට  පවතින බැවින් නැවත මාන්‍ය ඉතා ඉක්මනින් හටගන්නවා.  මෙම  චක්‍රාවාට ගැලවීම ඉතා අසීරු කාර්යයක්. එක පාරටම ගැලවිය  නොහැකියි. ඇත්තෙන්ම ඒ චක්‍රාවාට  සිඳීමයි කළ යුත්තේ. සිදිනවා කියන්නේ වතුර මුට්ටියක් උතුරන්ට දෙන්නැතුව ගින්දර ගසා හිඳිනවා වගේ වැඩක්. චක්‍රාවාටයක් හැදීමට කෙලෙස් පථද, කර්ම පථ ද, පටිච්ච්සමුප්පාදය ද උදව් වෙනවා. මෙවැන්නක් හැදුනාට  පසු ඒ  චක්‍රාවාට තුළ කෙලෙස් ද පටිච්ච සමුප්පාදය ද කෙලෙස් පථද යන මේ කිසිවක් නැහැ. හරියට දිය  සුලිය වගේ. සුළඟින් සුලිය හදලා  දුන්නාට  පසුව දැන් සුලියෙනුයි සුළඟ නිර්මාණය කරන්නේ. 

 

කෙළෙසුන්ගෙන් මිදෙන්න සහ මමත්වය නසන්න නම්, මුලින්ම ඔබ ඔබේ කෙලෙස් හඳුනාගන්න ඕනා. ඒ සඳහා ඔබ ඔබේ කෙලෙස් වලට  සවන් දෙන්න. එවිට ඒ පිළිබඳව ඔබේ මතකය ඉහලට මතු වෙනවා.  ඔබට ඔබේ කෙලෙස් පිළිබඳව තේරුම් යන අතර මනස ඒ තුළින් අන් අයව දකින්නට හා මනින්නට ඔබව පොළඹවන අවස්ථා මේ අතර මතුවෙන්න පටන් ගන්නවා. ඒවාට ඔබ හසු නොවිය යුතුයි. එවිට කෙලෙස් පිළිබඳව ඇති මෝහය දුරු කරන්ට ඔබට හැකිවෙනවා. අවසානයේ කෙලෙසුන්ගෙන් මිදී මමත්වය නසා සසර නැවත නැවත මමත්වය හදන තෘෂ්ණාව දුරු කරන්න පුළුවන් වෙනවා.

 

කෙලෙස් වලින් හැදුනු සිත සහ කෙලෙස් වලින් හැදුනු කය බව නොදැන, කෙනකු තමන් නිකෙලෙස් යැයි කියනවා නම් එය විශාල මිථ්‍යාවක්. නමුත් කෙනෙකුට මෙසේ කියන්න පුළුවන්. මා කිසිදු කෙලේසයක් මා වෙනුවෙන්, මගේ කර ගැනීම වෙනුවෙන්, මාන්‍යයක් වෙනුවෙන්, මගේ ලෞකික පැවැත්මක් වෙනුවෙන්  පරිශීලනය නොකරමි යනුවෙන්. මෙම ස්වභාවයට අපි කියනවා නිකෙලෙස් (නි + කෙලෙස්) කියලා. කෙලෙස් සමනයට පත් කළ යුතුය. කෙලෙස්   ප්‍රබල නම්  ධ්‍යාන දක්වා කමටහන් වඩා එම කෙලෙස් ගැඹුරින් යටපත් කළ යුතුයි. මේ සියල්ල කරන්නේ මමත්වය සහ මෝහය නැති කිරීමට අදාළ සත්‍ය අවබෝධය පිණිසයි. කෙලෙස් එක්ක පමණක් කෙනෙක් සටන් වදිමින් ඉන්නවනම් ඒක හරියට දත හිරිවට්ටමින් ඉන්නවා වගේ. දත හිරි වැට්ටුවාට වැඩක් නෑ දත ගලවන්නේ නැත්නම්.

 

මේ කෙලෙස් කාරණා ඇතිවීම තුල අපට නොදැනෙන විශාල හා සියුම් ක්‍රියාවලියක් තිබෙනවා. ඔබ නිතරම බල්ලෙක් සමග සෙල්ලම් කරනවා කියලා සිතන්න. එවිට ඔබේ හැකියාවන් හෝ රිද්මයන් අර සතාට යනවා. සතාගේ දේවල් ඔබටද එනවා. සිහියෙන් නොසිටියොත් මෙය ඔබට දකින්න බෑ. මෙයට හේතුව මනස ඕනෑම දේකට හුරු කළ හැකි වීමයි. මේ නිසා තමයි සැබවින්ම කල්‍යාණ මිත්‍රත්වය අවශ්‍ය වන්නේ. ධර්මය නමැති ඔරුව හබල් ගාන්නට ඕනා ගුණධර්මවලින්. නැත්නම් ඔරුව පෙරළෙනවා. 

 

කිසිම පෘථග්ජන මානසිකත්වයකට කෙලෙස් විඳිය නොහැකයි.  නිතරම කෙලෙස් විඳීමට උත්සාහ ගන්න එකයි ඒ තුළ සිදුවන්නේ. නමුත් කිසිදු කෙලේසයක් දැකීමටවත්, විඳීමටවත් නොහැකියි. එය කළ හැක්කේ බුද්ධ නමැති ධර්මතාවය තුළින් පමණයි.

 

සාමාන්‍ය මනසකින් කෙලෙස් විඳින්නේ නැත්නම් මොනවද විඳින්නේ?. විඳින්නේ මෝහයයි. මෝහය කෙලෙසයක්ද නැතිද? නැත. කෙලෙස් නොපෙනීමයි මෝහය කියන්නේ.   ආලෝකය හෙවත් සිහිය ඇති විට ඔබට කෙලෙස් පෙනෙනවා. 

 

මනස කියන්නේ ශරීරය පුරාම ක්‍රියාත්මක වන ධර්මතාවයක් ලෙස හඳුන්වන්න පුළුවන්. භෞතික කය හා මොළය තුළ සිදුවන වෙනස්කම් මනසේ වෙනස්කම් බවට පත්වෙනවා. බුද්ධ, සිත, මනස, මොළය, ආයතන පහ, ස්නායු පද්ධතිය, හෝමෝන ක්‍රියාකාරීත්වය, හෘද ස්පන්ධනය, සසර හැඟීම්, සසර කුසල් අකුසල් යන මේ සියල්ල වෙන්කර බැලීම ඉතා වැදගත්. මේ සියල්ල වෙන්කර බැලීමේදී අවසානයේ සියල්ල තීරණය වන්නේ කය මතයි. කයට මනස කිඳා බැහැලා තියන නිසා මෙයට දැනෙන, හැඟෙන දේ තමයි අපි කරන්නේ. මෙවැනි සුවිශේෂී වු ලක්ෂණ බොහොමයක් අපගේ මනස තුළ පවතිනවා. නින්ද, ආහාර,  නෑම, ලෙඩවීම, සුව වීම, ඖෂධ වැනි කරුණු ගණනාවක් එයට ඇතුලත් වෙනවා. නමුත් ඔබේ භවයෙහි යන මමත්වය විනාශ වෙනකම් ඉහත සියල්ල කෙළෙස් ලෙස දුටුවාට වැරදි නැහැ. 

 

සත්වයාගේ මනස ඉතාමත් මන්දගාමී. වේගය අඩුයි. බල්බ් එකක් පත්තු වී පෙනෙන්නේ ඇයි? බල්බ් එක පත්තු වී පවතින සංඛ්‍යාතයට සාපේක්ෂව  ඇසේ සංඛ්‍යාතය අඩු නිසා දැල්වී තිබෙන බවක් පෙනෙනවා. නමුත් ඇසේ සංඛ්‍යාතයට වඩා බල්බ් එකේ සංඛ්‍යාතය අඩු වුණා නම්, එය  නිවි නිවි පත්තුවෙන බවයි පෙනෙන්නේ.  මනසේ වේගය අඩු නිසා සෑම විටම ආත්ම ගතියක් නිර්මාණය වෙනවා. අද අපට අනිච්ච බව සජීවීීව දැනෙන්නේ නෑ. එයට හේතුව මනස එය නොපෙන්වීමයි.  එහෙම නොවුණා නම් ඔබට කාලය නොදැනී යනවා, වේගය නිතර දැනෙනවා, වෙනස් වීම් වර්තමානය බවට පත්වෙනවා. මනස තුළ සිදුවන  මෙම ක්‍රියාවලිය  මමත්වයට තෝතැන්නක් වගේ. යමෙකු මනසේ  ක්‍රියාකාරිත්වයෙන්  මිදුනු විටදී වැඩ කිරීමට  ඉතා අපහසු වන්නේ ඒ නිසයි.

 

මනසේ ක්‍රියාකාරීත්වය අදාල වන්නේ බීජ නියාමයටයි. මමත්වය තිබෙන කිසිවෙකුට මනසේ  ක්‍රියාකාරීත්වය දකින්න බෑ. තේරුම් ගැනීම පමණයි කලහැක්කේ. එහෙම කෙනෙකුට මනස ලෙසත්, සිත ලෙසත් දැනෙන්නේ මමත්වයේ   ක්‍රියාකාරීත්වයයි.  මෙය කිසි විටෙක මමත්වයෙන් පිරි පණ්ඩිතයෙක් එකඟ වන කාරණයක් නොවෙයි. එයට හේතුව එය ඔහුගේ මමත්වයට සහ කෙලෙස්  වලට තර්ජනයක් වන නිසා. 

 

කෙසේ  වුවත් මමත්වය දුරු කල කෙනෙක් අවසානයේදී මනස  නිදහස් කළ යුතුයි. එසේ නොවුන හොත් මානසික  රෝගී  තත්වයට වුවද පත් වෙන්න පුළුවන්. මනස අරක් ගත් මමත්වය එලවනකම් පුද්ගලයෙක් විදියට දැනෙනවා.  මමත්වය දුරු වුණාට පස්සේ මනස  පිරිසිදුව පැවැත්ම සදහා ගොඩනගා ගන්න ඕනා. 

 

කෙලෙස් අතරින් ප්‍රබලම කෙලෙසය  කුමක්ද කියලා ඔබ දන්නවාද? ප්‍රබලම විතරක් නොවේ. භයානක කෙලෙසද එයයි. මෙම කෙලෙසයට ඔබ හසු වුණොත් ඒ තුළ භවයන් නිර්මාණය කරගෙන ඉන්නට පුළුවන්.  එම කෙලෙසය තමයි ධර්මය කියන්නේ.  සතුරා නැසීමට භාවිතා කරන ආයුධය සතුරෙක් වුණා වගේ වැඩක්. 

 

ධර්මය තුළ හැසුරුණු, භාවනා කළ හෝ ගැඹුරින් දහම් පොත  පත ඇසුරු කළ හෝ ධර්මය බොහෝ සෙයින්  ශ්‍රවණය කළ අය මෙම කෙලෙසයට ගොදුරු වෙන්න හැකියාව තිබෙනවා. ඔවුන් තුල දහම්  චක්‍රාවාට පවා ඇති වන්න පුළුවන්.  මෙම   චක්‍රාවාටයන්ට ඇවිත් එයින් මිදීමට නොහැකිව එය තුළ ජීවත් වන්නන් සිටිනවා. ධර්මය කියන්නේ තමන් තමන්ගෙන්  මිදීමට භාවිතා කරන ගැඹුරු අවබෝධයක්. එම අවබෝධය මගේ කරගෙන එහි ජීවත් වන්නට යෑම තුළින් ඔහුට තවත් බවයක් තමයි හිමි වන්නේ. මෙම අය ධර්මයෙන් පුරාජේරු  දොඩමින් එක්තරා විදිහක ධර්මයේ  හැසිරෙන්නෝ ලෙස අපට දකින්නට ලැබෙනවා. නමුත් ධර්මය කිසිවක් නොදන්නා කෙලෙස් සහිත පුද්ගලයා හරියට කටයුතු කරගෙන ගියොත්, මේ දහම් චක්‍රාවාට වල සිරවී සිටින අයට කලින් ඔවුන්ට විමුක්තිය ලඟා කරගන්න පුළුවන්.

 

කුමක්ද මෙම දහම් කෙලෙසය? මෙය ඕනෑම කෙනෙක් ලඟ ඇතිවෙන දෙයක්. තමාගේ මමත්වය හා කෙලෙස් දැන් ධර්මය  විසින් රකින තැනට පත්වෙලා.  ඇත්තටම ධර්මය කියලා දෙයක් නෑ. ධර්මය කියන්නේ සිත තුල උපදින  අලුත් ක්‍රම වලටයි. මේවාගෙන් මිදෙන්නට නම් බුද්ධ, ධම්ම, සංඝ යන ගුණ සමානව වැඩිලා  තිබිය යුතුයි. එකක් විතරක් තිබිලා හරියන්නේ නෑ.  යමෙකු බුද්ධියෙන් විතරක් ඉහළ නම් එයා තාමත් ධර්ම  මාර්ගයෙන් පිට තමයි ඉන්නේ. බුද්ධ නොමැතිව ධම්ම විතරක් දකිනවා නම්, එයා ධර්මයට අහුවෙනවා. බුද්ධ හා ධම්ම නිවැරදිව වැඩීමෙන් තමයි සංඝ වෙන්නේ. මෙම බුද්ධ, ධම්ම, සංඝ සෑම විටම එක සමානව වැඩෙන්න ඕනා. 

 

තවත් ගැඹුරට ගිය විට ධර්මය කියන්නේ භාෂාවක් ඔස්සේ ගොඩ නැගෙන එකක් නොවන බව ඔබ අත්දකින්න පටන් ගන්නවා. මුලදී භාෂාව ඔස්සේ ගොඩ නැගෙන අවධියක් තිබෙනවා. එය එක  අදියරක්  විතරයි. එතනදි වෙන්නේ තේරුම් ගැනීමක් පමණයි. එතනින් එහාට ඔබේ අභ්‍යන්තරයට යා යුතුයි. නැත්නම් ඔබ වතුරට බැහැලා සිටියාට, ඔබ එකම තැනක තමයි පිහිනමින් සිටින්නේ. 

 

Buddha Bodhi ලෝක

ධර්මය, ධර්මතා සහ න්‍යාය

ධර්මය කියන එක සැලකුවාම ඒ තුළ ස්වභාවයන්, ලක්ෂණ, තොරතුරු, ක...
Buddha Bodhi ලෝක

පෘතුවිය, සක්වල හා ආත්මය

*පෘතුවිය ගෝලයක්ද?   අධ්‍යාත්...
Buddha Bodhi ලෝක

ලෝකෝත්පත්තිය

බුද්ධ ඥාන තුල ඇති එක්තරා හැකියාවක් තමයි සෛලයක...
Buddha Bodhi සත්ව

ආලෝකයේ මෝහ අඳුර

බුද්ධ ගේ දර්ශනයට ආලෝකයක් ලෙස දිස්වන බල ක්ෂේත්‍රයක් සූ...

අධ්‍යාත්මය මනසින් දැකිය නොහැක.

ඔබේ ආවේණික ධර්ම මාර්ගය අවංකත්වය හෝ ඥාන දර්ශනය තුලින් සොයාගන්න....