අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
චිත්ත
ප්‍රශ්න වලට ධර්මානුකූල ප්‍රවේශයක්
2024-08-08
ලෞකිකව හෝ සාසනිකව හෝ අපට ප්‍රශ්නයක් ආ විට අපි එය එකපාරම විසඳන්නට උත්සාහ කරන්නයි පුරුදු වෙලා ඉන්නේ. නමුත් බුද්ධ දර්ශනය තුළ ඒ සඳහා තරමක් වෙනස් ප්‍රවේශයන් දැක්වෙනවා; ඒ එක් ප්‍රවේශයක් තමයි අතහැරීම. නමුත් මෙය අද බොහෝ සෙයින් වරදවා වටහාගත් ඍණාත්මක සංකල්පයක් බවට පත් වෙලා තිබෙනවා. මේ ප්‍රවේශයේ දී ප්‍රශ්නයක් ආ විට මුලින්ම ඒ සිද්ධියත් එහි කාරණයත් අතහරින්න ඕනා. ඒ කියන්නේ ප්‍රශ්නය නොසලකා හරිනවා කියන එක (neglect) නොවෙයි. එතන තමයි වරදින් තැන (misleading point). ඒ විදියට යම් මධ්‍යස්ථ දුරස්ථභාවයක් ප්‍රශ්නය සමඟ ඇති කරගැනීම තුළ ඒ ප්‍රශ්නය අපෙන් තරමක් ඈතට යනවා. ප්‍රශ්නයේ වපසරිය වඩා හොඳින් අපිට පෙනෙන්නට පටන් ගන්නවා. අපිට ප්‍රශ්නයට සාපේක්ෂව යම් මැදක් නිර්මාණය වෙනවා. ප්‍රශ්නයට උත්තරයක් හොයනවාමයි කියලා ප්‍රවේශ වෙනවා නම් ඒක මුලාවක්. මොකද අපිට තියෙන ප්‍රශ්න එක්ක ඒ හැම එකටම පිළිතුරු හොයනවා කියන්නේ කවදාවත් ප්‍රශ්නවත් පිළිතුරු සෙවිල්ලවත් ඉවරයක් වෙන්නේ නෑ.
හැබැයි ඔබ පුරුදු වෙලා ඉන්න ගතානුගතික ප්‍රවේශය අත්හැරියොත් ඒ අත හැරීම තුළ ඔබට ජීවිතයේ නව පිටුවක් විවෘත වෙනවා. ඒකේ න්‍යායත්මක කාරණය තමයි, ප්‍රශ්නය අත හැරීම තුළ ඒ කෙනාගේ සිත (පටිච්චසමුප්පාදය, මනස හා කර්මය) හැසිරෙන වපසරිය තමයි එතකොට අතහැරෙන්නේ. එක් එක් අයගේ මනසේ ප්‍රජානන හැකියාවන් (Cognitive Abilities) විවිධ මට්ටමින් ගොඩනැඟිලා තියෙන්න පුළුවන්. ඕනෑම කෙනෙක් තුළ දියුණු ප්‍රජානන හැකියාවන් හා ප්‍රජානනයේ දුර්වලතා තිබෙන්නට පුළුවන්. මනස තමන්ට පුරුදු රාමු තුළින්ම ප්‍රශ්නය දැකලා විසඳුමක් හොයාගන්න හදන්නේ ඒ මානසික ක්‍රියාවලියට (Cognitive Process) වැයවන ශක්තිය අඩුකරගන්න. නමුත් ඒ තුළ ලෙහෙසියෙන් විසඳුමක් ලැබිය හැකි සේම වඩා නිවැරදි හා සුදුසු විසඳුම මගහැරී යන්නත් පුළුවන් ( Cognitive Errors and Cognitive Distortions) බව අප කල්පනාකාරී විය යුතු කරුණක්. ඒ නිසා මේ කියන අතහැරීම තුළ එයාට නව දිශාවන් පෙනෙන්න පටන් ගන්නවා. "අලුත් දූපත්, රටවල් හම්බුනේ ආපු දරුණු කුණාටු නිසා නැව් ඒ දුපත් රටවල් පැත්තට හැරුණු නිසයි." ධර්ම මාර්ගයේ යන අපි පුරුදු වෙන්න ඕනා මේ අත්හැරීමේ කලාව නිවැරදිව හඳුනාගෙන සිදුකරන්න. එතකොට අත හැරීම කලාවක් ලෙස ප්‍රගුණ වෙනවා. අත හැරීම බුද්ධ චරිතය තුළත් පවතින දෙයක්. අත හැරීම කියන්නේ ගැඹුරු කාරණයක්. එහිදී සිදුවන්නේ කර්මය අතහැරීමයි. විපාකය අතහැරීමයි. පටිච්චසමුප්පාදය අතහැරීමයි. මනසේ රාමු අතහැරීමයි. සංසාර පුරදු අතහැරීමයි. අතහැරීම කියන එක තමන්ගේ ජීවිතයේ කලාවක් බවට පත් කරගන්න ඕනා. බොහෝ ප්‍රශ්න වලට විසඳුමක් කෙළවරක් අතහැරීම තුළ අපට ළඟාවෙනවා.
ධාර්මික ජීවිතයකට අවවාද:
01. ඔබ ඔබව විශ්වාස කරන්න.
නිවන් මාර්ගය ධර්ම මාර්ගය කියා තමන් යන මාර්ගය කුමක්ද එය හරිද ආදී වශයෙන් ඕනවට වැඩිය හිතන්න යන්න එපා. ඒවා හරිද කියා පරික්ෂා කරනවා කියන්නේම ඒ තුළින් තමන්ට ලැබෙන මාර්ගය පිළිබඳ ලැබෙන නිගමනය අනිවාර්යෙන්ම වැරදියි. මොකද ඒවා සාපේක්ෂ කාරණා වන නිසා. හැබැයි සැබෑ ධර්ම මාර්ගය කියන්නේ සාපේක්ෂ කාරණයක් නොවෙයි. අපි මෙහෙම හිතමු. ඔබ එක පාරක යනවා; ඒ පාර ඔබට වැරදුනා කියලා තේරෙනවා; ඒක වැරදුනා කියලා තේරුම් ගත්තේ ඔබේ හිතේ වැරදුනා කියලා තිබුණු කාරණාවකට සාපේකෂවයි. ඔබේ මනසේ තිබුණු කාරණා වලට සාපේක්ෂව හැරුණුකොට, යන පාර වැරදියි කියන්න ඔබට වෙනත් කාරණා නැහැ. වැරදියි කියලා හිතුණේ කොහොමද කියලා බැලුවොත් එතන තමයි වැරැද්ද තියෙන්නේ. ඒ පාරේ තියන දුෂ්කරත්වය, ඒකේ තියන කටුකත්වය ඔබට හරියන්නේ නෑ කියලා කියන කාරණා තමයි යන පාර වැරදියි කියලා කියන්න යොදා ගත් කාරණා. එතකොට මේ ධර්ම මාර්ගයේ හා සත්‍ය මාර්ගයේ ගමන් කරද්දී හරිද කියලා පරික්ෂා කරන්න වෙහෙස වෙන්න එපා.
කොහොමද මම යන මාර්ගය හරිද කියලා දැකගන්නේ?
අපි යන හැම මාර්ගයක්ම මාර්ග තමයි. වැරදි මාර්ග නෑ. හැබැයි තමන් හරිද වැරදිද කියලා බලන එක තුළ තමයි වැරැද්ද හට ගන්නේ. ඒ විදියට බලන්නේ හරියි කියලා හෝ වැරදියි කියලා හෝ හදාගත්ත කෝණයකින්. එතකොට ඔබ යන සෑම මාර්ගයක්ම නිවැරදියි. ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? පළමුව ඔබට ඔබ කෙරෙහි විශ්වාසය තිබිය යුතුයි. එම විශ්වාසය මොකක් මතවත් පදනම් නොවිය යුතුයි. ඒක විශ්වාසය කියන එකට පදනම් වෙලත් නෑ අවිශ්වාසය කියන එකට පදනම් වෙලාත් නෑ. ඔබ යන මාර්ගය තුළ ඔබට වරදින සෑම තැනක්ම ඔබට අලුත් අත්දැකීමක්. ඔබට හරිගිය සෑම තැනක්ම ඔබට අලුත් අත්දැකීමක්. ඒ මගින් ඔබ ගත්ත අත්දැකීම් තුළ ඔබට ගන්න දෙයක් තියෙනවා. ඔය සමස්ත දේ තුළ තමයි කෙනෙක් පෝෂණය වෙන්නේ. මේ හැම දේ තුළම තමන්ට හදාගන්න කාරණයක් තියෙනවා. ඒ තමන්ට හැදෙන්න තියෙන කාරණය නොපෙනේ නම් එතන තමයි ගැටළුව තියෙන්නේ. බාහිර සිදුවීමේ නොවෙයි. කෙනෙක් හිතනවා කකුල් දෙකෙනුයි අත් දෙකෙනුයි ගියාම නිවන් දකින්න පුළුවන් කියලා. ඒ විශ්වාසය තුළ අවංකව කටයුතු කලොත් එයාට හදාගන්න ඕන කාරණා අවබෝධ වෙලා නිවන් දකින මාර්ගය කලින්ට වඩා පැහැදිලි වෙනවා. ඒ තුළ එයා අත්දැකීම් ලබනවා. දෙපයින් තැනින් තැනට යමින් ගවේෂණය කරන එක තව කෙනෙක්ගේ මාර්ගය වෙන්න පුළුවන්. එකනේ බුදුහාමුදුරුවෝ කිව්වේ එක තැනක වාසය කරන්න එපා කියලා. ඒ අත්දැකීම් ගන්න ඕනා නිසයි. එක තැන සිටින කෙනාට අත්දැකීම් අඩුයි. හැබැයි ඒකෙන් කියවෙන්නේ දිගටම ඇවිද ඇවිද ඉන්න කියන එකත් නොවෙයි.
තමන් විශ්වාස කරන දේ අවංකව කිරීම තුළින් අතහැරීම පටන් ගැනෙනවා. අතහැරෙන කොට නිදහස් වීම සිදුවෙනවා.
02. අන් අයට අවංක කල්‍යාණ මිත්‍රයෙක් වන්න.
අපට ධර්ම මාර්ගයේ යනකොට කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ඕනා. තනිව යන්න බෑ. නමුත් කල්‍යාණ මිත්‍රත්වය සොයා යනවට වඩා සිදු කල යුත්තේ තමන් අන් අයට කල්‍යාණ මිතුරෙකු වීමට උත්සාහ කිරීමයි. එහෙම වෙන්න නම් ඔබ තුළ අවංකත්වය තිබිය යුතුයි. ඔබට අන් අයට අවංකවම කල්‍යාණ මිත්‍රත්වය ලබා දෙන්න සැකැස්ම ඔබ තුළ ගොඩනගාගත යුතුයි.
කල්‍යාණ මිත්‍රත්වය තමන්ගේ වාසියට පවත්වන දෙයක් නොවෙයි. මාධ්‍ය ගොඩනගාගන්න පාවිච්චි කරන දේකුත් නොවෙයි. තමා අන් අයට කල්‍යාණ මිත්‍රයෙක් වෙනවා මිස තමන්ට කල්‍යාණ මිත්‍රයන් සොයමින් යන්න එපා.
03. අල්පේච්ඡතාවය / සරල භාවය පවත්වා ගන්න.
තමන් තනිව වාසය කර කෙනෙක් බවට පත්විය යුතුය. තමන් තනිව සිටින තාක් කල් තමන් අල්පේච්චතාවය සරල බව මත පිහිටනවා. ඔය දේ නොමැතිකම නිසාම තමයි මේ තරම් සමාජය සංකීර්ණ වෙලා තියෙන්නේ. තමන් පමණක් තනිව ජීවත් වන අවස්ථාවේ දී තම බඩගින්නට යමක් තිබුණොත් ඇති කියලා හිතෙන තරමට සරල වෙන්න ඕනා. හැමෝම තනිව තමයි ඉන්නේ, මුලාව සහ සංකීර්ණත්වය නිසා තමයි තනියම ඉන්න බැරි මානසිකත්වයක් හදාගෙන ඉන්නේ. මුලාවේ සංකීර්ණත්වය. හැමෝම ආවෙත් තනියම, ඉන්නේත් තනියම, යන්නේත් තනියම. හැමෝම තනියෙන් ඉන්න පුරුදු විය යුතුයි. ඒක තමයි සරල භාවය කියන්නේ. තනිව වාසය කරනකොට ඔහු හෝ ඇය තනි ශක්තිවන්තයෙක් බවට පත්වෙනවා. හරියට සූර්යයා වගේ තනි ශක්තිමත් කෙනෙක් වෙනවා. තනිව වාසය කරන කෙනාට ඇති වෙන්න දේකුත් නෑ; නැති වෙන්න දේකුත් නෑ. තනිව සිටීම තුළ ආධ්‍යාත්මික මාර්ගයේ යන කෙනෙකුට ඇතිවිය හැකි අවදානම පහව යනවා. ඒ වගේම බය නැති කෙනෙක් බවට පත්වෙනවා. මොනවා හරි දෙයක් කරන්න පටන් ගත්තම හෝ ඒකට අදහසක් එනකොටම බය ඇතිවෙන්නේ නැති වෙන්න දේවල් තියෙන අයට. එහෙම අය ජීවත් වෙන්නේ බයත් නෑ; මැරෙන්න බයත් නෑ. ධර්ම මාර්ගයේ යන්නේ නම් එහෙම බයක් නැති කෙනෙක් (Nothing to Lose) වෙන්න ඕනා. ඒකයි ධර්ම මාර්ගයේ දී සරල වෙන්න කියන්නේ.
04. නඩත්තු නොකරන්නෙක් බවට පත්වන්න.
අපි සාමාන්‍යයෙන් කය නඩත්තු කරනවා; ඉන්න තැන් නඩත්තු කරනවා; පිරිස නඩත්තු කරනවා. ඒ වගේ එක එක දේවල් නඩත්තු කරනවා. ඒ වගේ කිසිවක් නඩත්තු නොකරන්නෙක් විය යුතුයි. නඩත්තු කිරීමක් නොකරන්නේ ඔහු ස්වභාවය අවබෝධ කරගෙන ඉන්න නිසා. උදාහරණයක් විදියට මිදුල අතුගාන එක ගනිමු. ස්වභාවය අවබෝධ කර නොගත් කෙනාට අනිවාර්යෙන්ම මිදුල අතුගෑම අත්‍යාවශ්‍ය කාරණයක් වෙනවා. ඒවා කරන්න ඕනා දේවල් තමයි. පිරිසිදුව ඉන්න, පිරිසිදුව තියාගන්න ඕනා තමයි. නමුත් සමහර අය මේ නඩත්තුවට අහුවෙනවා. (Workaholic) ඉස්පාසුවක් නැතුව ඒකම ජීවිතය බවට පත් වෙනවා. ස්වභාවය අවබෝධ කර ගත් කෙනා මැදුම් පිළිවෙත අනුගමනය කරන නිසා අවබෝධය මත කටයුතු කරනවා. එම නිසා ධර්ම මාර්ගයේ කටයුතු කරන කෙනා නඩත්තුවට හසු වූවකු නොවිය යුතුය. ඒක නඩත්තුවේ සීමාව අවබෝධයෙන් දැන මැදුම් පිළිවෙත තුළින් ආ යුතු තැනක්.
05. ඉවසන කෙනෙක් නොවන්න.
ඉවසනවා කියන එක අමාරු වැඩක්. ඉවසනවා කියන එකම වැරදියි. ඉවසන්න එපා කියන්නේ තරහ ගන්න කියන එක නෙමෙයි. ඉවසනවා කියන්නේම, ඊට එහා පැත්තේ ප්‍රතික්‍රියාවක් තියෙන නිසානේ. ඒ ප්‍රතික්‍රියාවට සාපේක්ෂව ඉවසනවා. ඒකයි එහෙම ඉවසන්නෙක් නොවිය යුතුයි කියන්නේ. ඒ කියන්නේ හිතුනු ගමන් ඕන දෙයක් කරනවා කියන එකවත් තරහ ගිය ගමන් බණිනවා කියන එකවත් නොවෙයි. මේක ඉතා ගැඹුරු කාරණයක්. දැන් කෙනෙක් බනිනවා. ඒ ක්‍රියාව භාරගෙන ප්‍රතික්‍රියාවක් සිදු වුණොත් තමයි මට බනින්න හිතෙන්නේ. ඒ ප්‍රතිරෝධයට සාපේක්ෂව තමයි මට ඉවසන්න වෙන්නේ. ඉවසන්නෙක් නොවිය යුතුයි කියන්නේ, එයා ඒ සිදුවීම තුළ නෑ කියන එකයි. ඉවසනවා කියන්නේ ප්‍රතික්‍රියාවක ඵලයක් (Entangled). ඒ කියන්නේ බාහිර ඇති වෙන දේට ප්‍රතික්‍රියාවක් දක්වන්නෙක් බවට දැනටමත් පත්වෙලා. ඒ නිසයි ඉවසන්නෙක් බවට පත්වන්නට සිදුවන්නේ. ඉවසන්න සිදු වුනා නම් තමා වැරදිබව අවබෝධ කර ගන්න ඕනා. මොකද එතන ඉවසන්න ඕන කාරණයක් නිර්මාණය වෙලා. එතකොට තමන්ට ඉවසන්න සිදුවුනේ ඇයි කියලා විමසනවා මිසක්, ඉවසපු විදිය දිහා බලන්න යන්න හොඳ නෑ.
06. මෛත්‍රිය ධර්මතාවය දැන කටයුතු කරන්න
මෛත්‍රීයේදී අහලා තියෙනවානේ අපි සත්වයාට මෛත්‍රී සහගත වෙනවා කියලා. මම කියලා පුද්ගලයකුත් නිර්මාණය කරගෙන එළියෙත් සත්වයෙක් පුද්ගලයෙක් නිර්මාණය කරගෙන නිවන් දකිත්වා කියන එක මෛත්‍රීය නොවේ. මෛත්‍රිය කියන්නේ ධර්මතාවයක්. සෑම ක්‍රියාවකටම සමාන වූත් ප්‍රතිවිරුද්ධ වූත් ප්‍රතික්‍රියාවක් දෙපැත්තටම සිදුවෙනවා. ඒ කියන්නේ ඔබ බාහිරයට දෙන දේ තමයි ඔබට ලැබෙන්නේ. මෛත්‍රි කියන්නේ ඔය ධර්මතාවය. මම කෙනෙකුට බණිනවා නම් මටත් බැණුම් අහන්න සිද්ධ වෙනවා, මම කෙනෙකුට ප්‍රශංසා කරනවා නම් මට ප්‍රශංසා ලැබෙනවා. ගෞරවය දෙනවා නම් ගෞරවය ද ආදරය දෙනවා නම් ආදරය ද සත්‍ය දෙනවා නම් සත්‍ය ද අවංකත්වය දෙනවා නම් අවංකත්වය ද ආදී සමාන ප්‍රතික්‍රියාවක් ඔබට ද ලැබෙනවා. දෙන දේම තමයි ලැබෙන්නේ. මේක තමයි මෛත්‍රිය තුළ අන්තර්ගත වන ධර්මතාවය.
07. බැඳීම් කළමනාකරණය කරන්න.
මේ ලෝකෙට බිහි වුණාම ඇතිවන පළමු බැඳීම තමයි අම්මා තාත්තා සමඟ ඇතිවෙන බැඳීම. ඉන්පසු නානප්‍රකාර බැඳීම් වලට අපිට ඇතිවෙනවා. එතකොට අපි බැඳීම් වලට මොකද කරන්නේ? බැඳීම් කඩන්නත් බෑනේ. එහෙම කරොත් අපි අමානුෂික හෝ තිරිසන් බවට පත්වෙනවා. බැඳීම් වලට ගරු කිරීමෙන් තමයි ගෞරවය උපදින්නේ. තිරිසන් ලෝකයේ සමහර සතුන් පැටව්න් ලැබුණු ගමන් අම්මා පැටවුන්ව කනවා. ඒවගේම පැටියා ලොකු වෙලා අර මව් හෝ පිය සතාට පහර දෙනවා නම් ඒකනේ අපි ඒකට තිරිසන් ලෝකේ කියන්නේ. දහමින් දියුණු වෙනවා කියන්නේ අපි තිරිසන් ලෝකෙට අයිති වෙනවා කියන එක නොවෙයි. අම්මා තාත්තට කතා කරන්නේ නැතුව බලන්න යන්නේ නැතුව ඉන්න එක බැදීම් වලට මොනවා වුණත් මට කමක් නෑ මගේ ගුරුවරුන්ට මොනා වුණත් එකයි වගේ යන මනුෂ්‍ය ගුණධර්ම වලට ප්‍රතිවිරුද්ධව යන්න අපිට අයිතියක් නෑ. ඒනිසා අපි බැඳීම් කළමනාකරණය කළ යුතුයි. සමාජ සම්බන්ධතා කළමණාකරණය කළ යුතුයි. ඒක තමයි තිරිසනා සහ මනුස්සයා අතර පවතින වෙනස. එහිදී අපි බැඳීම් වලට අසු නොවී බැඳීම් කළමනාකරණය කළ යුතුයි. බුදු හාමුදුරුවෝ වුණත් යසෝදරා දේවිය ගාවට ගියා. සුද්ධෝදන රජතුමා මුණ ගැහෙන්න ගියා. නෑදෑයෝ ගුරුවරුන් ළඟට ගියා. රාහුලට දායාදය දුන්නා. බැඳීම් කළමනාකරණය කියන්නේ කලාවක්. එවාට අසු නොවී ඒවා මනාව කළමනාකරණය කරන්නයි ඕනා.
08. බොරුවක ජීවත්වන බව දැනගෙන ජීවත්වන්න.
මේ සියළු දේම බොරුවක් බව දැනගෙන ඒ බව හිතට කියා දීලා ජීවත් විය යුතුයි. කවදාවත් බොරුව සත්‍යක් විදිහට දකින්න යන්න එපා. අන්තිමට දහම කියන්නෙත් බොරුවක් තමයි. සාපේක්ෂව ගොඩනැගුන දෙයක්. බොරුවක් බව දැනගෙන ජීවත්වීම තමයි ඔබ සත්‍යවාදී වෙනවා කියන්නේ. මොකද ඇත්ත කියලා දෙයක් නැති නිසා.
ධර්මය, ධර්මතා සහ න්‍යාය
2024-08-10