අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
සත්ව
සත්වත්වය සහ සත්වයා
2024-08-08
සත්වත්වය කියන්නෙ සොබා දහමේ තියෙන ධර්මතාවයක්. සොබාදහමට අනුගත බව තමයි සත්වත්වය කියලා අදහස් කරන්නේ. තව විදිහකින් කිව්වොත් සොබාදහමේ පවතින කාලගුණය, දේශගුණය, වෙනස්වීම, ආහාර, පැවැත්ම ආදී සොබාදහමේ ධර්මතාවයන්ට අනුගතය. මේ අනුගතය කියන එක සත්වයෙක් තුළ හැදෙන එකට තමයි සත්වයත්වය කියන්නේ. සත්වත්වය කියන කාරණය නිර්මාණය වන්නේ පදාර්ථ ගුණයෙන් යුක්ත ජීවිත්වයක් මත.
මෙතැනදී කතාකරන සන්දර්භය තව දුරටත් පැහැදිලි කරනවා නම්, සත්වත්වය කියන එක පදාර්ථ ගණය තුළ පිහිටන විදිය බුද්ධ ඥානය විසින් දකින විදියයි කතාකරන්නේ. කය තුළ හටගන්න සත්ව ගති කියන මූලය ඔස්සේ තමයි මෙතැනදී කතා කරන්නේ. මෙහිදී චිත්ත විෂයයට අදාළ කාරණා පැත්තකින් තියලා, පදාර්ථ කය තුළ තියෙන සත්ව මූල ස්වභාවය ගැන තමයි පැහැදිලි කරන්නේ. ජීවිත්වය හෝ ජීවියා කියන කාරණය මතුවන්නේ, විඥානයකින් තවත් විඥානයක් හට ගැනීම තුළින්. ඒ කාරණා සත්වත්වය කියන සන්දර්භය තුල විමසන්නේ නෑ.
සත්වත්වයේ මුලටම ගිහින් බැලුවම පඨවිය තමයි මූල ධාතුව විදියට තියෙන්නේ. පඨවිය ගත්තොත් වාතය කියන එකෙත් පඨවිය තියෙනවා, ගින්දරෙත් පඨවිය තියෙනවා, ජලයේත් පඨවිය තියෙනවා. පඨවිය කියන එක ධර්මතාවයක්. පඨවිය කියන කාරණය තේරුම් ගන්නවා කියන එක අතිශය සංකීර්ණ කාරණයක්. ඒක ඥානයෙන් තේරුම් ගන්න ඕන දෙයක්.
පඨවිය තිබුණට විතරක් සත්වත්වයක් නිර්මාණය වන්නේ නෑ. සත්වයෙක් බිහිවන විට පඨවියට එකතු වෙනවා. ප්‍රාණය කියලා හඳුන්වන යම් ශක්තියක්. ඒක පඨවි ධාතුව හැසිරවිය හැකි ශක්ති ප්‍රභවයක්. පඨවිය තුළට ජීවිත්වය ගොඩනගන මේ ධර්මතාවය එකතු වුණාම තමයි සත්වත්වය කියන එක හටගන්නේ. පඨවිය තමයි සත්වත්වයට පරිවර්තනය වන්නේ. සත්වයත්වයට පරිවර්තනය වීමට පඨවිය තමා මූලිකත්වය ගන්නේ.
එතකොට මේකට සත්වත්වය කියන්නේ ඇයි? පඨවිය හැසිරවීමේ වෙනම ශක්ති ප්‍රභවයක් මේ තුළ අන්තර්ගත වීම නිසයි. මේක වර්ධනය වීම තුළ පඨවියකට තනිව ඉන්න බෑ. පඨවිය මූලික කරගෙන ආපෝ, තේජෝ, වායෝ යන අනික් ධර්මතාත් ක්‍රියාත්මක වන්නට පටන් ගන්නවා. සත්වත්වය හටගන්නේ ඒ විදියට.
සත්වයාගේ මූල ධාතුව සතර මහා ධාතුවයි. සත්වත්වය කියන එකේ මූලය වන්නේ ප්‍රාණය. පුටුවට සත්වත්වයක් තියෙනවා කියලා කියන්නේ නෑ. මැරුණට පස්සේ සත්වත්වයක් ගැන කියන්නෙත් නෑ.
මහා ධාතුව හෙවත් ඝනය කියලා හඳුන්වන ස්වභාවයක්ද තිබෙනවා. විවිධ සත්වයන්ගේ මේ ධාතුවේ ඝන ස්වභාවයන් වෙනස්. අපේ පියවි ඇසට පෙනෙන බාහිර රූපය මනුෂ්‍ය වුවත්, ධාතුවේ ඝන ස්වභාවය මනුෂ්‍ය, දේව, යක්ෂ, තිරිසන්, බ්‍රහ්ම, බ්‍රම්ම, නිඝන්ඨ, භූත, කුම්භාණ්ඩ, කේෂ්වර, ගේෂ්වර, ලෝකේශ්වර, බමුණු, ඊශ්වර, නීශ්වර, ගග්ගණ්නා, මුනි, මාතෘ, දීශ්වර, අන්තර්භවිකග රහත්, චක්‍රවර්ති, මෝහස්ස, ආනන්තරිය… ආදී විශාල පරාසයක පවතිනවා. මනුෂ්‍ය ඝනයේද මනුෂ්‍ය දේව, මනුෂ්‍ය ඥාන, මනුෂ්‍ය මෝහ, මනුෂ්‍ය අධර්ම, මනුෂ්‍ය තිරිසන්, මනුෂ්‍ය රහත්, මනුෂ්‍ය දේව නපුංසක ලිංග…ආදී වශයෙන් විවිධාකාර වන්නට පුළුවන්.
පඨවියේ පවතින මූල ස්වභාවයක් තමයි මහධාතුව විදියට හැඳින්වූවේ. පඨවිය තුළ තිබෙනවා සතරමහා ධාතූන්ගේ ධර්මතා හතර. ඒ සතර මහා ධාතූන් යම් කිසි විදියකට කේන්ද්‍ර ගත වෙලා, යම් යම් විදි වලට ප්‍රමුඛ වෙලා පිහිටීමෙන් හටගත් මූල ගති ආකාරය තමයි මේ ධාතුවේ ඝන ස්වභාවය ලෙස හඳුන්වන්නේ. එතනින් පස්සෙත් තව තව ගති හට ගන්නවා.
ඔබට ඔබේ සත්වත්වය කොතනද තියෙන්නේ කියලා කල්පනා කරන්න පුළුවන් ද? මේ මොහොතේ තමන්ගේ සත්වත්වය කොතනද තියෙන්නේ කියලා බලන්න. සමහරවිට ඔබට සිතේවි එය අරමුණකට සාපේක්ෂව පහළ වෙන දෙයක් කියලා. එහෙම හටගන්නේ සංස්කාරයන්. මෙතනදි විස්තර කරන ධර්මතාවය එහෙම එකක් නොවෙයි. සාමාන්‍ය ඔබ දන්නා සත්ව පුද්ගලභාවය ඔබේ මනසේ මතයක් විදියට තියෙන දෙයක්. සත්ව පුද්ගල භාවය තියෙනවා කිව්වත්, නෑ කිව්වත් ඒ දෙකම මනසේ ගොඩනැගෙන දෙයක්. මේ කතාකරන සත්වත්වය පිළිබඳ ධර්මතාවය මනසේ තියෙන සත්ව පුද්ගලභාවය පිලිබඳ මතයද නොවෙයි. මෙතනදි පැහැදිලි කරන්න උත්සාහ දරන්නේ බුද්ධ ඥානයට ගෝචර වන සත්වත්වයේ මූල ස්වභාවයන් ගැනයි.
සත්වයෙක්ගේ මුල ප්‍රාණයක් තිබෙනවා. ප්‍රාණයක් නැත්නම් සත්වයෙක් නෑ. සත්වත්වය කියන එක පවතින්නේ ප්‍රාණය මත. සත්වත්වය කියන එකේ මූලය වන්නේ ප්‍රාණය. ප්‍රාණය කියන්නේ ජීවභාවයක් කියලා හඳුන්වන්න පුළුවන්. ඒ ප්‍රාණ ශක්තිය හරහා පඨවිය හැසිරවීමත්, අනෙක් ධර්මතා අනුකූලව ගොඩනැගීමත් හරහා වෙනම ඒකකයක් ලෙස ක්‍රියාත්මක වන්නට පටන් ගන්නවා. මේ ක්‍රියාකාරීත්වය තුළ තමන් නොවන දෙයක් තමන් ලෙස හඳුනාගන්නා නිසා තමයි මම නමැති සංකල්පය සහ ඒ තුළ ආත්මීය ස්වභාවය ගොඩනැගිලා මමත්වය ඇති වන්නේ. ඒක වෙනම පැතිකඩක්. සත්වත්වයේ මූල ස්වභාවය සලකනවිට, සත්වයා ස්වභාදහමට අනුගත වීම සිදුවන්නේ ප්‍රාණය මුල් වෙලා සිදු වන මේ ක්‍රියාකාරීත්වය හරහායි.
දැන් අපි සත්වයා යනු කුමක්ද කියලා විග්‍රහ කරගන්න බලමු. සත්වයා කියන අවස්ථාව බිහිවන්නේ මුල්ම විඥානය ඇතිවීම කියන තැනින්. විඥානයකින් තවත් විඥානයක් හටගන්න ස්වභාවය ජීවීත්වය ලෙස හඳුන්වන්න පුළුවන්. ජීවිත්වයක් මෙතනදි හට ගත්තට, ඒ මුල්ම ජීවීත්වය හටගන්න තැන ඕපපාතික ස්වභාවයක් තිබෙනවා. මේක මොකක්ද කියන එක විග්‍රහ කරන්න බෑ. හැබැයි මේක තුළ ඉන්නකොට සතර මහා ධාතූන්ගේ ධර්මතා හැසිරීම සහ ජීවිත්වය කියන කාරණා එකට පැටලුණාට පස්සේ මේ තුළ සතර මහා ධාතුන්ගේ වෙනස් වීමට සාපේක්ෂව කර්මය හා විඥානය කියන එක හටගන්න පටන් ගන්නවා.
චිත්තයක් මුලින්ම හටගන්න කොට මුල්ම ජීවියා කියලා ගන්නවා. ඒක චිත්තයේ මුල්ම ජීවිත්වය. එහෙමත් නැත්නම් චිත්ත විෂයයේ මුල්ම ස්වභාවය. බුද්ධ විෂයය, කම්ම විෂයය, සත්ත්ව විෂයය, ලෝක විෂයය, චිත්ත විෂයය කියලා විෂයය පථ තියෙනවා. මේ කතා කරන්නේ සත්ව විෂයය යටතේ. සත්ත්ව විෂයත් එක්ක මෙතන සිදුවන හැසිරීම තුළ විඥානය සහ කර්මය ගොඩනැගෙන්න පටන් ගන්නවා. මේක තුළ භ්‍රමණය වෙලා මේ සතර මහා ධාතූන්ගේ අසමතුලිතතාවය මත සත්වත්වය කියන එක පෝෂණය වෙන්න පටන් ගන්නවා. දැන් මේ සත්වයත්වය තුළ හටගන්න සතර මහා ධාතූන් තුළ ජීවිත්වය, කර්ම, විඥාන තිබෙනවා. මෙසේ ක්‍රියාත්මක වෙමින් යද්දි, මේ සත්වත්වයම තමයි තිරිසන්, ප්‍රේත, යක්ෂ, කුම්භාණ්ඩ, මනුෂ්‍ය, දිව්‍ය බවට පත්වන්නේ. ඒ වගේම බ්‍රහ්ම ,බෝසත්, බුදු වෙන්නෙත් ඒකම තමයි. මේ සත්වත්වයම එක එක අවස්ථාවන්ට පත්වෙනවා. මේ සත්වත්වයම තමයි බුදුවෙන්නේ. බුදු වෙන එක තුළ සත්ව කියන සතර මහා ධාතුව සහ කර්ම විඥාන කියන දේ මේ බුද්ධත්වය දරාගෙන ඉන්නවා. රහතන් වහන්සේ කෙනෙක් ගත්තොත්, ඒත් බොහෝ විට සත්වත්වය තිබෙනවා. සත්වත්වය තුළ උන්වහන්සේගේ බෝධිය හා පාරමී රඳා පැවතිලා තිබෙනවා. රහතන් වහන්සේ කෙනෙකුත් සත්වයෙක් විදිහට වාසය කරනවා. ඉන්පසු බෝධිය තුළ පිරිනිවන්පාලා සත්වත්වය එතනදි අතුරුදන් වෙලා යනවා. පැවතුනා වූ කර්ම, හේතුඵල කියන කාරණා ටික අහෝසි වෙලා යනවා.
ලෝකය තේරුම් අරගෙන ශුන්‍යත්වය දැකලා මිදුණාට පස්සේ තියෙන්නේ සත්වත්වයෙන් මිදෙන්න. එතනදි සත්වත්වය නැති කරන්නත් පුළුවන්, ධර්ම අවබෝධයන් වැනි කාරණා තව දුරටත් සත්වත්වය තිබියදී ගොඩනැගෙන්නත් පුළුවන්. යමෙක් විදර්ශනාව, යථාභූත ඤාණය හරහා ධර්මය අවබෝධ කරගෙන ස්වයංභූ ඥානය අවදි කරගත්තොත් බුද්ධ වෙනවා. මෙතැනදී කවුරු හරි අවංකත්වය පාරිශුද්ධත්වය පූර්ණකරොත් اමෛත්‍රී බුදු වෙනවා. බුදු වෙලා තමයි මෛත්‍රී බුද්ධ වෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව බෑ. සත්වත්වය තුළ අවබෝධය ගොඩනැගිලා බුදු වුණාට පිරිනිවන් පාන්න බෑ. සත්ත්වය තුළ අවබෝධය ඝන වෙලා, පඨවි වෙලා සුවිශේෂී ශක්තියක් විදියට බැඳිල තියෙන්නෙ. ඍද්ධිපාද වැඩූ බුදු වරයෙක් හරහා තමයි එහෙම අයගේ පරිනිර්වාණය සිදුවන්නේ. සම්මා බුදු කියන්නේ සත්වත්වයෙන් සහ බුද්ධත්වයෙන් ගැලවුණු කෙනා.
කෙනෙක්ගේ සත්වයත්වය නැතිවෙනවා කියන්නෙ, එයාගෙ සසර සැරි සැරූ සියලු සත්ව භවයන් නිරෝධ වෙනවා කියන එකයි. ඒ සමස්ත සත්වත්වයන් නැති වුණාට පස්සෙ එවැනි අයගේ ලෝකයේ සත්වත්වයක් නෑ. එහෙම සත්වත්වය නැතිවුණු කෙනෙක් යම් සත්වයෙක් දැක්කම එක්කො එයා ඒ සත්වත්වයට බහිනවා. නැත්නම් ඒ සත්ත්වයත්වය එයා තුළ පහළ කරගන්නවා. පහළ කර ගත් පසු එයාට අනුරූපව දහම කියල දෙනවා. මෙය සිත් දියුණු කල බොහෝ දෙනෙකුට කරන්න පුළුවන් දෙයක්.
සර්වඥ වීම තුල වෙන සත්වයෙක්ගේ සත්වත්වයට බැසගෙන එම සත්වත්වය බවට පත්වන අතරම, එය වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. හේතු පල බිඳීමේ හෝ හේතු පල නිර්මාණය කිරීමේ හැකියාව තිබෙනවා. ඔබ කියන කෙනා සත්ව ලෝකයක් නම්, මේ හරහා පුළුවන් ඒ සත්ව ලෝකයටම කිඳා බහින්න. කිඳා බැහැලා එයාගෙ සියලු සත්වත්වයන් අතුරුදන් කරලා දාන්න පුළුවන්. මොකද සත්වත්වය අතුරුදහන් වන න්‍යාය හැමෝටම පොදුයි. සත්වත්වය අතුරුදහන් වුනාම ඕනම සත්වයෙකුට සත්ව ලෝකයට අනුගත වෙන්න පුළුවන්. අනුගත වෙලා ඒ සත්වයන් සසරින් ගලවන්න පුළුවන්. ඒ යාන්ත්‍රණය න්‍යායාත්මකව බැලුවොත් එතැනදී සත්වත්වයක් නැත්නම් මොකක්ද තියෙන්නෙ? ඒ හැම සත්වත්වයක්ම හට ගත්ත න්‍යාය එකයි. සත්වත්වයක් හටගන්න න්‍යාය තමයි සත්වත්වය කියන්නෙ. සොබාදහමේ තියෙන ධර්මතාවයක්. සොබාදහමට අනුගත බව. සොබාදහමේ පවතිනවනෙ කාලගුණය, දේශගුණය, වෙනස්වීම, ආහාර, පැවැත්ම මේ සොබාදහමේ ධර්මතාවයට අනුගතය කියන එක සත්වයෙක් තුළ හැදෙන එක තමයි සත්වයත්වය කියන්නෙ.
සත්වත්වය නැතිවුණු කෙනෙක්ගේ සොබාදහමට අනුගත වෙලා ඒ තුල රැඳී සිටීමක් නෑ. සොබාදහමට අනුගත මූලය නෑ. නමුත් මෙයාටත් ඕන තැනකදී සොබා දහමට අනුගත වෙන්න පුළුවන්. ඒක තමයි සත්වයාට අනුගත වෙනවා කියන්නෙ. නමුත් එහෙම දෙයක් ඇත්තටම පවතින්නෙත් නෑ.
සොබා දහමේත්, සත්වයාගේත් සතර මහා ධාතු ගුණ ටික, සතර මහා ධාතු ධර්මතා ටික පිහිටලා තියෙනවා. එනිසා සත්වයා සොබා දහමත් එක්ක සම්බන්ධ (connect) වන විට හොඳින් ඒ ක්‍රමවේදය (system) සිදු වෙනවා. මේ සතර මහා ධාතුවල ධර්මතා ටික අහෝසි වෙලා ගියාට පස්සෙ එහෙම දෙයක් නෑ. ඒකට තමයි කිව්වේ සර්වඥතා ධාතුව කියලා. සර්වඥ ධාතුව කියන්නෙ ඕනම දේකට පරිවර්තනය වීමේ ගුණයක්. සර්වඥ වීම තුල සතර මහා ධාතුවේ ධර්මතාවයන් පිහිටලා නැති නිසා, සතර මහා ධාතු කියන ධර්මතාවයන්ට අනුගත වෙමින් සියලු සත්වත්වයන්ට පිහිටන්න හැකියාව ලැබෙනවා. බුදු කෙනෙක් සතර මහා ධාතුවට අනුගත වුණාම සියලු සත්වයන්ට අනුගත වුණා හා සමානයි. සර්වඥ වීම තුල තියෙනවා ඕනම ධාතු ස්වභාවයක තියෙන සංයුතිය වෙනස් කිරීමේ හැකියාව. ඕනම කර්මයක්, ධර්මයක් හෝ න්‍යායක් වෙනස් කිරීමේ හැකියාව. සර්වඥ තුල තියෙන විශේෂත්වය තමයි වෙනස් කිරීමේ හැකියාව.
යම්කිසි කෙනෙකුට යම් ඥානයක් ඇති බව දැනුණු විට, සර්වඥතා ඥානයෙන් එම ඥානය මතුවන විදියට කරුණු කාරණා මතු කරමින් ගොඩනැඟීමක් කරන්න පුළුවන්. කෙනෙකු තුල යම් ඥානයක් එයාගේ වර්ථමාන චින්තන ක්‍රමය නිසා වැසී ඇති විට, ඒ චින්තනය වෙනස් කරන හසුරුවා සැඟවී ඇති ඥානය මතුවන විදිහට හේතු පලය සකස් කරන්න සර්වඥතා ඥානයට පුළුවන්.
අර සතර මහා ධාතුවේ තියෙන ධර්මතාවයන් සර්වඥ ඥානයෙන් හසුරවන්න පුළුවන්. දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය ස්වභාවයන් ගෙන් ගලවන්න පුළුවන්. රහත් කරන්න පුළුවන්, සසරින් ගලවන්න පුළුවන්, ඒ ඕන එකක් කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්නෙ තියෙන්නෙ එහෙම හිතෙන්නෙ නෑ. ඒක හිතෙන්නෙ කොහොමද කියලා ගත්තොත් ඒකට උත්තරයක් නෑ. ඒ නිසා බුදු වරයාට හිතන කාරණය හෝ හේතුව සත්වයා අරන් ආවොත් හරි සරලයි. සත්වයාට කුසලය හෝ හේතුව අරන් එන්න වෙනවා. එහෙම ආවොත් එයාගේ සත්වත්වය අතුරුදහන් වෙනවා. සත්ව ලෝකයේ සියලු සත්වයන් අතුරුදහන් කරන්න පුළුවන්. නමුත් හිතෙන්නෙ නෑ. අහේතුප්පාදයි, අහේතුකයි. එහෙම හිතෙන්න තරම් හේතුවක් බාහිරින් නිර්මාණය වෙන්න ඕනා. බුදුවරයාට ඒ හේතුව හදන්න බෑ. හේතුව බාහිරින් නිර්මාණය වෙන්න ඕනා.
ධර්මය, ධර්මතා සහ න්‍යාය
2024-08-10