අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
චිත්ත
විශ්වාසය සත්‍යය හා පරම සත්‍යය
2024-08-08
සත්‍ය කියන්නේ සාපේක්ෂ කාරණයක්. ඕනෑම කෙනෙකුට ජීවිතයේ සත්‍යය කියල දෙයක් තියෙනවා. මේ සත්‍යය ගොඩනැගෙන්නේ කොහොමද? සත්‍යය ගොඩනැගෙන්නේ විශ්වාසයට සාපේක්ෂව. යමක් විශ්වාස වන්නේ කොපමණ දුරකට ද, ඒක ඒ තරමටම කෙනෙකුට සත්‍යයක් බවට පත්වෙනවා.
සත්‍යය කියන දේ සාපේක්ෂ කාරණයක් බව බොහෝ දෙනෙකුට තේරෙන්නෙ නැහැ. ඒ නිසා කෙනෙක් එකම තැන රාමුගත වෙලා ඉන්න පුළුවන්. විශ්වාසය හා සත්‍යය විමර්ශනය තුළින්, ගවේෂණය තුළින් සංවර්ධනය කරගත හැකියි. එතකොට තමන් දැන් සිටින තැන ඉඳන් වඩා දියුණු තැනකට යන්න පුළුවන් වෙනවා. හිතන පතන පරාසය වැඩි කරගත හැකිවෙනවා. ගතානුගතික අදහස් වලින් මිදීමට හැකියාව ලැබෙනවා.
ලෝකය හා මානව ශිෂ්ටාචාරය මේ දක්වා පැමිණි ගමනේදී විවිධ ශාස්තෘවරු තමන් දුටු සත්‍යයන් ලෙස විවිධ දේ දේශනා කරලා තියෙනවා. සමහරවිට ඒ දේශනා කළ දේ අද අපට අහන්න දකින්න ලැබෙන්නේ තව තව අයගේද අදහස් සංකලනය වීමෙන්. ඒක නොවැළැක්විය හැකි කාරණයක්.
කොහොමද මේ විශ්වාසයන් ගොඩනැගෙන්නේ? විශ්වාසයන් ගොඩනැගෙන්න බලපාන විවිධ හේතු කාරණා තියෙන්න පුළුවන්. එයින් එක දෙයක් තමයි දැනුම. සාමාන්‍යයෙන් අපි දැනුම ලබාගන්නා විධි කීපයක් තිබෙනවා. ඒ තමයි පංචේන්ද්‍රයන් හරහා අපට ලැබෙන දැනුම. මේ ඉන්ද්‍රිය ධර්ම හරහා අපට ලැබෙන තොරතුරුවලින් මනසේ ධර්ම කාරණා නිර්මාණය වෙනවා. එකම දෙයක් පිළිබඳව මේ විදිහට ගැලපෙන ධර්ම කාරණා නිර්මාණය වන විට විශ්වාසය ඊට සාපේක්ෂව ගොඩ නැගෙනවා. දැනුම හරහා ගොඩනැගෙන සත්‍යය වඩා නිවැරදි සත්‍යයක් බවට පත්කර ගැනීමට අපට විමර්ශනශීලී චින්තනය (critical thinking) සහ තාර්කික චින්තනය (Logical thinking) උපකාර වෙනවා.
නමුත් මේ තොරතුරු ගවේෂණය සහ තර්කනය තුල තිබෙන සීමා සහිත ස්වභාවය අප හඳුනාගත යුතුයි. එසේ නොමැති වුවහොත්, තොරතුරු ගවේෂණය හා තර්කනය හුදෙක් ආශ්වාදයක් බවට පත්වෙලා, ඒ තුළ මමත්වය ගොඩනැඟිලා ප්‍රත්‍යක්ෂය දක්වා යන ගමන වැසී යන්නට ඉඩ තිබෙනවා. සංකල්ප ලෝකයක අතරමං වෙන්නත් පුළුවන්.
කෙනෙක් තුළ විශ්වාසය ගොඩනැගෙන තවත් විදියක් තමයි අවබෝධය. අවබෝධය කියන්නේ සංකල්ප වලින් හැදුනු විශ්වාසයකට වඩා දියුණු ස්වභාවයක්. ධර්මතාවයක් තමන් තුළින් දැක්කා නම් ඒක අවබෝධයක් කියලා කියන්න පුළුවන්. අවබෝධයක් ලැබුනහම සංකල්ප වලට දෙන වටිනාකම ද අඩු වෙනවා. අවබෝධයකින් යමක් සත්‍ය යැයි හැඟුණා නම් එය සංකල්ප මට්ටමින් තේරි තිබූ සත්‍යකට වඩා දියුණු මට්ටමක් බව ඒ කෙනාට තේරෙනවා. නමුත් මේ විදියට විවිධාකාර අවබෝධයන් ලැබූ අය ඉන්න පුළුවන්. ඒ අවබෝධයන් පරම සත්‍ය ලෙසද කෙනෙකුට හැඟෙන්න පුළුවන්. එහෙත් ඒවා පරම සත්‍යයන් ලෙස ගෙන කෙනෙකු ඒ අවබෝධය තුළ මමත්වය ගොඩනගා ගතහොත් ප්‍රත්‍යක්ෂය දක්වා ගමන ඒ කෙනාටත් වැසී යනවා.
විශ්වාසයන් ගොඩනැගෙන තවත් ආකාරයක් තමයි අත්දැකීම්. තමන් ගොඩනගා ගත් දැනුම හෝ ලබාගත් අවබෝධය අත්දැකීම් හරහා තහවුරු වෙන්න පුළුවන්. ඒ වගේම අත්දැකීම් හරහා දැනුම හා අවබෝධය එන්නත් පුලුවන්. ඒ දෙවිදිහටම අත්දැකීම හරහා විශ්වාසය ගොඩනැගෙනවා.
අපි දෙයක් පුරුද්දක් විදියට කාලයක් තිස්සේ කරගෙන යන කොටත් ඒ හරහා විශ්වාසය වැඩි වෙනවා. උදාහරණයක් විදිහට වාහනය පැදවීම ගන්න. මුලදී ඉතාමත් ඒකාග්‍රතාවයකින් පුරුදු පුහුණු වූ ඒ ක්‍රියාව පසුව ඉතාමත් විශ්වාසයකින් වෙන්නට ඉඩ දී වෙන දේවල් පවා ඒ අතරතුර සිතමින්, කතා කරමින්, කිරීමට හැකියාව ඇති වෙනවා. ඒ විශ්වාසය ගොඩ නැගෙන්නේ පුරුද්ද තුළින්.
විවිධ මාධ්‍යන් ඔස්සේ අප තුල ගොඩ නැගෙන ආකල්ප හරහා ද විවිධ විශ්වාස ඇති වෙන්න පුළුවන්. වැඩිහිටියන්, සමාජයේ පිළිගත් පුද්ගලයන්, ප්‍රවෘත්ති, පාරම්පරිකව එන අදහස් ආදිය තුළින්, ජීවිත අත්දැකීම් තුළින් , යුතුකම් හා වගකීම්, මනෝභාවයන් (Sentiments) ආදිය හරහා අප තුළ විවිධ ආකල්පයන් (Attitudes) ඇති වෙන්න පුළුවන්.
උදාහරණයක් විදිහට "කර්මය" වැනි සංකල්ප වැරදියට තේරුම් ගැනීම නිසා සියල්ල කර්මයට භාර දී ජීවිතය සෘණාත්මක කර ගැනීමට යොමුවන අවස්ථාවන් සුලභව දකින්නට ලැබෙනවා. ඒ පිළිබඳව ආකල්ප වෙනස් කර නොගෙන කාලයක් සිටීමෙන් ඒවා පිළිබඳ විශ්වාසයන් තව තවත් වැඩි වන්නට හැකියාව තිබෙනවා.
මනස තුළ හැදෙන තවත් දෙයක් තියෙනවා අපි දෘෂ්ටි නමින් හඳුන්වන. දෘෂ්ටි ඉතා සියුම්ව නිර්මාණය වෙලා ප්‍රබල ඒවා බවට පත්වෙන්න පුළුවන්. දෘෂ්ටි වලින් තමයි අපි ලෝකය, පුද්ගලයින්, සිදුවීම් දෙස බලන්නේ. ඒවා හරියට කණ්නාඩි වගේ. නමුත් කාලයක් යනකොට අපිට කණ්ණාඩියක් දාගෙන ඉන්නවද කියන එක අමතක වෙනවා. ඒ තරමට ඒ හරහා විශ්වාසය ගොඩ නැගිලා.
මේ දෘෂ්ටි කියන්නේ අපට නොදැනී අප විශ්වාස කරන දෙයක් බවට ප්‍රබලව ඇතිවූ දැක්මකට.
කෙනෙක් සත්‍ය සොයා යන විට හෝ කුසලය සොයා යන විට යම් යම් අවස්ථාවන් පසුකරන විට ඊට අනුරූප ඥාන සහ ඥාන දර්ශනයන් පහළ වෙනවා. ඒ තුළින් ඒ කෙනාගේ ආධ්‍යාත්මික මාර්ගය පිළිබඳ විශ්වාසය වැඩි වෙනවා. එක තවත් පැතිකඩක්.
විශ්වාස කියන්නේ මානසික කාරණයක්. විශ්වාසය ගොඩ නැගෙන්නේ මනස තුළ. මෙහි තවත් පැතිකඩක් තිබෙනවා මනෝ විඥානය සම්බන්ධ වන. විශ්වාසයන් ගොඩනැගෙන විදිහට මනස තුල ධර්ම කාරණා සකස් වෙන විට මනෝ විඥානයද ඒ අනුව පෝෂණය වෙනවා. ඒ පෝෂණය වීම නැවත නැවත ඊට අනුරූපව ධම්ම කාරණා සෑදීමට ද බලපානවා. මේ චක්‍රය දිගින් දිගටම ක්‍රියාත්මක වන විට ඒ විශ්වාසය තුළ සත්‍යයක් පිළිබඳ හැඟීම ඇති වෙනවා. විවිධ වූ විශ්වාසයන් මත රෝග සුවවීම, තීරණ සාර්ථක වීම ආදී දේවල් සිදුවන බවට හැඟීයන්නේ මේ හරහායි (Placebo). ඒ සඳහා උපකාරක දේවල් විදියට භෞතික දේවල් ඈඳාගත්තාම මේ විශ්වාසය මනෝ විඥානය තුළ ප්‍රබල ව ගොඩනඟා ගැනීම පහසු වෙනවා. වෘක්ෂ වන්දනාව, පිළිම වන්දනාව, හූනන් කෑගැසීම වැනි දේ සම්බන්ධයෙන් ඒ දේවල් තුළ යම් සත්‍යතාවක් ඇතැයි සමහර අයට හැඟෙන්නේ මේ ධර්මතාවය හරහායි.
නමුත් එහි භෞතික දේවල් වල කිසිදු සම්බන්ධතාවක් නැහැ. ඒවා මනෝ විඥානයේ ක්‍රියාකාරීත්වය මත සිදුවෙන දේවල්. භෞතිකයේ තිබෙන අදෘශ්‍යමාන ශක්තියකින් නොවෙයි ඒ බලපෑම හටගන්නේ. ඒක මානසික කාරණයක්. විශ්වාසය සත්‍යයක් ලෙසට ගොඩනැගිලා ඒ තුළින් මනෝ විඥානය දැක්මක් නිර්මාණය කරලා දීලා. ඒ දැක්ම හරහා බලපෑමක් නෑ කියලා කියන්න බෑ. නමුත් මේ දේවල් යම් තැනකදී හිරවෙනවා. බිඳ වැටෙන්නට පටන් ගන්නවා. ඒවා ප්‍රත්‍යක්ෂය සඳහා යන මාර්ග නොවෙයි.
මනස තුළ විශ්වාසය ප්‍රබලව ගොඩනැගුනවිට, ඊට සාපේක්ෂව සත්‍ය අසත්‍ය පිළිබඳ හැඟීම දැනෙනවා. ඒ හැඟීම සත්‍යයක් ලෙස ගොඩනැගෙන විට , ඒකට අදාළව සාක්ෂි වන කාරණා සහ සාක්ෂි නොවන කාරණා ලෙස දේවල් පෙනෙන්නට පටන් ගන්නවා. අසත්‍යක් ලෙස විශ්වාසය ගොඩනැගුණොත් නැත්නම් සත්‍යයක් බවට අවිශ්වාස කරන තැනට පත්වුණොත් ඒ හැඟීමට සාපේක්ෂව සාක්ෂි සහ සාක්ෂි නොවන කාරණා දකිනවා.
මේ කොහොම වුණත් සත්වයා මනස මූලික කරගත් යම් මනෝභාවයක (Sentiment) තමයි ජීවත් වෙන්නේ. කවුරුහරි කියනවා නම් තමන් කිසිම දෙයක් විශ්වාස කරන්නේ නෑ කියලා, ඒ කිව්ව දේ එයාගේ විශ්වාසයක්. සමහර විට ඔහුට හෝ ඇයට ඒ බව පෙනෙන්නේ නැහැ. කිසිම විශ්වාසයක් මත පදනම් වෙලා නෑ කියන එක ඒ කෙනාගේ විශ්වාසයේ පදනම බවට පත්වෙලා. ඒක අවිඥානිකව පවතින විශ්වාසයක්.
විශ්වාසය හා අවිශ්වාසය ගොඩනැගීමට මමත්වයත් සම්බන්ධයි. මමත්වය දුරු වූ කෙනෙකුට විශ්වාසයක් හෝ අවිශ්වාසයක් කියලා දෙයක් නැහැ.
ධර්මය, ධර්මතා සහ න්‍යාය
2024-08-10