අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
බුද්ධ
බෝධිචිත්තය
2024-08-08
බුද්ධ නමැති ධර්මතාවය තුළින් මතුවන මාර්ග දර්ශනය තුළ බෝධි චිත්තය කියන්නේ එක්තරා සුවිශේෂී විමුක්ති මාර්ගයක්. බෝධි චිත්තයෙන් පටන් ගෙන කෙනෙක් රහත්, මහරහත් හෝ බුද්ධ ලෙස අවසන් වෙන්න පුළුවන්. මනස ප්‍රබල යුගයක් වන වර්ථමානයේ සත්වයාට ධර්ම අවබෝධය තුළින් විමුක්තියට පත්වීමේ ප්‍රායෝගිකත්වය ගැටළු සහගතයි. ධර්ම අවබෝධයකින් නිවන් දැකීමට නම් සිහිය, විදර්ශනාව සහ මැදුම් පිළිවෙත යන කුසලතාවයන් වැඩිය යුතුයි. නමුත් මේ යුගයේ මනසේ ප්‍රබලතාවය නිසා දහම මනසේ කාරණා ලෙස නිර්මාණය වීමට නැඹුරුතාවය වැඩි බැවින් ධර්මතා දැකිය හැකි කුසලතාවයන් අවධි නොවී යටපත්වන අවකාශයන් බහුල වෙලා තිබෙනවා. එහෙත් කෙනෙකු තුල අවංකත්වය නමැති ගුණය පවතී නම්, ඒ හරහා බෝධි චිත්තයක් ඇතිවීමෙන් මනසේ ග්‍රහණයෙන් මිදී පහසුවෙන් විමුක්ති මාර්ගය විවර කරගැනීමට අවකාශය තිබෙනවා.
අවංකත්වය, පාරිශුද්ධත්වය, මැදුම් පිළිවෙත හා බුද්ධ ඥානය කියන මේ අන්තර්ගතය එක්ක යම් සත්වයෙක් අවංකව හේතුවක්, කර්මයක් ගොඩනගා ගනීද, එහි ඵලය විදියට එයා තුළ ප්‍රබල හේතු ඵලයක් නිර්මාණය වෙනවා. සරලව පැවසුවහොත් බෝධි චිත්තය කියන්නේ එහි විපාක හේතුවට. බෝධි චිත්තය බෝධිචිත්තයක් බවට පත් වෙන්න බලපාන සුවිශේෂී කාරණය නම් සර්වඥතා ඥානය තුළින් එහි විපාකය දැකීමයි. ඒ විපාකය දකිනවා කියන තැනම බෝධිචිත්තය පූර්ණ වෙනවා. විපාකය දකින්න බැරිනම් හේතුව තිබුනට විපාකය පූර්ණය වෙන්නේ නෑ. සාධක නිර්මාණය උනාට ඵලය පූර්ණ නෑ. එතකොට මාර්ගයේ යම් අඩුපාඩු පූර්ණය කරන්න සිදු වෙනවා. බෝධිචිත්තය පහළ වෙන තැනම සර්වඥතා ඥානයට ඒ විපාකය දර්ශනය වෙනවා. බෝධිචිත්තය තමයි හේතුව, බෝධිය තමයි ඵලය. බෝධිචිත්තය පහළ වීම තුළ එයාට මාර්ගය පිළිබඳ ඉව පහළ වෙනවා. මෛත්‍රී බුද්ධ ශාසනයේ තියෙන විශේෂත්වය තමයි, අවංක පාරිශුද්ධත්ව පාරමී බලය හේතු කරගෙන සර්වඥතා ඥානය තුලින්, කෙනෙකුගේ පැවැත්ම තිස් එක් තලයේ සුදුසු තැනක කර්මක්ෂය සිදු වෙනකම් සැකසෙන විදියට නිර්මාණය කලහැකි වීම.
බෝධිචිත්තය ලබනකොට වෙන්නේ බුද්ධඥාන තුලින් දැකල, හේතු ගැලපීම හරහා ඔහුගේ සාමාන්‍ය කර්ම පථයෙන් මිදුනු වෙනත් බුද්ධිමය ස්වභාවයක් ස්ථාපිත වීම. තවත් විදියකට කිව්වොත් ඒ තුල බුද්ධ ස්වභාවය යම් ප්‍රමාණයකට ස්පර්ශ වෙලා බුද්ධ ඥානය පිළිබඳ ඉව එතන ඉඳන් වැඩෙන්න පටන් ගන්නවා. මාර්ගය පිළිබඳ ඉලක්කයක් දිශාවක් එතනදී ලැබෙනවා. ඒ පිළිබඳ ඉව පහළ වෙනවා. ඒක ආධ්‍යාත්මය තුළින් දැනෙන දෙයක්. මනසින් ගොඩනගා ගන්න දෙයක් නෙවෙයි. බෝධිචිත්තය ලැබුන කෙනෙකුට පසු ආත්ම භවවල දී වුවද අසන්නට ලැබෙන ධර්ම කාරණා වල ගැටලුකාරී තත්ත්වයක් තිබුණොත්, එය කෙසේ හෝ දැනෙන්නට පටන් ගන්නවා. එතන කුමක් හෝ අවුලක් ඇති බව ඔහුට හෝ ඇයට ඉවෙන් මෙන් දැනෙනවා. ඒ වගේම ඒ කෙනාට දිගටම සාමාන්‍ය කර්මපථය තුල ක්‍රියාත්මක වෙන්න බැරුව යනවා. බෝධි චිත්තය හරහා ලැබුණු බුද්ධිමය ස්වභාවයද සැරින් සැරේ ඉස්මතු වෙනවා. ඔවුන්ට නැවත කුසල මාර්ගයක් වඩන්න අත්‍යාවශ්‍ය වෙන්නේ නෑ. ඔවුන්ගේ ගැලවීම සෘජු මාර්ගයක් හරහා සිදුවන ලෙස බෝධි චිත්තය නිසා සැකසිලා තියෙන්නේ.
නමුත් මේ ආධ්‍යාත්මික ස්වභාවය ආසවක්ඛය ඥානය ඇති කෙනෙකුට ඇරෙන්න වෙන කෙනෙකුට දකින්න බෑ. බෝධිචිත්තය ලැබුන අය ඕනතරම් ඉන්න පුළුවන්, ඒ පිළිබඳව දන්නෙ නැතිව. නමුත් ඔවුන්ට මාර්ගය පිළිබඳ ඉව තියෙනවා.
බෝධි චිත්තය අවසන් වන තැන අරිහත්වය හෝ පසේබුද්ධත්වය හෝ සම්මාසම්බුද්ධත්වය වෙන්න පුළුවන්. බෝධිචිත්තය පටන් ගත් තැන් සිට කාලය හරහා කොපමණ දුරක් යැයිදැයි කියන්න බැහැ. සමහරවිට යම් දුරක් ගොස් අදාල කාරණා සම්පූර්ණ කර අවසන් වෙනවා. නැතහොත් මහාවෘක්ෂයක් හැදෙන්නා සේ දීර්ඝ කාලයක් පුරා දිවයන්න පුළුවන්. පෙරපාසලේ සිසුන් හැමෝටම එකම දේ ඉගැන්නුවත්, ඔවුන්ගේ අධ්‍යාපනය කොතනින් කෙලවර වේවි දැයි කියන්න බෑ වගේ.
බෝධිචිත්තය ලබාගන්නා තැන නිර්මාණය වීමටත් බොහෝ කාරණා බලපානවා. දුන්නක් මත ඊතලය තබා අදින ප්‍රමාණය, අදින ආකාරය, කෝණය, ගමන තුල මුහුණ දෙන වායුගතික ස්වභාවයන් ආදී කාරණා මත ඊතලය කොපමණ දුරක් යයිද කියලා තීරණය වෙනවා වගේ. බෝධිචිත්තය, ඒ සඳහා පසුබිම් වන කුසලය, විවරණය සහ බෝධි චිත්තයට මූලික වන ක්‍රියාව ලෙස ප්‍රධාන කාරණා හතරක් සලකන්න පුළුවන්. සමහර විට බෝධි චිත්තය ලැබෙන අවස්ථාවේ විවරණයක් නොලැබෙන්නත් පුළුවන්. බෝධි චිත්තයේ විපාකය විදියට ජාති, ජරා, ව්‍යාධි, මරණ දුක් නොමැතිව කර්මක්ෂය වෙලා විමුක්තිය ලබන එක හේතුපල පූර්ණය ලෙස හඳුන්වනවා. ඒ අතර බෝධිචිත්තය ඇති වුණ කෙනා, විශේෂ කුසලතාවයන් සහිත කෙනෙක් නම්, ඒ කුසලතාවයන් සත්වයා සසරින් ගලවන්න උපකාර කරගන්න හැකියාව පෙන්වාදී ඒ පිළිබඳව විවරණයක් දෙනවා. කෙනෙක් එය පිළිගන්න හෝ නොපිළිගන්න පුළුවන්. ඒවගේ විවරණ ලැබූ අය මහරහත් බෝධිය දක්වා හෝ බුදු හෝ පසේ බුදු බෝධීන් දක්වා පරිණාමය වෙන්න පුළුවන්. සත්‍ය ගවේශී මාර්ගය ඇරඹෙන්නේ ඒ විදියට. පසු අවස්ථාවලදීත් විවරණයන් හරහා අතරමගදී යටපත් ව ගිය බෝධි චිත්තය මතක් කර දී අලුත් කර දීමක් සිදුවෙන්න පුළුවන්. එය කීප වතාවක් වුවද සිදුවිය හැකියි. බෝධිචිත්තයක් ඇති කෙනාට මේ සම්පූර්ණ කාරණය පිළිබඳ පැහැදිලි දර්ශනයක් නොමැති නිසා විවරණය වැදගත් වෙනවා. මේ නිසා සමහරවිට විවරණය පිළිබඳ සැකයෙන් වැඩ කරන අවස්ථාද තිබෙන්න පුළුවන්. කෙසේ වුවත් ධර්ම අවබෝධයකින් රහත් වුණ කෙනෙකුට තරම් හේතු පූර්ණය කියන මාර්ගයේ යන කෙනාට තමන්ගේ ආධ්‍යාත්මික පරිවර්තනය මනසට අනුගත නොවන්නට ඇති හැකියාව වැඩියි.
හේතු පූර්ණ අවස්ථා පිළිබඳ උදාහරණ ගෞතම බුද්ධ ශාසනයේ කතා තුළත් තිබෙනවා. දවසක් ගෞතම බුදු හාමුදුරුවන්ට දානය පිළිගන්වන්න බොහෝ පිරිසක් රැස්වෙලා සිටියා. ඒ අතර උසස් පවුල්වල, සිටු පවුල්වල අය මෙන්ම සාමාන්‍ය ජනතාවද සිටියා. ඒ වෙලාවේ ගෞතම බුදු හාමුදුරුවෝ දානය බාරගත්තේ, ගෙදර යන්තමින් ඉතිරි වෙලා තිබුණු සහල් පිටි වැනි යමක් බොහොම අමාරුවෙන් එකතු කරගෙන, තමන්ට එකෙන් කන්න තිබුණු එකම කෑම වේලත් අතහැරලා කුඩු රොටියක් වැනි යමක් හදාගෙන ආපු මහලු කාන්තාවකගෙන්. ඇයගේ අවංක පාරිශුද්ධ දානමය කුසල ක්‍රියාව සර්වඥතා ඥානය නමැති ධර්මතාවය තුලින් හේතු පූර්ණයක් බවට සැකසෙනවා.
කෙනෙකුට බෝධිචිත්තයක් ලැබෙන අවස්ථාවේ ඔහුගේ හෝ ඇයගේ උපාදානය ගොඩනැඟෙන විදිය දකින්න ආසවක්ඛය ඥානය ඕනා. අතීත හේතු ගලපලා වර්තමානයේ හේතුමත අනාගතයේ හේතු සැකසෙන ආකාරය පිළිබඳ දකින්න සර්වඥතා ඥානය ඕනා. ඒ කෙනාගේ පෙර සංසාර ගමන දකින්න පුබ්බේනිවාසානුස්සති ඥානය ඕනා. කුසල මූලයන් දකින්න චුතූපපාත ඥානය ඕනා. මෙහිදි බුද්ධ ඥානයන් තියෙන කෙනෙක්ගෙන් තමා බෝධිචිත්තය ලැබෙන්නේ. බෝධිචිත්තය පිහිටුවන විට තිස් එක් තලය තුළ එයාට කර්මක්ෂය වන තැනක් ඒ අවස්ථාවේදී හේතුඵල අනුව සකස් වෙනවා. ඒ භවයේදී ම පරිනිර්වාණය වෙනවා කියලා දෙයක් මෙතනදි සිදුවන්නේ නැහැ. ජාති ජරා ව්‍යාධි මරණ ආදී මේ දුක් නොමැතිව තිස් එක් තලයේ කොහේ හෝ කර්මක්ෂය වෙනකන් සිටින විදියට සැකසෙන්න පුළුවන්. තව කෙනෙක් හේතු තිබුනොත් මහායානිකයෙක් විදියට කටයුතු කරන්න පුළුවන්. එතකොට ඒ අය උපත ලබන්නේ මනුස්ස භවයේ. බෝධි චිත්තයක් ලැබුණු ඕනම කෙනෙක්ට නැවත බුදුවරයකු හමු නොවුණත් තමන්ගේ මාර්ගය කෙළවර වන විදියේ මාර්ග දර්ශනයක් බෝධි චිත්තය හරහා ලැබෙනවා. නමුත් ඒ අයට වෙන කෙනෙකුට මාර්ග දර්ශනයක් දෙන්න තරම් ධර්මාවබෝධයක් නොතිබෙන්න පුළුවන්. එතකොට ඒ අය කතා කරන්නේ ධර්මය පමණයි. මාර්ගය නොවෙයි. ඒ කෙනාට එයාගේ මාර්ගයවත්, ඵලයවත්, බෝධියවත් විග්‍රහ කරගන්න බැරිවෙන්න පුළුවන්.
ධර්මය, ධර්මතා සහ න්‍යාය
2024-08-10