අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
චිත්ත
මානසික දර්ශනයන්ට ගොදුරු වීම
2024-08-08
සත්වයා පවතින්නේ කුමක් මත ද? සත්වයා හිතන්නේ, කතා කරන්නේ, ක්‍රියා කරන්නේ කුමක් මත පදනම් වෙලාද? ඇහෙන, පෙනෙන, දැනෙන සහ කතාකරන දේවල් මත. මනස මත. සත්වයා පවතින එක පවා තීරණය වෙලා තිබෙන්නේ මනස මූලික වෙලා. ඔබ බණ අසන්නේ පවා මනස මූලික කරගෙන. හැබැයි මැදුම් පිළිවෙතට ආවොත් මනස මූලික නොවී අහන්න පුළුවන්.
මනස මත පදනම් වුණු සත්වයා යමක් හොයනවා. ඒ තමයි දර්ශනය. ඒ දර්ශනය හොයන්නේ මනසට ආහාරයක් විදියට. විඥානයට ආහාර තමයි සොයන්නෙ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, මන කියන විඥාන මත පදනම් වෙලා තමයි සත්වයා පවතින්නේ. බුද්ධ දර්ශනයයි මේ දර්ශනයයි වෙනස්. බුද්ධ දර්ශනය ඥානයක් විදියට තමයි මනස හරහා ගෝචර වන්නේ. නමුත් එය මනසේ ස්වභාවය ඉක්මවා ගිය එකක්. ඒක ඥානයක්. සමහරවිට එය අත්දැකීමක් විදියට තහවුරු කරගන්න කෙනෙකුට කාලයක් ගතවෙන්න පුළුවන්. හිත, මන, විඥානය, මමත්වය මේ සියල්ලත් මනස මූලික කරගෙන තමයි පවතින්නේ. නමුත් මනසට අහුවෙන්නේ නැති විශාල ක්‍රියාකාරිත්වයක් මේවා තුළ තිබෙනවා. මනසට ඒවා විශ්ලේෂණය කර ගන්න පුළුවන් වන්නේ මනසේ තිබෙන තොරතුරු වලට සාපේක්ෂව පමණයි. මනසෙන් එහාට ගිහින් බුද්ධ කියන ඥානය හරහා ඒවා වෙනම ගෝචර කරගන්න පුළුවන්. ඒක මනසෙන් ඔබ්බෙහි තියෙන කාරණයක්. මනසෙන් ඔබ්බෙහි තියෙන දේ මනසට සම්බන්ධ වන විට, වෙනම පැතිකඩයන් ගණනාවක් විවර වෙලා, ඥානයන් ක්‍රියාත්මක වෙලා මනස හරහා ඒවා දැනෙන්න පටන් ගන්නවා. මනස හරහා දැනුනට ඒවා ක්‍රියාත්මක වෙන්නේ ඥානය හරහා. මනසේ සැඟවී පවතින හැකියාවන් මේ ඥානයන් හරහා අවදි වෙන්න පටන් ගන්නවා. මනස කියන්නේ පරිගණකයක තිරය හෝ රූපවාහිනියක තිරය වගේ දෙයක්. ඒකේ චැනල් ගණනාවක් තියෙන්න පුළුවන්. බුද්ධ ස්වභාවය සම්බන්ධ වුණාම ඊට අදාළ දේවල් මනස කියන තිරය හරහා සන්නිවේදනය වෙනවා. රාගය සම්බන්ධ වුණොත් ඒ දේවල් සන්නිවේදනය වෙනවා.
සත්වයා දහමෙන් අනාථ වුණේ ඔවුන් මනසට ගැලපෙන දහමක් සොයාගිය නිසා. මනස විඩාබරයි, මනසට ප්‍රශ්න තියෙනවා. මනසේ ක්‍රියාකාරිත්වයම මනසට ප්‍රශ්නයක්. කාමයට ඇලෙන අතරෙම කාමයෙන් ගැල වෙන්නත් බලනවා. ඒ සිතිවිලි මනසට වෙහෙසයි. කෙලෙස් වලට කැමතියි. නමුත් කෙලෙස් ඔවුන්ට විඩාව අරගෙන එනවා. මෙය ප්‍රශ්නයක් ලෙස දැකීමටත් මනස අකමැතියි. ඇලන එකෙන් ගැටෙන එකෙන් කෙලෙස් වලින් මිදෙන්න දඟලනවා. ඒ අතර විසඳුමක් විදිහට මනෝ ගෝචර දහමක් සොයනවා.
එය බුදුන්ගේ දර්ශනය නෙවෙයි. මෙය මනස මූලික කරගත් ප්‍රාථමික තලයේ දහමක්. මනෝ ගෝචර දහමක් සොයන්න මොකද කරන්නේ? මනස සමාධියට පත් කර ගන්නවා. සමථයට පත්කර ගන්නවා. හුදකලාවට පත් කරගන්නවා. නිහඬ කර ගන්නවා. ශුන්‍යතාවයට පත් කරගන්නවා. ආකාශ ස්වභාවයකට පත් කර ගන්නවා. නැත්නම් සතර මහා ධාතූන්ගේ ස්වභාවයට පත් කරගන්නවා. එහෙම වෙනකොට මනසට අලුත් දර්ශනයක් එනවා. ඒ දර්ශනය හරිම ලස්සනයි. නිවීම, නික්ලේශී ස්වභාවය, ඇලීම ගැටීම, ආදරය, වෛරය, සම්බන්ධතා, ලෝක ස්වභාවය, බුද්ධ ස්වභාවය, ඥාන මේ සියල්ල ගැන හොඳ දර්ශනයක් උපදිනවා. මේ දර්ශනය වැරදි නැහැ. බොහෝ දුරට හරි. නමුත් මේ ක්‍රමය තුළ කිසිවෙකුට විද්‍යාව හම්බෙන්නෙ නෑ. නුවණැස විවර වීම සිද්ධ වෙන්නෙ නෑ. ඥාන පහළ වෙන්නෙත් නෑ. ඒ නිසා ප්‍රඥාව පහළ වෙන්නෙ නෑ. ඒ නිසා නිරෝධයකුත් නෑ.
මනස දියුණු නිසා ඔවුන්ව මේකෙන් ගලව ගන්නත් ලේසි නෑ. මේ විදියට මනස මූලික කරගත් ගැඹුරු දර්ශනයන් තියෙන අය ඉන්න පුළුවන්, අඩුම ගානේ සෝවාන් මාර්ගයේ හෝ ඵලයේ වත් නැති අය. මේක තමයි මන ධම්ම වල ස්වභාවය. බොහොම ගැඹුරු දර්ශනයන් ඇති කරගන්න පුළුවන්. මනස මූලික කරගත්ත මනසට හසුවුණු දර්ශනයක ධර්මතාවයක කරුණු කාරණා වල තර්ක විතර්ක වල දැනුම තුළ ඒක මත ගොඩනඟාගත් කාරණා වල තමයි සමස්ත සත්වයා ඉන්නේ. මනසට ගොදුරු වූ ඇත්තෝ.
විමුක්ති මාර්ගය සැලකුවොත් මේකේ අපි හැමෝටම, තමන්ට ආවේණික වූ මැදුම් පිළිවෙතක් තියෙනවා. මාර්ගය වඩා ගෙන යනකොට ඒක තුළ තමයි පැවැත්ම නැත්නම් අපිට ඉන්න පුළුවන්කම ගොඩනැගෙන්නේ. හැමෝම මැදුම් පිළිවෙතට එන්න ඕනා. අපි මේ මාර්ගය තුළ දිගටම ගමන් කරනකොට එක තැනක් එනවා, අපි ඇත්තටම ඉන්න තැන දැනගන්න බැරි. සත්‍යය කියන එක මනසට පේන්නේ නැති තැනක තියෙන්නේ. බුද්ධ විෂය, චිත්ත විෂය, කර්ම විෂය මේ සියල්ල අචින්ත්‍යයි. ධර්මය වුණත් අචින්ත්‍යයි. මේ අචින්ත්‍ය වූ පරාසය තුළ තමන්ගේ ගමන දැන් ඉවරද කියලා එයාට එයාව සාක්ෂාත් කරගන්න නිර්ණායකයක් නෑ.
මේ ගැටලුව නිරාකරණය කරගන්න තියෙන එකම තැන තමයි ඒ පිළිබඳ ඥානයක උපකාරය ලබාගැනීම. ඒ ඥානය පුද්ගලයකුට අයිති දෙයක් නෙමෙයි. නමුත් උපකාරය ලබා ගන්න වෙන්නේ සම්මුතික වශයෙන් පුද්ගලයෙක් හරහා. නමුත් මේ ඥානය පොදු දෙයක් පෞද්ගලික නෑ. එතකොට ඒ ඥානයට අර කෙනාගෙ කෙලෙස් වපසරිය සම්පූර්ණයෙන්ම දැකලා එය පෙන්නලා දෙන්න පුළුවන්. එතකොට එයාටම තේරෙනවා, මේ පෙන්වා දීම කරන්නේ තමන්ම බව. තමන්ගෙ ඥාන සම්ප්‍රයුක්ත භාවය මාර්ගය අවබෝධය පිළිබඳව පර්යේෂණාත්මක සාකච්ඡාවක් තමයි මෙතනදි වෙන්නේ. අවබෝධය පූර්ණ වුණ සසරින් ගැලවුණු කෙනෙක්ට තවදුරටත් මාර්ගය වඩලා වැඩක් නෑ. ඒක හරියට හොඳට හැදුණු ගහක අතුරිකිලි ලියලමින් පවතිනව වගේ වැඩක්. ඒ ගහ ඒකෙ උපරිමයට ඇවිල්ල තියෙන්නේ. උපදින්න හේතුව අවසන් කරලා තියෙන්නේ. මේක ස්ථිරවම නිරාකරණය කරගන්න පුළුවන් වෙන්නේ එතනදි තමයි. එතකොට ඒ බව එයා තුළින්ම ඔප්පු කරල දෙනවා අර ඥානය හරහා. එහෙම දැනගෙන ගමන නතර කරන තැනදි තමයි බෝධිය හටගන්නේ. බුදුවරුවන්ටත් එකම කතාව තියෙන්නේ. බුදු වරුන්ටත් කෙළවරක් නැතුව යන්න පුළුවන්. හැබැයි වැඩ කරන්න පුළුවන් තැනක නතර වෙනවා. බෝධි මූලයේ නතර වෙනවා. නැතිනම් ඇත්තම කතාව මේ අචින්ත්‍ය භාවය තුළ ඕනතරම් වඩාගෙන යන්න පුළුවන්.
එතකොට බෝධිය දෙනවා කියන්නේ එයාගෙ මාර්ගය ඔක්කොම පැහැදිලි කරලා ඒ ගමන අවසන් බව සාක්ෂාත් කරලා දෙන එකයි. එතකොට නතර වෙන්න තියෙන තැන තමයි බෝධිය. ආසවක්ඛය ඤාණය තුළින් කරුණු කාරණා ඇතිව ගමන අවසන් බව, කල යුතු සියල්ල කර අවසන් බව පැහැදිලි කරළ දීමක් තමයි එතැනදි වෙන්නේ. මාර්ගයේ යෑම තුළ ඉවරයක් වෙන්නේ නෑ. ගඟෙන් එතෙර වුනානම් පාරුව අතහරින්න ඕනා. ඒක තමයි බෝධිය. රහත් වුණත් හොයන එක තුළ නැවත නැවත හොයන්න දේවල් හට ගන්නවා. නමුත් මේ ක්‍රියාව තුළ එයා පිරිනිවිල අලුත් කර්ම පථයක් හටගන්නවා. ඒක තමයි බෝධිය.
ධර්මය, ධර්මතා සහ න්‍යාය
2024-08-10