අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
බුද්ධ
දම්සක් පැවසුම
2023-06-23
(2023-05-03 - 2023-06-23)
සත්වයා සංසාර චක්‍රයෙන් ධර්ම චක්‍රයට ප්‍රවර්තනය වීම සිදුවන්නේ බුද්ධ නමැති ධර්මතාවය තුළිනුයි. ප්‍රඥාව වැඩීම, ප්‍රබල කුසලයන් හෝ හේතු පූර්ණය වීම හරහා නිරෝධය තුළින් ඉන්පසු ඔවුන්ගේ විමුක්තිය සම්පූර්ණ වේ. සත්වයාගේ කර්මයට, චින්තනයට සාපේක්ෂව වැඩන්නාවූ බුද්ධ නමැති ධර්මතාවය කාලානුරූපව සනාතන ධර්මයක් ලෙස ස්ථාපිත කරන්නේ කෙසේ ද යන්න දම්සක් පැවසුම තුළ දී පැහැදිලි කෙරේ.
මේ ලෝකය තුළ කෙනෙක් පංච ගෝචර කාරණා වලට මූලික වෙලා ධර්මය සොයයිද, ඔවුන් විසින් දකින්නේ ධර්මය නොවේ. මෙය මනස විසින් ඔවුන්ට පෙන්වන තවත් මුලාවක් පමණයි. ධර්මය කියන්නේ මනසින් ඔබ්බට ගියා වූ විඥානයට හසු නොවන දෙයක්. බොහෝ උගතුන් ධර්මය පංච ගෝචර කාරණා තුල තමයි සොයන්නේ. නමුත් එතැන ධර්මයක් නෑ. ඔවුන් සිටින මුලාව තුලම තවත් මුලාවක් පමණයි, ඔවුන්ට ධර්මය නමින් හමුවන්නේ; ධර්මය ලෙස ඔවුන් තේරුම් ගන්නේ. ඒ තුළ ඥාන දර්ශනයකින් දකින සැබෑ ධර්මතාවයක් ඔවුන් දකින්නේ නෑ. වර්ථමානයේ, තොරතුරු මත පදනම්ව සත්වයාගේ මනස ගොඩනැගිලා තිබෙන යුගයක, සත්වයාගේ කර්මය හා චින්තනයට සාපේක්ෂව වැඩුණු බුද්ධ නමැති ධර්මතාවය තුළින් සත්වයා මුළාවෙන් ගැලවීම පිණිස ඉදිරිපත් වන සාසන ක්‍රමවේදය කුමක්ද?
ශාසනය කියන්නේ ක්‍රමවේදයක්. යම් කාලයක පවතින සත්වයන්ගේ චින්තන රටාවට, ඊට ප්‍රතිබද්ධ කර්මයට ගැලපෙන විදියට සත්වයා සසරෙන් ගලවන්න සැලසුම් කරපු ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදය තුළ සියලු සත්ත්වයන්ගේ, විදර්ශනා ධර්මයේ හා මගඵල ලාභීන්ගේ සැකසීම හා ආරක්ෂාව වෙනුවෙන් මූලික තැනක් ලැබෙනවා. බුද්ධ සාසනයක ඒ සාසනය තුළදීම නිවන් දකින පිරිසක් සිටින අතර, ඊළග සාසනය තුළ නිවන් දකින පිරිසකගේ සැකසීමද ඒ අතර සිදු වනවා. ගෞතම බුදුන් සිටි යුගයේ මිනිසුන්ගේ චින්තන රටාවට ගැලපෙන ක්‍රමවේදයක් තොරතුරු යුගයේ දී දහම දෙන ප්‍රධාන ක්‍රමවේදය විදියට ගැලපෙන්නේ නෑ. ඒක නිසා මතුපිටින් බැලුවොත් සාසන ක්‍රමවේදයන් කාලානුරූපව ගොඩනැඟෙන බවකුත් පේන්න තියෙනවා. සාසනයේ ක්‍රමවේදය ඒ අදාල විදියට යන්නේ, සම්මා සම්බුද්ධ ලෙස නිර්මාණය කරන ක්‍රමවේදය හා හේතු ඵලය උඩ මිසක් වෙන කාරණා හින්දා නෙවෙයි. මේ හේතුඵල ඔස්සේ කෙළවරට බලාගෙන ගියොත්, සත්වයා නිර්මාණය වෙලා තිබෙන චතුරාර්ය ශක්තියෙන් එහාටත් බලන්න පුළුවන්. එතනින් එහා තියෙන්නෙ මිනිස් සත්වයා කෙරෙහි පහළ වුණා වූ අචල මහා කරුණාව. ඒක තමා විශ්වයේ හටගන්නා වූ පාරිශුද්ධම සිතිවිල්ල. ඊට එහා තවත් පාරිශුද්ධත්වයක් නෑ. ඒ මහා කරුණාව සහ පාරිශුද්ධ චිත්තය තමයි සාසන ක්‍රමවේදයක මූලය වන්නේ.
න්‍යාය හා විෂයය පථයන් දන්නේ නැතිව බණ කිව්වට ඒවා ශ්‍රවණය කලාට, ඒ හරහා කාටවත් විමුක්ති මාර්ගය විවර වෙන්නේ නෑ. ඒ හරහා මානසික දර්ශනයන් ගොඩනැගෙන එක පමණයි සිදුවන්නේ. මාර්ග සත්‍යය දේශනා කළහැක්කේ මහා ඥාන දර්ශනයකින් පමණයි. සත්වයාට නිරෝධ සත්‍යය සාක්ෂාත් කරගත හැක්කේ තමන්ට ආවේණික වන මාර්ග සත්‍යයක් හරහා පමණයි. මෙසේ ඒ ඒ සත්වයාට අදාල මාර්ග සත්‍යය විවර වීම සාසන ක්‍රමවේදය තුළ සිදුවනවා.
ඒ වගේම මාර්ග පල ලැබීම, රහත් ස්වභාවයට පත්වීම, ඥාන දර්ශනයන් පහල වීම, බෝධි චිත්තය ලැබීම, බුද්ධ ස්වභාවය දැනීමභවැනි ආධ්‍යාත්මික පරිවර්තනයන් තුළ පැවැත්ම සමබරව ගොඩනගා ගන්නේ කෙසේද, මනස සමබර කරගන්නේ කෙසේද යන්න පිළිබඳවත් න්‍යායාත්මක කාරණා විවෘත වීමක්ද සාසනයක පැවැත්ම තුළ අන්තර්ගත වෙනවා.
කාශ්‍යප බුද්ධ සාසනය, ගෞතම බුද්ධ සාසනය, මෛත්‍රී බුද්ධ ශාසනය හා ස්වභාවික බුද්ධ සාසනය කියන සාසන හතරක ක්‍රමවේදයන්ගේ පැහැදිලි කිරීම තුළ මේ කාලයට මූලික වශයෙන් අනුරූපවන්නාවූ සාසන ක්‍රමවේදය කුමක්ද යන්න පිළිබඳව දම්සක් පැවසුම තුළ දී පැහැදිලි කරනු ලබනවා.
කාශ්‍යප බුද්ධ සාසනය:
කාශ්‍යප බුද්ධ සාසනය තුළ භාවිතා කළ ප්‍රධාන ක්‍රමවේදය දේශනාව සහ ශ්‍රවණය යි. අද කාලේ දහම සොයන්නන් අතර ආධ්‍යාත්මික ගවේෂකයන් අතර භාවනාවට ලොකු වටිනාකමක් තියෙනව වගේ ඒ කාලේ වටිනාකම තිබ්බේ ශ්‍රවණයට. ඔවුන්ට ශ්‍රවණය තුළ සමාධියට චිත්ත ඒකාග්‍රතාවයට පත්වීමට හැකියාව තිබුණා. ඒ තුළ මනසේ ග්‍රහණයෙන් මිදී දැනුමෙන් මිදී බුද්ධ ඤාණය ස්පර්ශ කිරීමේ හැකියාව බොහෝ අය තුළ පහළ වුණා. බුද්ධ ඥාණයෙන් තමයි ධර්මය ස්පර්ශ වෙන්නේ. ඒක හරියට නිලයක් අල්ලනවා වගේ වැඩක්. අපි හැමෝම ගාව බුද්ධ ඤාණය තියෙනවා. නමුත් ඒක වැහිලා තියෙන්නේ හරියට රන් තැලියක් දැලි වලින් වැහිල වගේ. එතකොට බුද්ධ ස්වභාවය ස්පර්ශ වුනහම ඔවුන්ට අනුපිළිවෙළින් යන මාර්ගඵල කියලා දෙයක් නෑ. කෙලින්ම රහත් ස්වභාවයට පත්වෙනවා. ඊට පස්සේ රහත් බෝධිය ලබාගෙන බෝධිය පිරිනිවන් පානවා. මේ ආකාරයට සුතමය ඥානය හරහා ධර්මය අවබෝධ කර ගැනීමට මූලික වන්නේ ප්‍රඥාවයි. අද කාලයේ එහෙම ප්‍රඥාවක් තියෙන අය ඉතාමත් අඩුයි. නෑ කියන්නේ නෑ. අද කාලේ ඉන්න අයට බුද්ධ ඥාණයෙන් බණ අහන්න බෑ. ඒ නිසා ඔවුන් බුද්ධ ශ්‍රාවකයන් නොවෙයි. බුද්ධගෙන් ශ්‍රවණය කරන්නන් නොවෙයි. කියන කෙනා බුද්ධ වුණත් අහන කෙනා බුද්ධියෙන් ශ්‍රවණය කරන කෙනෙක් නෙමෙයි නම් එයා බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේ නෑ.. බණ පදය කියනකොටම බුද්ධියෙන් ශ්‍රවණය කරළා අවබෝධ කරගෙන රහත් ස්වභාවයට පත් වෙන්න පුළුවන් තරම් ඒ කාලේ හිටපු ශ්‍රාවකයන්ගේ ඥාන ශක්තිය ප්‍රබලයි. කෙනෙකුට දේශනාව තුළින් ඥාන ශක්තිය මතු කර දීමේ හැකියාව තමයි කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ විශේෂ හැකියාව. ප්‍රඥාවෙන් බණ ඇසීම මූලික කරගෙන ඒ වටා ගොනු වීමෙන් තමයි ඒ කාලේ සාසනය ගොඩනැගෙන්නේ. බුදු වරයෙක් චතුරාර්ය ශක්තිය දේශනාවක් සිදු කරන විටත් මේ හා සමාන දෙයක් සිදු වෙනවා. ඒ දේශනාව සිදුකරන කොට බුදුවරයා ශ්‍රාවකයාගේ බුද්ධ සමඟ සම්බන්ධ වෙලා ඉන්නේ. එතකොට මනසින් හිතන්න බෑ. බුද්ධ තමයි ශ්‍රවණය කරන්නේ. ඒ ශ්‍රවණය තුළ මාර්ග පල මෙතෙක් ලබා නොමැති කෙනෙක් වුණත් අනිවාර්යෙන් සෝවාන් පලයට පත්වෙනවා. නමුත් චතුරාර්ය ශක්තිය දේශනාවකට එහෙම සම්බන්ධ වීමට ප්‍රබල හේතු පල ගැලපීමක් තියෙන්නත් ඕනා.
සාමාන්‍යයෙන් කෙනෙක් බණ අහන්නේ මනසින්. බුද්ධියෙන් අහන්නෙ නෑ. බුද්ධියෙන් බණ අහන කෙනෙක්ට ශ්‍රවණය තුළ දී එයාගේ පැවැත්ම තේරෙන්නේ නෑ. තමන් ඉන්නවා; ජීවත් වෙනවා කියන දැනීම ශ්‍රවණය සිදුවන මොහොතක් පාසා එයා තුළ නැති වෙනවා. එයා ඉන්නේ ගල් ගැහිලා වගේ. උට්ඨාන කම්ම කියන තැන ඉදන් තමයි අහන්නේ. දේශකයා දේශනාව හා ශ්‍රාවකයන් කියන තුනම මේ වෙලාවේ එකක් බවට පත්වෙනවා.
කෙනෙක් අද කාලේ වුණත් මේ ක්‍රමයෙන් , ඒ කියන්නේ මනසින් අහන්නේ නැතුව ඥානයෙන් බණ අහනවනං ඒ කෙනා තුළ වැඩකරන්නේ කාශ්‍යප බුද්ධ ශාසනයේ ක්‍රමවේදය. ගෞතම බුද්ධ ශාසනයේ අපි අහල තිබෙන කාශ්‍යප හාමුදුරුවෝ මේ ක්‍රමය තුලින් ධර්මශ්‍රවණය කළ කෙනෙක්.
ගෞතම බුද්ධ සාසනය:
ගෞතම බුදුහාමුදුරුවන් කොණ්ඩඤ්ඤ තවුසාට කරපු දේශනාව තුළ මේ ක්‍රමවේදය තියෙනවා. ඒ තමයි මැදුම් පිළිවෙත.
ගෞතම බුදුහාමුදුරුවන් බුද්ධත්වයට පත් වුනාට මුලදී ඒ බුද්ධත්වය පිළිබඳ විශ්වාසයක් තිබ්බේ නෑ. මොකද කලින් බුදු වෙලා ඒ පිළිබඳ අත්දැකීමක් තිබ්බේ නැති නිසා. ඒ නිසා මේ පිළිබඳ ප්‍රශ්න තිබුණා. උන්වහන්සේ ආපහු ප්‍රවෘජාව තුළ සිටි ඇඳුමෙන්ම මාලිගාවට ගියා. පවුලේ අය සමඟ සමග සිටියා. රජ මැදුර තුළ වෙනම ජීවිතයක් ගත කළා. එතකොට මිනිස්සු නින්දා කරන්න පටන් ගත්තා. ඔන්න බුදු වෙන්න ගිය කෙනා ආපහු ඇවිල්ලා ඉන්නවා කියලා. ආපහු පවුල බලන්න, රජකම ගන්න ඇවිල්ලා ඉන්නවා කියලා. මෙය රජ පවුලටත් නින්දාවක් වුණා. නමුත් සිද්ධාර්ථ ගෞතමයන්ට ඒක ප්‍රශ්නයක් උනේ නෑ. ඔහු ඒ තුළ කළේ ඔහුගේ අවබෝධය පරීක්ෂා කිරීම. ආර්ය පර්යේෂණය. එය තුළ අවබෝධය සුවිසුද්ධ වුණා. නමුත් බණ කියන විදියක් තාම සැකසිලා තිබ්බෙ නෑ.
එහෙම ඉන්න අතරතුර තමයි සහම්පතී කියන බමුණාව දවසක් මගදි හම්බ උනේ. එයා සත්‍ය හොයපු ක්‍රමය තමයි මිනිස්සුන්ව ප්‍රශ්න කරමින් යන එක. ඔහු සිද්ධාර්ථ ගෞතමයන් ගෙනුත් ඒ ප්‍රශ්නම ඇහුවා. “ඔබ ආවේ කොහෙන්ද? යන්නෙ කොහෙද? මොනවද දන්නේ? මොනවද නොදන්නේ?”
ඒ වෙලාවෙ සිද්ධාර්ථ ගෞතමයන් උත්තර දුන්නේ මේ විදියට. “මම යන තැනකුත් නෑ, ආපු තැනකුත් නෑ, දන්න දේකුත් නෑ, නොදන්න දේකුත් නෑ”. ඒ උත්තරේ සහම්පතී බලාපොරොත්තු වෙච්ච උත්තරයක් නෙවෙයි. ඔහු සිද්ධාර්ථ ගෞතමයන්ට සමුදීලා වෙන පැත්තකට යන්න ගියා. ඒ වෙලාවේ තමයි උන්වහන්සේට මැදුම් පිළිවෙතින් බණ කියන්න ඕන කියන ක්‍රමය අහුවුනේ.
ඊට පස්සේ ඔහුට මතක් උනා කොණ්ඩඤ්ඤ කියන බ්‍රාහ්මණයාව. ඔහු තමා නියත වශයෙන්ම සිද්ධාර්ථ බුදු වෙනවා කියලා අනාවැකිය කිව්වේ. ඉතින් ගෞතම බුදුන් වහන්සේ ඔහුව හම්බෙලා ඔහුගෙන් ඇහුවා, ඔබට ඔබේ අනාවැකිය ගැන විශ්වාසද කියලා. එතකොට කොණ්ඩඤ්ඤ කිව්වා ඔව් මට ඒක විශ්වාසයි කියලා. ඊට පස්සේ ගෞතම බුදුන් වහන්සේ මැදුම් පිළිවෙත හා චතුරාර්ය ශක්තිය ධර්ම දේශනයක් සිදුකළා. ඒකෙන් තමයි කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් වුණේ. ඒ මැදුම් පිළිවෙත තමයි ගෞතම බුද්ධ ශාසනයේ ක්‍රමවේදය.
මජ්ජිමා පටිපදාය තථාගතේන අභිසම්බුද්ධෝ…
චක්ඛුං උදපාදි, ඥානං උදපාදි, පඥා උදපාදි, විද්‍යා උදපාදි, ආලොකො උදපාදි…
එතනදි වෙන්නෙ මනස විසින් අල්ලාගෙන තියෙන අන්ත වලින් මුදවා මැදුම් පිළිවෙතට ප්‍රවිෂ්ට කිරීම හරහා ධර්මය ස්පර්ශ වීමට අවස්ථාව සැලසීමයි.
ගෞතම බුද්ධ ශාසනය පවතින කාලයේදීත්, කාශ්‍යප බුද්ධ සාසනයේ ක්‍රමවේදය හරහා බුද්ධ තුලින් ධර්මය ශ්‍රවණය කරලා ප්‍රඥාව තුළින් සසරින් ගැලවුණු අය හිටියා. නමුත් අන්ත බිඳ දැමීම තුළින් මැදුම් පිලිවෙතට යොමු කිරීම සඳහා එක එක්කෙනාට එක සූත්‍ර තුළින් ධර්මය දේශනා කිරීම ප්‍රධාන සාසන ක්‍රමවේදය ලෙස භාවිතා වුණා.
අද කාලේ තොරතුරු වලට මුලික තැනක් දෙන යුගයක් නිසා මනස හැමතිස්සෙම තොරතුරු ග්‍රහණය කර ගැනීමට යොමුවෙලා තියෙන්නේ. ඒ නිසා ගෞතම බුදු හාමුදුරුවන්ගේ ක්‍රමවේදය අද කාලේ භාවිතා කිරීම ප්‍රායෝගික නෑ. මොකද මැදුම් පිළිවෙත වුණත් තොරතුරු ලෙස අල්ලගන්න විදියකට තමයි අද කාලේ අයගේ මනස සැකසිලා තියෙන්නේ.
සරලව කිව්වොත් මැද කියන්නේ ඔබට යමක් හිතෙයිද, ඒ හිතෙන දෙයින් තොර දෙයක්. ඒක හරියට ඔබ අහස නම්, සිතුවිලි කියන්නේ වළාකුළු නම්, අන්න ඒ වගේ. අහස වළාකුළින් බර වෙලා තිබ්බත් වළාකුළු අහසට අයිති නෑ. අහස වළාකුළු අයිති කරගෙන නෑ. වළාකුළු රඳවගන්න අහස උත්සාහ කරන්නේ නෑ. අහස වළාකුළින් බර වෙලා කියලා පෙනෙන්නේ අනිත් අයට. නමුත් අහසට වළාකුළු බර නෑ. මැදගැන කාටවත් බණක් දේශනා කරන්න බෑ. මැදට පත්වූ කෙනෙක්ට ඒ පිළිබඳව තේරෙන්නත් පුළුවන්, නොතේරෙන්නත් පුළුවන්. මැද කියන්නේ රැඳිලා ඉන්න පුළුවන් තැනකුත් නෙවෙයි.
ගෞතම බුද්ධ ශාසනය පැවති යුගයේදී මිනිසුන්ට තොරතුරු තිබ්බේ නෑ. සත්‍ය ගවේෂකයෝ කියන්නේ ඒ කාලේ අත්දැකීම් බහුල පිරිසක්. දැනුම කරපින්නා ගත් පිරිසක් නෙමෙයි. කොච්චර ඇවිදපු කෙනෙක්ද කොච්චර අත්දැකීම් බහුල කෙනෙක්ද කියන එක උඩ තමයි අධ්‍යාත්මික ගවේෂකයන්ගේ වටිනාකම තීරණය වුණේ. ඔහුගේ මතකයේ තියෙන දැනුම් ප්‍රමාණය මත නෙවෙයි. ඉතින් ඒ වගේ අයට යමක් කිව්වහම, ඔවුන් එය අත්දැකීමක් තුලින් තමයි විමර්ශනය කරන්න තමයි ඒ කාලේ නැඹුරුතාවය තිබුණේ. ඉතින් සිතිවිලි කියන්නේ අහසේ වලාකුළු වගේ කියලා කිව්වොත්, ඒ කාලේ කෙනෙක් අහස හෝ වලාකුළු පිළිබඳව තොරතුරු විශ්ලේෂණය කිරීම වගේ දෙයක් නෙවෙයි කරන්නේ. සිහියෙන් සිතිවිලි දිහා බලන් ඉඳලා ඒ ධර්මතාවය තේරුම් ගන්න එක. ඒ තුළින් සිතේ තියෙන අන්තගාමී ස්වභාවයන් අඳුරගෙන ඒකෙන් මිදෙන එක. ඒකෙන් ධර්ම කාරණාව උඩ දෘෂ්ටිගත වීම වැළකුණා. ඒ කාලේ දහම වුනේ ප්‍රායෝගිකත්වය. යෝනිසෝ මනසිකාරය. තොරතුරු හෝ දැනුම මත ගොඩනගන විශ්වාසය හෝ අවිශ්වාසය නෙවෙයි.
තවත් විශේෂ කාරණයක් නම්, ගෞතම බුදුන්ගේ සාසනය තුළ සංනිධිකාරක පරිභෝගයන් නොවැලඳීම මත, හේතු සකසා ගැනීම සඳහා, ඒ හරහා සිව්වනක් පිරිසට එකතු වීම සඳහා වඩවඩාත් අවස්ථාව සැකසී තිබුණා. ඒ කාලේ සමාජය අද කාලේ වගේ ධනයෙන් ආඩ්‍ය වූ සමාජයක් නෙවෙයි. ඒ නැති බව තුළ සිටින අයට තමන්ව අතහැරෙන විදියට හේතු සකසා ගන්න සමහර විට තමන් සතු එකම දේ පූජා කරන්න අවකාශය ලැබෙන විදියට තමයි ශාසනය තුළ පැවැත්ම සකසා තිබුණේ. ගෞතම බුදුන් පවා කිසිම දෙයක් නැති කෙනෙක් විදියට තමයි ජීවත් වුණේ. සිවුරු කඩයි පාත්‍රය යි විතරයි තිබුණේ. ස්ථිර වාසස්ථානයක් තිබුණේ නෑ. කිසිම දෙයක් තමන්ට තියාගන්නේ නැති ප්‍රවෘජා ස්වභාවය තුළ දරිද්‍රතාවය පැතිරුණු සමාජයකට තමන් සතු එකම දේ, ඒ වෙලාවේ තමන්ට ඉතාමත් වටිනා දේ පූජා කරලා හේතු සකස් කරගන්න හැකියාව ලැබුණා. ඒ කාලේ හිටිය කාශ්‍යප හාමුදුරුවෝ පවා ධනවතුන් ගාවට යනවට වඩා ගියේ දුප්පත් අය ගාවට.
අද කාලෙ තියෙන තත්වය සලකා බැලුවොත්, සත්වයා දැනුමට දෙන වටිනාකම පිළිබඳ විමර්ශනය කරලා බැලුවොත්, පෙනෙන කාරණයක් තමයි, කාශ්‍යප බුද්ධ සාසනයේ ක්‍රමය වුණු බුද්ධ ඤාණයෙන් ධර්මය ස්පර්ශ කිරීමට සමත් ප්‍රඥාවන්තයන් පිරිසක් සිටීමට යම් හැකියාවක් තිබුණත්, මැදුම් පිළිවෙත හරහා සසරින් ගැලවීමට තිබෙන ඉඩකඩ ඊටත් වඩා බොහෝ සෙයින් අඩු බව. තව දුරටත් පෙනෙන කාරණයක් තමයි මාර්ග පල වැනි දේවල් වුවත් ත්‍රිපිටකයේ තියෙන කරුණු වලින් ඔප්පු කරන්නට දරන උත්සාහය. අද කාලේ, ගැඹුරු ආධ්‍යාත්මික ස්වභාවයන් තොරතුරු මට්ටමින් අඳුරගෙන ඒවා බාහිර සාධක වලින් ඔප්පු කරන්න හෝ නැහැ කියන්න දරන උත්සාහයේ තරම ඒ වගේ දේවල් වලින් පැහැදිලි වෙනවා.
මෛත්‍රී බුද්ධ සාසනය:
මොකක්ද මෛත්‍රී බුද්ධ සාසනය: කියන්නේ?. දස දිසාවට සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා වඩන එකද? මෛත්‍රිය කියල කියන්නේ ගුණයක්. කාශ්‍යප බුද්ධ ශාසනයත්, ගෞතම බුද්ධ ශාසනයත් දෙකටම වඩා නිවන් දකින්න ලේසිම ක්‍රමය තියෙන්නේ මෛත්‍රී බුද්ධ සාසනයේ ක්‍රමවේදය ඇතුලේ. මෛත්‍රී බුදුන් ඔබෙන් ඉල්ලන්නෙ එක දෙයයි. ඒ තමා අවංකත්වය සහ පාරිශුද්ධත්වය.
මෛත්‍රිය කියන්නේ අවංකත්වය හා පාරිශුද්ධත්වය තුළින් ඇතිවූ ගුණයක්. ඔබගේ ඇතුලාන්තය අවංක හා පාරිශුද්ධත්වයට පත් වන විට, වතුර උඩට වැටිලා තියෙන කොළ රොඩු අයින් වෙලා පතුලට ඉර එළිය වැටෙනව වගේ මෛත්‍රිය ගුණයට ඔබ තුළට පැමිණෙන්නට අවකාශයක් විවෘත වෙනවා. දැනුමෙන් වැසී ඇති, ආවරණය වී ඇති ඔබගේ ඇතුළතාන්තය විවර වී මෛත්‍රිය නමැති තරංඟය ඔබ තුළට පැමිණීමට, එනම් ඔබ පවතින කර්ම පතය විවෘත වීමට අවකාශය සැලසෙනවා. ඒ හරහා හේතුවක් හටගන්නවා. ඒකට බෝධිචිත්තය කියලා කියනවා. බෝධිචිත්තය ලැබුණු කෙනා මේ අත් භවේ ම නිවන් දකිනව කියලා දෙයක් නෑ. ජාති ජරා ව්‍යාධි මරණ වලින් තොරව හේතුපල අනුව තීරණය වූ දුරක් යන්න පුළුවන්. ඒ බෝධිචිත්තය හටගන්න වෙලාවේ සර්වඥතා ඤාණයට, ආසවක්ඛය ඥානයට, චුතූපපාත ඥානයට හා පුබ්බේනිවාසානුස්සති ඤාණයට පේනවා පිරිනිවීම සිද්ධවෙන්නේ මනුෂ්‍ය තලයේ ද, දිව්‍ය තලයේ ද බ්‍රහ්ම තලයක ද කියලා. එයා ගේ මරණය නිදාගෙන නැගිටිනවා වගේ දෙයක් බවට පත්වෙනවා. ඒ තරම් සැපදායක විදියට තමයි ඒක වෙන්නේ. එයාට වෙන මාර්ග සත්‍යක් අවශ්‍ය වෙන්නේ නෑ. කර්මය ක්ෂය වෙලා පිරිනිවීම සිද්ධ වෙනවා. ඒක තමයි මෛත්‍රීයෙන් බුදු වෙනවා කියන්නේ. හැමෝම බුදු වෙනවා. එහි ධාරිතාව අනුව කෙනෙක් බුදු වෙන්නත් පුළුවන්, සම්මා සම්බුදු වෙන්නත් පුළුවන්, පසේ බුදු වෙන්නත් පුළුවන්, අරිහත් බුද්ධ වෙන්නත් පුළුවන්. ඒක තමා තුන්තරා බෝධිය කිව්වේ. මේක ලේසිම මාර්ගය වුනාට, අද දවසේ මිනිසුන්ගේ මානසිකත්වය බැලුවම අවංක හා පාරිශුද්ධත්වයට පත් වීම ඔවුන්ට ලේසි නෑ. අද කාලේ සමාජයේ දරිද්‍රතාවය අඩුයි. බොහෝ අයට ධනය තියෙනවා. ඒ තත්වය තුල අවංකත්වය පාරිශුද්ධත්වය පවතින්නේ තියෙන කෙනෙකුට වුණත් දෙන්න පුළුවන් නම් තමයි. මෛත්‍රී බුද්ධ ශාසනය පහල වුනේ ගෞතම බුදු හාමුදුරුවන් පිරිනිවන් පෑව දවසේ සුභද්‍රගේ අභද්‍ර වචනය කියන තැන ඉඳන්. එදා ඉඳන් අවංකත්වය මත තමයි සාසනයේ පැවැත්ම තීරණය වෙන්න පටන් ගත්තෙ. ඒක තමා මෛත්‍රී බුද්ධ ශාසනයේ ආරම්භය.
ස්වභාවික බුද්ධ සාසනය:
ස්වභාවයන් සලකා බැලුවම, අපිට එක එක ස්වභාවයන් හම්බවෙනවා. පරිසරයේ ස්වභාවයන්, හිතේ ස්වභාවයන්, මිනිස්සුන්ගේ ස්වභාවයන්, ධර්මයේ ස්වභාවයන්…ආදී වශයෙන්. නමුත් මේ හැම එකේම ස්වභාවය තමයි එකකට සාපේක්ෂව තවත් එකක නොපැවතීම. පූර්ණ අස්වාභාවිකත්වය. සමස්ත අස්වාභාවිකත්වය ස්වභාවිකත්වය කරගත් බුද්ධ ස්වභාවයක්. අස්වාභාවිකත්වය කියන්නේ ස්වභාවිකත්වය කියලා අපි දකින දේ තුළ තියෙන අස්වාභාවිකත්වය. ඉදිරි යුගයේදී මූලිකත්වය වන්නේ තොරතුරු නොවේ සංවේදීතාවයයි. ස්වභාවික හා අස්වාභාවික කියන දෙකෙන්ම මිදිලා ධර්මය දකින එක තමයි ඒ යුගයේදි සාසන ක්‍රමවේදය වෙන්නේ.
ගෞතම බුද්ධ ශාසනයයි මෛත්‍රී බුද්ධ ශාසනය යි අතර තියෙන සම්බන්ධය මොකක්ද? මෛත්‍රී බුද්ධ ශාසනය තුළ මූලික වන්නේ "මෛත්‍රිය". ගෞතම බුද්ධ ශාසනය තුළ මූලික වෙන්නේ "බුද්ධ". මැදුම් පිළිවෙතට පැමණීම හරහා බුද්ධ ස්පර්ශ කිරීම. ගෞතම බුද්ධ ශාසනයේ බුද්ධ කියන එක මූලික වෙන්නත්, මෛත්‍රී බුද්ධ සාසනයේ මෛත්‍රිය මූලික වෙන්නත් හේතු තියෙනවා.
ගෞතම බුද්ධ ශාසනය සමයේදී සත්වයා හෙව්වේ "බුද්ධ " කියන්නේ මොකක්ද කියලා. ඒක හරියට අද කාලේ "නිවන " හොයනවා වගේ. එහෙම නැත්තං "රහත්බව " හොයනවා වගේ. එනිසා ගෞතම බුදු හාමුදුරුවෝ බුද්ධ නමින් පෙනී සිටියා. අද කාලේ මිනිස්සු හොයන්නේ බුද්ධ නෙවෙයි. ඒ අයට බුද්ධ ඉන්නවා. ඒ තමයි ගෞතම බුද්ධ. ගෞතම බුදුන් කොච්චර ඥාන සම්ප්‍රයුක්ත ද කියනවා නං මේ බව දකිනවා. ඒ නිසා හැමෝටම කියනවා ගෞතම බුදුහාමුදුරුවෝ පිරිනිවන් පානවා කියලා; නමුත් එක් කෙනෙකුට කියන්නේ නැහැ. එයා මේ දෙය රැගෙන යා යුතුයි ඊළඟ සාසනයට. ඒ සඳහා ගෞතම බුද්ධ ශාසනයේ බුද්ධ කියන සංකල්පය ඊළඟ සාසනයට අරන් යනවා. අද කාලේ මිනිස්සු හොයන්නේ බුද්ධ නෙවෙයි. කවුරුවත් බුදු වෙන්න දඟලන්නේ නෑ. හොයන්නේ නිවන් සහ රහත්. අද නිවන සහ රහත් කියල කියන්නේ සියයට සියයක්ම මිත්‍යාවන් වලට.
අද රහතුන් කියන්නේ මිථ්‍යා කාරයෝ. දාර්ශනිකව කතා කරන්නෝ. දර්ශනය කියන්නේ හිත තුළ නිකන් ඉන්නකොට ඇතිවුණු සංකල්පනා. ඒ සංකල්පනා දහම විදිහට දකිනවා. නිවන කියලා තමන් හිතාගත්ත අර්ථකථන විග්‍රහයන් තුළ නිවනකට පත් වෙලා ඉන්නවා. තමන් කැමති අර්ථකථන විග්‍රහ කරගෙන රහත්භාවය කියන එක නිර්මාණය කරගෙන තියෙනවා. ඒ නිසා නිවන සහ රහත් කියන දෙකම අද මිත්‍යාවන් බවට පත්වෙලා තියෙනවා.
එතකොට මේ යුගයේ ඇයි මෛත්‍රිය කියන සංකල්පය ගේන්නේ? මේ යුගයේ කිසිම සත්වයෙක් අවංක නෑ. කිසිම සත්වයෙකුට කියන්න බෑ රහසින් වත් පව් කරල නෑ කියලා. කිසි ම සත්ත්වයකුට කියන්න බෑ කෙලෙස් වලින් තමන් නිරෝධයි කියලා. කිසිවෙකුට කියන්න බෑ තමන් තුළ මහා කරුණාව තියෙනවා කියලා. සත්වයෝ මේ වන විට සියයට සියයක්ම වංචනිකයි. තමන්ගේ වංචනිකත්වය තේරෙන්නේ නෑ. තමන් කරන්නේ බොරුවක් කියලා තමන් දන්නෙත් නෑ. ඒ තරමට වංචනික යි. අවංකව හිනා වෙන්නවත් බෑ. පුංචි දරුවෙක් ගත්තොත් ඒ දරුවා අඬන්නේ අවංකව. හිනාවෙන්නේ අවංකව. ඒ නිසා ඔහුගේ හිනාවට අපි කැමතියි. ඔහු කරන පුංචි පුංචි ක්‍රියාකාරකම් වලට අපි කැමතියි. මොකද ඒ තුළ ඔහුගේ කිසිම වංචනිකත්වයක් නෑ. නමුත් ඔහු වයසත් එක්ක වංචනිකත්වයට ටික ටික පුරුදු වෙනවා. කපටිකම් වලට පුරුදු වෙනවා. සමාජය වංචනික වෙලා; වංචනික භාවය බොහොම ප්‍රබලයි.
ඇයි වංචනික භාවය ගෞතම බුදු සමයට වඩා මේ කාලෙදි ප්‍රබල උනේ?
මිනිස් මොලේ දියුණුයි. මිනිස්සුන්ට සල්ලි ඕනේ. සල්ලි හොයනවා. සැප සම්පත් තියෙනවා. තාක්ෂණය තියෙනවා. මිනිස් මොලේ දියුණු වෙලා උපතින්ම ජන්ම වෙලා තියෙනවා වංචනිකත්වය. වංචනිකත්වය මිනිස් මොළය තුළ නිර්මාණය වෙලා තියෙනවා. අවංක ශ්‍රද්ධාව මේ ලෝකෙන් ඉල්ලුවාට ඒක හම්බෙන්නෙ නෑ. බලාපොරොත්තුවකින් තොරව උදව්වක් කරන්න පුළුවන් කෙනෙක් ලේසියෙන් හම්බෙන්නෙ නෑ. මොනවා හරි පූජාකලත් පුජා කරන්නේ ගනුදෙනුකාර මනසකින්. නිවන හොයන්නෙත් එහෙමයි. රහත් හෝ බුදු කියාගෙන ආපු අයත් අන්තිමට කරන්නේ ඒ වගේ දෙයක් කියලා බොහෝ අයට තේරෙනවා. ඒක හින්දා එහෙම හිතන එකේ වැරැද්දකුත් නැහැ.
ඒකයි මේ කාලෙට මෛත්‍රී කියන ගුණය ඕන වෙන්නේ. මෛත්‍රිය කියන්නේ මොකක්ද? කුමන්ත්‍රණකාරී ලෝකයේ අවංකත්වය තමයි මෛත්‍රිය. අද කාලේ මිනිස්සු අවංක වෙන්නෙත් මොනව හරි ලැබෙයි කියලා බලාගෙන. මොකක් හරි වාසියක් බලාගෙන. ඒක තමයි මිනිස් මොළයේ දියුණුවේ ප්‍රතිඵලය. ගෞතම බුදුන්ගේ සමයේ මිනිස්සු අවංකව හෙවුවා සත්‍ය මොකක්ද කියලා. නිවන් හෝ රහත් හෙව්වේ නෑ. ඒවා සොයන එකේ තියෙන්නෙත් වංචනිකත්වය.
මෛත්‍රී බුද්ධ ශාසනය සියයට සීයක් අවංකත්වය මත තමයි පවතින්නේ. අද කියන්න වෙන්නේ, ඔබ අංක එකටම තමන්ට අවංකව වැඩ කරන්න කියලා. අද ගිහිල්ලා ඇහුවොත් රහත් කෙනෙක්ගෙන් ඔබ සියයට සියයක් අවංක ද කියලා, ඒ හැමෝම අසාර්ථකයි. ඒ අය දන්නවා අවංක නෑ කියලා. ඔවුන්ගේ කපටිකම ඔවුන්ට තේරෙන්නෙ නැති ගානටම ඔවුන් කපටි වෙලා.
ඒ නිසා මේ කාලේ මතු කරන්න වෙලා තියෙන්නෙ පිරිසිදු අවංකත්වය. අවංකවත්යෙන් බුදු කරවන ක්‍රමයක් තමයි ඕනේ. තමන් ගැන හිතන්නේ නැතුව අනුන් ගැන හිතන කෙනාට විතරයි සියයට සීයක් අවංක වෙන්න පුළුවන් වෙන්නේ. මේ දැන් සියලු සත්වයන් වෙනුවෙන් ජීවිතය දෙන්න ඕන කිව්වොත් පුළුවන් වෙන්න ඕන. සියලු සත්වයන් වෙනුවෙන් තමන්ගෙ ජීවිතය පූජා කරන්න පුළුවන්, තමන්ගේ සිතුම් පැතුම් පූජා කරන්න පුළුවන්, තමන්ගේ ආකල්ප පූජා කරන්න පුලුවන්, තමන් සතු සියලු දේ සියලු සත්වයන් වෙනුවෙන් අත හරින්න පුළුවන් කෙනෙක් අහුවුනොත් ඔහු මෛත්‍රී බුදුන් ලෙස දකින්න.
එහෙම කෙනෙක් ආවොත් ඔහුට මොනවද කරන්න පුළුවන් වෙන්නේ? මෙතනදී ඇතිවන ධර්මතාවයක් මම ඉස්මතු කරන්නම්. හැම බුදු කෙනෙක් ළඟම පස්වග මහණුන් ඉන්නවා. කවුද ඒ පස්වග මහණුන් පස්දෙනා?. ඒ තමයි ඇස, කන, නාසය, දිව, ශරීරය. අද උගත්තු ධර්මය හොයන්නේ මේ පස් දෙනාගෙන්. මනසත් මෙතැනට අයිතියි. නමුත් එය ධර්මාවබෝධයටත් හේතුවන නිසා ඒක මෙතනදී ගන්නෙ නෑ. පංච ගෝචර ධර්මය කියන්නෙ මුලාවක් මිථ්‍යාවක්. මේ පහෙන් ගැලවිලා ඇවිල්ලා බුද්ධ හදාගත්තොත්, නුවණ පහල වෙනකොට මේ පස් දෙනා අතහැරලා යනවා. මේ පස්වග මහණුන් තමයි ඔබට හැම වෙලාවෙම ඇප උපස්ථාන කරන්නේ. මේක තමන් තුළ සිදුවන ධර්මතාවයක්. අයින් වෙලා ගියාට පස්සෙ නුවණ මත, බුද්ධ මත පදනම් වෙනවා. ඇසට ඇස අත හැරෙනකොට, කනට කන අත හැරෙනකොට, මේ පහ දැනගන්නවා බුදුවුණා කියලා.
ගෞතම බුදු හාමුදුරුවන්ගේ කාලෙ හිටපු අයට තොරතුරු නෑ හිතන්න හෝ කල්පනා කරන්න. ඒක නිසා ඒ ගොල්ලො නුවණින් කල්පනා කරනවා. නුවණින් කල්පනා කරලා මෙනෙහි කරනකොට ඒ අයට නුවණට ධර්මය වැටහෙනවා. අද වෙලා තියෙන්නේ තොරතුරු වැඩියි. ඒ නිසා මේ අයට නුවණින් දකින්නට බැරිවෙලා තියෙනවා. ඒ නිසා විශ්ලේෂණ වැඩියි, තුලනාත්මක අධ්‍යනයන් වැඩියි. නුවණින් කල්පනා කරන්න බුද්ධිය නෑ. ඒ කාලේ පස්වග මහණුන් ගැන මේ කතාව කිව්වොත් ඒ අය හොඳට කල්පනා කරනවා ඇස මාව පෝෂණය කරනවාද, කන මාව පෝෂණය කරනවා ද…. එතකොට එයාට ඇත්ත වැටහෙන්න පටන් ගන්නවා. අද ඉන්න අයගේ වැඩෙන්නේ තර්කය විතරයි. ඕක ඔහොම වෙන්න පුලුවන්ද? මොනවද ඒකට තියන සාක්ෂි? ආදී වශයෙන්.. එතකොට ඒ අය බුද්ධට සාපේක්ෂව ප්‍රඥාවන්ත අය නොවෙයි, නමුත් තර්ක කරන්නන් අතරේ වීරයෝ. ඒ නිස මේ පහෙන් ගන්න දේවල් වලින් මිදෙන්න නම් නුවණ මත පදනම් වෙන්න වෙනවා. ස්වයංභූ ඥානය මතු කරගන්න වෙනවා. එතකොට මේ පහ දමනය වෙලා ක්‍රමානුකූලව බුද්ධ මතුවෙන්න පටන් ගන්නවා. මේ තමයි ගෞතම බුදු හාමුදුරුවන්ගේ ක්‍රමවේදය. නමුත් අද මේකෙන් නිවන් දකින්න පුළුවන් කියලා හිතාගන්න අමාරුයි. ඔබට ගෞතම බුදු හාමුදුරුවන්ගේ ක්‍රමවේදය තුළ නිවන් දකින්න ඕනා නම්, උන්වහන්සේ දේශනා කළ සියලු කරුණු වල තොරතුරු ඔලුවෙ දාගන්නෙ නැතිව, එකක් විතරක් අරගෙන ඒ කාරණය තුළ මේ පහ වහගෙන ඥානය අවදි කර ගන්න ඕනේ. කණෙන් ඇහුවට වැඩක් නෑ, සුතමය ඥානය අවදි කරගන්න ඕනා. ඇසෙන් බලනවනං ඥානයෙන් ඒක කල්පනා කරමින් තේරුම් ගන්නට ඕනා. එහෙම නැතුව ඇසෙන් බලලා කියවලා, අර්ථකථන දීලා තමන්ගේ රුචිකත්වයට අනුව විග්‍රහ කරලා ඔබට නිවන් දකින්න බෑ. ඒ තුළ සියලු සත්වයෝ මුළාවට පත් වෙලා හමාරයි. ඕක තමයි ගෞතම බුද්ධ ශාසනය තුළ අද පත්වෙලා තියෙන මුලාව.
එතකොට අදටත් ගෞතම බුද්ධ ශාසනය පවතින හේතුව මොකක්ද? ඒකට හේතුව මිනිස් මොලේ දියුණු කම සහ තොරතුරු මේ දක්වා සම්ප්‍රේෂණය වීම. තොරතුරු විතරයි තියෙන්නේ. සමහරවිට කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ කාලේ තොරතුරුත් මේකෙ තියෙනවා. ඒ කිසිම දේක අද කාලෙට ගැලපෙන න්‍යායාත්මක පසුබිම නෑ.
මේ ලෝකෙ මෛත්‍රීය පදනම් කරගෙන යම් කල්‍යාණ මිත්‍රයො පිරිසක් සිටී ද, ඒ අයට එකතු වෙමු කියන ආරාධනාව පෙරටු කරගෙන තමයි මේ දේශනාව කරන්නේ. මෛත්‍රී බුද්ධ ශාසනය තුළ දම්සක් පැවතුම් සූත්‍රය තමයි දේශනා කරන්නේ.
දම් කියන්නේ ධර්මය. ධර්මය කියන්නේ ඇත්ත කියන එක නෙවෙයි. ධර්මය කියන්නේ ක්‍රමවේදය. මලක් ගත්තොත් මලේ තියෙන ධර්මය කියන්නේ මොකක්ද? මලක් මලක් වුනේ කොහොමද කියන ක්‍රමවේදය. ඒකට තමයි පටිච්චසමුප්පාදය කියන්නේ. ක්‍රමවේදය. එහෙමත් නැත්තං ඒ තුළ තියෙන විද්‍යාව, නැතිනම් සූත්‍රය.
සක කියන්නේ රෝදය. කරත්ත ගමන් කරන්නේ රෝදයෙන්. මෙතැනදී අදහස් වෙන්නේ ක්‍රමවේදය ගෙනියන්නේ කොහොමද කියන එක. තොරතුරු සම්ප්‍රේෂණය වීම නිසා ගෞතම බුද්ධ ශාසනයේ තොරතුරු මත පදනම් වෙලා තමයි ධර්මය දේශනා කරන්න වෙලා තියෙන්නේ.
පැවසුම් කියන්නේ ඉදිරිපත් කරනවා කියන එක.
දම්සක් පැවසුම් සූත්‍රය කියන්නේ, මුලාවේ ඉන්න සත්වයා ගලවන්න ධර්මය දේශනා කරන්නේ කොහොමද කියන ක්‍රමවේදය ඉදිරිපත් කරන සූත්‍රයයි. රාග, ද්වේශ, මෝහ වලට පැටලිලා මුලාවෙලා සංසාර චක්‍රය තුළ යන සත්වයාට එකපාර එතනින් ගැලවෙන්න බෑ. ඒ නිසා මුලින්ම සංසාර චක්‍රයෙන් ගැලවිලා ධර්ම චක්‍රයට එන්න ඕනා. මුලාව වැඩි තැනින්, මුලාව අඩු තැනට ගෙනල්ලා තමයි එතනිනුත් ගැලවෙන්නේ. මෛත්‍රී කියන තරංගය, අවංක පාරිශුද්ධව ගුණය බුද්ධිමත් ප්‍රඥාවන්ත පිරිසක් මත ස්ථාපිත කරලා තමයි, මේ ක්‍රමවේදය පවත්වන්නේ. මෛත්‍රිය කියන බලය තමයි ගුණය විදියට පිළිබිඹු වන්නේ. අද සමාජයේ හැමෝම හිතන්නේ අනිත් අය ඒ අයගේ පැවැත්ම මොකක් හරි වංචනික ක්‍රමයකින් ගොඩනගනවා කියලා. ඒකට හේතුව හැමෝගෙම මනස වංචනික වෙලා ඒ ස්වභාවය තුලින් තමයි අනිත් කෙනාව දකින්නේ. ඒ නිසා බොහෝ දෙනෙකුට මේ මෛත්‍රිය ගුණය පෙනෙන්නේ නෑ. ගෞතම බුද්ධ ශාසනය පැවතුණේ ධර්මය ප්‍රගුණ කිරීම මත. අද බැලුවොත් එහෙම කෙනෙක් හොයාගන්න නෑ. උගතුන්, විශ්ලේෂකයන් හා දැනුම මත සංසන්දනය කරන අය තමයි ඉන්නේ. තමන් යමක් ප්‍රගුණ කරලා ගත්ත අත්දැකීමක් නෑ. ඒ නිසා එදා ගෞතම බුදුන් වහන්සේගේ ක්‍රමයට අද ධර්මය දෙන්න බෑ.
අද කාලෙට අනුව ධර්මය මේ ලෝකෙට දෙන්නෙ කොහොමද? අද කාලෙට අනුව සත්වයා සසරින් එතෙර කරන්නේ කොහොමද? සත්වයා සසරින් ගලවන්න බෑ තොරතුරු දීලා. තොරතුරු දුන්නහම අද කාලේ අය ඒක නුවණින් මෙනෙහි කරන්නේ නෑ. ගලප ගලපා බලන එක විතරයි කරන්නේ.
මෛත්‍රිය යම් කෙනෙක් තුළ වැඩෙනවා නම් එයා තුළ මෛත්‍රිය තරංග විදියට ඇති වෙනවා. පිරිසිදු භාවයත් එක්ක. මෛත්‍රි බලය තරංගයක් හැදෙනවා. මෛත්‍රි ශක්තියක් ඇති වෙනවා. මෛත්‍රිය බුදුවරයාට තව කෙනෙක්ගෙ අඩුපාඩු තියෙනවනම්, ඒ අඩුපාඩු පූර්ණය කරලා සසරින් ගලවන්න පුළුවන්. කර්මය අහෝසි කරන්න පුළුවන්. නමුත් ඒකට අවංක හේතුවක් රැගෙන ආ යුතුයි.
ඔබ කොච්චර ප්‍රඥාසම්පන්න වුණත්, බුද්ධිසම්පන්න වුණත් ඔබේ මනසට හා හැඟීමට ඕන වෙලාවක ඔබ ගොදුරු වෙන්න පුළුවන්. මොකද්ද ඒකට හේතුව. මනෝ පුබ්බංගමා ධම්මා. මනසයි සියල්ලටම ප්‍රමුඛ. ඒ නිසා මනස පිළිබඳ, හැඟීම් පිළිබඳ, සිත පිළිබඳ සහ සිතුවිලි පිළිබඳව අවබෝධක් තිබීම සහ ඒ පිළිබඳව දැකිය හැකි සිහියක් තිබීම මානසිකව සමබර පැවැතිමක් සහිත ආධ්‍යාත්මික පරිවර්තනයක් අත්‍යාවශ්‍යයි. අද හැමෝම පුරුදු වෙලා ඉන්නේ හැම එකටම හිත තමයි මුල කියලා, සියල්ල සිත කියලා ඒ අයම හිතා ගත්ත ගොඩකට සියල්ල තල්ලු කරලා දාන්න. එහෙම කලාට ධර්මතාවය දකින්න බෑ. මනසින් හදාගන්න සංකල්පයකට කොටුවෙනවා, සියල්ල හිත හෝ සියල්ල සංකල්ප කියන තැනට. ඒ නිසා මනස, මනසේ හැදෙන කතන්දර, කල්පනා, හැඟීම්, සිත හා සිතුවිලි පිලිබඳ ධර්මතා වෙනම දකින්න පුළුවන් සිහියක් හා බුද්ධියක් තිබීම වැදගත්.
අපට සිතිවිලි පහළ වෙනවා ද පහළ කර ගන්නවද? සිතිවිලි කියන්නේ පහළ කරගන්න පුළුවන් එකක් නෙමෙයි පහල වෙන එකක්. පහළ කර ගන්න පුලුවන්නම් ඒ සිතිවිලි පහළ කර ගන්න පුළුවන් වෙන්නේ ඥානයෙන්. කොහෙන්ද ඒ සිතිවිලි පහළ වෙන්නේ? මේ විශ්වයේ පළවෙනි සිතිවිල්ල පහළ වුණු තැන හොයන්න බෑ. නමුත් මේ කියන ධර්මතාවය තේරුම් ගන්න.
උදාහරණයක් විදියට, අපට මෙතන ඉන්න කොට බාහිරින් සද්දයක් ඇහුණා. මෙතන දහ දෙනෙක් ඉන්නව නං ඒ දහ දෙනාටම සිතිවිලි බිහි කරන්න ඒ බාහිර සද්දෙට පුළුවන් වුණා. ඒ වගේ ඕනම දේකට එකිනෙකාට බලපෑමක් ඇති කරන්න පුළුවන්. අපිට සිතිවිල්ලෙන් සිතිවිල්ලට එක්කෙනාට, එක්කෙනාට මේ බලපෑම ඇති වෙන්න, ඇති වෙන්න අපට යම් ප්‍රමාණයක් සිතිවිලි පහළ වේ ද, ඒ සෑම සිතිවිල්ලක්ම පහළ වෙන්න, බාහිරින් ඒ වෙනුවට සිතිවිල්ලක් නිර්මාණය වෙලා තියෙනවා. තව විදිහකට කිව්වොත් ඔබ තුළ යම් සිතිවිල්ලක් පහළ වේ ද, ඒ සිතිවිල්ල ඒ විදියට පහල වෙන්න හේතුව තමයි, ඔබ සසර තුළ ඒ සිතිවිල්ල එහෙම පහල වෙන්න කාරණා නිර්මාණය කරලා තියෙනවා. තව විදියට කිව්වොත් සිතිවිලි ඒ විදියට පහළ වෙන්නේ ඔබම කරපු දේවල් ගැලපිලා .ඔබට මෙතනින් නැගිටලා යන්න සිතුනොත්, ඒක එහෙම වෙන්න ඒ සිතිවිල්ලට පිටිපසින් ප්‍රබල ශක්තියක් තියෙනවා. චිත්ත මූලයක් තියෙනවා. ඒ චිත්ත මූලය තමයි මේ සිතිවිල්ල පහළ කරලා මෙහෙයවන්නෙ. මේ සිතිවිල්ල ඇතිවෙලා ක්‍රියාත්මක වෙද්දී ඔබට පුළුවන් නම් මේ සිතිවිල්ල බිහිකරන්න හේතු වෙච්ච මූල කාරණය දකින්න, මේ මූල කාරණයෙන් ඇතිවන බලය එහෙම නැත්තං කර්මය මේ සිතිවිල්ල බිහිකරන්න බලපවත්වන බලය සෑහෙන ප්‍රමාණයක් අඩු කරන්න පුළුවන්.
කොහොමද සිතිවිලි පහළ වුණේ? සිතිවිලි කියන්නේ ශක්තියක්. ඒ ශක්තියේ තියෙන යම් යම් ස්වභාවයන් මනසට කියවා ගන්න පුළුවන්. හැමෝටම සිතිවිලි දැනෙනවා. නමුත් එක එක්කෙනාගේ මනසේ ධාරිතාවයන්, හැකියාවන්, තාර්කික බුද්ධීන් , දියුණු නොදියුණු ස්වභාවයන් විවිධ අන්දමින් පවතිනවා. ඒවාට අනුව තමයි සිතිවිලි කියවාගන්නේ. ඒ අනුව සිතිවිලි කෙනෙකුට සංවේදී වන විදිය, සංජානනය වන විදිය වෙනස් වෙනවා. ඔබට වතුර වීදුරුවක් දකින කොට, ඒක සංජානනය වුණ විදිය ගැන වගේ දෙයක් නොවෙයි මේ කියන්නේ. එතකොට එතනදි වතුර කියලා ඇතිවුණ දේ සිතිවිල්ලක් නොවෙයි. ඒ දැනීම ඇති වන්නේ මනසේ දේවල් සම්පාදනය වීම තුළින්. සිතිවිල්ල කියන්නේ එහෙම දෙයක් නොවෙයි. ඇස කන නාසය දිව ශරීරය ආදී මේ දේවල් වලින් එන දත්ත ඔස්සේ මනස සම්පාදනය කරන දේවල් සිතිවිලි නොවෙයි. අපට අවශ්‍ය නම් ඒ ‘වතුර දැකීම’ කියන එක චිත්ත වීදියක් විදියට අර්ථකථනය කරන්න පුළුවන්. චිත්ත ශක්තිය එකතු වෙලා, මනසේ රූප එකතුවෙලා, විඥාන එකතු වෙලා, ගති පුරුදු එකතුවෙලා ගොඩනැගුණු චිත්ත වීදියක් විදියට අර්ථකථනය කරන්න පුළුවන් ‘වතුර දැකීම’. නමුත් චිත්ත කියන ශක්ති ප්‍රභේදය ගත්තොත් එහෙම, ඒවාට වර්ණයක් පාටක් අර්ථයක් තිබුණේ නෑ. නමුත් ඒ චිත්තය හටගන්න කොටම, චිත්ත ශක්ති වල තියෙන මූල ස්වභාවයන්, අන්තර්ගත ස්වභාවයන් මනස හරහා, විඥාන හරහා, ගති පුරුදු හරහා ඉස්මතු වෙන්නේ අර කලින් කියපු ‘වතුර දැකීම’ කියන කාරණය ගොඩනැගුණු විදියටම තමයි. මෙතනදි මුලින්ම චිත්ත කියන ශක්ති ස්වභාවය සහ මනස වෙන් කරා. දෙවෙනියට සිතිවිල්ලේ තියෙන ශක්තියම තමයි මනස හරහා ගිහිල්ලා යම් සංජානනයක් ඇති කරේ කියන කාරණය ඉස්මතු කරා. අපි හිතමු මෙතන තිබුණු මේ වතුර වීදුරුව අපි කතා කර කර ඉන්න අතරේ කවුරු හරි එහාට කරලා කියලා. මේක තේරුම් ගන්න තැනින් එහාට ගිහිල්ලා දකින්න පුළුවන් නම්, මේ වතුර වීදුරුව මෙතනින් එහාට කරේ ඔබද , ඔබ නොවෙයි ද කියලා කියන්න පුළුවන්. මොකද චිත්ත ස්වභාවය එතන අන්තර්ගතයි. කෙනෙක් දානයක් හදල ගෙනාවොත් ඒක කුසල සිතකින් ද හදල තියෙන්නේ කියලා දකින්න පුළුවන්. එතනින් කර්මයම කියවන්න පුළුවන්. මොකද එතන ශක්තියයි මනසයි එකතුවෙලා කරන නිර්මාණයක් තියෙන්නේ.
දැන් මනස කියන කාරණය පැත්තකින් තියලා චිත්ත ශක්තිය කියන කාරණය දිහාවට හැරෙනවා. එතනදි අපි කතා කරා සිතිවිලි කියන දේවල් පහළ වෙන දේවල් කියලා. ඒක වෙන්න කර්මයත් සම්බන්ධයි. දැන් අපි මෙතන පස් දෙනෙක් ඉන්නවනේ. එක් කෙනෙක් නැගිට්ටොත් ඒ නැගටීම අනිත් හතර දෙනාගේම සිතිවිලි වෙනස් වෙන්න බලපානවා. ඒ වගේම දැන් මම කියන දේවල් අනුව ඔබ සිතන දේ, සිතන විදිය වෙනස් වෙනවා. ඊට පස්සේ තව කෙනෙක් අපි කතා කරමින් ඉන්න තැනට ඇවිල්ලා අහනවා, තේ එකක් බොමුද කියලා. එතකොට අපි පස්දෙනාගෙම සිතිවිලි වෙනස් වෙනවා. ආපහු අපි මාතෘකාවට එනවා. මෙතනදි කර්ම පථයන් තමයි හැදිලා තියෙන්නේ. මෙතනදි අපි කතා කරේ අපි පස්දෙනාගේ පරාසය. සසර ගත්තම, අපි මොනතරම් චිත්ත ශක්තිය හරහා සම්බන්ධ වෙලා ඇත්ද? ඒවා ගණනය හෝ තක්සේරු කල නොහැකි තරම්. කෙනෙකුට පාරේ ඇවිදගෙන යන ගමන් හදිසියේ පාර මාරුවෙන්න හිතිලා, මැරෙනකොටම මොහොතකින් වාහනයක් ඇවිල්ලා හැප්පිලා මැරෙනවා. ඒ සිදුවීමටටත් ඔය වගේ හිතාගන්නවත් බැරි තරම් මේ ශක්තිය තුළ, දේවල් එකක් එකිනෙකට සම්බන්ධයි. මෛත්‍රිය බුද්ධ කියන ධර්මතාවයට මේ සම්බන්ධයන් ඔස්සේ, සත්වයා ගොඩනැගෙන මූල ස්වභාවයන් හරහා ගමන් කර, ඒ බවට පත්වෙන්න පුළුවන්. නමුත් සත්වයා ඉන්නේ ඒ එකක් එකිනෙකට පච්චයා වෙලා ගොඩනැගෙන චිත්ත ස්වභාවයන් ‘මම’ කරගෙන. මෛත්‍රී බලය තුළ, මෛත්‍රී බුද්ධ ඒ ස්වභාවය බවට පත්වන විට, මේ සියළු පච්චයා වෙලා ගොඩ නැගෙන කාරණායන් අහෝසි වෙලා යනවා. ඒක තමයි සත්වයාගේ “කර්ම පථය පිරිසිදු වුණා” කියලා හඳුන්වන්නේ. එතනදි සත්වයාටම තමයි තීරණය ගන්න තියෙන්නේ. අවංකත්වය හා පාරිශුද්ධවය හේතුව විදියට සත්වයා තුළ ඒ මොහොතේ ගොඩනැගිල තියෙන්න ඕනා. ඒ හරහා තමයි මේ ධර්මතාවය ක්‍රියාත්මක වන්නේ. ගෞතම බුදුන් වහන්සේත් මීට සමාන දෙයක් කලා. ධර්මය පැහැදිලි කරලා, පෙර නොඇසූ විරූ ධර්මයක් මතු කරලා, මම කිව්වට පිලිගන්න එපා කියලා, තීරණය සත්වයාටම භාර දුන්නා. එතනදිත් අභ්‍යන්තරයේ වෙන්නේ කර්ම පථය බිඳලා දානවා වගේ දෙයක්. අවංකත්වය තුළ මේ ධර්මතාවය ගොඩනැගෙන්න අවස්ථාව උදාවෙනවා නම් එතනදි තියෙන්නේ සත්වයාගේ කුසලය. එතන තවත් ගැටීමක් සත්වයා තුළ ඇතිවෙන්න හේතු වුණා නම් ඒක සත්වයාගේ අකුසලය. කුසල හේතුව නිර්මාණය කරගැනීම සත්වයාගේ වැඩක්. හැබැයි ගස් හෝ ගඩොල් ගොඩවල් එක්ක මේ කුසල හේතුව නිර්මාණය වෙන්නේ නෑ. අඩුම ගානේ නැති බැරි කෙනෙකුට දෙන්න. ඔබ කරන දේ අවංකව ඔබව අත්හැරලා කිසිම බලාපොරොත්තුවක් නැතිව කරන එක තුල සහ ඒ බව සංවේදී වීම නිසා ඔඛට බාහිරින් සම්බන්ධ වූ අය තුලින් අවංකව කෘතවේදීව නැගෙන චිත්ත ධාරා නිසා ඔබව වෙනස් වෙන්න පටන් ගන්නවා.
ඔබ කියන්නේ සසර පුරාවට හැදුන කර්ම පථයක්. ඔබට සිතුවිලි පහළ වෙන්නේ ඒ නිසා. කර්ම පථය පිරිසිදු උනාට පස්සේ එයා තුළ දෙයක් ඉතුරු වෙන්නේ නෑ. මෛත්‍රීය කියන චිත්ත ධාරාව ඒ තුළ ගමන් කිරීමෙන් තමයි, කර්ම පථය පිරිසිදු සිදුවන්නේ. එකක් එකිනෙක මත පච්චයා වෙමින් ගොඩනගන හේතුව තමයි මෛත්‍රිය නමැති තරංගය, චිත්ත ධාරාව නිසා අහෝසි වන්නේ. ඉතින් සත්වයාට සාමාන්‍ය ක්‍රමය වන කුසල වඩන මාර්ගයේ යන්නත් පුළුවන්. ඒක තමයි ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඳා වඩාගෙන මාර්ග පල ලබමින් යන මාර්ගය. එතනදිත් කුසලය කොහොමද වඩන්නේ කියන මාර්ග දර්ශනය සත්වයාට අවශ්‍යයි. මොකද අපි සරලව ඒක කුසල ගවේෂී මාර්ගය ලෙස හැඳින්වූවාට, එක් එක් සත්වයා තමන්ට ආවේණික කර්ම, චිත්ත ක්‍රමවේදයකට ගොඩනැගමින් යන කෙනෙක් නිසා ඒ ඒ අයගේ මාර්ගයන්ද එකිනෙකට වෙනස් වෙනවා. එක්කෙනෙක්ගේ මාර්ගය සියයට සීයක් අනිත් එක්කෙනාට හරියන්නේ නෑ. හේතු පූර්ණය හෙවත් බෝධි චිත්තය ලැබෙන ක්‍රමයෙදි එහෙම දෙයක් නෑ. අවංක පාරිශුද්ධ හේතුවක් නිර්මාණය කරගන්න පුළුවන් සැකැස්ම තමයි සත්වයා තුළ හැදෙන්න ඕනා. හේතුවේ ප්‍රබලතාවය මත පලය පූර්ණය වන විදිය වෙනස් වෙනවා. අවසානයේදී බුදු කෙනෙක්ගේ ආලෝක චිත්ත ධාරාවකින් පහන් දැල්ලක් නිවුනා වගේ නිවිලා යනවා. ඊළඟ ක්‍රමය තමයි ආර්ය ඇසුර. කුසල මාර්ගයේ යන කෙනාටත්, බෝධි චිත්තය ලබා ගෙන යන කෙනාටත් තව දුරටත් ආර්ය ඇසුර ලැබීමෙන් සුතමය ඥානය වැඩීම තුළ ප්‍රඥාව පූර්ණය වෙනවා.
අපි කලින් කිව්වා නේද සිතිවිලි පහළ කරගන්නත් පුළුවන් කියලා? අන්න ඒ සිතිවිලි පහළ කරගන්න තැන මොකක්ද? එහෙම සිතිවිලි පහළ කරගන්න පුළුවන් ඥාන තුළින් විතරයි. ඥාන තුළ තමයි සිතිවිලි විදියට පෙර නොඇසූ දහමක් එලියට ගන්නේ. පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු. එතනදි සිතිවිලි පහළ වෙනවා නොවෙයි, පහල කරගන්නවා.
බුද්ධ කියන කාරණයේදී තමන්ගෙන් එළියෙ වෙන ධර්මයක් නෑ. දෙව්දත් කියන්නේ කවුද? දෙව්දත් කියන්නේ මනස, හැඟීම. බුදු දහම තුළ පහළ වන සියලු විද්‍යාව පංච ගෝචර යන්ගෙන් තොරයි. මනසින් තොර යි හැඟීමෙන් තොර යි. හැබැයි අපිට හැමවෙලේම ඥානයේ ඉන්න බෑ. බුද්ධ ඥානය තුල හැමවෙලේම ඉන්න බුදුකෙනෙකුටත් බෑ. ඕන වෙලාවට බුද්ධ ඥානය පාවිච්චි කරලා අනිත් වෙලාවට ඉන්නේ මනසත් එක්ක. පැවැත්ම තියෙන්නේ මනස මූලික වෙලා. කෙලෙස් වලින් තමයි පැවැත්ම ගොඩනගලා දෙන්නේ. නිකෙලෙස් වෙන්නේ කෙලෙස් වල විද්‍යාව දැකීමෙන් මිසක්, පැවැත්ම ගොඩනගල දෙන ඒ ධර්මතාවයන් බලෙන් යටපත් කිරීමෙන් නෙවෙයි. එහෙම කලොත් මනස ලෙඩ වෙන්න පුළුවන්. ඒ වගේම මනසේ ඉන්නකොට අදහස් හැඟීම් එනවා. දෙව්දත් ඉස්මතු වෙනවා. ඒ බව දකින්න හැකියාවක් තියෙන්නත් ඕනා. දෙව්දත් බුදුන්ව යටපත් කරන්න ඕන වෙලාවක මතුවෙන්න පුළුවන්. නමුත් ආධ්‍යාත්මික පලයට මුකුත් වෙන්නේ නෑ. දෙව්දත් මතු වුනාම ආධ්‍යාත්මික පලය වැහිලා යනවා. රන්තැලියක දැලි බැඳුනා වගේ. බුදුන්ටත් අමතක වෙනවා තමන් බුදුන් බව. ඒක තමයි මනසේ ස්වභාවය. බුදු කෙනෙකු බුද්ධත්වය ලබන විට අවස්ථාවක් එනවා මනස හරහා ගොඩනැගෙන සංවේදී ගති ස්වභාවයන් සියල්ල ඉවත් කරලා දාන්න පුළුවන්. නමුත් එහෙම කරොත් ඒක බුද්ධ කියන ධර්මතාවයට පටහැනියි. එහෙම කලොත් සත්වයාව දැනෙන්නේ නැතිව යනවා. ඒ නිසා ඒ සංවේදී ස්වභාවයන් මනස තුල පවත්වා ගන්නවා. බුද්ධ කියන්නේ පුද්ගලයෙක් නොවෙයි, ධර්මතාවයක්. සත්වයාට සාපේක්ෂව වැඩිලා තිබෙන ධර්මතාවයක්. හේතු පල සම්බන්ධය මත ඒ ධර්මතාවය ඕන විදියකට මතුවෙන්න පුළුවන්. ඒකට ආගමක් සංස්කෘතියක් අදාළ නෑ. බුද්ධ තුලින් ගොඩනැගෙන සියළු ධර්මතාවයන් මතුවන්නේ මේ ස්වභාවික ක්‍රියාකාරීත්වය තුලයි.
ගෞතම බුදු හාමුදුරුවන් සම්බන්ධයෙන් එක තැනක වුණු සිද්ධියක් තියෙනවා, මේවගේ අවස්ථාවකට උදාහරණයක් විදියට ගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ නිතර පැන් පහසු වෙන්න යන ඇලක් තිබුණා. දවසක් උන්වහන්සේ පැන් පහසුවෙන්න වඩින කොට මනුස්සයෙක් ඇලේ මාළු බාමින් සිටියා. බුදු හාමුදුරුවොත් එතන නැවතිලා මෙයා එක්ක වාඩිවෙලා කතා කරමින් සිටියා. ඒ මනුස්සයා වයසක මනුස්සයෙක්. කන්න බොන්නත් නැති කෙනෙක්.
“කාල ඉන්න එපෑ මොනවා කරන්නත් නේද?” කියලා බුදුන් වහන්සේ පැවසුවා.
“ස්වාමිනි, සත්වයා යැපෙන්නේ කුමන ආහාරයක් මත ද?” ඔහු ඇහුවා.
“විඥාන ආහාරය මත” බුදුන් පැවසුවා.
“ඒ විඥාන ආහාරය කෙසේ සැකසේ ද? “
ඔහු නැවතත් ඇසුවා.
“ඇස මූලික කරගත් චක්ඛු විඥානය, කන මූලික කරගත් සෝත විඥානය…. මනස මූලික කරගත් මනෝ විඥානය, මේ විඥාන මූලික කරගෙන සත්වයා පවතිනවා.”
“එහෙනම් ස්වාමීනි, මේ ආහාර කුමකටද? “
“ඒක නේන්නං”
බුදු හාමුදුරුවෝ ඒ මනුස්සයාට මාළු බාන්න හේතු වෙච්ච කර්මය හා හේතු ඵලය ගලපලා මුළු සසරම පැවතුනේ විඥාන ආහාරය මත බව ඒ මනුස්සයාට අවබෝධ වන විදියේ ධර්මයක් දේශනා කරා. විඥාන ආහාරය අතහැරීම තුළ ඒ පුද්ගලයා එතනදිම රහත් බවට පත්වුනා.
මාර්ග පල තිබෙන, රහත් හෝ බුදු පසේ බුදු ආදී ඕනෑම ආධ්‍යාත්මිකයෙක් ගේ මනස, ආධ්‍යාත්මික පලය අභිබවා ප්‍රබල වන අවස්ථා තිබෙන්න පුළුවන්. ඒ නිසා ආධ්‍යාත්මික පලය මනසට අනුගත කරගතයුතුයි. සමහර අවස්ථාවන්හිදී, කල්‍යාණමිත්‍රත්වය තුළ බෝධි අංග සාකච්ඡා කරන්නේ ඒ සඳහා. ආධ්‍යාත්මික පලය පිළිබඳව, සත්වයා වෙනුවෙන් කළ හැකිය සේවය පිළිබඳව සිහිපත් කිරීමක් තමයි එතනදි වෙන්නේ. බොජ්ඣංග දේශනා කල අවස්ථාවන් පිළිබඳව ඕනෑතරම් උදාහරණ තිබෙනවා. ගෞතම බුදුන් වහන්සේට පවා බොජ්ඣංග දේශනා කල අවස්ථා තිබෙනවා.
ඥානයෙන් එන කාරණා පවා තේරෙන්නේ මනස හරහා. මනස මාධ්‍යය ලෙස භාවිතා වෙනවා. ඥානය ඇතුලට එන්නෙත්, එළියට යන්නෙත් මනස හරහාමයි. නමුත් ඥානය මනස තුළ නිර්මාණය වූවක් නොවේ. ඥානය ක්‍රියාත්මක වන විට මනසට මූලිකත්වයක් ලැබෙන්නේ නෑ. දෙව්දත් කියන්නේ මනස සහ හැඟීම. ඔබට වැරදුනොත් වරදින්නේ මනස සහ හැඟීම මත. ඥානයේදී තේරෙන කාරණා මනස තුළ දී අභියෝගයට ලක් වෙනවා. ඒ නිසයි කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ඕන. එතකොට ඥානය ඉස්මතු වෙනවා. තමන් කවුද කියන එක තේරෙනවා.
ගෞතම බුද්ධ ශාසනය ඉවරයි කියලා මිනිස්සුන්ට ප්‍රත්‍යක්ෂ කරන්න අමාරුයි. මොකද තොරතුරු පවතින නිසා. ඒ නිසා ගෞතම බුදු හාමුදුරුවෝ ඉස්සරහ තියාගෙන තමයි ඒ සාසනයට ගමන යන්න වෙන්නේ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ගෞතම බුදුහාමුදුරුවෝ මත ශ්‍රද්ධාව නිර්මාණය කරන්න බෑ. ඇයි බැරි.? එහෙම කෙනෙක් ඇත්තටම නැති නිසා. ඒක දැන් තොරතුරක් පමණයි. ඒක විශ්වාසයක් පමණයි. එහෙම කෙනෙක් නෑ. එහෙනම් ඔබේ ශ්‍රද්ධාව පිහිටන්න ඕන මෛත්‍රී බුද්ධ මත. මොකක්ද මෛත්‍රී බුද්ධ කියන්නේ අවංක පාරිශුද්ධත්වය.
මෛත්‍රී බුද්ධ ශාසනයට ආපු කවුරුවත් ආපහු මනුෂ්‍ය උප්පත්තියකට යන්නේ නෑ. රහත් නොවුනත්, ප්‍රඥාව පූර්ණ නොවුනත්, ආපහු මනුෂ්‍ය උප්පත්තියකට එන්නේ නෑ. සුද්ධාවාසයකට ගිහින් ඊළඟ බුදුන් පහල වෙන තෙක් ජාති, ජරා, ව්‍යාධි, මරණ දුකින් තොරව ගත කරලා, සියලු කර්ම නිරෝධ වෙලා ඊළඟ බුදු කෙනා පහල වුණ ගමන් පිරිනිවන් පානවා.
ධර්මය, ධර්මතා සහ න්‍යාය
2024-08-10