maithribodhi
maithribodhi

අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න

maithribodhi

බුද්ධ

තණ්හා මූලය සිඳීම

2023-06-25

Maithribodhi

(චතුරාර්ය ශක්තිය දේශනා - 2023-06-25)

 

තණ්හාව පිළිබඳ යාන්ත්‍රණය සත්වයාට මනසින් අවබෝධ කල හැකි දෙයක් නොවේ. සත්වයා ස්වභාදහම සමඟ සංයෝජනය කරන තණ්හාව ක්‍රියාත්මක වන යාන්ත්‍රණයත්, ද්විත්වය සහ පැවැත්ම සමග එය තව දුරටත් සහකම්පනය වෙමින් සත්වයාගේ පැවැත්ම තහවුරු වන ආකාරයත් බුද්ධ ඥානය තුලින් දැක තණ්හාවේ මූලය සිඳීම තුලින් සත්වයාට සසරින් ගැලවීමේ මාර්ගය තවත් එක් මාර්ගයක් ලෙස සනාතන ධර්මය තූළ, මාර්ග දර්ශනය තුළ ගොඩනගනු ලබයි.

 

 

සසර උපද්දවන කාරණය පාරභෞතික මට්ටමෙන් තියෙන එකක්. ඒක හරියටම මනසට ගෝචරයි කියලා කියන්න බෑ. තණ්හාව කියන්නේ මනස තුළ හටගන්නා කාරණා තුළම එකට එකතු වෙලා තියෙන දෙයක් . විශ්වයේ පවතින තණ්හාව හසු වන්නේ බුද්ධ ඥානය උපරිමයට වැඩූ කෙනෙකුට. 

 

බුද්ධ ශක්තිය කොටස් හතරකට බෙදෙනවා. ඒ තමයි බුද්ධ, බුද්ධ ඥානය, බුද්ධ දේශනා හා බුද්ධ දරාගැනීම. 

 

‘බුද්ධ’ කියන්නේ සත්ත්වයාගේ චින්ත සන්තානයේ සිට ඔහුගේ කර්මය මත, ඔහුගේ ලෝකය මත, ඔහුගේ ජීවිතය මත බුද්ධත්වය ස්ථාපිත කිරීමේ පරම පවිත්‍ර චේතනාව යි. එය සාක්ෂාත් කර ගැනීම අභ්‍යන්තර ලෝකය මෙන්ම බාහිර ලෝකය මත ද ක්‍රියාත්මක වෙනවා. 

 

‘බුද්ධ ඥානය’ කියන්නේ සත්ත්වයාට ධර්මය අතැඹුලක් සේ දේශනා කිරීමට විශ්ව ලෝක ධාතුව තුල සිට අගක් මුලක් කෙළවරක් නැති සසර මහා විහිදුනු බුද්ධ විෂයය, චිත්ත විෂයය, කර්ම විෂයය ලෝක විෂයය යන අචින්ත්‍ය වූ විෂයය පථය දේශනා කිරීමේ ඥානයයි.

 

සත්ත්වයාගේ කර්මය මත, ඔහු ගේ මැදුම් පිළිවෙත මත, සත්ත්වයාට ධාරණය වන ආකාරයට මේ ධර්මය හේතුඵල ගලපා දේශනා කිරීම ‘බුද්ධ දේශනාව’යි.

 

අචින්ත්‍ය වූ මහා කල්ප කෝටි සතසහස්සෙය්‍යාවක් තිස්සේ වැඩුණා වූ මහා ගම්භීර වූ මේ සද්ධර්මය දරා ගැනීම, සත්වයා දරාගැනීම බුද්ධ ඇතුළු අනිත් කාරණා දරා ගැනීම, මේ සම්පූර්ණ දරාගැනීම ‘බුද්ධ දරාගැනීම’ නම් වෙනවා.

 

සත්වයා වනාහී, මනස මූලික කරගත් ජීවීත්වයක්. සත්වයාගේ මනස තුල ඇස, කන, නාසය.. මූලික වුණු, ඇස කන නාසය.. මත හටගන්නා වූ විඥානත්, මනස මූලික කරගත්ත විඥානත් පහල වෙනවා. ඒ විඥාන ටික ලෝකය කරගෙන සත්වයා ජීවත් වෙනවා.  ලෝකය හැදුණේ නිකන් නෙවෙයි. ක්‍රියාවක් මත. ඒ ක්‍රියාවක් මත ලෝකය හැදෙන එක තමයි කර්මය වෙන්නේ. ක්‍රියාවකින් තොරව ලෝකය හැදුවනම් ප්‍රශ්නයක් නෑ. නමුත් ක්‍රියාවක් මතයි මේ ලෝකය හදන්නේ. ඒ ක්‍රියාවේ විඥානය, මම මගේ විදියට කර්මය හා බැඳිලා, පටිච්ච වෙලා පටිච්චසමුප්පාදගතව පවතිනවා. 

 

ඒ විඥානය තුළ, ලෝකය තුළ, මම මගේ කියමින්, දහම විලාසයෙන් හෝ පෘථග්ජන විලාසයෙන්, නානාප්‍රකාර වූ විලාසයෙන් ඉන්නවා. විඥානයට කේන්ද්‍රගත වුණු මමත්වයද, එය ක්‍රියාත්මක කරවන කර්මයද, එකට එකතුවෙලා, සත්වයා කියන ස්වභාවය පවතිනවා. ඔහු කර්මය මතම, මමත්වය මතම, ලෝකය මතම ඉපදෙමින් මැරෙමින්, ඉපදෙමින් මැරෙමින් ඉන්නවා. ඒක මතම උපදිනවා, ඒක මතම මැරෙනවා. මෙන්න මෙහෙම ඉන්න සත්වයන් සසර පුරාවටම කළේ එකම දේ. අද කරන්නෙත් එකම දේ. තව කල්ප කෝටි ගාණක් සිටියත් කරන්නේ එකම දේ. කනවා, බොනවා,... කරන්නේ එකම විඥානය පෝෂණය කරන එක. අතීතයේ කළෙත් විඥානය පෝෂණය කරන එක, වර්තමානයේ කරන්නෙත් විඥානය පෝෂණය කරන එක, අනාගතයේ කරන්නෙත් විඥානය පෝෂණය කරන එක.

 

විඥාන කියන්නේ කුමක්ද?

 

ඇසට සංඥාව උපදින්නේ ආලෝකය මත. කනට ශබ්දය ගමන් කරන්නේ මොකක් මත ද? ඒත් ආලෝකය මත. නාසයට සුවඳ දැනෙන්නේ ආලෝකය මත.  දිවට රස දැනෙන්නේ ආලෝකය මත. ශරීරයට ස්පර්ශය දැනෙන්නේ ආලෝකය මත. ආලෝකය තමයි සතර මහා ධාතූන්ගේ විභජනය නිර්මාණය කරන්නේ.

 

උදාහරණයක් හැටියට අයිස් කැටයක් ගත්තොත් තිබෙන ආලෝකයේ ප්‍රමාණයට අනුව අයිස් කැටයේ තියෙන ජල ප්‍රමාණය ඝන ප්‍රමාණය තීරණය වෙනවා. මේ ලෝකයේ සියලු වස්තූන් නිර්මාණය වන්නට (හේතු වන) ආලෝකයේ ධාරිතාව ආලෝකය උරා ගැනීම සහ ආලෝකය නැවත පරාවර්තනය කිරීමේ න්‍යායන් මේකට ගැබ් වෙලා තියෙනවා. ආලෝකයේ ප්‍රමාණයන් දරාගන්න පුළුවන් ශක්තීන් යම් යම් ආකාරයට සකස්වෙලා නිර්මාණය වෙලා තියෙනවා. කලුගල් සිමෙන්ති කළේ ආලෝකය තුළ තියෙන න්‍යයන් මත පදනම් වෙලා. මේ ලෝකයේ සියල්ල පවතින්නේ ආලෝකය මත පදනම් වෙලා. ආලෝකය කියන නියාමයට ඒ තුල  පවතින ධර්මතාවය මූලික වෙලා ධර්මතාවයට පදනම් වෙලා තමයි, විශ්වයේ පවතින සියල්ල නිර්මාණය වෙලා තියෙන්නේ. 

 

මේ ලෝකය තුළ විශ්වය තුළ යම් සංඝටකයක් පවතිනවා නම්, සංයුතියක් තියෙනවනම්, ආලෝකයේ යම් සංඝටකයක් ඒ සියල්ලටම අන්තර්ගතයි. ඒ සංයුතියේ තියෙන ආලෝක සංඝටකය අයින් කලොත් මොකද වෙන්නේ, විශ්වයෙන් ඒ සංයුතිය අතුරුදන් වෙලා යනවා. අතුරුදන් වෙනවා කියන්නේ මොකද්ද? විශ්වය කියන ධර්මතාවට අයිති නැති වස්තුවක් බවට පත්වෙනවා. එතකොට මේ ශරීරය, පංචෙන්ද්‍රියන්ට මේ ආලෝකය වැඩි කළොත් මොකද වෙන්නේ? ශරීරයේ තියෙන සංයුතිය සම්පූර්ණයෙන් වෙනස් වෙලා යනවා. එතකොට ඇසට රූප පෙනෙන්නෙ නෑ. රූප හටගන්නේම ආලෝකය නිසා. පංච ඉන්ද්‍රියන්ගෙන්ම හටගන්නේ රූපයක්. ඒ රූපය හටගන්නේ ආලෝකයෙන්. ආලෝකය අඩු වැඩිවීම මත රූපය නිර්මාණය වෙනවා. බුද්ධත් ආලෝකය හා සමානයි. බුද්ධටත් දර්ශනය තියෙනවා. ඒ තමයි බුද්ධ දර්ශනය. 

 

බුද්ධගේ ඥාන ශක්තිය ආලෝක ධාරා තුලින් බුද්ධ දර්ශනය නිර්මාණය කරනවා. දස දහසක් වූ අනන්ත ලෝක සත්වයා බුද්ධට දර්ශනය කරගන්න පුළුවන්. ඒ දර්ශනය වන සියලු ලෝක සත්වයා දෙස බලමින්, ඔවුන්ගේ ගැලවීම පිණිස, එතෙර වීම පිණිස, ඔවුන්ගේ නිවීම පිණිස චතු අන්තර්ගත බුද්ධ ඥාන තුළ පිහිටවූ මේ ශ්‍රී සත්ධර්මය ලෝකයාට දේශනා කරනවා.

 

එතකොට බුද්ධ කියන්නේ තවත් සූර්යයාවක්. සත්ත්වයාගේ මෝහ අඳුර නැතිකරන. 

 

මෝහ අඳුර වන්නේ කුමක්ද? මේ සූර්යාලෝකයෙන් හටගත්, පංච ගෝචරයන් ස්පර්ශ වුණු, මනේන්ද්‍රිය ස්පර්ශ වුණු, චක්ඛු සෝත ඝාණ විඥාන මූලික කරගත්, ආලෝක සංයුතියෙන් අඩංගු සෛල මත භ්‍රමණය වන සෛල මත ක්‍රියාත්මක වන ආලෝක වස්තුවක්. යම් දිනක මේ සූර්යයා විශ්වයෙන් අතුරුදහන් වෙලා ගියොත්, ඔබ දන්නවද විඥානය අහෝසි වෙලා යන බව. හරියට පිරිනිවන් පෑවා වගේ. සූර්යයා අතුරුදහන් වෙලා ගියොත් සත්ත්වයාගේ විඥානය අතුරුදහන් වෙලා යනවා. ප්‍රශ්නය තියෙන්නෙ සූර්යයා අතුරුදහන් වෙන්නේ නෑ. 

 

විඤ්ඤාණය කියන මේ ආලෝක ධාතුව මත, මමත්වය, මම කියන සංකල්පය ගොඩ නැගිලා, ඒ ගොඩනැගුණු මම කියන සංකල්පය මත සත්ව පුද්ගල ක්‍රියාවක් නිර්මාණය වුණු නිසා සත්වයා කියන ස්වභාවය ක්‍රියාත්මක වෙනවා. විඤ්ඤාණය කියන,  සූර්යයාගෙන් බිහිවුනු ආලෝක කදම්බය, ආලෝක ධාතුව තමයි සත්වයාගේ මුලාව; සත්වයාගේ ලෝකය.  ඔබට හීන පේන්නෙත් එකෙන්ම තමයි. මේ ධර්මය විඥානයෙන් ගෝචර කරගන්න බලනවා. ඒ කියන්නේ අවිද්‍යාවෙන් ගෝචර කරගන්න හදනවා. ඔබේ අවිද්‍යාවට මේ දර්ශනය ඉපදුනා නම්, ඔබ හිතනවා අන්න මට වැටහුණා කියලා. 

 

ඔබට අවබෝධ වුණා කියන්නේ, තේරුණා කියන එක හෝ වැටහුණා කියන එක නෙවෙයි. මතකයේ තියෙනවා කියන එක නෙවෙයි. විඥානයත් එක්ක ගැලපුනා කියන එක නෙවෙයි. එහෙනම් මොකක්ද? බුදුවරු මහරහතන් වහන්සේලාගේ ආලෝකය ඒ අයට ලැබෙන්නට ඕන. මහරහතන් වහන්සේලා කියන්නෙත් බුදුවරු. මේ අය ථේරවාදයේ හෝ හීනයානයේ අය නෙවෙයි. ඒ අයගේ ඥාන දර්ශනය ලැබෙන්නට ඕන. විඥානයෙන් නොසිතන විඥානයෙන් ගලපා ගන්නේ නැති කලාව ඔවුන්ට ද ස්පර්ශ වෙන්නට ඕන. කර්මය හදාගන්නේ නැතිව ඉන්න විදිය කියලා දෙන්නට ඕන. 

 

කොහොමද මේ විඤ්ඤාණය කියන අවිද්‍යා සහගත ආලෝකයට සාපේක්ෂව සත්වයා තුළ බුද්ධ කියන ආලෝකය බිහි කරන්නේ? 

 

එදා ගෞතම බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේලා ගමක් ගමක් ගානේ, ගෙයක් ගෙයක් ගානේ පිණ්ඩපාතේ ගිහින්, සත්වයා සමඟ හේතුඵල ධර්මය නිර්මාණය කළා.

 

එතකොට බුද්ධ අංකුරයක් ඔවුන් තුලත් වැඩෙන්න පටන්ගන්නවා. බුද්ධ කියන ආලෝකය ටිකෙන් ටික ටිකෙන් ටික වැඩි වෙන්න පටන් ගන්නවා. එහෙම වැඩිවෙනකොට විඤ්ඤාණ ලෝකයේ කතන්දරය ටිකෙන් ටික තේරෙන්න පටන් ගන්නවා. එතකොට හිතන්න පටන් ගන්නවා මම මේ මොකටද අහු වෙලා ඉන්නේ? මම මේ එකම දේ නේ කර කර ඉන්නේ. එකම දේ නේද කකා බිබී ඉන්නේ. මම හිර වෙලානේද ඉන්නේ?. මම මේකෙන් ගැලවෙන්න ඕන නේද කියන දේ ඔවුන් තුල වැඩෙන බුද්ධට තේරෙන්න පටන් ගන්නවා. බුද්ධ කියන්නේ අර විද්‍යා සහගත ආලෝකය. අවිද්‍යා සහගත ආලෝකයේ බලපෑම දුරු වෙන්න පටන් ගන්නවා. සත්වයා අවිද්‍යා ආලෝකය සහිත සූර්යාගෙන් මිදිලා බුද්ධ සූර්යයා සමඟ එකතු වෙන්න පටන් ගන්නවා. 

 

බුදුවරු රහතන් වහන්සේලා ලොව පහල වෙන්නේ, සත්ත්වයාට බණ කියන්නම නෙවෙයි. සත්ත්වයාට බණ කිව්වට ඔවුන්ට තේරෙන්නෙ නෑ.. කොහොමද මොවුන් සසරෙන් ගලවන්නේ? ඒකට කුසල හේතුඵල හදන්න ඕන. මොවුන් කර්මයේ පැටලිලා ඉන්නේ. කර්මයෙන් ඉපදිලා කර්මයෙන් මැරිලා යනවා. සත්වයාට කර්මයෙන් ගැලවෙන්න බැරි වෙලා ඉන්නේ.  එතකොට මොකද කරන්න වෙන්නේ. කුසල හේතුඵල හදන්න. කුසල හේතු හදන්න. කුසල කර්ම හදන්න. එතකොට ඔවුන්ගේ ඇතුළෙන්ම ධර්මය තේරෙන්න පටන්ගන්නවා. ඒකට තමයි බුදුවරු රහතන් වහන්සේලා පහළ වෙන්නේ සත්වයා වෙනුවෙන්. ඔවුන්ට බණ කියන්න නෙවෙයි. ඔවුන්ට බණ කිව්වටම තේරෙන්නේ නෑ. කුසල හේතු ඵලය හදාගන්න. එතකොට කුසල විපාක ලැබෙනවා. 


 

බුදු ඇසින් දකින විට සත්වයාට අදාළ කර්ම පථයක් තියෙනවා. මොකක්ද මේ සත්වයා ඉන්න කර්මපථය? කුසල කර්මපථ සහ අකුසල කර්ම පථ. මේ ලෝකයේ සෑම වස්තුවකටම සෑම අංශුවකටම චලනයක් තියෙනවා. කම්පනයක් තියෙනවා. සූර්යයාත් චලනය වෙනවා. පෘථිවියත් චලනය වෙනවා. අංශුත් චලනය වෙනවා. එලෙසම, ඔබේ ඇතුලේ ආලෝකය කේන්ද්‍රකරගත්, සූර්යාලෝකය කේන්ද්‍ර කරගත්, අවිද්‍යාව කේන්ද්‍රකරගත් මමත්වය කියන සංකල්පය මත පදනම් වුණු කම්පනයක් තියෙනවා.

 

එක එක සත්වයාගේ මමත්වයන්ට අනුව මේ කම්පනයන් ඇතිවන ආකාරයන් වෙනස්. යම් කිසි කෙනෙක් මේ කම්පන ඇතිවන ආකාරයන් දකින්න පුළුවන් තරම් ඥානය දියුණු කලොත්, ඔහුට කර්මපථයන් කියවන්න පුළුවන්. හරියට අතීතයේ තරු රටා බලලා පාර කිව්වා වගේ. ඒ ඥානය තියෙන කෙනාට, මේ කම්පනයට බලපෑම් කරන්න පුළුවන්, කර්ම පථයට බලපෑම් කරන්න පුළුවන්. ඒ බලපෑම තුළ ජීවිතය, ජීවන රටාව හිතෙන විදිය බොහෝ දේ වෙනස් වෙනවා. ඒ මොකද? කම්පන සංඛ්‍යාතය වෙනස් වෙනවා. ඒ කම්පනය තුළ තමයි ඔහු සම්බන්ධ වෙලා ඉන්නේ. ඇලිලා ඉන්නේ. අහු වෙලා ඉන්නේ.  සත්වයා අවංකත්වය මත පිහිටන වෙලාවක කර්ම පථය සමඟ සම්බන්ධ වෙලා ඒ කම්පනය තවත් භවයකට යන්නේ නැති වෙන්න වෙනස් කරන්න පුළුවන්. ඒක තමයි මෛත්‍රී බුද්ධ සාසනය කියලා කියන්නේ. 

 

සියලුම සත්වයන්ගේ විඤ්ඤාණයත්, කර්මය සහ කර්ම පථයත් සොබාදහම තුළ පවතින රාග, ද්වේශ, මෝහත් තුළ පවතින ගැඹුරු අන්තර්ගතය පිළිබඳව පැහැදිලි කිරීමක් තියෙනවා තණ්හා, රති, රගා කියලා. සත්ව පුද්ගල ආත්ම ලෙස මේ ධර්මය පැහැදිලි කළෙත් රාග ද්වේශ මෝහ කියලා පැහැදිලි කරන්න පුළුවන්. නමුත් විශ්ව ලෝක ධර්මය තුළ සිට, බුද්ධ ඥානය තුළ සිට පැහැදිලි කරොත් තණ්හා, රතී, රගා කියලා පැහැදිලි කරන්න වෙනවා. 

 

මෛත්‍රී බුද්ධ ශාසනය තුළ තණ්හා, රතී, රගා වලට දෙන අර්ථකථනය කුමක්ද? තණ්හාව තුළ අන්තර්ගත න්‍යාය පෙන්වාදීමත්, රතිය තුළ අන්තර්ගත න්‍යාය පෙන්වාදීමත්, රාගය තුළ අන්තර්ගත න්‍යාය පෙන්වා දීමත් තමයි අර්ථකථනය විදියට ඉදිරිපත් කරන්නේ.

 

තණ්හාව කියන්නේ හාවීමක්. සියලුම සත්වයන්ගේ  මොලය මැද එනම් න්‍යෂ්ඨිය තුළ (pineal gland එකද කියන්න හරියටම දන්නේ නෑ) තියෙනවා, සංඥා කුලුනක මුදුන වගේ ඉතා කුඩා හා සියුම් දෙයක් තියෙනවා තරංග ස්පර්ශ වෙන. ඒක කුඩා අල්පෙනෙත්තක් වගේ. භෞතිකව ඒක අඳුරගෙන තියෙනව ද කියන්න දන්නෙ නෑ. නමුත් එහෙම දෙයක් බුද්ධට දර්ශනය වෙනවා. එය සෑම සත්වයෙක් තුළම තියෙනවා. එතනට ස්වභාදහම තුල තියෙන සියුම් ශක්තියක් සංවේදනය වෙලා සියුම් පුළිඟුවක් වගේ දෙයක් ඇති වෙනවා. ඒ තුළින් තමයි සත්ත්වයාට "මම ඉන්නවා, මට ඕනෑ" කියන අදහස ඇතිවෙන්නේ. තණ්හාව කියන සංසිද්ධිය ඇති වෙන්නේ. 

 

තණ්හාව කියන එක ස්වභාදහම තුළ තිබිලා සත්වයාට අනු කොටසක් වශයෙන්  දායාද වෙච්ච දෙයක්.  සතර ඉර්දිපාද වැඩූ කෙනාට ස්වභාදහම සහ සත්වයා කම්පන සංයෝජනය (spark) වන තැන තියෙන මේ තණ්හාව අහුවෙනවා.  අපි තේ එකක් බොන්න තියෙන කැමැත්ත වගේ ඒවා මේ තණ්හාවේ අතුරුඵලයන් වගේ ඒවා.  ස්වභාව දහමේ  තියෙන තණ්හාව ග්‍රහණය වුණාට පස්සේ සත්වයා ඒක එක එක විදියට පාවිච්චි කරනවා. උදාහරණයක් කිව්වොත් භාෂාවක් කීප දෙනෙකුට හම්බුනාම ඒ අය  ඒ භාෂාව විවිධ විදිහට පාවිච්චි කරනවා වගේ. තණ්හාවත් අපි විවිධ විදිහට පාවිච්චි කරනවා.  නිවන් දක්වන එක ක්‍රමයක් තමයි මේ තණ්හාවෙන් ගලවන එක.  ස්වභාව දහමේ තියෙන තණ්හාවයි සත්වයාගේ තියෙන  තණ්හාවේ අනුකොටසයි  අතර සම්බන්ධය බුද්ධ ඥානයෙන් කඩන්න පුළුවන්.  එතකොට සසර උපද්දවන තණ්හාව  නිරෝධයි.  නමුත් සත්වයා දන්නේ නෑ. එයා සසරින් ගැලවිලා කියලා.  නමුත් එහෙම කරන්න හේතුවක් තියෙන්න ඕනා. සසර ගොඩනගපු හේතුවක් තියෙන්න ඕන.  හැම රහතෙක්ම  හැම තණ්හාවක්ම නිරෝධය කරන්නේ නෑ. සත්වයාගේ අනු කොටස වශයෙන් තියෙන තණ්හාව ස්වභාදහමේ තණ්හාවත් සමඟ ගනුදෙනු කරන මම කියන පටිච්චසමුප්පාදය තමයි, සාමාන්‍යයෙන් රහතෙක් බිහිවෙන විට අයින් වෙන්නේ. මමත්වය නැති කරහම තණ්හාවට ක්‍රියාත්මක වෙන්න විදිහක් නෑ.

 

ලෝකය හටගෙන තියෙන්නේ ද්විත්වයක් මත, මෙතනදි කතා කරන්නේ තමා ගේ ලෝකය නෙවෙයි, බාහිර ලෝකය. අභ්‍යන්තර ලෝකයත් එහෙමම තමයි. උතුර-දකුණ වගේ, කාන්දමක ධ්‍රැව දෙක වගේ. මේ ද්විත්වය නිසා ඔබට නොසැලී ඉන්න බෑ. හැමතිස්සෙම කම්පනය වෙනවා. එකක් පවතින්නෙ නෑ අවම ලෙස දෙකක් ඕන. මේ ද්විත්වයක් විදියට හට ගැනීම තමයි රතිය කියලා කියන්නේ. තණ්හාවේ කතන්දරය සිද්ධවෙන්නේ මේ රතියත් එකතුකරගෙන තමයි. හාවීම සිදු වෙන්නේ ද්විත්වයත් එකතු කරගෙන.

 

රගා කියන්නේ සත්ත්වයාගේ පැවැත්ම. සොබාදහමේ පැවැත්ම. ඔබේ ශරීරය මුහුණ කට ඔය විදියට හැදිලා තියෙන්නේ, මේ සියල්ල මේ විදියට හැදිලා තියෙන්නේ පැවැත්මට. සියලු සත්වයාගේ ම පැවැත්මට ස්වභාදහමෙන් කාරණා ඔය විදියට නිර්මාණය වෙලයි තියෙන්නේ. 

 

තණ්හාව කියලා හඳුන්වන ධර්මතාවය තුළ ස්වභාදහම සත්වයා සමග කම්පනය (spark) වනවිට කර්ම පථයට ඒක ඇදලා ගන්නවා. ඒ තුළ සසර හැදෙනවා. ද්විත්වය තුළ ඒක තව ගැලපෙනවා. ඒ තුළ තව තව රාගයට පැවැත්ම හැදෙනවා. සත්වයා කියන්නේ කර්ම පථය. ඔබේ කර්මය හා කර්මපථය ගොඩනැගෙන්නේ මේ ස්වභාදහම පුලිඟු ආකාර ගැටීම (spark වීම) තුලින් සිදු වන සංවේදනය හෙවත් තණ්හාව, ද්විත්වය හෙවත් රතිය සහ පැවැත්ම හෙවත් රාගය මතයි. ඒ නිසා සත්වයා අන්ධයි, මුළාවට පත් වෙලා ඉන්නේ. ඔවුන්ට මේ සංසිද්ධිය තේරෙන්නෙ නෑ, තණ්හාවත් එක්ක ඉන්නේ. ද්විත්යත් එක්ක ඉන්නේ, සාපේක්ෂව බලමින් ඉන්නේ. දහමත් සාපේක්ෂව බලනවා. පැවැත්ම මත තමයි දහමත් සොයන්නේ. ඔබට හිතන පතන සියල්ල ලැබෙනවා කියන්නේ,.. ඒ තමයි මාරයා. නමුත් ඔබ සිතන්නේ හිතන පතන සියල්ල නොලැබීම මාරයා කියලා. නොලැබෙන එක තමයි බුද්ධ ස්වභාවය. ලෝකයෙන් ගැලවිච්ච ස්වභාවය  පැවැත්ම අඩු වෙනවා පැවැත්මෙන් ගැලවෙනවා. ලෞකික දුක දැනෙනවා නම් එතන බුද්ධ තියෙනවා, කුසලය තියෙනවා. මොකටද නිවන මූලික කරගෙන. 

 

සැපසම්පත් තියෙනවනම් ඒකට ඇලිලා ජීවත් වෙනවා. තණ්හාවට රතියට රගාට ඇලිලා ජීවත් වෙනවා. ඔවුන්ට විඥානයක් මායාවක් කියලා කාරණයක් තියෙනවා කියලා තේරෙන්නෙවත් නෑ. ඒ නිසා කර්මය විසින් සත්ත්වයාට ටොකු අනිනවා. නැත්තං ජීවිතේ මොකක්ද කියලා තේරෙන්නේ නෑ. එතකොට රිදීම කණස්සල්ල පීඩාව දැනෙන්න පටන් ගන්නවා. 

 

අද බොහෝ ධර්මය අවබෝධ කරගත්තා කියලා හිතාගෙන ඉන්න අය අමාරුවේ වැටිලා ඉන්නේ. අවබෝධ කරගත්තට තණ්හා, රතී, රගා තියෙන හින්දා ඒ මතම තමයි ඔවුන් ක්‍රියාත්මක වෙන්නේ. “මම තමයි අවබෝධ කරගත්තේ මම තමයි දන්නේ. මට තමයි මේක තේරුනේ. මේ ඉන්නේ මගේ කට්ටිය.” ඔවුන් තුල  මෙවැනි සිතුවිලි පහල වෙනවා. තණ්හා, රති, රගා තුළ තමයි ඔවුන් මේ දහම වයන්නේ. 

 

නිවන් දකිනවා කියන්නේ මොකක්ද?

සසරින් එතෙර වෙනවා කියන්නේ මොකක්ද? 

දැන් මේ කියන එක තුළ සසර කොතනද තියෙන්නෙ? 

 

සසර තියෙන්නේ තණ්හා, රතී, රගා වල නෙවෙයි. තණ්හා, රතී, රඟා ඔබට නැති කරන්න බෑ. ඒවා මේ ලෝකේ තියෙන ධර්මතා තුනක්. සොබාදහම සත්වයා සමග සිදුවන පුළිඟු ආකාර කම්පනය (spark වීම), ද්විත්වය සහ  පැවැත්ම ඔබට නැති කරන්න බෑ. 

 

සූර්යයා කියනකොට ඔබේ හිතේ හටගත්ත සූර්යයා කුමක්ද? එලියෙ ඉන්න සූර්යයාද? නෑ. ඔබ ඇතුලේ හට ගත්ත සූර්යයා තමයි සූර්යයා කියලා ඔබට දැනෙන්නේ. ඒ මතකය තුල තියෙන සූර්යයා. එතනම බොරුවක්. 

 

සත්වයා ගැලවෙන ක්‍රම ගණනාවක් තියෙනවා. සත්වයාගේ අභ්‍යන්තරයෙන් කර්ම පථයෙන් විසන්ධි කරලා ගලවන එක කරන්න පුළුවන්. වර්තමානය තුළ ගැලපෙන හේතුපලය කඩලා ගලවන්න පුළුවන්. එයා ඉන්න තැන පෙන්නලා දීලා ගලවන්නත් පුළුවන්. මේ මොකුත් නැතුව එයාගේ ඇතුල පිරිසිදු නම් කර්ම පථය එක්ක සම්බන්ධවෙන්න හේතු සැකසුනොත් ඒ හරහා කර්ම පථය වෙනස් කරන්න පුළුවන්.

 

රහත් වෙද්දි නැති කරන්නේ සසර ගොඩනගන හේතුව විතරයි. ඒ හේතුව නැති කළාට එයාට කාලා බීලා සතුටින් ඉන්න පුළුවන්. හැබැයි එයා දන්නවා මේ මොනවා කළත් පවතින්නේ නැති බව. කකුල උස්සපු කෙනා නෙවෙයි කකුල තියන්නේ. ඒක අවබෝධයක් නෙවෙයි. ඒ බව එයාට දැනෙනවා. 

 

පෙරදී තණ්හාව තියෙනකොට හැම දෙයක්ම මම මගේ කියන එක උඩ ගොඩනැගුණ වගේ, ඒක හිතලා කලේ නෑ නිකං ම සිදුවුනා වගේ අත්දැකීමක් තියෙනවා නේද? දැන් ඒක පෑනක් කොච්චර කෙළින් කරල තිබ්බත් වැටෙනවා වගේ, වැටෙනවා. පවතින්න බෑ. ඇයි ඒ? කර්මය කර්ම පථය වැඩ කරන්නේ නෑ. ඇල්ලිලා ඉන්නෙ නෑ. ගැලවිලා ගියාට පස්සේ දහම කියලා එකකුත් නෑ. 

 

රහතෙක් ගාව සමහරවිට සමාධි නැති වෙන්න පුළුවන්. ධ්‍යාන නැති වෙන්න පුළුවන්. මොනවා හරි තේරුණා කියලා තේරෙන්නේ නැති වෙන්නත් පුළුවන්. 

 

රහතෙකුගේ කර්ම පථය තුළට තණ්හාවට අදාළ කම්පනය (spark වීම) උරාගැනීමක් (absorb) වෙන්නේ නෑ. ද්විත්වය තුළ කම්පනය (vibrate) වුණත් එක තැන තමයි තියෙන්නේ; යන්නේ නෑ. පැවැත්ම හැදෙන්නේ නෑ. ඔහේ ඉන්නවා. 

 

මොකුත් දේවල් දන්නේ නැති වුණාට හැමදේම බොරුවක් බව කියන්න දන්නවා. කියන්න තේරෙන්නේ නෑ. මොකද කියන්න වෙන්නේ බොරු. අර ආලෝකය කියන විඤ්ඤාණයෙන් හදාගත්ත කතාව තමයි කියන්න වෙන්නේ. විඥානය කියන්නේ බොරු. උදාහරණයක් ගත්තත් බොරු. 

 

සූර්යයා මත අනිත් ග්‍රහයන් කේන්ද්‍රගත වෙලා තියනවා. ලෝකේ තියෙන හැම වස්තුවක්ම එකක් එකිනෙකට කේන්ද්‍රගත වෙලා තියෙන්නේ මේ විදියට. ඒ කේන්ද්‍රගත වුනාට ශක්තියක් භ්‍රමණය වෙමින් තමයි පවතින්නේ. ඒ විදියට අපේ මනස තුළ විශ්වයේ තියෙන අනෙක් වස්තු කේන්ද්‍රගත වෙලා තියෙන්නේ. 

 

එතන කැඩුවා නම් ඇති. 

"අනේක ජාති සංසාරං - සන්ධාවිස්සං අනිබ්බිසං…"

ගේ හදන වඩුවා..

මෙතැන තමයි ස්වභාදහම සත්වයා සමග කම්පනය ( spark)  වන තැන. එතන තමයි කඩාගන්ඩ ඕන.

කැණිමඩල එතන තමයි තියෙන්නේ.

වඩුවා හොයා ගත්තා.

කවුද මේ වඩුවා තණ්හාව තමයි වඩුවා.

තණ්හාව කියන්නේ වචනයක් අර්ථකථනයක් නෙමෙයි. 

ධර්මතාවයක් න්‍යායක්.

 

මේ තණ්හාව පවතින න්‍යාය, බුද්ධ තුළ ගොඩ නැගුවාම, තණ්හාව සම්බන්ධ වන අල්පෙනෙත්තක් වෙනි කොටස සමග තණ්හාව වෙනුවට බුද්ධ සම්බන්ධ වෙනවා. තණ්හාව විසන්ධි වෙනවා. ඒක කර්මපථය විසන්ධි කරනවට වඩා  වෙනස් ක්‍රමයක්. 

 

ද්විත්වය වැඩ කරන එකට බුද්ධ සම්බන්ධ කරල, ඒ කම්පනයට සමානව බුද්ධගේ කම්පනය හදනවා. සත්ත්වයාගේ පැවැත්ම රාගය හැදෙනවා වෙනුවට, බුද්ධ හරහා පැවැත්මක් හදනවා. 

 

එතකොට කර්ම පථයෙන් සත්වයා ගලවන්න පුළුවන් වන්නේ යම් සේද, තණ්හාව වෙලා තියෙන තැනිනුත්, රතිය වෙලා තියන තැනිනුත්, රාග වෙලා තියෙන තැනිනුත් සත්වයා ගලවන්න පුළුවන්. එහෙම ගැලෙව්වාම සත්ත්වයාගේ පැවැත්මක් නෑ. ඒ නිසා බුද්ධ තුළින් එහෙම ගලවපු සත්වයන්ට අලුත් පැවැත්මක් හදනවා ඒ තමයි අරහත් බෝධිය. 

 

ගෞතම බුදුහාමුදුරුවෝ බෝධිමූලයේ නතර වුණා. ඇයි එහෙම නතර වුණේ? තව එහාට යන්න තිබුනා. තවත් ගියානම් සත්ත්වයාට සේවය කරන්න බෑ ඒ නිසා බෝධිමූලයේ නතර වුණා. මහ රහතන් වහන්සේලාටත් තව ඕන්නං මාර්ගය වඩාගෙන යන්න පුළුවන්. සතර ඉද්ධිපාද වඩාගෙන යන්න පුළුවන්. යන්නේ නැතුව ඒ බෝධිමූලයේ නතර වෙනවා. ඒ බෝධි මූලයට තණ්හා රතී රගා ඇවිල්ලා සම්බන්ධ වුණාට, කර්ම පථ හටගන්නේ නෑ ඒක තමයි රහස. ඒ අය ඉන්න විදියටම ඉන්නවා හැබැයි ඉන්නේ බෝධි මූලයේ. බෝධි මූලය හැදුනේ කොහොමද? තණ්හා රති රගා විසන්ධි වෙලා ඒ වෙනුවට වෙනම පැවැත්මක් හදා ගන්නවා. ඒක කෘතිමව හදා ගන්න එකක්. ඒක හදා ගත්තට පස්සේ තණ්හා රති රගා ආපහු සම්බන්ධ වෙනවා. එතකොට සත්වයාත් වෙනදා වගේම ඉන්නවා. නමුත් කර්ම පථ හටගන්නේ නැහැ. හටගත්ත සැනින්ම නිරුද්ධයි. ඒක හිතලා මෙනෙහි කරන දෙයක් නෙවෙයි. වෙන්නේ ඒක. ඒ කතාව ඔබට තේරුම් ගන්න අමාරුයි. 

 

බෝධි මූලයට ඇවිල්ලා ආපහු තණ්හා, රති, රගා සම්බන්ධ වුණාට කමක් නෑ ආපහු කර්ම පත හටගන්නේ නෑ. ගෞතම බුද්ධ ශාසනය වගේ විනය මත පවතින එකක් නෙවෙයි. එදා තිබුණු ක්‍රමය අදට ගැලපෙන්නේ නෑ. අද තම තමන් කාලා බීලා ඇඳලා තම තමන් කැමති විදියට පරිසරය නිර්මාණය කරගෙන තම තමන්ට රිසි සේ, ස්වාධීනව කටයුතු කරන්න පුළුවන්. බුදුවරයා තණ්හාව නිරෝධය කරන්නෙත් නෑ. තණ්හාව අවබෝධ කරන එකයි කරන්නේ.  යාන්ත්‍රණය දන්න නිසා බුදු වරයාට ඒක ඕන විදියට පාවිච්චි කරන්න පුළුවන්. කිසිම දෙයක් නැති කරන්නේ නෑ.  එහෙම නැති කරන්න බෑ.  කෙලෙස් උනත් ප්‍රහීණ කරන එකයි කරන්නේ. ප්‍රහීණ කරනවා කියන්නේ අවබෝධ කරගෙන ඒක ඉක්මවා යනවා කියන එකයි. එතකොට ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන්.

 

ගෞතම බුදුන් වහන්සේ අවසන් වරට තමන් උපන් ප්‍රදේශය අතහැර යන විට කිඹුල්වත් නුවරින් එන සුළඟත් සැපයි කියලා කිව්ව බව ප්‍රසිද්ධ කරුණක්.

 

සාරාංශයක් ලෙස ගතහොත් තණ්හාව ක්‍රියාත්මක වන යාන්ත්‍රණයත්, ඒ සමග ද්විත්වය හෙවත් රතිය සහ ස්වභාදහමේ පැවැත්ම හෙවත් රාගය සම්බන්ධ වන ආකාරයත්, තණ්හා මූලය ගැලවීම තුලින් සත්වයා සසරින් ගලවන ක්‍රමවේදයකුත් පැහැදිලි කලා. ඒ ක්‍රමවේදය තුලින් ගැලවුණු කෙනෙකුට තණ්හා, රති, රගා මත බෝධිය පිහිට වන ආකාරයත් මෙහිදි විස්තර වුණා.

 

Buddha Bodhi ලෝක

ධර්මය, ධර්මතා සහ න්‍යාය

ධර්මය කියන එක සැලකුවාම ඒ තුළ ස්වභාවයන්, ලක්ෂණ, තොරතුරු, ක...
Buddha Bodhi ලෝක

පෘතුවිය, සක්වල හා ආත්මය

*පෘතුවිය ගෝලයක්ද?   අධ්‍යාත්...
Buddha Bodhi ලෝක

ලෝකෝත්පත්තිය

බුද්ධ ඥාන තුල ඇති එක්තරා හැකියාවක් තමයි සෛලයක...
Buddha Bodhi සත්ව

ආලෝකයේ මෝහ අඳුර

බුද්ධ ගේ දර්ශනයට ආලෝකයක් ලෙස දිස්වන බල ක්ෂේත්‍රයක් සූ...

අධ්‍යාත්මය මනසින් දැකිය නොහැක.

ඔබේ ආවේණික ධර්ම මාර්ගය අවංකත්වය හෝ ඥාන දර්ශනය තුලින් සොයාගන්න....