maithribodhi
maithribodhi

අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න

maithribodhi

ලෝක

ධර්මය, ධර්මතා සහ න්‍යාය

2024-08-10

Maithribodhi

ධර්මය කියන එක සැලකුවාම ඒ තුළ ස්වභාවයන්, ලක්ෂණ, තොරතුරු, කරුණු කාරණා සහ ඒවා සම්බන්ධයෙන් දරන අදහස් මේ සියල්ල අන්තර්ගතයි. උදාහරණයක් විදියට අනිත්‍ය ගත්තොත් අනිත්‍ය කියන්නේ වෙනස් වීම, නැතිවීම, නොපැවතීවීම කියලා ඒක තුල කථා කරන ලක්ෂණ ටිකක්, ස්වභාවයන් ටිකක් තිබෙනවා. එතකොට මමත්වය ගැන කථා කරන කොට ඒ තුල ඇලීම තිබෙනවා, ගැටීම තිබෙනවා, ඒ කථා කරන සියල්ල අයිති වන්නේ ධර්මයට. ඒවා මතුපිට කාරණා වෙන්නත් පුළුවන්, ගැඹුරු කාරණා විදියට පෙනෙන දේවල් වෙන්නත් පුළුවන්. මේවා සියල්ල සංකල්පමය වශයෙන් පවතින්නේ.

 

එතකොට ධර්මතාවය කියන්නේ කුමක්ද? ධර්මතාවය කියලා කියන්නේ, නිදසුනක් විදියට සම්මා දිට්ඨිය ගත්තොත් එහෙම සම්මා දිට්ඨියේ පවතින්නා වූ ස්වභාවය තමයි ධර්මතාවය වන්නේ.  සම්මා සතිය කියන්නේ මේ මොහොත තුල අවධියෙන් සිටීම කියලා කවුරුහරි කිව්වොත් ඒක ධර්මය. සම්මා සතියේ ඉන්න කොට කෙනෙක් තුළ තුල ධර්මතාවයක් හට ගන්නවා. දැනෙන ස්වභාවයන්, Feel වෙන දෙවල් ටිකක් තියනවා. උදාහරණයක් විදියට කයේ ක්‍රියාකාරීත්වයන් දැනෙන්න පටන් ගන්නවා, කය තියනවා කියලා දැනෙන්න පටන් ගන්නවා එයාට දැනෙන දේවල් ටික කථා කරන්න පටන් ගන්නවා තමා තුලින්. එතකොට එයා කතා කරන්නේ ධර්මතාවය. ධර්මතාවය ගොඩක් දුරට පුද්ගලිකයි. තමන් කථා කරන්න ඕනි තමන්ගේ අත්දැකීම්. ධර්මතාවය තමයි කථා කරන්න ඕනා. ධර්මය හරි අවුල් සහගත වෙන්න පුළුවන්. මොකද ඒවා එක එක්කෙනා දරණ අදහස්.

 

න්‍යාය කියලා දේකුත් තිබෙනවා. ඒක පොදුයි. අපි හතර දෙනෙක් ගත්තොත් න්‍යාය එකයි. චිත්ත න්‍යාය ගත්තොත් එහෙම සිත වැඩ කරන විදිය, ඒක හතර දෙනාට වෙනස් වෙන්නේ නැහැ. ඒක එකයි. කර්මය ගත්තොත් එහෙම කර්මයේ න්‍යාය එකයි. නික්ලේෂී භාවයේ හරි කෙලෙස් භාවයේ හරි ගත්තොත් එහෙම එකේ න්‍යාය එකයි. සතිය ගත්තොත් එහෙම සතියට දැනෙන්න ඕනා දේවල් ගත්තොත් එහෙම, ධර්මතාවයක් ගත්තොත් එහෙම ඒකත් න්‍යායක් විදිහට ගන්න පුලුවන්. මේ ලොකයේ සතර දිශාවෙන්ම ඇවිල්ලා ධර්මතාවය ගැන කථා කලොත් හරි, එහෙම නැත්නම් න්‍යාය ගැන කථා කලොත් ඒවායේ න්‍යායට අනුව වෙනස් වෙන්නේ නැහැ.

 

අද තියන ප්‍රශ්නය තමයි, ධර්මතාවය ගැන කථා කරන්නේ නැහැ.ධර්මය කථා කරන්නේ. ඒ නිසා තමයි ගැටුම් තියෙන්නේ.

 

එතකොට කොහොමද න්‍යාය හරිද කියලා හොයාගන්නේ? න්‍යාය අනිත් දෙවල් වලින් වෙන් කරලා හදුනා ගන්න පුලුවන්. ඒක පැටලෙන්නේ නැහැ.ඒ කියන්නේ වතුර සහ ගලක් ගත්තොත් එහෙම, ඒවායේ න්‍යායන් දෙක තේරුම් ගත්තොත් එහෙම වචන වලින් තොරව වුනත් මේවායේ තියන ධර්මතාවය සහ න්‍යාය කියන දේ වෙන්ව තේරෙනවා. සංකල්ප සහ දරණ අදහස් ගත්තොත් එහෙම එතනදී තමයි හිරවෙන්නේ. පොදු කාරණය දකිනවා නම් ඒක වෙන්නේ නැහැ.තමන්ට කැමති දේත් එක්ක ඇලෙනවා කියන දේ ඒක න්‍යායාත්මකව ගත්තහම ඒක පොදු කාරණයක්. අකමැති දේත් එක්ක ගැටෙනවා කියන දේ ඇත්තද, වැරදිද කියලා බලන්න ඔනා නැහැ. තමන් තුල බැලුවහම පොදු න්‍යාය, පොදු ධර්මතාවය තේරෙනවා. න්‍යාය කියන එකේදී පුලුල්ව තමන්ගේ පුද්ගලිකත්වයට සීමා වෙන්නේ නැහැ. සියලුම සත්වයාට පොදුයි.

ධර්මතාවය මතු වුනේ කොහොමද කිව්වොත් එහෙම ඒකේ ඇතුලේ න්‍යායක් තියනවා. අභිධර්මය කියලා දේශනා කලේ න්‍යාය. අවබෝධය කියලා කථා කලේ ධර්මතාවය. ධර්මය කියන ඒවා ගත්තොත් එහෙම ඒක සංකල්ප. ඒක හින්දු දහම, කතෝලික දහම, ජෛන දහම, ඒ ඔක්කොම දහමට අයිති දේවල්. සංකල්ප වගේ, මිනිස්සුන්ගේ අදහස් වගේ. ධර්මය කියන දේ. ධර්මය තුලදී හැමදාම යුද්ධනේ තිබුනේ. ධර්මතාවය තුලදි නිවෙනවා. හැම වෙලේම අනිත් කෙනාට ගෞරවය දෙනවා.

 

නමුත් ධර්මතාවය දන්නේ නැතුව ස්වභාවය ගැන කථා කරන විට, ඒක හුදෙක් ධර්මයක් බවට පත් වෙනවා. ඊට පස්සේ ධර්මය පස්සේ දුවනවා. එතකොට ඒ ධර්මය එයාගේ ආත්මය හෝ දෘෂ්ටිය බවට පත් වෙනවා. දහම තුළ වසඟයට පත් වෙනවා.

 

න්‍යායන් සහ ධර්මතා ගැන කථා කරන කොට සාමාන්‍යයෙන් කෙනෙකුට තේරෙන න්‍යායන් හා ධර්මතා වගේම තේරුම් ගැනීමට අපහසු න්‍යායන් සහ ධර්මතා පවා කතාකරනවා. බුද්ධ විෂයය තේරුම් ගන්න පුළුවන් අයට විතරක් තේරෙන න්‍යායන් තියනවා. විශේෂයෙන්ම කර්මය විෂයයත් ඒ වගේ.  කර්මයේ න්‍යායන් සහ බුද්ධ න්‍යායන් සහ චතුරාර්ය ශක්තිය සම්බන්ධ න්‍යායයන් සමහර අයට තේරුම් ගැනීමට අපහසු වෙන්න පුළුවන්. 

 

කර්මය කියන දේ සමාජයේ කොටසක් විශ්වාස කරනවා තව කොටසක් අවිශ්වාස කරනවා. ඇත්තටම ඒක ඇත්තද බොරුද කියලා පිළිගන්නවාට වඩා තමන් තමන්ට අවංක වෙලා තමන්ගේ ඇතුලාන්තය දකින එකයි වැදගත්. ඒ කියන්නේ අපි යමක් ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? අපිට නොතේරුණාම ප්‍රතික්ෂේප කරන එක සාධාරණද? තමන්ට දෙයක් තේරුණාම එක තේරුණ හින්දා හරි කියලා පිළිගන්න එක හරිද?  ඔය දෙක්ම ගැටළුවක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ට අහුවුනේ නැති ඒවත් ඕනි දෙයක් තියෙන්න පුලුවන්. තේරුණාට තේරුණ එකේ ඕන තරම් වැරදි තියෙන්නත් පුලුවන්.

 

එතකොට ඒ නිසා ඒ දෙක තුල මැද ඉදලා මේක දකින්න පටන් ගත්තම ඕකේ අන්තිමට ගියහම, ඇත්තටම අපිට තේරුම් ගන්නවත්,  අවබෝධ කර ගන්නවත්, හරිද වැරදිද කියලා බලන්නවත් මේ ලෝකේ දෙයක් නැහැ. අපේ විශ්වාසය හා අපි පදනම් කර ගත් කාරණා මත තමයි හැදිලා තියෙන්නේ.

 

සාමාන්‍යයෙන් කර්මය ගැන කථා කරන්න, කර්මය දැකිය නොහැකි කෙනෙකුට අයිතියක් නැහැ. බුදු හාමුදුරුවෝ කියන්නේ සත්වයා කුසල කර්මය කරන්නේත්, අකුසල කර්ම කරන්නේත්, නොදන්නා කමින් බවයි. මොකද ඒ විෂය පථය සත්වයාට තේරෙන්නේ නැහැ.

 

තවත් උදාහරණයක් ගත්තොත්, චතුරාර්ය ශක්තිය මත තමයි තීරණය වෙන්නේ ඒකාන්තයෙන්ම කෙනෙක් රහත්ද නැද්ද කියන එක. කොහොමද රහත් කියන්නේ? ඒක කියන්න කර්ම න්‍යාය මතත් බැහැ, බුද්ධ න්‍යාය මතත් බැහැ, චතුරාර්ය ශක්තිය මත පදනම් වෙලා තමයි රහත්ද නැද්ද කියලා ස්ථීරවම කියන්න පුලුවන් කාරණය තියෙන්නේ. ආසයඅනුසය ඥනය තියනවා නම් කියන්න පුලුවන්. නමුත් ඒක ස්ථිරවම කියන්න පුලුවන් වෙන්නේ චතුරාර්ය ශක්තිය කියන කාරණය මත පදනම් වෙලා.

 

චතුරාර්ය ශක්තිය කියන්නේ කුමක්ද? සිතුවිල්ලක් හට ගන්න හේතුවන ශක්ති ප්‍රභවයන් හතරක් තියනවා. ඒ ශක්තීන් හතර වන්නේ චිත්ත ශක්තිය, විශ්ව ශක්තිය, කර්ම ශක්තිය, බුද්ධ ශක්තියයි. ඒ ශක්ති ප්‍රභවයන් හතරෙන් සිත හට ගෙන, සිත වර්ධනය වීම, පෝෂණය වීම, මේ මොහොත දක්වා ඒ සම්පූර්ණ ක්‍රියාවලිය දැකීම තුළින් තමයි කෙනෙක් රහත් ද නැද්ද කියන කාරණය තේරෙන්නේ.

 

විශ්වය තුල පවතින භෞතික කාරණා හැරෙන්නට ජීවී ස්වභාවයේ තිබෙන හැම එකක්ම, එක්තරා සමතුලිතයක්, එක න්‍යායක් සහ එකිනෙකට සාපේක්ෂ කාරණා මත ගැලපෙමින් ගොඩනැගෙනවා. මේ සත්ව ලෝකයට අදාල System එක තුල අපි කුසලය, හේතුඵල  ධර්මය ආදී වශයෙන් න්‍යායන් හදා ගන්නවානේ. එහෙම වෙන න්‍යායක් හැදුනහම තිබුණ System එක එහෙමම තියෙද්දී, ඒ න්‍යායන් එකට ගැලපිලා වැඩ කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සමස්ථය තුල සමතුලිතයෙන් වැඩ කරපු එකට අමතරව වෙන එකක් පටන් ගත්තාට පස්සේ ඒක ඊට අදාළ න්‍යායන්ට අනුව වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට ඒක වෙනම හදා ගත්ත එකක්. අනිත් එක සත්ව කාරණයක්. ඊට පස්සේ කළ්‍යාණමිත්‍ර කාරණා තුල ආදී වශයෙන් ඒක තුල හැදෙන වෙනම හේතුඵල ධර්මයක් තියනවා. ඒ Network එක ඒ තුල ඊට අදාළව වැඩ කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආර්‍ය පටිපදාව තුල ගත්තොත් එහෙම ඒ Network ඊට අනුරූපව වැඩ කරන්න පටන් ගන්නවා. ඔය ආකරයටම තමයි 31 තල හට ගන්නේ.

 

කොටියෙක් හාවෙක් මරාගන කන එකේ සහ මනුෂ්‍යයෙක් හාවෙක් මරාගන කන එකේ කර්ම පථ ක්‍රියාත්මක වන ආකාරයන් ධර්මතාවයන් තුළින් දකින විට ඒ දෙක සමාන නැහැ. මොකද එතනදි එකම සත්ව තලයේදී පවතින කර්මයේ කාරණයට සාපේක්ෂව, මනුෂ්‍ය තලයේ ඉදලා තිරිසන් තලයේ දෙයක් සමග සිදුවන කර්මයේ බලපෑම ගොඩක් විශාලයි. හාවාගේ හා කොටියාගේ කර්ම තලය ගත්තොත් එහෙම, ඒ කර්ම පථය ගැලපිලා තියෙන්නේ එක Network එකක. 

 

දවසක් කෙනෙක් ගෞතම බුදු හාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් ඇහනවා මෙහෙම. “මම මනුෂ්‍යයෙකුට කන්න දුන්නා. මම කන්න දුන්නු එක ඒ මනුෂ්‍යයාගේ පිනද? මට පිනක් කර ගන්න ලැබුනු එක මගේ පිනක්ද? එහෙම නැත්නම් මගේ කර්මයක් ගෙවුණු එකද එතනදි වුණේ? එහෙම නැත්නම් ඒක ඒ මනුෂ්‍යයාගේ කර්මයක්ද?” කියලා. බුදු හාමුදුරුවෝ කිව්වේ, සත්ව පුද්ගල ස්වභාවයෙන් බලන්න එපා කියලා, එච්චරයි දුන්න උත්තරේ.

 

මමයි, ඔබයි දාගෙන බලන කොට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මමයි, ඔබයි කියන එක අයින් කරලා බැලුවා නම් එහෙම එකක් නැහැ. ධර්මතාවය තමයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් අපිභඅපේ ඇතුලේ තියන දේ තුලින් බලනවා. එහෙම නොවුණොත් ඇත්ත ස්වභාවය අපිට දැනෙනවා.දැන් අපි ඇතුලේ දාගත්ත දෙයින් තමයි දකින්නේ. සමහර විට හැගීමෙන් දකිනවා. එතකොටත් ඒ අවුල දැනෙනවා. වර්තමානයේ හේතු ඵලය දකින කොට, සියල්ල එතන තිබෙනවා.

 

ඥනය, ප්‍රඥාව කියන්නේ ධර්මතාවය දකින එකට. ඥාන දර්ශනයට ධර්මතාවය සහ න්‍යාය දෙකම අහුවෙනවා. ධර්මතාවය අහුවෙන ගමන් න්‍යාය ටික ටික අහුවෙන්න පටන් ගන්නවා. ඇත්තටම න්‍යාය සැලකියයුතු ප්‍රමාණයක් තේරුනාට පස්සේ ඉතුරු ටික දකිනවා කියන එක එච්චර දෙයක් නෙවෙයි. මොකද න්‍යාය එකයි.



 

සුළඟ හමන එකේ, ජලයේ, සූර්යයාගේ, ගසක, ඔක්සිජන්, හයිට්‍රජන් වල ධර්මතාවයක් තිබෙනවා. ඒ වගේම අපේ හදවතේ, මොළයේ ,විඥානය ක්‍රියාත්මක වීමේ, මමත්වයේ, කර්මය තුළ ධර්මතාවයක් තිබෙනවා. බුද්ධ කියන එක තුළද ධර්මතාවයක් තිබෙනවා.

 

මේ  සියල්ල ධර්මතා තමයි තියෙන්නේ. හැබැයි මේකෙ ප්‍රශ්නේ තියෙන්නේ මේ ධර්මතා එකට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වුනාම ධර්මතාවය ක්‍රියාත්මක වෙනවා. නමුත් ධර්මතාවය තුළ සත්ව පුද්ගල ආත්ම කියන කාරණය ගොඩ නැගෙනවා. එහෙම නැත්නම් භවය ,සසර ,කෙනෙක් ,දෙයක් කියන දේ ගොඩනැගෙනවා. මේවා එකට ගැට  ගැසෙන එක, එහෙම නැත්නම් පටිච්ච වෙන එක ගලවලා දාලා ලිහලා දාන්න පුළුවන්නම්, එහෙම පුලුවන් වෙන්නේ බුද්ධ කියන ධර්මතාවයට තමයි.

 

උදාහරණයක් විදිහට, රෙදි වල තියෙන කුණු සබන් වලින් කඩලා අයින් කරළ දාන්න පුළුවන්නේ. ඒ වගේ තමයි මේ ධර්මතා ටික ගලවලා අයින් කරන්න පුළුවන් බුද්ධ කියන ධර්මතාවයට. සිහියෙන් පටන්ගෙන බුද්ධ කියන ධර්මතාවය වැඩෙන්න වැඩෙන්න ඒ දේ වෙනවා. මේ තියෙන ධර්මතා එකක්වත් නැති වෙලා යන්නේ නෑ. මේ ධර්මතාවයන් බුද්ධ කියන ධර්මතාවය මගින් දියකර හැරියද, මේ ධර්මතාවයන් ටික ක්‍රියාත්මක වෙනවා. නමුත් එතන සත්ව, පුද්ගල, ආත්ම දෘෂ්ටි, දෙයක්, කෙනෙක් කියලා එකක් නෑ. සියලු ධර්මතා ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ එකක් තුළවත්  බැසගැනීමක් නෑ.

 

මෙතැනදී ධර්මතාවය සහ න්‍යාය කියන දේවල් පැහැදිලිව වටහා ගැනීම වටිනවා. “ධර්මතා” කියන්නෙ යම්කිසි ප්‍රතික්‍රියාවක් වගේ දෙයක්. උදාහරණයක් විදියට මීතේන් (CH4) කියන්නෙ ධර්මතාවයක්, ඔක්සිජන් (O2) කියන්නෙ ධර්මතාවයක්. ඒ දෙක අතර දහන ප්‍රතික්‍රියාවෙන් කාබන්ඩයොක්සයිඩ් (CO2) සහ ජලය (H2O) හැදෙනවා. ඒ ධර්මතා දෙක දහන ප්‍රතික්‍රියාවෙන් කාබන්ඩයොක්සයිඩ් හා ජලය හැදෙන එක න්‍යාය මත තමයි වෙන්නෙ. 

 

කෙනෙක් ධර්මතාවය මත පිහිටලා කතා කරනවා කියන්නෙ, එයා එතකොට මනසට ගෝචර වන පරාසයෙන් තමයි කතා කරන්නෙ. ධර්මතාවය විදියට කතා කරාම මනසට තේරෙනවා. න්‍යාය මත  පිහිටලා කතා කරන එක තේරෙන්නෙ බුද්ධට. මෙහිදී හටගන්නා ප්‍රතික්‍රියාව මනසට ගෝචර වෙන්නෙ නෑ. නමුත් මීතේන් සහ ඔක්සිජන් කියන ධර්මතා දෙක මනසට යම් විදියකට තේරෙන්න පුළුවන්. නමුත් ඒ දෙකේ ප්‍රතික්‍රියාව කියන කාරණය මනසට ගෝචර නෑ.

 

එතකොට ඒ ධර්මතා දෙකේ හැසිරීම න්‍යාය මත ගොඩනැගිලා ඒ තුළින් හටගන්නා වූ පදාර්ථ ගණය තමයි “ධාතුව” වෙන්නෙ. ඒ පදාර්ථය තුළ හටගන්නා ප්‍රධාන ගතියට “මහ ධාතුව” කියනවා. මේ ධර්මතා දෙකෙහි ගති දෙකක්නෙ. මේ දෙකේ මහා ධාතූන්ගෙ ස්වරූපත්  දෙකක්.

 

න්‍යාය හැදෙන්නෙ ධර්මතා මත තමයි, එහෙම නැතුව න්‍යාය කියලා සංකල්ප වශයෙන් න්‍යායක් නෑ. පිස්සු මනුෂ්‍යයෙක් ගත්තොත්, පිස්සු කියන එක හටගන්න එයාගේ මනස තුළ ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවයට පිස්සු කියන න්‍යාය හරි. ඒ ධර්මතාව අනුව පිස්සු නොවුන නම් තමයි ප්‍රශ්නෙ තියෙන්නෙ.

 

ධර්මතා අවබෝධය පිළිබදව ආධ්‍යාත්මික ගමන් මාර්ගයේ යන කෙනෙක් දැන් සිටිය යුතු කරුණු කීපයක් තිබෙනවා.

 

  1. ධර්මතා අවබෝධය තුළ සත්ව පුද්ගලත්වය තියෙනවා, අවබෝධය ඥානයක් බවට පත්වුණොත් තමයි තමන්ගෙ කියල දෙයක් ගොඩනැගෙන්නෙ නැත්තේ. 

 

  1. අවබෝධය පිළිබඳව කෙනෙකුට අත්දැකීම් විදියට ලැබෙන්න පුළුවන් අවස්ථා ගණනක් තියෙනවා.

 

එක අවස්ථාවක් තමයි, යම් ධර්මතාවයක් මෙහෙමයි කියලා දකිනවා, ධර්මතාවය දැනෙනවා (feel  වෙනවා). එතනදි ඒ පිළිබඳව ලොකු සංවේදීතාවයක් ඇති වෙන්නත් පුළුවන්. ඒ සංවේදීතාවය බොහෝවිට මමත්වය නොවෙන්නට පුළුවන්.

 

තවත් අවස්ථාවක් තමයි ධර්මතාවය බවට පත්වෙන එක. ධර්මතාවය මම බවට පත්වුනහම අධර්මය එතැනට එකතු වෙනවා, ධර්මතාවයෙන් ගැලවුණේ නැත්නම් ඒකෙන් මත් වුණු කෙනෙක් බවට පත්වෙනවා. 

 

තවත් විටෙක කෙනෙක් ධර්මතාවය මතම පිහිටා කටයුතු කරන තැනට පත්ව වෙනව. එතකොට තමන් ඉන්න තැන පේන්නෙ නැතිව යනවා.

 

කෙනෙකුට ධර්මතා අවබෝධ වෙන්න පටන් ගත්තම එයා කර්මස්ථාන ගන්න ගුරුවරයෙක් ඉන්නවා නම්, ඒ ගුරුවරයා විටින් විට එයාට පහර ගසා බලනවා, එතකොට එයා පෙර සඳහන් කල ආකාරයට ධර්මතාවයන්ට අහුවෙලා නම් ගුරුවරයා එක්ක ගැටෙනවා,  

 

හරිම දේ තමයි ධර්මතාවය දැකීම සහ ඒ තුළින් තමන්ව විනාශ කර ගැනීම. ඥානය කියන්නේ මෙහෙම එකක් කියලා ඔලුවට දාගත්තම එකෙන් දැනුමක් එකතු වෙනවා විතරයි, නිරෝධයක් වෙන්නෙ නෑ.

 

ධර්මය ඇතුලේ තියනවා න්‍යායක්. ඒක හරියටම කිව්වොත් පල හතරට වහලේ ගහනවා නම්, මොන බාසුන්නැහැ ආවත්, පරාල යට ලී මුදුන් ලී තියන්න ඕනි විදියක් තියනවා. මොන වහෙලේ ගැහුවත් ඒ වහලේ ගහලා තියෙන්නේ න්‍යායට. පාට, හැඩරුව වැනි සියල්ල වෙනස් වෙන්න පුලුවන්. හැබැයි වහලක් හැදෙන්න ඕන න්‍යායක් තියනවා. එතකොට කෙනෙක් න්‍යාය දැන ගත්තට පස්සේ න්‍යාය මත ඉදලා ඔයාට ඕන තරම් දේවල් කරන්න කියන්න පුලුවන්. ධර්මයේ න්‍යායත් ඒවගේ. 

 

ධර්මයේ න්‍යාය කියන දේ වචනයකින් කිව්වොත් එහෙම  කෙනෙකුට එක ඇහෙන්නේ මොකක් විදිහකටද ? සංස්කාර ධර්මයක් විදිහට. එතකොට කෙනෙක් වඩු බාසුන්නැහේ කෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම වහලක් ගහන එකේ න්‍යාය මොකක්ද කියන දේ “ඒක මෙහෙම ගහන්න ඕනා. මේ විදිහට පරාල ගහන්න. මේ විදිහට යට ලී තියන්න” කිව්වට අර කෙනාට තෙරෙනවාද?  ඒ වචන කිව්වට න්‍යාය එහෙම තෙරෙන්නේ නැහැ. නමුත් ඒ වඩුබාසුන්නැහැ එක්ක කාලයක් වැඩ කරමින් සිටින විට සමහර කෙනෙකුට ඒ වහල ගහන න්‍යාය අහුවෙන්න පුළුවන්. න්‍යාය වචන වලින් කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. සංවේදී කරගන්න ඕන දෙයක්. 

 

ඒ නිසා ධර්මයේ න්‍යාය කියන එක ඔබ සම්බන්ධ කර ගන්න. සංවේදි කර ගන්න. පලමුව ඔබ ධර්මයේ න්‍යාය ඇසුරු කරන්න පටන් ගන්න. එතකොට ඔබට ඉව පහල වෙනවා. එතකොට ඔබ පදනමක් නැති සංස්කාර ධර්ම පිළිගන්නේ නැහැ. 

 

කෙනෙක්ට යම් ආධ්‍යාත්මික ස්වභාවයක් දැනුනා කියලා හිතන්න. සමහරු කියනවා ඇහිලා ඇති විශ්වය බවට පත්වුණා කියලා. එහෙම ස්වභාවයකට පත් වෙනවා කියන්නේ ධ්‍යානයක්. එතකොට  ඔබ දැන ගන්න ඕනා ස්වභාවයකට යම් කිසි කෙනෙක් පත්වෙනවා නම් ඒ පත්වෙන්නේ ධ්‍යානයකට බව. ස්වභාවයකට යම් කිසි කෙනෙක් පත් වෙලා තියනවා නම් ඒක ධ්‍යානයක් බවට ඔබ තහවුරු කර ගන්න ඔබ ඒ සම්බන්ධ න්‍යාය දැන සිටින්න ඕනා. කෙනෙකුට ස්වභාවයක්  Feel වෙනවා කියලා කියන්නේ, ස්වභාවය කියන එකක් දැනෙනවා කියන්නේ එතන තියෙන්නේ ධ්‍යාන ස්වභාවයක්. දැන් Fan එකේ සුලං වදිනවා දැනෙනවානේ. ඒක ස්වභාවයක්. රස්නේ කියන එකේ ස්වභාවය දැනෙනවානේ. උණුසුම දැනෙනවා. එතකොට ඒ ස්වභාවය. එතකොට ස්වභාවය තියනවා ඔබ ඉන්නවා. ඔබට ස්වභාවය දැනෙනවා. ඒ කියන්නේ ඔබත් ඉන්නවා, ස්වභාවයත් තිබෙනවා. එතන තියෙන්නේ ධ්‍යානයක්. ඔය Mechanism එක ඔබට ගෝචරවෙනවා නම් ඔබ ඒ න්‍යාය දන්න නිසා කියනවා මෙහෙම වෙන්නේ මෙන්න මේ න්‍යායට අනුව කියලා. ධ්‍යාන ස්වභාවයන් මානසිකයි. එතකොට ඔබ දන්නවා ඒවගේ ස්වභාවයන්ට අහු වෙලා හිටියොත් සැපයි, සුඛයි, ආත්මයි. ස්වභාවයත් අත හැර ගන්න බැරුව ඒවාට අහුවෙන්න පුළුවන්. ඒ නිසා ඕක තවත් එක් ස්වභාවයක් විතරයි. තවත් දුක් ස්වභාවයන් තිබෙනවා, සතුටු ස්වභාවයන් තිබෙනවා. ඒ නිසා ඔබට එතනින් මිදෙන්න කටයුතු කරන්න පුලුවන්.

 

ඔබ වෛද්‍යවරයෙක් වෙනවා නම් මුලින්ම ඔබ ඒ සම්බන්ධ න්‍යායන් දැන ගන්න ඕනා. ලෙඩේ දැන ගෙන ලෙඩේ හැදෙන විදිය දැනගෙන බෙහෙත් දෙන්න ඕනා.  ධර්මයේ න්‍යාය කියන්නෙත් ඒකම තමයි. න්‍යාය නොදැන බෙහෙත් දෙනවා කියන්නේ ගොඩ වෙදකම් කරනවා වගේ. .

 

කෙනෙක් බුද්ධ කියලා කථා කරනවා නම්, බුද්ධ කියන්නේ මොකක්ද කියන එකේ න්‍යාය දැන ගන්න ඕනා. නැත්නම් ඒ කෙනා බුද්ධ කියලා කියන්නේ බොරුවක්. සංකල්පයක්. බුද්ධ ඊළඟට සම්මා බුද්ධ වෙන්නේ කොහොමද කියලා න්‍යායක් තිබෙනවා. ඔබ ඒ න්‍යාය දන්නවා නම් සම්මා බුද්ධ, සම්මා බුද්ධ වෙන්නේ මෙන්න මේ කාරණා වලට අනුකූවලයි කියලා ඔබට කියන්න පුළුවන්. එතකොට ඔබ එසේ කියන්නේ න්‍යාය මත පදනම් වෙලා. එතකොට ඔබට මේ ලෝකයේ කොතරම් බුදු වරු හමු වුනත් ඔබ සම්මා බුදු කියන්නේ මෙන්න මේ න්‍යායට අනුකූලවයි කියලා කිව්වම ඒ බුදු වරයාත් ඔබට සාධුකාර දෙනවා. හැබැයි එයා සම්මා බුද්ධ කියන වචනය නොවෙයි බලන්නේ. න්‍යාය පෙන්නලා කියන්න ඕනා. මම සම්මා බුද්ධ කියන්නේ මෙන්න මේ පදනම මත. එතකොට සම්මා බුද්ධ කියන්නේ…සම්මා සම්බුදු රජු කියන්නේ.., තිලෝගුරු කියන්නේ…බුද්ධ ඥානය කියන්නේ.. මෙන්න මේ න්‍යායට අනුකූලවයි බුද්ධ ඥානය බුද්ධ ඥානයක් වෙන්නේ. එහෙම නැතුව ඥානය වෙන්නේ නැහැ. ඒ අදාළ න්‍යාය පෙන්නලා තමයි කියන්න ඕනා. එහෙම නැතුව අනිත් කථා කරන ඒවා වචන විතරයි, ශබ්ද විතරයි, සංකල්ප විතරයි. එතකොට දහම දෙන්න හෝ දහම කියන එක ලෝකයට බෙදා හරින්න ඉස්සෙල්ලාම න්‍යාය දැන ගන්න ඕනා. න්‍යාය මත පදනම් වෙලා දර්ශනය, දහම කථා කරන්න ඕනා. එහෙම නැතුව කතා කරන වචන හිස් වචන. ඒ වගේම තමයි, මොකක්ද කියන්නේ කියලා තේරුම් ගන්නේ නැතුව, ඇහෙන වචනයට ඔබ ස්වභාවයක් මනසින් හදාගත්තොත්, ඔබ ඇතුලේ හැදෙන දේ සරණ යන එක තමයි වෙන්නේ. බුද්ධ, ධම්ම, සංඝ සරණ නොවෙයි යන්නේ.

 

බුද්ධ කියලා යම්කිසි කෙනෙක් තැනකදී අවංකව නොරැවටී කිව්වා නම්, ඒ බුදු වරයා න්‍යාය දැන ගෙන තමයි කියන්නේ. මේ ලෝකේ සියලු බුදු වරු ඒක අනුමත කරනවා. සියලු රහතන් වහන්සේලා අනුමත කරනවා. ඒ න්‍යායට ඒක අනුකූලයි. බුදු වරු මේ ලෝකයේ කෝටියක් බුදුවරු පහල වුනාද, ඒ සියලුම බුදුවරු න්‍යාය මත පදනම් වෙලා තමයි කථා කරන්නේ. සියලු මහ රහතන් වහන්සේලා, සියලු සම්මා සම් බුදු වරු, සියල්ලෝම ඒ න්‍යාය මත පදනම් වෙලා තමයි දර්ශනය කථා කරන්නේ. ඒ නිසා තමයි ඒ දහම වරදින්නේ නැත්තේ. ගෞතම බුදු හාමුදුරුවන්ගෙන් බණ අහලා ආවා නම්, දැන් පහල වෙන බුදු වරයාගෙන් බණ අහන කොට අර බුදුවරයා දේශනා කරපු දේ නැවත සිහි ගැන්වෙනවා. ඔබ රහත් භාවයට පත් වෙන්නේ ඒකට අනුකූලව. ඒ සාසනයේ මහ රහතන් වහන්සේලාගෙන් බණ අහලා ආවා නම්, ඒ පරම්පරාවට අනුව එන රහතන් වහන්සේ නමක් මේ භවයේදී හමු වුනොත් එහෙම එයා නතර කරපු තැනින් ඔබට බණ කියනවා. මොකද එයා කථා කරපු න්‍යාය අවසන් තැනින් ඔබව අල්ලගන්න පුලුවන්. එතකොට සාසනය ඉදිරියට යන්නේ ඒ විදියට න්‍යාය මත පදනම් වෙලා. වරදින්නේ නැහැ. 

 

Buddha Bodhi ලෝක

පෘතුවිය, සක්වල හා ආත්මය

*පෘතුවිය ගෝලයක්ද?   අධ්‍යාත්...
Buddha Bodhi ලෝක

ලෝකෝත්පත්තිය

බුද්ධ ඥාන තුල ඇති එක්තරා හැකියාවක් තමයි සෛලයක...
Buddha Bodhi සත්ව

ආලෝකයේ මෝහ අඳුර

බුද්ධ ගේ දර්ශනයට ආලෝකයක් ලෙස දිස්වන බල ක්ෂේත්‍රයක් සූ...
Buddha Bodhi සත්ව

හටගැනීම සහ ගැලවීම

සත්වයා බිහිවීම සිදුවන්නේ බුද්ධ ශක්තිය, විශ්ව ශක්තිය, කර්ම...

අධ්‍යාත්මය මනසින් දැකිය නොහැක.

ඔබේ ආවේණික ධර්ම මාර්ගය අවංකත්වය හෝ ඥාන දර්ශනය තුලින් සොයාගන්න....