maithribodhi
maithribodhi

අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න

maithribodhi

චිත්ත

ශුන්‍යතාවයේ මුලාව

2024-08-08

Maithribodhi

ශුන්‍යතාවය අද බොහෝ දෙනෙකුට පැටලිලා තියෙන කාරණයක්. එය ධර්ම මාර්ගය සොයමින් යන අය මුලාවට පත්කරන දෙයක් බවට පත්වෙලා. උපාදානය ශූනය වීම නිසා තමයි කෙනෙක් ශුන්‍යතාවයට පත්වන්නේ. කෙනෙකුගේ උපාදානය ශුන්‍යය වෙලා මනසත් ඒක පිළිගත්තට පස්සෙ තමයි ශූන්‍යතාවය දැනෙන්නට පටන් ගන්නේ.

 

සමහර අය සමාධීන් වලට පත් වෙලා සමාධිය තුළදී මුකුත් නොදැනෙන ස්වභාවය ශුන්‍යතාව ලෙස වරදවා හඳුනාගන්නවා. නමුත් එය සමාධියේ ස්වභාවය මිසක් ශුන්‍යතාවය නොවෙයි. තවත් පිරිසක් ශුන්‍යතාවය පිළිබඳ පොත්වලින් කියවලා හෝ කාගෙන් හරි අහලා මනසින් ශුන්‍යතාවය ගොඩනගා ගන්නවා. ඒක තොරතුරු මත ගොඩනගාගත් ශුන්‍යතාවයක් පමණයි.

 

ශුන්‍යතාවයට පත් වූ කෙනෙක්ගේ ස්වභාවය තමයි ඒ කෙනා නිරන්තරයෙන් ශුන්‍යතාවය වෙත ඇදී යනවා. එය නිරායාසයෙන් සිදුවෙනවා. එයාගේ නොපැවැත්ම නිරායාස ස්වභාවයක් බවට පත් වෙලා, පැවැත්ම ආයාසයක් බවට පත්වෙනවා. ශුන්‍යතාවයට පත් වූ කෙනාට නිරන්තරයෙන් පැවැත්මට අදාල කාරණා ගොඩනගා ගත යුතු තත්ත්වයක් ඇතිවෙනවා. නමුත් සමාධි ස්වභාවයක් තුළින් ශුන්‍යතාවය මවාගත් කෙනෙකුට හෝ ශුන්‍යතාවය ගැන නිතර කතා කරලා, අහලා මනසින් ශුන්‍යතාවය මවාගත් කෙනෙකුට එවැනි ස්වභාවයක් නැහැ. 

 

ශුන්‍යතාවයට පත්වුණ කෙනෙකුට මනසත් අතහැරෙනවා. ඒ අතහැරෙන්නේ මනස තේරුම් ගැනීමෙන්. තේරුම් ගන්නේ නැතිව මනස අතහරින්න බැහැ. මනසේ තියෙන යාන්ත්‍රණය තේරිලා,  ඒ තේරුම් ගැනීම තුළ මනස කියන දේ එයාට අහුවෙන්නේ නැතුව යනවා. එවිට එයාට මනස පිළිබඳ අවබෝධය පූර්ණ වෙනවා. මොකක් හරි දෙයක් හිතුනහම, ඒක හිතුනේ කොහොමද කියලා තේරෙනවා. ධර්මතාවයක් තේරුනාම, ඒ ධර්මතාවය තේරුන විදිහ තේරෙනවා. එයාට එතකොට මනස කියන එක අහුවෙන්නෙ නැහැ. මනස කියන එක නිරුද්ධයි. එතකොට ආයතන නිරුද්ධයි. එතකොට එයාට පවතින්න කාරණයක් නැහැ.

 

සමාධියක් කියන්නේ හදාගත්ත එකක්. හිත කියන එකත් අපි හදාගත්ත එකක්. හිත තුළ තව තව දේවල් අපට හදාගන්න නෙමෙයි ඕන. හිත කියන කාරණය නිරුද්ධ කර ගන්නයි අවශ්‍ය. ගොඩක් අය කරන්නේ හිත හදාගන්න එක. 

 

හිතේ සමාධිය හදාගන්නවා, ශූන්‍යතාවය හදාගන්නවා, නිදහස හදාගන්නවා, සැනසීම හදාගන්නවා. එක එක දේවල් හදාගන්නවා හිත තුළ. එතකොට ඒ හදාගත්තු එක එක දේවල් තුළ එයා ඉන්නේ සමාධියේ වෙන්න පුළුවන්; ශූන්‍යතාවයේ වෙන්න පුළුවන්; ප්‍රීතියේ වෙන්න පුළුවන්. ඒ සියල්ල එයා හදාගත්ත  තවත් එක්තරා විදියේ උපාදාන සමාධීන්.

 

බුද්ධ දර්ශනය තුළ කතා කරන ශුන්‍යතාවයේදී, ඵල ස්වභාවයට පත්වෙන කොටම ශුන්‍යතාවයට යනවා. එයා ඵලය අරමුණු කරන කොටම ශුන්‍යතාවයට පත්වෙනවා. නැවත ඇස් දෙක ඇරලා බැලුවාම ඒ ඉන්නෙත් නිරෝධයේ. නිරෝධය වෙමින් තමයි ශුන්‍යතාවයට පත් වෙන්නේ. ශූන්‍යතාව අවසානය විදිහට ගත්තොත් ඒ අතරමැද මාර්ගය නිරෝධය විදියට සලකන්න පුලුවන්. ශුන්‍යතාවය කියන එකට ස්වභාවයෙන්ම පත්වෙනවා. එයා ආයාසයක් දරන්න ඕනේ ශූන්‍යතාවයෙන් තොර වෙන්න. එයාට නැවත පැවැත්ම හදාගන්න. හැබැයි ඒක එහෙම වෙන්නේ එයා රහත් වෙලා අඩුමගානේ අවුරුදු පහක් හයක් වත් ගියාට පස්සේ. මොකද අඩුම ගානේ අවුරුදු පහක් හයක් වත් ගියාම තමයි එයාගෙ මනස ඵලයට සාපේක්ෂව ගොඩනැගෙන්නේ. එහෙම නැතුව එයා රහත් වුණත් එයාට රහත් ස්වභාවය දැනෙන්න අඩුම අවුරුදු පහ හයක් වගේ කාලයක් යන්න පුළුවන්. සමහර විට ඊටත් වඩා කාලයක් යන්න පුළුවන්.

 

රහත් වුණත් සමහර තරුණ කෙනෙක්ගේ ලිංගිකත්වය ආශ්‍රිත චක්‍රය අවදි වෙලා හෝ ජාන හෝ ශරීර ස්වභාවය මත එවැනි තත්ත්වයක් ප්‍රමුඛ වෙලා තිබුණොත් එහෙම එයාගෙ ලිංගික ශක්තිය තවදුරටත් එලෙසම පවතින්න පුළුවන්. ඒ නිසා ලිංගිකත්වය ආශ්‍රිත සංවේදීතාවය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. එතකොට එවැනි දේ අයින් වෙන්නත් කාලයක් ගත වෙන්න පුළුවන්.

 

තවත් සමහර කාරණා තියෙනවා සමහර අය කෑමට කෑදරයි. ඒ වගේ තත්වයන් වලදී වෙන්න පුළුවන් දෙයක් තමා එයා කර්මානුරූපවම කෑමට ගොඩක් කැමැතියි. එතකොට එයා රහත් වුණත් කෑමට තිබෙන ආසාව එකපාර නැති වෙන්නේ නැහැ. ඒ වගේ කෙනෙකුට අවුරුදු පහක් දහයක් වුණත් යන්න පුළුවන් එයාගේ මනසේ ස්වභාවයන් වෙනස් වෙන්න.

 

ශුන්‍යතාවයේදී පැවැත්ම නිරන්තරයෙන්ම අත්හැරෙනවා. ඒක හරියට යමක් වාෂ්ප වෙනවා වගේ. ඒ නිසා හිත ශුන්‍යතාවයට පත්වෙනවා. හිත ශුන්‍යතාවයට පත්වුණත් මනසේ තිබෙන දත්ත වලින්, මනසට ශුන්‍යතාවයට පත්නොවී පැවැත්මේ රැඳිලා ඉන්න පුළුවන් යම් කාලයක්. ඒක වෙන්නේ මනසේ ප්‍රබලත්වය මතයි. නමුත් කාලයත් එක්ක ඒවා අතහැරෙනවා. ඒ තුළ තමයි ශුන්‍යතාවය වඩාත් හොඳින් දැනෙන්න පටන් ගන්නේ.

 

Buddha Bodhi ලෝක

ධර්මය, ධර්මතා සහ න්‍යාය

ධර්මය කියන එක සැලකුවාම ඒ තුළ ස්වභාවයන්, ලක්ෂණ, තොරතුරු, ක...
Buddha Bodhi ලෝක

පෘතුවිය, සක්වල හා ආත්මය

*පෘතුවිය ගෝලයක්ද?   අධ්‍යාත්...
Buddha Bodhi ලෝක

ලෝකෝත්පත්තිය

බුද්ධ ඥාන තුල ඇති එක්තරා හැකියාවක් තමයි සෛලයක...
Buddha Bodhi සත්ව

ආලෝකයේ මෝහ අඳුර

බුද්ධ ගේ දර්ශනයට ආලෝකයක් ලෙස දිස්වන බල ක්ෂේත්‍රයක් සූ...

අධ්‍යාත්මය මනසින් දැකිය නොහැක.

ඔබේ ආවේණික ධර්ම මාර්ගය අවංකත්වය හෝ ඥාන දර්ශනය තුලින් සොයාගන්න....