maithribodhi
maithribodhi

අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න

maithribodhi

බුද්ධ

අනාගත වංශය

2024-08-08

Maithribodhi

තොරතුරු යුගයේ විමුක්තියට පත්වීමට ඇති ප්‍රධාන අභියෝගය මනස බවට පත්වී ඇත. ඉන්පසු යුගයන් වල මිනිසා සංවේදනය සපයන තාක්ෂණික නිපැයුම් වලින් ගොඩනගා ගන්නා ලෝකයන්හි සැරිසරමින් සිටිනු ඇත. මනසේ බොහෝ කාර්යයන්ද ඒ වන විට බාහිර තාක්ෂණයන් වලට පැවරෙනු ඇත (Outsourcing).

 

අද සමාජයේ බොහෝ අය  බුදුවරු, රහතන් වහන්සේලා ලෝකයේ පහළ වෙනකම් බලාගෙන ඉන්නවා. බුදුවරු, රහතන් වහන්සේලා ලෝකයේ පහළ වෙලා පිරිනිවන්පාලා ‍යනවා. 

 

මනස මූලික කරගත්ත සත්වයා මනසේ හැදෙන එක එක ලෝක, මනස තුළ හැදෙන එක එක  ක්‍රමවේදයන්,  දෘෂ්ඨීන්,  Programs මුල් කරගෙන ජීවත් වෙනවා. අවුරුදු ගානකට කලින් මිනිසුන් තුළ තිබුණේ අත්දැකිම්. ඒ කියන්නේ වැව් හැදුවා, දාගැබ් හැදුවා, පිළිම වහන්සේලාව නෙළුවා,  විශාල ගල්කුළුණු හැදුවා. සමාධි පිළිමය අරගෙන බැලුවහම මේ මිනිස්සු තමන්ගේ අත්දැකීම් තුළින්, පුහුණුව තුළින් වැඩ කළ තරම හිතාගන්න පුළුවන්. එතකොට ඒ අය පුහුණුව, අත්දැකීම් තුළින් තමයි පරිණත වෙලා තිබුණේ. ගමේ වෙද මහත්තය කියන්නේ උගත් කෙනෙක් නෙවෙයි, පරිණතයෙක්. ගමේ ආරච්චි කියන්නේ පරිණතයෙක්. ගමේ නායක හාමුදුරුවෝ කියන්නේ හොඳ පරිණතයෙක්. හැබැයි උගතෙක් නෙවෙයි, බුද්ධිමතෙක්.  අද කාලේ මිනිස්සු ජීවත්වෙන්නේ පරිණත බව මූලික කරගෙන නෙවෙයි. අද  සත්වයා ජීවත් වෙන්නේ ඔළුවේ තොරතුරු ගොඩක් මූලික කරගෙන. අලුත් තොරතුරු ලබාගැනීමේ බලාපොරොත්තුවෙන්. දැන් සත්වයා ඇබ්බැහි වෙලා ඉන්නේ  අලුත් තොරතුරුවලට. සත්වයා තොරතුරු පදනම් කරගෙන ජීවත් වෙන්නේ. ඉපදුණ දවසේ ඉඳන් දරුවාට අධ්‍යපනයක් දෙනවා කියලා කළේ  මොකක්ද?  මහා විශාල තොරතුරු ගොන්නක් ඔළුවට ගොඩගහපු එක.  

 

උදේ ඉඳන් බණ අහනවා සහ බණ කියනවා. සමාජයේ බණ අහන ඇත්තොත් තොරතුරු ඔළුවේ පුරවා ගන්නවා. බණ කියන අයත් ඔළුවේ පුරවාගෙන තියෙන තොරතුරු බෙදලා දෙනවා. තොරතුරු දෙන්නත් ඒ අය තව තව තොරතුරු හොයා ගනිමින් ඒ තොරතුරු බෙදලා දෙන්න ඕන. මේ ඔක්කොම බැලුවොත් තොරතුරු  හුවමාරුවක්, සන්නිවේදන ක්‍රියාවලියක් තමයි සිද්ධ වෙන්නේ. 

 

දැන් ඔබ දිහා බලන්න, ඔබ බෞද්ධයෙක් හෝ වෙන කවුරු හරි වුණත් කමක් නෑ. ඔබ දැන් චතුරාර්ය සත්‍ය ධර්මයත් දන්නවා. ආර්ය අෂ්ඨාංගික මාර්ගයත් දන්නවා. සත්තිස් බෝධිපාක්ෂික ධර්මයත් දන්නවා. අනිත්‍ය දුක්ඛ අනාත්මත් දන්නවා. ඍද්ධිපාද ධර්මත් දන්නවා. බොජ්ඣංගත් දන්නවා. එතකොට  කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ රහත් වුණු විදියත් දන්නවා. චුල්ලපන්ථක හාමුදුරුවෝ රහත් වුණු විදියත් දන්නවා. දාරුචීරිය රහත් වුණු විදියත් දන්නවා. පටාචාරා රහත් වුණු විදියත් දන්නවා. අපේ අය නොදන්නේ  මොනවද කියලා බලන්න. හැබැයි බුදු හාමුදුරුවන්ගේ කාලේ  රහතන් වහන්සේලා, ඔවුන් රහත් වූ ධර්මතාවය පිළිබඳව ඔවුන්ට අවබෝධයි. ඒක තමයි ඒ අය දැනගත්තේ. ඒ අය වෙන වෙන අය රහත් වුණු විදිය දන්නේ නැහැ. ඒවා පසුකාලීනව තොරතුරු හැදිලා එකතු වුණු දේවල්. 

 

දැන් දැන් මේ වෙද්දි, ඔබ දන්නේ නැති වුණාට ලෝකයේ බුදුවරු පහළ වෙලා, සාසනයන් බිහිවෙලා, මගඵලලාභීන් බිහිවෙලා, මේ සාසනයෙත් ලොකු යුගයක් ගෙවිලා සැහෙන දුරක් ගිහිල්ලා තියෙන්නේ. අපේ මිනිස්සු තමන් අර අතීතයෙන් ආපු දෙයක්, සම්ප්‍රදායක් කරපින්නාගෙන ඒ තොරතුරුවලට හිරවෙලා,   ඒක තුළ යදිමින්, ඒක තුල ජීවත් වෙන එක තමයි තාමත් කරන්නේ. දැන් මේ අනාගත වංශ කථාව දේශනා කරන්නේ. හැබැයි  දේශනා කලාට තේරෙන්නේ නෑ. මොකද? ඔබේ මොළය සූදානම් වෙලා නෑ, හැඩ ගැහිලා නෑ  මේ අනාගත කතන්දරය ධාරණය කරගන්න. ඒක තේරුම් ගන්න.  

 

මොකද අද ඔබ එය තේරුම් ගන්නේ තොරතුරු මත පදනම් වෙලා. දැන් ඔබ හැමදෙයක්ම දන්නවා. මැරෙනවා කියන්නත් දන්නවා. දෙතිස් කුණපයත් දන්නවා, හැමදේම දන්නවා. මම ඔබෙන් අහන ප්‍රශ්නය  තමයි,  දැන් ඔබ හරිද? රහත් ද? ඔබේ හෘද සාක්ෂිය, ඔබේ ඇතුළාන්තය, ඔබේ මමත්වය,  ඔබේ සක්කාය, ඔබේ කෙලෙස්, ඔබේ ඇතුලෙන් මතුවෙන ගති, ඔබට පෙනෙනවා නම් ඔබ රහත් ද, නැද්ද කියන කාරණය ඔබටම තේරුම් ගන්න පුළුවන්. ඒත් එක්කම තමයි ඔබට පුළුවන්  රහත් කියන ඕනම කෙනෙක් ගාවට ගිහිල්ලා ප්‍රශ්න දෙකක් අහන්න.

 

1. ඔබ අවංකත්වයෙන් පරිපූර්ණ ද?

2. ඔබ පාරිශුද්ධත්වයෙන් පරිපූර්ණ ද?

 

සෑම රහතෙක්ම අවංකත්වයෙන් පරිපූර්ණ විය යුතුයි. පාරිශුද්ධත්වයෙන් පරිපූර්ණ විය යුතුයි.  අද මේ ඉන්න තොරතුරු ගොඩක් දන්න පුද්ගලයා නෙවෙයි රහත් කියන්නේ. මෙන්න මේක වැරදිලා තියෙන්නේ. තොරතුරු ගොඩක් දන්න පුද්ගලයා සැබෑ රහතෙකුටත් වඩා හොඳට රහත් භාවය ප්‍රකාශ කරන්න දක්ෂයි. ඇයි තොරතුරු තියෙනවනේ. තර්කයෙන්, විතර්කයෙන් රහත් භාවය ප්‍රකාශ කරන්න දක්ෂයි.  හැබැයි රහත් වුණු කෙනෙක් නම් ඇත්තටම එයා තොරතුරු වලින් මිදෙනවා. ඔය තොරතුරු කියන්නේ ඇත්තටම ඔක්කොම තොරතුරු විතරයි. 

 

සියල්ල සංස්කාර ධර්මයන් විදියට ඒ ගැන කතා කරන්න දෙයක් නෑ. ඇත්තටම රහතන් වහන්සේ කෙනෙකුට තවත් රහතන් වහන්සේ කෙනෙක් හම්බ වුණොත් කතා කරන්න කිසිම දෙයක් නෑ. කථා කරන්න කෙනෙකුත් නෑ. ධර්මයකුත් නෑ. මුකුත් නෑ. ඉතින් රහත් භාවයේ මෙන්න මේ වගේ කාරණයක් තියෙන්නේ. එහෙනම් මේ ලොව යම් රහතෙක් සිටියිද, අධ්‍යාත්මිකයෙක් සිටියිද, ඔහු  සීයට සීයක් අවංකද? පාරිශුද්ධද කියලා  ඔබ අහන්න. අවංක නැත්නම්  ඔන්න ඔතනින් තමා  එයා  හිරවෙන්නේ. මොකද අවංක වෙද්දී එයාට තමා අවංක කෙනෙක්ද කියලා බලන්න වෙනවා. එතනදී තමන්ගෙ තියෙන කුණුගොඩ තමන්ටම පේනවා. එතන අවබෝධය කියන වචනය කියන්න  බෑ. තමන් හරිද කියලා ඇහුවොත්  තමන් සුවි සුද්ධං අහෝසි වෙලා නැති බව තමන්ගේ ඇතුළාන්තයට පෙනෙනවා. ඔතනදී හිරවෙනවා. හැබැයි කොහොමද රහත් වුණේ කිව්වොත් තොරතුරු ගොඩක් අරන්  ත්‍රිපිටකය, අටුවා ටිකා ඇතුළු සියළු දේවල් උදාහරණයට අරන් තර්කානුකූලව තොරතුරු වලින් ඔප්පු කරනවා මේ කතාව හරි කියලා. 

 

අපි නිදාගෙන සිටිත්දී හීන පේනවා නේ, හීන  ඇතුළේදී  අපි බයවෙලා දුවනවා. සතුටු දේවල් දැකලා හිනාවෙනවා. අපි විවිධ අත්දැකීම් හීනය තුළදී භුක්ති විඳිනවා. හැබැයි අපි හීන ඇතුළේ ඉන්නකොට දන්නෙ නෑනෙ මේක හීනයක් කියලා. ඒ නිසා අපි හීන ඇතුළේ ඉඳලා අඬනවා, සතුටු වෙනවා, දුක් වෙනවා, බය වෙනවා, ප්‍රීති ප්‍රමෝදයට පත් වෙනවා, දුවනවා. මේ ඔක්කොම ජාති හීන ඇතුලේ සිද්ධ වෙනවා. හැබැයි හීනෙන් අවදි වුණාම තමයි දන්නේ මේ හීනයක්නෙ කියලා. මේ වුනු කිසිදෙයක් වැඩක් නැහැනේ කියලා. අද බොහෝ අය ධර්ම මාර්ගයේ යනවා කියලා ගිහින් ලබන මාර්ගඵල හා රහත් භාවයන් හරියට අර හීනෙන් නිවන් දැක්කා වගේ. හීනෙන් රහත් වුණා වගේ.

 

ඔය රහත් කියන හීනෙන් අවදි වුණාම පේනවා, මම මේ හීනයකනේ ඉඳලා තියෙන්නේ කියලා. රහත් වුණු කෙනෙක්ට රහත් කියලා එකක් නෑ. රහත් නොවුණු අයට තමයි රහත් කියලා එකක් තියෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕන ගැඹුරු කාරණයක්. ඔබ මේ තොරතුරු ගොඩ පස්සේ දුවන  එක නතර කරන්න. ඔබ පටන් ගන්න අවංක වෙන්න. පාරිශුද්ධ වෙන්න. මේ ලෝකේ යම්කිසි කෙනෙක් අවංක වෙනවද? ඔහු හෝ ඇය සුවි ශුද්ධං අහෝසි කියන මගඵල පූර්ණත්වයට පත්වෙනවා. තමන්ගේ ඇතුළාන්තයට සීයට සීයක් අවංක වෙන්න ඕන. පාරිශුද්ධත්වයත් මඳකට පැත්තකින් තියන්න. ඔබ අවංක වෙන්න. අවංකත්වය තුළ ඒ මග ඵලය පරිපූර්ණත්වය බොහෝම ලේසියෙන් උදාකරගන්න පුළුවන්. ඒක තමයි අද කාලයට ගැලපෙන්නේ. 

 

මේ අවංකත්වයට පත්වෙන විට ඔබ කොතැනට ද වැටෙන්නේ? ඇත්තටම ඔබ වැටෙන්නේ මැදුම් පිළිවෙතට. දැන් මම ඔබට කිව්වොත් මැදුම් පිළිවෙතට එන්න කියලා, ඔබට මැදුම් පිළිවෙතට එන්න පුළුවන්ද? ඔබ මැදුම් පිළිවෙතත් ඔළුවට ගන්නේ තොරතුරක් විදිහට. මැදුම් පිළිවෙතට පත් වෙනකොට මොකද කරන්න ඕනේ? අන්ත දෙකෙන්ම මිදෙන්න ඕනා. දැන් අන්ත දෙක දැක්කාද?  අන්ත දකින්නෙත් කාමසුඛල්ලිකානු යෝගයෙන් හරි  අත්ථකිලමතානුයෝගයෙන්  හරි. මොකද ඒකත් තොරතුරක්. මම කියන්නේ ඔබේ හිත ඇතුලේ අන්තය පෙනෙනවාද? හිත ඇතුළේ අන්තය පෙනෙන විට ඔබට අර්ථ කථනයක්, විග්‍රහයක් මතුවන්නේ නෑ. ඔබට වචනයක් එන්නේ නෑ. ඔබට  ඒක දැනෙනවා. ඔබට දැනෙන දේකට වචනයක් තියෙනවාද? නෑහැනේ. දැනුන දේ  ප්‍රකාශ කරන්න තමයි වචන එන්නේ. ධර්මය දැනුනද?  ඔබේ අන්තය ඔබට දැනුනද? මේක මගේ අන්තය  කියලා ඔබට දැනුනද? නෑ. කිසි කෙනෙකුට දැනිලා නෑ. කාම සුඛල්ලිකානු කියන අන්තය දැක්කද?  දැනුනද? නෑ. එහෙම අන්තයක් දැනිලා නෑ. අනිත් අන්තය දැක්කද? නෑ. මැදුම් පිළිවෙත, මැද දැනුණද? නෑ. වචන ගොඩක්, සංස්කාර ගොඩක්, හිතලු ගොඩක්, තොරතුරු ගොඩක් විතරයි තියෙන්නේ. මැදුම් පිළිවෙතට එන්න බෑ. මැදුම් පිළිවෙත සංවේදී කරගන්න බෑ. මැදුම් පිළිවෙත සංවේදී කරනොගෙන, නානාප්‍රකාර වචනවලින් මැදුම් පිළිවෙත කතා කරන්න පුළුවන්. ඉතින් කොහොමද මැදුම් පිළිවෙත සංවේදී කරගන්නේ? මැදුම් පිළිවෙතට පත් වෙන්නේ කොහොමද? 

 

ඔබ  මේ වචන ගොඩක් හුවමාරු කරමින් ඉන්නේ කියලා නොතේරෙන තාක්කල් ඔබට ධර්ම මාර්ගය  නම් පූර්ණය වෙන්නේ නෑ. ඔබ තොරතුරු කියන කුණාටුවට අහුවෙලා ගහගෙන යන එක තමයි වෙන්නේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න, අද අනිච්චද, අනිත්‍යද හරි කියලා වචන දෙකක් අල්ලගෙනත් තොරතුරුනේ හුවමාරු කරන්නේ. ඔබට අනිත්‍ය දැනෙනවද? ඔබට අනිත්‍ය කියන ධර්මතාවය දැනෙනවා නම්, සංවේදී නම්   ඔබ වචනයක්වත් අල්ලගන්නේ නෑ. සත්ත්වයෙක්, පුද්ගලයෙක් අල්ලගන්නේ නෑ.  අද ඔබට අනිත්‍ය කියන ධර්මයත්  සංවේදී  නෑ. තොරතුරු ගොඩක් අල්ලගෙන ඉන්නවා. ඔබ  මැදුම් පිළිවෙතට පත්වෙන්න නම්, අද සත්වයා ඉන්න මානසික ස්වරූපයට අනුව එන්න ඕන තැන තමයි අවංකත්වය. ඔබ තොරතුරු වලින් මිදිලා අවංක වෙන කොට  අවංකත්වය කියන එක ඔබට ස්පර්ශ වෙනවා. අවංකත්වයට පත්වෙනවා. මේ අවංකත්වයට පත්වෙන තැන ඔබේ මැදුම් පිළිවෙත උපදිනවා. මැදුම් පිළිවෙතට පත්වෙනවා. ඒ නිසා ඔබට කියන්නේ අවංකත්වයට පත්වෙන්න. 

 

අද කට්ටිය හැමෝම දඟලන්නේ රාගය නැති කරන්න. දැන් ඔය තියෙන්නේ මුලාවට පත් වුණු රාගයනේ. අද ඔබ ඇත්ත රාගය හඳුනන්නෙත් නෑ. අද ඉන්න මිනිස්සු ඇත්තම රාගය හඳුනන්නේ නෑ. අද කාලේ ඇත්තටම රාගය භුක්ති වින්ද කෙනෙක් හොයා ගන්නවා කියන  එක දුර්ලභයි.

 

ඊයේ මහත්තයෙක් ඇවිත් හිටියා අලුත් බෙන්ස් කාර්  එකකින්. මම  ඇහුවා, “ඔබතුමා  වාහනය අරගෙන  දැන් ටික කාලයක් වෙනවානේ. දැන් ඔබතුමාතුමාට සතුටුද “ කියලා. එතුමා කියනවා.”අනේ හාමුදුරුවනේ, මේකත් එච්චර හරි නෑ වගේ. මීටත් වැඩිය හොඳ එකක් තිබ්බනම් තව හොඳයි’ කියලා.

 

දැන් අපි ඔබට තියෙන දෙයක් හිතමු. මොනව හරි රස කෑමක් කනවා කියල හිතන්න.  අපි හිතමු, පීසා ඕඩර් කරලා, ගෙනල්ලා  කනවා කියලා. කද්දි එක කටක් කාලා ඉවරවෙලා අපිට හිතෙන්නේ මොකක්ද? මීටත් වැඩිය හොඳ එකක් තිබුණා නම් තව හොඳයි නේ කියලා.

 

ඇයි ඔබේ ඔළුවේ තොරතුරු වැඩියි. පීසා  කෑල්ල කද්දී ගොඩක් දේවල් ඔළුවේ හැදෙනවා. ඇයි තොරතුරු වැඩියි. වෙනත් වර්ගයක් කන්න තිබ්බා. අර වර්ගය කන්න තිබ්බා.  එදා එක තරම් හරි නෑ. දැන් මේ රාගයෙන් පීසා කෑල්ල කනවද? බෙන්ස් කාර් එකේ ආපු මහත්තයා බලන්න, දැන් වාහනය දැක්කම හිතෙනවා, මේක නියම වාහනයක් නේ; මීට වැඩිය හොඳ එකක් නෑ කියලා. හැබැයි එතුමාගෙන් ඇහුවාම කියනවා, එච්චරම හරි නෑ, දැන් මීට වැඩිය හොඳ වාහන තියෙනවා කියලා. එයාට ඒ වාහනයෙන් එයාගේ ඒ රාගය පූර්ණ වෙලා නෑ.

 

පිරිමියකු සහ කාන්තාවක් ඇසුරු කරද්දී පිරිමියා ඇතුළේ එයා තොරතුරු වලින් හදා ගත්ත, එක්කෝ එක එක වීඩියෝ බලලා, එක්කෝ එක එක ෆිල්ම් බලලා එයාගේ ඇතුළේ හැදුණු වෙනම කාමුක කාන්තාවක් ඉන්නවා. කාන්තාව තුළත් එයා හදාගත්ත කාමුක පිරිමියෙක් ඉන්නවා. ඒ කියන්නේ හැම පිරිමියෙක්ම, ගැහැනියක්ම ගත්තොත් තොරතුරු වලින් හදාගත්ත පිරිමියෙක් හෝ කාන්තාවක් එයාලගේ ඇතුළේ ඉන්නවා. තමන්ගේ ඇතුළේ හදාගත්ත කාන්තාව හෝ පිරිමියා ඇසුරු කරනවා හැරෙන්න, ඇත්තට ඒ මොහොතේ ඉන්න කාන්තාව දකින්නෙත් නෑ. පිරිමියා දකින්නෙත් නෑ. 

 

ඇඳුමක් ගෙනාවා කියලා හිතන්නකෝ. දැන් අපේ කාන්තාවෝ හොයලා හොයලා ඇඳුම් ගේනවනේ. ඇඳුම ගෙනල්ලා ඇඳුම ඇඳලා තමන් ලස්සනයි කියලා හිතනවද? අපරාදේ මීට වැඩිය හොඳ ඒවා තිබ්බා. එතකොට ඇත්තටම ඔබට රාගය කියන දේ හම්බවෙලා නෑ. රාගය  භුක්ති  වින්ද තැන  පුළුවන් නම් කියන්නකෝ.  ගන්නකොටම, හිතනකොටම ඒක නිකම්ම යල්පැනලා (expire) යනවා. ඒකේ ඇති දෙයක් නෑ කියලා හිතනවා.

 

දැන් ඔබ හොඳම වර්ගයේ ජංගම දුරකථනයක් අළුතෙන් ගත්තා කියලා හිතන්නකෝ. ටිකක් වෙලා යද්දී ඊට වැඩිය හොඳ ඒව ඇති නේද? කියලා  වෙන එකකට ඔළුව යනවා.  අපි අද දුවන්නේ මේ තොරතුරුත් එක්ක කියලා  මතක තියාගන්න. තොරතුරු ඔළුවේ වැඩි නිසා අපිට යම් කාරණයක  රාගයෙන් ඉන්නත් බෑ. අපි යමක්  දකිනකොටම අර තොරතුරු ඇවිල්ලා, නෑ මේකත් හොඳ ඇති, මේකත් හොඳ ඇති, මේකත් හොඳ ඇති කියලා හිතෙනවා. හැබැයි එකයි නම් තියෙන්නේ අපි ඒකත් එක්ක ජීවත් වෙයි. තොරතුරු තියෙනකම් එහෙම වෙන්නේ නෑ. පාරට බැස්සම මොනතරම් වෙළෙඳ දැන්වීම් තියනවාද?  ටීවී එකෙන් සහ ජංගම දුරකථනයෙන් අපි මොනව හරි දෙයක් බලද්දි කොච්චර වෙළඳ දැන්වීම් යනවද? 

 

මේවත් තියෙනවා. නෑ මේවත් තියෙනවා කියලා අපිව පොළඹවනවා. අද මිනිසුන්ට රාගයෙන් ඉන්න ඉඩකඩ ලැබෙන්නේ නෑ. ද්වේශයෙන් ඉන්නවා . තොරතුරු වැඩිකම නිසා ගැටීම කියන දේ බොහොම තදින් තියෙනවා. ගැටීම සහ මානසික ආතතිය දෙකම තියෙනවා. මිනිස්සු රාගය හොයනවා. හැබැයි තොරතුරු වැඩි නිසා රාගය හම්බ වෙන්නේ නෑ. මොකක්වත් විඳින්න බෑ. ඔබ මොකක් හරි දෙයක් වින්දා නම්, "මම මේක තවත් විඳිනවා. මරු ඒක" කියලා කියන්න පුළුවන් වෙන්න ඕන. විඳපු දෙයක් නෑ. ඒ මනුස්සයා දුවන එක විතරයි තියෙන්නේ. ඉතින් මේක තේරුම් ගන්න. එතකොට අද මිනිස්සු හිරවෙලා ඉන්නේ මොකටද? තොරතුරු කියන ලෝකයකට හිරවෙලා ඉන්නේ. තොරතුරුත් එක්ක ජීවත් වෙන්නේ. මේ වන විට මිනිස්සුන්ට රාගය කියන එක අහිමි වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මිනිස්සු මත්වෙලා වගේ රාගය හොයා ගෙනයන්නේ. නමුත් රැඳෙන්නේ නෑ. ගිලිහෙනවා.

 

දැන් මේ තොරතුරු යුගය  බිඳවැටෙමින් යන්නේ. ඉදිරි අවුරුදු සියය තුළ ඉගෙන ගැනීම කියන එක මෝඩ ක්‍රියාවක්, නිෂ්ඵල ක්‍රියාවක්, වැරදි ක්‍රමවේදයක්  හැටියට ගොඩ නැගෙනවා. ඔබ ඉගෙන ගන්න ඕන නෑ. ඔබට අවශ්‍ය දේ මතක තියාගන්න ඕනා නෑ. කටපාඩම් කරගන්න ඕනා නෑ. 

 

අද ලංකාවේ පවතින අධ්‍යාපන ක්‍රමය සීයයට සීයක්ම වැරදි එකක්. ලෝකයේ මේ වගේ සිස්ටම් (system) බිඳ වැටිලා අවුරුදු පනහක් හැටක් විතර වෙනවා. නමුත් ලංකාවේ තාම දුවන්නේ වැරදි හා යල්පැන ගිය ක්‍රමවේදයක් . ඒ නිසා  කටපාඩම් කරගත්ත උගත්තු බිහි වෙනවා මිසක්, බුද්ධිමත්තු සහ දක්ෂ දක්ෂයෝ  බිහි වෙන්නේ නැහැ.  කටපාඩම් කරගත්ත ගිරව් ටිකක් තමා  බිහි වෙලා ඉන්නේ. ඉහළ තනතුරු වලට ගියාට අවශ්‍ය බුද්ධි මට්ටම (IQ එක )  නෑ.  EQ නෑ . චිත්තවේග කළමණාකරණය බෑ. වේගවත් තීරණ ගන්න බෑ. ඒ නිසා සමස්ත පද්ධතියම  බිඳවැටී ගෙනයනවා. ඉහළ තනතුරු වල හිටියට අදාළ IQ, EQ, SQ නෑ. උඩ ලෙවල් එකේ ඉන්නේ හොඳ ගිරවෙක්. අද ගොඩක් දේවල් කට පාඩම් කරගෙන විභාග පාස් කරපු මනුස්සයා තමයි උඩ ලෙවල් එකට ගිහින් ඉන්නේ.  ඉතින්  තීරණ ගන්න බෑ.  අනාගතයේ  තොරතුරු ඔළුවල පුර්වගෙන ඉන්න අවශ්‍ය නෑ. ඔබට අවශ්‍ය සියලුම තොරතුරු අන්තර්ජාලයේ තියෙනවා. ඒවා ඔළුවේ දාගන්න ඕන නෑ.

 

සියළු තොරතුරු වෙනම තොරතුරු ගබඩා වල තියෙන මට්ටමට එනවා. හැබැයි ඒ තොරතුරු එළියට අරගෙන පාවිච්චි කරන්නේ කොහොමද කියන ක්‍රමවේදය  තමයි දැනගන්න වෙන්නේ. ඒකත් එක්කම ඉදිරි කාලයේදී මිනිස්සු තොරතුරුත් එක්ක ජීවත් වෙනවාට වඩා තොරතුරු වලින් අයින් වෙනවා. මිනිස්සු එන්නෙ පරිගණකයක් ඇතුළට. වෙනම ගේම් එකක් වගේ එකක් ඇතුළට එන්නේ. ඒක ඇතුළේ තමයි මනුස්සයා ජීවත් වෙන්නෙ. ඒකෙ ඇතුළේ තමයි සතුට දුක ඔක්කොම විඳින්නේ. දැනටමත් ලෝකයේ ජනගහනයෙන් හරි අඩක් විතර පරිගණක ඇතුළෙ තමයි ජීවත් වෙන්නේ. අද කාලේත් එහෙම කට්ටිය ගොඩක්  ඉන්නවා. Facebook වැනි සමාජ ජාලා ඇතුළෙ තමයි ජීවත් වෙන්නේ. හැබැයි ඒවා ඇතුළේ දැන් ජීවත් වෙන්නේ තොරතුරු ලබාගන්න. ඉස්සරහට ඒක වෙනස් වෙනවා. තොරතුරු ලබා ගන්න නොවේ, ඒක ඇතුළේ ජීවත් වෙන්නේ තමන්ගෙ තියෙන අවශ්‍යතා සියල්ල ඉෂ්ට කරගන්න.  මානසික හා  ශාරීරික අවශ්‍යතා ටික ඒක ඇතුළෙදි කරගන්න. ඇත්තටම මේකෙදී ගේම් එකක් ඇතුළට යන එක තමා වෙන්නේ. හැබැයි මේ කියන කතාව ඔය කාටවත් තාම සංවේදී වෙන්නේ හෝ තේරෙන්නේ  නෑ. මොකද ඔබ මේවා ගන්නේ තොරතුරු වලින්. 

 

එතකොට මිනිස්සු සොබාදහමින් මෙන්ම  ගොඩක් දේවල් වලින් අයින් වෙලා ඉතාම සරල වෙනවා. අල්පේච්ඡ වෙනවා. සරල වෙලා, අල්පේච්ඡ වෙලා කොම්පියුටර් එකක් ඇතුළේ ජීවත් වෙන මට්ටමට පත්වෙනවා. ඒ මට්ටමට යද්දී මම මේ අද කථා කරන දහම, දර්ශනය අනාගත ලෝකයට වලංගු වෙන්නේ නැහැ. හැබැයි අනාගත ලෝකයේ  මිනිස්සුන්ට මේ දර්ශනය අදහන එකක් බවට පත් වෙන්න පුළුවන්. මම පුංචි උදාහරණයක් කියන්නම්. අපේ හාමුදුරුවෝ නමකට යම් කිසි ස්ථානයකදී  එයාගේ කලින් වැඩ කරපු කට්ටිය හම්බ වෙලා තියෙනවා. ඒගොල්ලො කියනවා. "අනේ ඔබ වහන්සේ නම් හරිම නිදහස්ව ඉන්නවා. සතුටින් ඉන්නවා. සැනසීමෙන් ඉන්නවා. අපි තාමත් මේ ජොබ් එකට අහු වෙලා. ඒවට හිරවෙලා අපිට ගැලවෙන්න බැරුව අපි ඉන්නේ".  එතකොට එයාලා දකින්නේ කොහොමද? පැවිදි වුණ එක බොහෝම සැනසිලිදායකයි, සුවදායකයි විදිහට දකිනවා, එයාලා  ඉන්නේ තාම මේ වැඩ කරන තැනක දුක්විඳින තැනක. එයාලා  එතන  ඉඳන් මේක බල බලා ඉන්නවා. පැවිද්දට ගෞරව කර කර එතන ඉන්නවා. ඒ වගේ තමයි අනාගතයේ පහළ වෙන අයත්. අපි අද මේ ජීවත් වෙන  ක්‍රමවේදයන් දිහා බලලා, බලන්නකෝ කොච්චර හොඳද මෙහෙමත් ඉඳලා තියෙනවානේ, මෙහෙමත් ඉඳලා තියෙනවානේ, පුදුම සැනසීමකින්  ඉඳලා තියෙනවානේ කියමින් එයාලා ඒවා ගැන කතා කර කර ඉන්න තැනම ඉන්නවා. දැන් අද වෙලා තියෙන්නේ මොකක්ද? ඒත් එහෙමම තමයි.

 

බුදු හාමුදුරුවන්ගේ කාලේ එදා මෙහෙම තිබ්බනේ,  ඇහුවේ මෙහෙමනේ, නිවන් දැක්කේ මෙහෙමනේ කිය කියා ඒවා ගැන කතා කර කර අද ඉන්න කුණු වළේ එහෙමම ඉන්නවා. එදා කතා කරපු දහම  එහෙන් පිටින්ම  අද ඉන්න  මනසට ගැලපෙන්නේ නෑ. අද මනස පරිවර්තනය වෙලා තියෙන්නේ. මනස වෙනස් වෙලා තියෙන්නේ. පරිණාමය වෙලා තියෙන්නේ. එදා ගෞතම බුදුන් වහන්සේ බුදු වෙලා පිරිනිවන් පාන විට දහම උපරිම තැනට නැගලා ආපසු ඒක පරිහානියටයි ආවේ. පරිහානියට ඇවිල්ලා ඇවිල්ලා ආපහු මේ දහම විශේෂයෙන්ම, අපේ ලංකාදීපයේ  මේ වන විට ප්‍රබල විදියට ගොඩනැගෙමින් පවතින්නේ. මේක උපරිමයට යනවා. ඉදිරි අවුරුදු 50 වගේ කාලය තුළ යන්න පුළුවන් උපරිමයට යනවා. හැබැයි මිනිස්සු අර අතීත වංශ කථාවක් හැඳි ගගා ඉන්න ගියොත් එහෙම ඇත්තටම බුදුවරු රහතන් වහන්සේලා පහළ වෙලා පිරිනිවන්පාලා යයි. අපේ මිනිස්සු අතීතයේ දෙයක් අල්ලගෙන වැඳ වැඳා යදිමින් සිටීවි. මම අනාගතයේ සිදු වෙන  කාරණා වැඩිපුර කිව්වට තේරෙන්නෙ නැති වෙයි. මොකද ඔබ තොරතුරු තොරතුරු වලින් අල්ල ගන්න දේවල් ඇතුළට එද්දී වරදිනවා. ඔබේ මොළය  ඒවා තාම සංවේදි කරගන්න සැකසිලා නෑ. ඉතින් ඔබට නිවන් දකින්න ඕන නම් වහා වහා අප්පමාදේන සම්පාදේථ. අප්පමාදේන සම්පාදේථ කරන්න ඕන මොකක්ද?

 

අවංක වෙන්නයි ඕනා. තමන් තමන්ට අවංකත්වය ගොඩනඟා ගන්න. පාරිශුද්ධත්වය පැත්තකින් තියන්න. අවංක වෙන්න. අවංකත්වයේ රජෙක් වෙන්න. ඔබට එතනම මැදුම් පිළිවෙතට පත්වෙලා එතනම අරහත් ස්වභාවය  අවබෝධ වෙනවා. ආයිත් කතා කරන්න දෙයක් නෑ. එතැනින් එහා හෙල්ලෙන්නේ නෑ. මේක කරන්න බැරුව තොරතුරු හොය හොයා ඉන්න අය මේ සසරේ අනාථ වෙනවා. අනාථ වෙලා නන්නත්තාර වෙලා මුලාවට පත් වෙන එකයි වෙන්නේ. ඔවුන්ට කිසිම ධර්ම අවබෝධයක් ලැබෙන්නේ නෑ. ඒ නිසා මා අවසන් වරට කියනවා ඔය දහම දන්න ගොඩක් බහුශ්‍රැතයන්ගෙන් අහන්න සීයට සීයක් අවංකද කියලා. කාටවත් අවංක වෙන්න බෑ. අවංක නෑ. හැමෝම දන්නවා තමන් ඉන්නේ කුණු ගොඩක කියලා. හැබැයි තර්කයෙන් තොරතුරුවලින් සුදන භාවය ගොඩ නගාගෙන ඉන්නවා. සමාජයේ තත්වය ඕක තමයි.  ඒවා මට වැඩක් නෑ. මම මේ දේ කතා කළේ ඔබට මාර්ගයක් ඉස්මතු කරලා දෙන්න. ඒ නිසා තේරුම් ගන්න බලන්න. අවංක වෙන්න. පාරිශුද්ධ වෙන්න. ඒ තරමටම අනිත් පැත්තට ඔබේ නිවන පූර්ණය වෙනවා. කමටහන් මුකුත් ඕනෙ නෑ. අවංක වෙන්න. අවංක වෙන විදිය, ඒක තමන්ගෙ හෘද සාක්ෂියත් එක්ක තියෙන එකක්. 

 

තමන්ගේ අවංකත්වය ගොඩනගා ගන්න. අනික් පැත්තට ඔබේ නිවන පූර්ණය වෙනවා. අරහත් ස්වභාවය ලැබෙනවා. හරිම  ලේසියි. ඒ වෙනුවෙන් වැඩ කරන්න. ඔබට එදා බුදුන් වහන්සේ මේ ලෝකයට ඒ දේශනා කරලා තිබුණු පණිවිඩය, ඒ දර්ශනය අදට ගැළපෙන විදියට  ඉස්මතු කරන්න සිද්ධ වෙලා තියෙනවා.  

 

මොකද කාලානුරූපව  සත්වයා වෙනස්වෙලා, පරිණාමය වෙලා තියෙන නිසා. අදට ගැළපෙන විදියටයි මේ දේශනා කළේ. ඔබ අනිවාර්යෙන්ම අවංක වෙලා පාරිශුද්ධ වෙලා අරිහත් බෝධිය සාක්ෂාත් කරගෙන පිරිනිවන් පාන කෙනෙක් බවට පත් වෙන්න. අප්‍රමාදීව  කටයුතු කරන්න. 

 

Buddha Bodhi ලෝක

ධර්මය, ධර්මතා සහ න්‍යාය

ධර්මය කියන එක සැලකුවාම ඒ තුළ ස්වභාවයන්, ලක්ෂණ, තොරතුරු, ක...
Buddha Bodhi ලෝක

පෘතුවිය, සක්වල හා ආත්මය

*පෘතුවිය ගෝලයක්ද?   අධ්‍යාත්...
Buddha Bodhi ලෝක

ලෝකෝත්පත්තිය

බුද්ධ ඥාන තුල ඇති එක්තරා හැකියාවක් තමයි සෛලයක...
Buddha Bodhi සත්ව

ආලෝකයේ මෝහ අඳුර

බුද්ධ ගේ දර්ශනයට ආලෝකයක් ලෙස දිස්වන බල ක්ෂේත්‍රයක් සූ...

අධ්‍යාත්මය මනසින් දැකිය නොහැක.

ඔබේ ආවේණික ධර්ම මාර්ගය අවංකත්වය හෝ ඥාන දර්ශනය තුලින් සොයාගන්න....