අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
සත්ව
ආලෝකයේ මෝහ අඳුර
2024-08-10
බුද්ධ ගේ දර්ශනයට ආලෝකයක් ලෙස දිස්වන බල ක්ෂේත්‍රයක් සූර්යයා කේන්ද්‍ර කර ගෙන විශ්වය පුරා පැතිර පවති. එය සතර මහා ධාතූන්ගෙන් ද වෙනස් වූ ධර්මතාවයකි. සතර මහා ධාතූන්ගේ විභජනය, බෙදීම, ඒ ඒ ආකාර නිරූපණ ඇති කිරීම බලගන්වන්නේ මේ ආලෝක ක්ෂේත්‍රය මගිනි.
සත්වයාගේ ආයතන වලට සාපේක්ෂව ගෝචර වන උදාහරණයකින් විස්තර කළහොත් එහි ක්‍රියාකාරිත්වය වටහා ගැනීම තරමක් පහසු වේ. කළුවර කාමරයකට ඔබ පළමු වරට ඇතුළු වුණා යැයි සිතන්න. ඒ තුළ සතර මහා ධාතූන් තිබුණද ඔබගේ පියවි ඇසට ඒ කිසිවක් දර්ශනය වන්නේ නැත. නමුත් ආලෝකය වැටුණු වහාම කාමරය තුළ ඇති වස්තූන්ගේ නිරූපණය සිදුවේ. දර්ශනය ඇතිවේ. මෙය ඔබට සාමාන්‍ය කාරණයක් ලෙස වැටහුනද අනෙකුත් ආයතන වලට ද පොදු වූ කාරණයකි. බුද්ධ දර්ශනයට ගෝචර වන පරිදි සත්වයා තුළ හටගන්නා චක්ඛු රූප පමණක් නොව ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප,,පොට්ඨබ්බ රූප සහ මනෝ රූප සියල්ලක්ම හටගන්නේ මේ ආලෝකය නිසාය. අප ඇස් දෙක පියාගෙන සිටින විට පවා රූපයක් මනස තුළ ගොඩනැගේ. එය විවිධ වූ ආයතන හරහා එන අරමුණු නිසා සිදුවේ. මේ රූපාකාරයන් දර්ශනය හෙවත් මනසට රූපාකාරයන් සංවේදනය වීම සිදු වන්නේ විශ්වයේ පවතින ආලෝකය නිසාය. මෙම ආලෝකය ඇස නැමැති ඉන්ද්‍රියට හසුවන ආලෝක පරාසයට පමණක් සීමා වූවක් නොවේ.
විශ්වයේ විසිරී පවත්නා ධාතු ස්වභාවයන්ට ආලෝකයේ යම් යම් සංඝටකයන් ගේ ගුණ එකතු වීමෙන් ඒවා නිරූපණය වීම සිදුවේ. සූර්යයාගේ ශක්තියට සාපේක්ෂව පවතින මේ ආලෝක ක්ෂේත්‍රය තුළ තමයි, මේ විශ්වය සත්ත්වයාට නිරූපණය වන්නේ. මේ ආලෝකය එක් එක් පදාර්ථයට උරාගත හැකි ප්‍රමාණයන් ද එකිනෙකාට වෙනස් වේ. ඒ සඳහා පදනම් වන විවිධ පරාවර්තන න්‍යායන්, ධාරිතාවයන් තීරණය කරන න්‍යායන් හා ආලෝකය උරා ගැනීම තීරණය කරන න්‍යායන් පවතී. මේ න්‍යායන් තුළින් තමයි සතර මහා ධාතූන්ගේ විභේදනය ක්‍රියාත්මක වීම සිදුවන්නේ. මෙතැනදි ආලෝකය පිළිබඳව අපි කතා කරන්නේ ලෝක විෂයට අදාලවයි. ලෝක විෂයට අදාළ කාරණා මනසින් විශ්ලේෂණය කර තේරුම් ගැනීමට නොහැකිය. එයට හේතුව එම විශ්ලේෂණයන් ගොඩනැඟීමේදී මනස තුළ ගොඩනැගෙන්නා වූ රූපාකාරයන් තුළද ක්‍රියාත්මක වන්නේ ආලෝක ධාතුවේ ගුණයන්ට හේතු වන්නා වූ මූල න්‍යායන් වීමයි.
මේ විශ්වයේ වාසය කරන්නා වූ සත්ත්වයා මෝහ අඳුරකින් වැසි සිටිනවා. ඒ මෝහ අඳුර නම්, මේ සූර්යාලෝකයෙන් හට ගන්නා, සත්ත්වයාගේ ආයතනයන්ට ස්පර්ශ වුණු, සත්වයාගේ මනේන්ද්‍රියට ස්පර්ශ වුණු, සත්ත්වයාගේ සෛල මත ක්‍රියාත්මක වන්නා වූ ආලෝක ධාතුවක්. එයට විඥාන ආලෝක ධාතුව යැයි කියනවා. මේ සූර්යයා විශ්වයෙන් අතුරුදහන් වෙලා ගියහොත් සත්වයාගේ විඤ්ඤාණය ද අතුරුදහන් වෙලා යනවා. නමුත් මේ සූර්යයා එහෙම අතුරුදහන් වෙලා යන එකක් නෙවෙයි.
මේ විඤ්ඤාණ ආලෝක ධාතුව මත මමත්වය කියන සංකල්පය ගොඩ නැගෙනවා. ආලෝක ධාතුව තමයි සත්ත්වයාගේ මුලාව. ඒක තමයි සත්ත්වයාට ලෝකයක් නිර්මාණය කර දෙන්නේ, දර්ශනය උපද්දලා දෙන්නේ, නිරූපණය සකස් කරලා දෙන්නේ. ඔබ නිදා ගත් විට දී පවා සිහිනෙන් දර්ශනයක් උපදින්නේ මේ ආලෝක ධාතුව නිසයි.
සත්වයා නිර්මාණය වන්නේ බුද්ධ ශක්තිය, විශ්ව ශක්තිය, කර්ම ශක්තිය, චිත්ත ශක්තිය කියන චතුරාර්ය ශක්තියෙන්. ආලෝකයේ විඥාන ධාතුව මත එයින් නිරූපණය වන්නාවූ දර්ශනය මත මමත්වය කියන සංකල්පය ගොඩ නැගෙනවා. ඒ මමත්ව සංකල්පය මත තමයි සත්ව පුද්ගල ක්‍රියාව නිර්මාණය වන්නේ. සත්වයා නිර්මාණය වන්නේ. සූර්යාලෝකයෙන් ඇතිවන්නා වූ දර්ශනයන් සත්වයාව මුළාවට පත් කරනවා. ඒ මුළාව නැතිවෙන්න නම් බුද්ධ සූර්යයාගේ ආලෝකය සත්ත්වයා වෙත ලැබිය යුතුයි. ඒ ලැබෙන්නේ බුදු, පසේ බුදු, මහරහත් වහන්සේලා හරහා. අනිකුත් සියලුම දර්ශනයන් සත්වයා මුළාවට පත් කරනවා. මොකද ඒ සියලුම දර්ශනයන්ද ගොඩනඟා ඇත්තේ විඤ්ඤාණ ආලෝක ධාතුවේ යථාර්ථය නොදැන වීම නිසා.
සත්ත්වයාට සියලු දේ සංවේදනය වන්නේ 'ඇත' කියන සංඥාව මත සිටයි .ඒ සඳහාද හේතු වන්නේ මෙම ආලෝක ධාතුව මත ගොඩ නැගෙන්නා වූ දර්ශනයයි. විඤ්ඤාණ ආලෝක ධාතුව මත ගොඩනැගෙන සත්ත්වයාට ඇති වන ඕනෑම අදහසක් 'ඇත' මත පිහිටා හටගනීයි. සත්ත්වයාට 'නැත'යන අදහස ඇති වන්නේද මේ 'ඇත' යන මූල අදහසට සාපේක්ෂවයි. "පුද්ගලයෙක් ඇත. දේවල් ඇත. මිරිඟුව ඇත. මායාව ඇත." ඉතින් කවුරුන් හෝ "ලෝකයක් නැත, ආත්මය නැත" ආදී වශයෙන් කිව්වත් ඒ අදහස ආලෝක ධාතුව පදනම් කරගෙන ඇති වන්නාවූ 'ඇත' යන අදහස මත පදනම් ව පවතී. "මුලාව ඇත" යන්න පවා ඒ අනුව ඇති වේ. සොබාදහම තණ්හාව හරහා මෙම ඇත යන මූල සංඥාව මත පැවැත්ම ගොඩනැඟීමට අවශ්‍ය ආත්ම දෘෂ්ටිය ලබාදෙයි. "මම ඉන්නවා, මට ඕනෑ" යන අදහස ඇති වෙයි. තවත් විදිහකට කිව්වොත් සමස්ත පරාසය සත්ත්වයාගේ ආයතන වලට හා මනසට හසු නොවේ. සමස්ථ වේගය සත්වයාගේ මනසට හසු නොවේ. සතර සෘධිපාද වැඩූ කෙනෙකුට පමණයි එම වේගය අභිබවා ගොස් මේ පරාසයන් දැක යථාර්ථය හෙළි කර දිය හැක්කේ. සත්ත්වයාට හසුවන සීමිත පරාසය තුළ දි කාලය 'ඇත' ලෙස දැනෙනවා. නමුත් කාලය තියෙන දෙයක් නොවේ. වෙනස් වෙමින් පවතින දෙයක් එලෙසම ලෝකය, සිත, කර්මය මේ සියල්ල 'ඇත' නොවේ. සියල්ල මේ මොහොතේ ගලනයක් ලෙස වෙනස් වෙමින් පවතිනවා. දැන් ඔබට සිතේවි 'මේ වෙනස් වීම ගලනය කියන්නේ තියෙන දෙයක් ලෙස. එය ඇති බව'. මනස තුළ ගොඩනැගෙන්නේ "නැති බව පවා ඇති බවටයි". ආලෝක විඥාන ධාතුව තුළ පෙන්නුම් වන දර්ශනය 'ඇති බවට' පෙන්වා එය තුළ පැවැත්ම සොබාදහම විසින් තණ්හාව හරහා ගොඩනගා දෙන්නෙ මේ ලෙසටයි. මේ මොහොත නැමැති ගෙය සාදා දෙන්නේ තණ්හාව නමැති වඩුවා යි . ඇත්තටම ගත්තොත් මේ මොහොත කියලා දෙයක් නෑ.
අද කාලේ ධර්මය කියලා කතා කරන මනස දියුණු වීම තුළින් ගොඩ නඟලා කතා කරන සියලු දර්ශනවාදයන් විඤ්ඤාණ ආලෝක ධාතුව තුළ ම එහි මුලාව තුළම ගොඩනගල කතා කරන ඒවා. ඒ තුළ බුද්ධ ගේ දර්ශනය නෑ. බුද්ධ ගේ දර්ශනයට පමණයි මෙහි යථාර්ථය දැකිය හැක්කේ. ඒ කියන්නේ අන් අයට මෙය නොදැක ගැලවිය නොහැකිය කියන එක නෙවේ. සියල්ලන් තුළම බුද්ධ ස්වභාවය තිබෙනවා. සැමදෙනාටම බුදු වීමේ හැකියාව පවතිනවා. බුද්ධ දර්ශනය කර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ හරහා සසරින් ගැලවෙන්න හැකියාව තිබෙනවා.
ධර්මය, ධර්මතා සහ න්‍යාය
2024-08-10
හටගැනීම සහ ගැලවීම
2024-08-10