අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
සත්ව
ඇතුළාන්ත බුද්ධිය
2024-08-08
මිනිසුන් සම්මතය තුළ අවදියෙන් සිටියත් ඇත්තටම ඔවුන් සිහිනයකයි සිටින්නේ. ඔවුන් මම කියලා පුද්ගලයකුත් තියාගෙන ඒ පුද්ගලයා දහම තේරුම් ගෙන තමයි මේ නිවන් දකින්න යන්නේ. සංසාර චක්‍රයේ හිර වෙලා ඉන්න කෙනා ඊට පස්සේ හිර වෙන්නේ ධර්ම චක්‍රයට. සංසාර චක්‍රයෙන් එළියට එන්න ධර්ම චක්‍රය ඕනා තමයි. නමුත් එකත් උගුලක් කරගන්නේ නැතිව එතනින් පැන ගන්නේ බොහොම ටික දෙනයි. ශ්‍රද්ධාව හෝ සිහිය තුළ මැදුම් පිළිවෙතට පැමිණීම නැතුව එතනින් ගැලවෙන්න බෑ. මේ ධර්මය කියන්නේ සත්ව පුද්ගල භාවයෙන් එහාට ගිය දහමක්.
හිතන්න කෙනෙක් ගිටාර් එකක් වයමින් ඉන්නවා සහ මිනිසුන් ඒ වටා එක් රැස් වෙනවා කියලා. ඒ මිනිස්සු වෙනස් වෙනවා නේද? ඔව් මිනිස්සු වෙනස් වෙනවා. ඒක හරි. වෙනස් වෙනවා කියන එක පිළිගන්නවා, නමුත් මිනිස්සු වෙනස් වෙනවා කියන එක සහ යහපතක් වෙනවා කියන එකයි, මෙතනින් එතෙර වෙන්නවා කියන එකයි දෙකක්.
දැන් අපේ ඇතුළාන්ත සිත තියෙනවා නේ, ලෝකයේ ලොකුම විද්‍යාව, තාක්ෂණය , දියුණුව තමයි මේ ඇතුළාන්ත සිත (Inner Mind) දකින එක.
ඔබට වතුර තිබහක් ඇතිවෙනවා. ඒක ඇති වුණේ කොහොමද කියලා කියන්න පුළුවන්නේ. නමුත් ඇයි මට එහෙම සිතුවිල්ලක් පහල වුණේ කියලා දකින එක සිතේ ඇතුළාන්තය, ඒ වගේම මනසේ ඇතුළාන්තය, හැඟීම් වල ඇතුළාන්තය, හදවතේ ඇතුළාන්තය මෙහෙම එක එක පැති තියෙනවා. මේ ඇතුළාන්තය ගැඹුරුයි සීමාවක් නෑ.
ඇතුළාන්ත බුද්ධිය හා ඇතුළාන්ත මනස දකින එක තමයි මේ ලෝකයේ තියෙන පරම විද්‍යාව, මොකද අප තුළ Program කරලා තියෙන චිත්තන පද‌්ධතියෙන් එහා ගියපු න්‍යායක් තමයි එතන තියෙන්නේ.
මේ ලෝකයේ මිනිසුන් ගේ මනස නිර්මාණය වෙලා තියෙන්නේ එක්තරා ක්‍රමයකට. අපි ඉපදෙන කොටම අපේ මොළයට එක්තරා Program එකක් වැටෙනවා. මේක කිව්වට ඔබලාට තේරෙන්නේ නෑ. මොකද ඔබ තුළත් මේ Program එක තමයි තියෙන්නේ. ඔබට මේ පිළිබඳව බයක් දැනෙන්නේ නෑ. මොකද භාෂාව කියන්නේත් ඔබ තුළ Program කරපු එකක්. ඒ Program එකෙන් පිට මිනිස්සුන්ට හිතන්න බෑ. හැබැයි බුද්ධ ඥානයට පුළුවන් ඒ Program එකෙන් එළියට ඇවිත් දකින්න. ඒක තමයි බුද්ධ ඥානය කියන්නේ. Program එකෙන් තොරව දකින එක.
එතකොට මිනිසා තුළ මේ Program එක තමයි යාවත්කාලීන (Update) වෙවී පරිණාමය වෙමින් ඉදිරියට යන්නේ. මේ Program එක අතික්‍රමණය කරලා බැලුවම ඒ Program එක හැදුණු විදිය තියෙන්නේ ඇතුළාන්තයේ. ඒ ඇතුළෙන් තමයි ගැලවෙන්න තියෙන්නේ. Program එකේ ඉඳලා නිවන් දැක්කට වැඩක් නෑ. මේ Program එකෙන් තොර වුණාම, ඒකෙන් එළියට ආවම, අපි හැමෝම එකිනෙකාව අඳුරනවා. මේ Program එක තුළ දී තමයි අඳුරන්නේ නැති තැනට වැටිලා තියෙන්නේ.
බුදු වරයෙක් හරියට ඉන්න තැනක්වත් නැතිව කැලේ ඉන්න කොට, එක මනුෂ්‍යයෙක් මාස ගාණක් බොහෝ දුකක් විඳලා කොටයක් හොයා ගෙන තැනක් හදලා උන්වහන්සේව ඒ මත වාඩි කරවනවා. ඊට පස්සේ උන්වහන්සේ ඒ කොටය උඩ වාඩිවෙලා ඒ මනුෂ්‍යයාට ධර්මයක් දේශනා කරනවා. ඒ පුද්ගලයාගේ ඇතුළාන්තයෙන් බුදුන් මතුවෙලා බුදුන්ව දැකීමක් තමයි සිදුවන්නේ. බුද්ධ ඥානයට තමයි බුද්ධ ඥානය දැකිය හැකි වන්නේ. බුදු කෙනෙක්ට අවංකව වතුර උගුරක් හරි දීපු කෙනෙක්ට මේ දෙය සිදුවෙනවා. නමුත් බුදුන් මතුවෙලා අතුරුදන් වුණ බව මනස දන්නේ නෑ. මොකද මනසට ඒ පිළිබදව දත්ත නොමැති නිසා. ඕනම කෙනෙකුගෙ බුදුන් මතුවෙලා මෙහෙම අතුරුදහන් වන අවස්ථා තියෙන්න පුළුවන් ඔවුන් දන්නේවත් නැතිව. ඇත්තටම ඒ මනුෂ්‍යයා තුළ බුදුන් පහළ වෙලා, බුදුන් දකිනවා. බුදුන් දකින විට බුදුන් පහළ වෙනවා.
තව අය ඉන්නවා, ඔවුන් ඇතුළින් බුදුන් දැකලා තියෙන්නේ; නමුත් වෛර කරනවා, ඊර්ෂ්‍යා කරනවා. Program එකේ තමයි ඒ වෛරය ඊර්ෂ්‍යාව තියෙන්නේ. බුදුන් දැකලා කිව්වේ පුද්ගලයෙක්ව දැකලා කියන එක නෙවෙයි.
පුද්ගලයා කියලා පෙන්නේ Program එකනේ. හැබැයි ඇතළාන්තයෙන් ඒ අය බුදුන් දැකලා ඉන්නේ. මේ මිනිස්සුන්ට ඒ අයගේ Program එකෙන් ගැලවෙන්න බැරුවයි ඉන්නේ. හැබැයි ඇතුළින් ගැලවිලා ඉන්නේ. ඇතුළාන්තය පාරිශුද්ධයි. බුදුන් දැක්ක තැන බුදුන් පහළ වෙනවා. ඒ කියන්නේ මේ ඇතුළාන්තය. මේ මිනිස්සුන්ට මේ Program එකයි තේරෙන්නේ නැත්තේ. මේ Program එකෙන් රූපය දීලා තියෙන විදියට තමයි පෙනේන්නේ. ඒ Program එක කියා දෙන්න බුදුන් උත්සාහයක් ගත්තා. ඇස නිසා තමයි විඥානය හට ගන්නේ; විඥානය කියන්නේ මායාවක්, මිනිස්සු නින්දෙන් ඇහැරවලා මේක කියා දෙන්න උත්සාහයක් ගත්තා. මිනිස්සු තේරුම් ගන්නේ නෑ මේක Program එකක් කියලා.
ඒක හරියට මේ වගේ. එක්තරා පුද්ගලයෙක් සිටියා පරෙවියන් ඇතිකරන. ඒ කෙනා දැකලා තිබුණේ පරෙවියන් පමණයි. දිනක් ඔහුට හමුවෙනවා ගෙදරක ඇති කරපු උකුස්සෙක්ව. ඉතින් ඒ පුද්ගලයා හිතනවා, මේ නම් අමුතු ජාතියක් පරෙවියෙක් කියලා. ඔහු එතනින් නවතින්නේ නෑ. ඔහු කතුරක් අරන් ඇවිල්ලා අර උකුස්සාගේ තටු හා නියපොතු කපලා බොහොම වෙහෙස වෙලා පරෙවියෙක් ගේ හැඩය ලබා දෙන්න උත්සහ කරනවා.
ඒ වගේ තමයි මනසත්. බුද්ධ බුද්ධ විදියට පිළිගන්න මනස සූදානම් නෑ. මනසට එය දරාගන්න බෑ.
මිනිස්සුන්ට මේ කියන කතාව තේරෙන්නේ නෑ. ඇයි අවංක වෙන්න කියන්නේ… ඇතුළාන්තයට පුළුවන් අවංක වෙන්න. ඇතුළෙන් ඒගොල්ලන්ගේ අවුල දකින්න පුළුවන්. ඒ ඇතුළෙන් දකින දේ පිළිගත්තොත්, බුදුන්, දහම්, සඟුන් දැක්කොත් ඊට පස්සේ එළියේ කතාව වැඩක් නෑ. Program එකයි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒ Program එක තුළ ඉඳන් තමයි සියල්ල මනින්නේ. බුදු කෙනෙක්ට අවංකව වතුර උගරක් හරි දුන්න කෙනාට මේකෙන් ගැලවෙන්න මාර්ගය සකස් වෙනවා. හැබැයි ඒ අයගේ Program එක ( පටිච්චසමුප්පාදය) තාම ක්‍රියාත්මකයි.
ඇතුළෙන් ගැලවිලා Rrogram එක Run වෙනවා කියන එකේ විශේෂත්වය මොකද්ද? යම්කිසි කෙනෙක් මේ Rrogram එක විශ්වාස කරනවා නම්, එය Program එකක් බව නොදකිනවා නම් එයා Program එකෙන් Program එකට මාරු වෙවී යනවා. සංසාරය කියන්නේ ඒකයි. ඔබ තුළ ඔබේ නමින් Program එකක් ක්‍රියාත්මකයි, මේක Program එකක් බව සහසුද්දෙන්ම අවබෝධ වුණොත් එහෙම ඒ Program එකට ඔබ ආයිත් කවදාවත් යටත් වෙන්නේ නෑ.
බුදු කෙනෙක් 100% ක් මේ Program එකෙන් ගැලවිලා ඉන්නේ. එහෙම කෙනෙක් එක්ක මොකක් හෝ හේතුවක් මත අවංකව ගණුදෙණු කරද්දි, ඒ කියන්නේ හේතු පූර්ණය වගේ අවස්ථාවක දී, ඒ අය ඇතුළාන්තයෙන් බුද්ධ දකිනවා.
ඉපදුනාම Program එකක් වැටෙනවා. භවය හා සසර කියලා කියන්නේ, ඒක මත ක්‍රියාත්මක වෙලා මරණයෙන් පස්සේ ඊළඟ Program එකට මාරු වෙන එක. ඒ කියන්නේ අපි Program එකෙන් program එකට මාරු වෙවී ඒක විශ්වාස කරමින් ක්‍රියාත්මක කරගෙන ඉදිරියට යනවා. ඕක සමාජ ක්‍රමවේදයක් විදිහට හුරු වෙලා තියෙන්නේ. ඔය Program එකට හිර කරලා තිබීම තමයි වරද වෙන්නේ. අපි හිතේ ඇතුළාන්තය ගත්තෝත් මේකේ ඇතුළ සුවිසුද්ධයි. ඒ වගේම නිදහස් තැනක්. එතකොට මිනිස්සු මේ Program එකට සම්බන්ධ වෙලා ජීවත් වෙනවා මිසක් තමන්ගේ ඇතුළේ තියෙන එකට ඒකාග්‍ර වෙන්නේ නෑ. එක පාරක් හරි තමන්ගේ ඇතුළාන්තයත් එක්ක සම්බන්ධ වුණොත් එහෙම නැවත මේ Progarm එකත් එක්ක සම්බන්ධ වෙන්නේ නෑ. විසන්ධි වෙනවා.
දැන් තියෙන ප්‍රශ්ණය තමයි සත්වයාට ඉපදුන ගමන් වැටෙන Program එකෙන් (බාහිර Program) ගැලවෙන්න බෑ. සත්වයා මේ බාහිර Program එකේ හිටියට ඇතුළ දැනෙනවා. එහෙම දැනුනට බාහිර Program එක තුළ පැටලිලා තමයි ඒ ගැන කල්පනා කරන්නේ. බුද්ධ කියන්නේ බුද්ධිය කියන එක (Highest Intelligence). ඒ ඇතුළාන්ත බුද්ධියට තමයි මේ සියල්ල දකින්න පුළුවන්.
මේ බාහිර Program එක නිසා තමයි සත්වයා සසර යන්නේ. ඒක නිසා තමයි දුක හට ගන්නේ. එකටම තමයි පංච උපාදානය කියන්නෙත්. ඒක තමයි බුදුන් වහන්සේ කිව්වේ, දකින රූපය බොරුවක්, මනසට දැනෙන දේ මුලාවක්, ඒ නිසා එකෙන් මිදිලා ඇතුළාන්තයට එකතු වෙන්න, බුද්ධ බවට පත්වෙන්න කියලා. බුදුන් කිව්වේ මේ බාහිර Program එක අතහැරලා බුද්ධ බවට පත්වෙන්න මිසක්, ඒ Program එක බොරුයි කියලා ඒ program එක ඇතුළෙම හදාගෙන ඉන්න කියලා නෙවෙයි. හැබැයි සත්වයා බාහිර Program එකට අසු වී සිටින නිසා ඔවුන් බාහිර Program එක තුළ බුද්ධ කියන එක හදා ගන්න උත්සාහ කරනවා. ඒකත් මුලාවක්.
හරියමට ම කියනවා නම් තමන්ව සම්පූර්ණයෙන්ම අත හරින්න පුළුවන් නම් බුද්ධ, ධම්ම, සංඝ කියන ධර්මතාවයන් වලට එකතු වෙන්න පුළුවන්.
අවසානයේ දී තියෙන්නේ ඇතුළාන්ත බුද්ධියත් එක්ක එකතු වීමයි. ඇතුළාන්තය දකින්න පුරුදු කරන්න. එතකොට බාහිර මුලාව දැකලා බාහිරින් ගැලවෙනවා. ඒ ඇතළතාන්තය සමඟ එකතු වීම මනසට ගෝචර කර ගන්නත් පුළුවන්; මනසට ගෝචර කර නොගෙන ඉන්නත් පුළුවන්.
සත්වයාට ගැලවීම සඳහා කොතන හෝ තැනක බුද්ධ හා සම්බන්ධය තියෙනවා. ඒ සඳහා හේතු ඵලය තියෙනවා. ඇතුළාන්තය සම්බන්ධයි. බාහිර Program එක මාරු වෙන අවස්ථාව ආවම ඊළඟ Program එකට නොයන්න බීජය හැම සත්වයා තුළම තිබෙනවා. ඒ බීජය තුළින් ගැලවීම සකස් වෙන්න කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබෙන්නත් ඕනා.
නිවන් දකිනවා කියන්නේ බාහිර Program එකෙන් මිදිලා ඇතුළාන්තය දකිනවා කියන එකයි. ඇතුළාන්තය ගැලවිලා බව දකින එකයි. ඇතුළාන්තයෙන් බුදුන් දැකලා ඉන්න බව දකින එකයි. හැබැයි මේ කිසිවක් Program එක තුල සිතා ගෙන සිටීම නොවෙයි. මේ දත්ත වලින් Program එක Update කර ගන්න එක නොවෙයි.
කර්මය කියන එක මූලික කරගෙන සත්වයාට යම් ගමනක් තියනවා, ප්‍රතික්‍රියාවක් තියෙනවා. සාපේක්ෂ ප්‍රතිබද්ධ ක්‍රියාවලියක් තිබෙනවා. ධර්මතාවයන් ක්‍රියාත්මක වෙනවා. ඒත් සත්වයා වෙනම පුරුදු වෙලා තියෙන Program එකක් තියෙනවා. ඒ නිසා සත්වයා නැවත නැවත ඒ පුරුදු වෙලා ඉන්න Program එක තුළටම යනවා. Program එක වැටුන විදිය අනුව චර්යා රටාවන් ද වෙනස් වෙනවා. නමුත් බුද්ධ සමඟ එකතු වුණාම මේ සියල්ලගෙන්ම ගැලවෙනවා.
මෙතැන තියෙන්නේ ධර්මතාවයන් ටිකක්. න්‍යායන් ටිකක් තියෙන්නේ. මෙතන කෙනෙක් හටගන්නේ නෑ. නමුත් බාහිර program එක තුළ පුද්ගලභාවයක් හටගන්නවා. ඒ program එක අත හරින්නයි තියෙන්නේ. අද බොහෝ අය මම කියල කෙනෙක් නෑ කියල program එක update කරගෙනයි ඉන්නේ. ඒ ධර්මතාවය දැකලා නෑ. ඒක හරියට ලුණු ගැන කතා කර හිටියට ලුණු රහ දැනෙන්නේ නෑ වගේ. ධර්මය දකිනවා නම් ධර්මය දැනෙන්න ඕනා. ඒ ධර්මතාවය දකින්න නම් මැදට පත් වෙන්න ඕන. ඒ තුළ බුද්ධ ඉන්නවා. උදාහරණයක් කිව්වොත් ; බත් පිඟානක් තිබෙනවා. එය හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධර්මතා වලින්. පංචෙන්ද්‍රියන්ට ඒ ධර්මතාවය ගෝචර වන්නේ නෑ. නමුත් ඇසට හසු වන්නේ රූපයක්, නාසයට දැනෙන්නේ සුවඳක්. දිවට දැනෙන්නේ රසයක්. රස බත් පිඟාන ගොඩ නැගෙන්නේ මනස තුළ. බාහිර තිබුණ ධර්මතාවය අපේ මනස තුළ රස බත් පිඟානක් බවට පත් වෙලා. පංච උපාදානයෙන් එය විඥානයක් වෙලා, ක්ලේශයක් වෙලා, මමත්වයක් බවට පත් වෙලා. මේ ධර්මතාවය දැක්කොත් ප්‍රශ්නය ඉවරයි. නමුත් එය මනස තුළ තවත් Program එකක් වුණොත් ප්‍රශ්නය ඉවර වෙන්නේ නෑ. සතර මහා ධාතූන් Program කරගත්තොත් ඒකත් අර විදියෙම තවත් මායාවක්. එතකොට එකත් උපාදානයක් වෙලා මමත්වය ඒ හරහා ගොඩනැගෙන්න පුළුවන්.
අවසාන වශයෙන් මේ කියන්නේ බුද්ධ ස්වභාවය ස්පර්ශ වීම ද? නැත්නම් වෙන එකක්ද? බුද්ධ ස්වභාවය ස්පර්ශ වුණාම එතනත් මමත්වය හැදෙන්න පුළුවන්. මෙතන කියන්නේ ස්වභාවයක් ගැන නෙවෙයි. ඇතුළේ පවතින ධර්මතා ක්‍රියාවලිය, ඒ කියන්නේ චිත්ත නියාමය, ධම්ම නියාමය, කම්ම නියාමය...... කියන තැන තියෙන ප්‍රධාන ශක්තිය (Energy of inner program) මේ මොහොතේ මම බවට පත් වෙන්නත් පුළුවන්. මේ කය හා සම්බන්ධ භෞතික Program එක මම බවට පත් වෙන්නත් පුළුවන්. නමුත් ඇතුළාන්තයෙන් බුද්ධ අවදිවෙලා නම් බුද්ධ සමග ගණුදෙනු කරන හැම එකක් තුළින්ම එයාගෙ Program එක ඇතුළෙන්ම විනාශ වෙන්න හේතු වෙනවා. මේ Program එකෙන් එලියට ඇවිල්ලා කය දකිනවා කියන්නේ වෙනම අත්දැකීමක්. මනසට එක හිතා ගන්න බෑ. එතකොට ඒ ඇතුළාන්තය (Inner Program ) බලවත් වෙනවා. සියල්ල ගැල වුණාට පස්සේ එතන සුවිශුද්ධ වූ පරිපූර්ණත්වයක් තමයි තියෙන්නේ.
ධර්මය, ධර්මතා සහ න්‍යාය
2024-08-10