අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
බුද්ධ
සද්ධර්ම පුණ්ඩරීක අනාවරණය
2024-07-29
(චතුරාර්ය ශක්තිය දේශනා - 2023-04-28)
චතුරාර්ය ශක්තිය දේශනා යනු සත්වයා නිර්මාණය වී තිබෙන බුද්ධ ශක්තිය, විශ්ව ශක්තිය, කර්ම ශක්තිය හා චිත්ත ශක්තිය යන මේ ශක්තීන් හතරට බුද්ධ ඥාන තුළින් සමවැදී සිදු කරන දේශනායි.
සද්ධර්ම පුණ්ඩරීක අනාවරණය තුළින් ඉදිරිපත් කරන්නේ අනාගතයේ ශාසනය පරිහානියට පත්වී ඇති යුගයකදී මඩ ගොහොරුවක් බවට පත්වී ඇති යුගයකදී ඒ මඩ ගොහොරුව තුළින්ම මතුවන නෙළුමක් මෙන් තවත් බුදුවරයකු හා බුද්ධ සාසනයක් මතුවීම පිළිබඳව ගෞතම බුදුන් වහන්සේ විසින් කරන ලද පූර්ව විස්තරයක් පිළිබඳ අනාවරණයයි.
බුදු කෙනෙක් මේ විශ්වයේ පහළවෙන්නේ කොහොමද? බුදු කෙනෙක් කාලානුරූපව බුද්ධ ශාසනයක් ස්ථාපිත කරන්නේ කොහොමද? ඒ තුළ සත්වයා සසරින් එතෙර වෙන්නේ කොහොමද? සත්වයාගේ එතෙරවීම හා නිර්වාණය පැවැත්ම තුළ පනවන්නේ කොහොමද?
සාසනයේ බිහිවීම සත්වයෙක් පුද්ගලයෙක් මත පදනම්ව සිදුවන දෙයක් නොවේ. එය ධර්මතාවයක්. විශ්ව ධර්මතා සහ න්‍යායන් මත පදනම්ව සිදු වෙන දෙයක්. පුද්ගලානුරූපව ගලපගන්න පුළුවන් දෙයක් නොවේ.
මේ දේශනාව, මේ දක්වා මේ විශ්වයේ බුදුවරු, පසේබුදුවරු, රහතුන් අතීතයේ පටන් පහල වී සිටිත්ද, අනාගත බුදුවරු කොපමණ පහලවේද, අනාගත පසේබුදුවරු කොපමණ පහල වේද, අනාගත රහතුන් කොපමණ පහලවේද, එලෙසම වර්තමානයේ පහලව සිටිත්ද, ඒ සියල්ලෝම අරමුණු කරගෙන, ඒ සියල්ලෝම වෙනුවෙන් කරනු ලබන දේශනාවක්. සත්වයා අරමුණු කරගෙන කරනු ලබන දේශනාවක් නොවේ.
මේ ලෝකය කියලා කියන්නේ, මේ ලෝක ධාතුව කියලා කියන්නේ, මූලික වශයෙන් ආපෝ ගුණය හෙවත් ජලයේ ගුණය ,පොළවේ ගුණය හෙවත් තද ගතිය, ගලාගෙන යන ගුණය හෙවත් වායෝ ගුණය සහ තේජෝ ගුණය හෙවත් උණුසුම් ගුණයයි. මේ සතර මහා ධාතූන්ගේ ගුණයන් එකට එකතු වෙලා ධර්මතාවය කියන එක නිර්මාණය වෙනවා. ධර්මතාවය කියලා කියන්නේ මොකක්ද? පඨවි ස්වභාවය, ආපෝ ස්වභාවය, තේජෝ ස්වභාවය සහ වායෝ ස්වභාවය. මේ සතර මහා ධාතූන්ගේ එකතුවට කියනවා ධර්මතාවය කියලා. ධර්මතාවය කියලා කියන්නේ ස්වභාවයක්. ඒ ස්වභාවය තුළ අන්තර්ගත වෙන්නේ මෙන්න මේ කියන මූලයන් හතර.
සිත, සිතිවිලි හා සංඥාවේ පටන්, මේ මහ පොළවේ වැලි කැට වල පටන්, මේ ගස් වැල්වල පටන්, සතා සීපාවන්ගෙ පටන්, දෙවියන්ගේ පටන්, බුද්ධ ක්ෂේත්‍රය පවා මේ සෑම අංශුවක් ම සෑම අංශුමාත්‍රයක්ම මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන සතර මහා ධාතූන්ගේ ස්වභාවයන්ගෙන් යුක්තයි. මේ විශ්වයේ, ලෝකයේ මොන තරම් දේවල් මේ ධාතූන් හතර මූලික වෙලා නිර්මාණය වෙලා තියෙනවද? මේ ස්වභාවයන් හතර එකතු වුණාට, අපිට ඒවා නානාප්‍රකාර වූ ආකාරයෙන් කෝටි ප්‍රකාර වූ ආකාරයන්ගෙන් දර්ශනය වෙනවා, ස්පර්ශ වෙනවා. ස්වභාවයන් හතරක් වුණාට, මේ හතර එකතු වීම් තුලින් ඇතිවූ ධර්මතාවයන් කොපමණ තියෙනවද? අනන්ත වූ ධර්මතාවයන්, දූවිලි අංශු සහ දස දහස් සක්වලයන් ගේ පටන් පවතින විශ්ව ලෝක ධර්මතා ධාතූන්, දස දහස් සක්වලයන්ගේ මත කේන්ද්‍රගත වුණු ඒ තරම් විශාල වූ ධර්මතාවයන්, එක පිණ්ඩයකට එක චිත්තයකට කේන්ද්‍ර ගත කරන්න පුළුවන්. ඒ තමයි බුද්ධ චිත්තය, බුද්ධ ඥානය. ඒ බුද්ධ චිත්තය, බුද්ධ ඥානය මේ දස දහසක් වූ සක්වල කේන්ද්‍රගත කරගෙන, සියල්ල ස්පර්ශ කරගෙන, පෘථිවියේ න්‍යෂ්ටිය පිහිටියේ යම් සේ ද, විශ්ව තලයේ සූර්යයා පිහිටියේ යම්සේද, දසදහසක් සක්වළයන් කළු කුහරය මත කේන්ද්‍රගත වූයේ යම් සේ ද, මේ සියල්ල කේන්ද්‍රකරගෙන බුද්ධ කියන චිත්තය ස්ථාපිත වෙනවා. ඒ ස්ථාපිත වන බුද්ධ චිත්තය මේ විශ්ව ලෝක ධාතුවේ කෙසේද නිර්මාණය වන්නේ? අතිශය දුර්ලභ වූ සංසිද්ධියක්.
මේ බුද්ධ චිත්තය සහිත ජීවය දුර්ලභ ඝනයේ ජීවී ස්වභාවයක්. ඒක කාටවත් ඕන විදියට ලබාගන්න පුළුවන් දෙයක් නොවෙයි. අනන්තවූ සත්ව විෂය තුළ, පරිණාමයේ මුදුන්මල්කඩ හෙවත් පරිණාමයේ උපරිමය තමයි, මේ බුද්ධ චිත්තය දරාගත් ජීව ස්වභාවය. ඒ තරම් පරිණාමය වූ ජීවියෙක් තවත් මේ ලෝක ධාතුව තුළ ඉන්න විදියක් නැහැ. ඒ තමයි ජීවියාගේ පරිණාමයේ ඉහළම තැන. ඒ චිත්තය මේ ලෝකයට අතැඹුලක් සේ කොහෙන් හෝ පහළ වෙනවා. එදා පහළ වූ තැන ඉදන් ඒ චිත්තයේ තියෙන සුවිශේෂත්වය තමයි සති සම්පජඤ්ඤය. ඒ කියන්නේ සතිය සම්පජඤ්ඤය විදියට, එනම් සතියට සෑම ස්වභාවයක්ම හසු වන විදියට තමයි උපදින්නේ. ඒ චිත්තය විශ්වයේ හට ගත්තේම, බුද්ධ චිත්තය සහිත ජීවියා හටගත්තේම සතිය මූලික වුණු ස්වභාවයකින්. එදා ඉඳන් සතිය ඇතුව තමයි මේ ජීවියා වැඩිලා තියෙන්නේ. සතිය සහිතව තමයි රාග ද්වේශ මෝහ කෙලෙස් එක්ක වාසය කරලා තියෙන්නේ, භවය හැදිලා තියෙන්නේ, කල්ප කෝටි සත් සහසක් භව තලවල, සත්ව තලවල ඉපදී ඉපදී, මැරි මැරී ඇවිත් තියෙන්නේ. ඒ නිසා ඒ ජීවියාට සියල්ල මතකයි. සියල්ල හමුවුණු බව දන්නවා. සියල්ල මුණගැහුණු බව දන්නවා. සියල්ල හඳුනනවා. ඒක තමයි පරිණාමයේ පරතෙර, පරිණාමයේ ඉහලම තැන. මොවුන් තමන් වෙනුවෙන් කිසිදෙයක් කරන්නේ නෑ.
තවත් සුවිශේෂී කාරණයක් තමයි, බුදු කෙනෙක් අනාගතයේ බුදු වන කෙනෙක්ගේ ඤාණය, ගුණය, පාරමී බලය හා චේතනාව දකිනවා. ඔබ මෙවැන්නෙක් කියලා බුදු වරයා සිංහ නාදයක් කරනවා මේ කෙනා ඉදිරියේ. ඒ හමුවීම හා ඇසුර තුල ඒ බෝසතාට බුද්ධ විෂයය පරිශීලනය කරන්න ලැබෙනවා. නැවත බුදු කෙනෙක් ඇසුරු කරන්න ලැබුනාම ආපහු බුද්ධ විෂයය පරිශීලනය කරන්න ලැබෙනවා.
මොකක්ද මේ බුද්ධ විෂයය කියන්නේ? මේ ලෝකයේ පෙර කී ආපෝ තේජෝ වායෝ පඨවි කියන සතර මහා ධාතූන්ගේ ස්වභාවයන් ධර්මතාවය විදියට පෙන්වූවා. ඒ ධර්මතාවයෙන් තමයි මේ විශ්ව ලෝක ධාතුවේ සියල්ල හටගෙන තියෙන්නේ. මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන සතර මහා ධාතූන්ගෙන් හැදිලා තියෙන ධර්මතාවයන් අභිබවා දකින ධර්මයක් තමයි බුද්ධ විෂයය කියලා හඳුන්වන්නේ, බුද්ධ ධර්මය කියන්නේ. එතකොට සියලු සත්වයා දකින්නේ කුමක්ද? ඒ සතර මහා ධාතූන් ගෙන් හටගත් ඒවායේ ගුණයන් ගෙන් යුක්ත වුණා වූ, ඇතිවුණාවූ, නැතිවුණාවූ, පැවතුනා වූ, ධර්මයන් තමයි සියලු සත්වයා දකින්නේ. බුද්ධ ඥානය දකිනවා සතර මහා ධාතුන්ගෙන් ඔබ්බට ගියාවූ ධර්මතාවයක්. කුමක්ද ඒ දකින ධර්මතාවය? ඒ නිසයි මේ චිත්තය, මේ ඥානය බුද්ධ ඥානය වන්නේ. කුමක්ද ඒ දකින්නේ?
ඒ දකින්නේ, ආපෝ තේජෝ වායෝ පඨවි මහා ධාතුන්ගෙන් නිර්මාණය වූ ධර්මතාවයන් වලට මේ සියලුම සත්වයන් හසු වෙලා ඉන්න බවයි. ධර්ම චක්‍රයට හසු වෙලා ඉන්න බවයි, සංසාර චක්‍රයට හසු වෙලා ඉන්න බවයි. හැමෝම එකම දේ හප හපා කකා වමාරමින් ඉන්නවා. හිතට එක එක ස්වභාවයන් දැනෙනවා. සතුට දුක දැනෙනවා. ප්‍රශ්න දැනෙනවා. ප්‍රශ්න විසඳෙනවා දැනෙනවා. අලුත් ප්‍රශ්න එනවා දැනෙනවා. මේ තුල වෙනස්වෙමින් අතපත ගාමින් මේ සියලු සත්වයෝ යනවා. ඒ නිසා මෙතන මොවුන්ට විසඳුම හෝ සසර ගැලවීම හෝ නිවීම නැති බව දකිනවා.
මේ ආපෝ තේජෝ වායෝ පඨවි යන ස්වභාවයන් එකතුවී නිර්මාණය වී ඇති ස්වභාවය හතරකට ගලවනවා. මෙය තමයි මහාමායාව. මේ හතර විනිවිද යමින් තමයි ඒ බුද්ධ බෝධිය උපදින්නේ. ඒ බුද්ධිය උපදින්නේ. ඒ ඥානය උපදින්නේ. බුද්ධිය උපදිනවා කියන්නේ, මේ සතර මහා ධාතුන්ගෙන් ඔබ්බට මේ දහම දකින්න පටන් ගන්නවා කියන එක. සතර මහා ධාතූන්ගෙන් ඔබ්බට ගියාට පස්සෙ මොනවද දකින්නේ? මොකුත් දකින්නේ නෑ. දකින දෙයක් නෑ. ඒ නිසා මොකද වෙන්නේ, ඇත්තටම කුමක්ද වෙන්නේ කියන එක තේරෙනවා. ඇත්තටම කුමක්ද වෙන්නේ කියන එක දැනෙනවා. හේතුඵල, කර්මය, ජීවියා, සත්වයෝ, සතර මහා ධාතු, එහි මායාව, මායාව කියලා හිතෙන එක, මායාව කියලා හිතෙන එක තුල තිබෙන මායාව, දහම කියලා හිතෙන එක මේ සියල්ල සම්පූර්ණයෙන් තේරෙනවා.
සම්මාසම්බුද්ධ කියලා කියන්නේ, මේ ලෝකයේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි වලින් හැදුනු ධර්මතාවයන් සියල්ලම අවබෝධ කරගෙන, ඒ අවබෝධයත් අත්හැරීම තුල උපදින ඥානයක්. එතකොට මෙතන තියෙන්නේ ධර්මතාවයක්. බුද්ධ ඥානය මේ ධර්මතාවය දකිනවා. ධර්මතාවය ගොඩනැගෙන න්‍යාය දකිනවා. හැබැයි මේ සියල්ල සිතිවිලි වලින් තොරයි, සංස්කාර වලින් තොරයි. ඇසේ ක්‍රියාකාරිත්වය, මනසේ ක්‍රියාකාරීත්වය, විඥානයේ ක්‍රියාකාරීත්වය, කර්මයේ ක්‍රියාකාරීත්වය, හේතු ඵලයේ ක්‍රියාකාරීත්වය, සොබාදහමේ ක්‍රියාකාරීත්වය, ජීව විෂයයේ ක්‍රියාකාරීත්වය මේ සියල්ල දැනෙනවා. බුද්ධගේ ක්‍රියාකාරීත්වය, බුද්ධ විෂයයේ ක්‍රියාකාරීත්වය, මේ ලෝකය අතැඹුලක් සේ අවබෝධ කරගන්නවා.
දැන් පැහැදිලි කරන්නේ කාලානුරූපව මේ කාලයට ගැලපෙන විදියට සාසනය පිළියෙල වන්නේ කොහොමද කියලා.
ගසක් හැදෙන්නේ කොහොමද? ගසක් හැදෙන්න නං, බීජයක් ඕනා. එහෙම නැත්තං අංකුරයක් ඕනා. අංකුරයක් තිබුණත්, බීජයක් තිබුණත්, පොළොව සරු වෙන්නත් ඕනා. අංකුරයක් තිබුණත්, බීජයක් තිබුණත්, පොළවක් තිබුණත් ජලය, හිරු එළිය වගේ අවශ්‍ය ප්‍රත්‍ය එකතු වෙන්නත් ඕනා. එහෙම වුණොත් මොකද වෙන්නේ, මේ ගස ක්‍රමානුකූලව හැදෙනවා. හැදිලා හැදිලා ගස මෝරනවා. මෝරනකොට මොකද වෙන්නේ, ගසේ අංකුරත් බීජත් හට ගන්නවා. ඒ අංකුරත් බීජත් තුලින් තවත් වෘක්ෂයන් හටගන්නවා.
බුද්ධ පහළ වෙලා තියෙන්නේ කාලයට අනුරූපවයි. මේ කාලේ පටිපදා දර්ශනයක් ඉස්මතු වෙන්නෙ නෑ. පටිපදා දර්ශනයක් කිව්වේ කුමක්ද? අපි අහල තියෙනවා "බුදු හාමුදුරුවෝ පාත්තරේ අරන් උදේ පිණ්ඩපාතේ වඩිනවා. භික්ෂූන් වහන්සේලා චරිත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය කියලා සිවුරු දරාගෙන පාත්තර අරගෙන ගෙයක් ගෙයක් ගානේ වැඩම කරනවා. ආර්ය මහා සංඝයා දකින්නට ඉන්නවා." කියලා. ඒක තමයි පටිපදා දර්ශනය.
ඒ දර්ශනය පිරිහිලා. ඒ විනය පටිපදාව වල් වැදිලා. ඒක ලෝකෙට පෙන්නන ප්‍රතිරූපයක් බවට පත්වෙලා. ව්‍යාජයක් බවට පත්වෙලා. මිනිස්සු රවට්ටන කාරණයක් බවට පත්වෙලා.
එදා හිටපු හැමෝම මේ මහ පොළොවට බැහැලා, මහපොළොවේ අව්ව රස්නෙ විදිමින් මේ මාර්ගය වැඩු අය. එදා කාලේ මේ දහම හොයන කෙනෙක්ව එහෙමත් නැත්තම් ගවේෂණය කරන කෙනෙක්ව කොහොමද අඳුරගත්තේ? ඒ කාලේ දහම හොයන කෙනෙක් කියන්නේ ගොඩක් ඇවිදපු කෙනෙක්.
"ඔබ අතනට ගිහිල්ල තියෙනවද, මෙතනට ගිහිල්ලා තියෙනවද?".
"ඔව්, මම එතනටත් ගියා. මෙතනටත් ගියා." ,
"ආ, එහෙනම් එයා ගොඩක් ගවේෂණය කරපු කෙනෙක්."
නමුත් අද?
"ඔබ අර දේ දන්නවද, මේ දේ දන්නවද, අර ගැන දන්නවද, මේ ගැන දන්නවද? " කියලා අහනවා
"ඔව් ඔව්. මම ඒවත් දන්නවා. මේවත් දන්නවා." කියලා උත්තර දෙනවා.
ඕන දෙයක් දන්න අය තමයි ඉන්නේ.
එතකොට අපිට හිතෙන්නේ එයා ගොඩක් දේවල් ගවේෂණය කරපු කෙනෙක් කියලා. නමුත් ගවේෂණය කරලා තියන්නේ තොරතුරු. එදා එහෙම නෙමෙයි, ආධ්‍යාත්මික ගවේෂකයෙක් කියන්නේ ගොඩක් ඇවිදපු කෙනෙක්. එදා විමුක්තිය සොයා ගන්න නම් ගොඩක් ඇවිදින්න වුණා. හොයාගෙන යන්න වුණා. “ඇවිද්ද පය දහස් වටීයි” වගේ, ඇවිදපු එකමයි කරේ. ඒ කාලේ, මාර්ගය හොයන කෙනෙක් හොයාගන්නේ කොහොමද?. එහෙම කෙනෙක්, පොඩි රෙදිකඩක් දාගෙන, පොඩි මල්ලක් කරේ දාගෙන ඇවිදින කෙනෙක්. අන්න එහෙම කෙනෙක් දැක්කොත්, "ඔබ මේ මාර්ගය හොයන කෙනෙක් නේද?" කියලා අහනවා. උපස්ථාන හම්බෙනවා, වතුර හම්බෙනවා, කෑම හම්බෙනවා, මොකද, මිනිස්සු දන්නවා, මෙයා දහමක් හොයාගෙන යන කෙනෙක් කියලා. එයාට මිනිස්සු හැමදෙයින්ම සලකනවා.
ගෞතම බුදු හාමුදුරුවෝ මේ මාර්ග දර්ශනයේ පිහිටලා සිටිය බව දැනගන්න තිබෙන ප්‍රධාන සාධකය තමයි ගවේෂණය. ගවේෂණය කියලා කියන්නේ ඇවිදගෙන යෑම. එහෙම යනකොට,
"ආ, ඔබත් මාර්ගය හොයන කෙනෙක් නේද? මම මෙච්චර දුර ගිහිල්ලා තියෙනවා. මේ මේ අයව හම්බ වෙලා තියෙනවා. ඔබ කොච්චර දුර ඇවිල්ල තියෙනවද? ඔබ කොච්චර මාර්ගයේ ගමන් කරලා තියෙනවද?" මිනිස්සු එහෙම අහනවා.
ගෞතම බුදුහාමුදුරුවන්ගෙන් එහෙම ඇහුවම,
"මම මෙච්චර භව ගණනාවක් ඇවිල්ලා තියෙනවා" කියලා බුදුහාමුදුරුවෝ කියනවා.
"ආ, එහෙනං අපට කියන්නකෝ ඔබ තේරුම් ගත්ත දේ?."
ඒ විදිය හරිම ලස්සනයි.
"ගව් ගණන් පමණක් නෙවෙයි, භව ගණන් මම හොයමින් ආවා."
"හා ඇත්තද? එදා භවය කොහොමද?"
අන්න අහනවා. ඇවිල්ලා මාර්ගය අවබෝධ කරගන්නවා.
"මම මං වෙනුවෙන් දේවල් කරගන්න කෙනෙක් නෙවෙයි. එක තැනක ඉන්න කෙනෙක් නෙවෙයි."
ඒක දැක්කහම මිනිස්සු ඇවිල්ලා අහනවා,
"එහෙනං කියන්නකෝ, ඔබ මොනවද හොයාගෙන තියෙන්නේ? මේක තේරුම් ගන්න මම කොහෙටද යන්න ඕනා?"
ඔන්න ඔහොමයි කතා කළේ.
"ගෞතම බුදුහාමුදුරුවෝ ගාවට යන්නකෝ." බුදුන් ගාවට ගිය අය, බුදුන් දැකපු අය එහෙම කියනවා. යන්න ඕන තැන තමයි අහන්නේ. අද කවුරුවත් අහනවද යන්න ඕන තැනක් ගැන? නැහැ. අද අහන්නේ තොරතුරු.
ඒ කාලේ විනය පනවන්න ඕන වුණා, තමන් වෙනුවෙනුත් අන් අය වෙනුවෙනුත්. තමා වෙනුවෙන් කිසිවක් නොකරන බව තමාටත් අන් අයටත් පෙනෙන ප්‍රතිපදාවක් තිබුණා. බුදුහාමුදුරුවෝ එක විනයයි පැනෙව්වේ. ඔච්චර බණ ඕනෙ නෑ. ඒ කාලේ අය තමං වෙනුවෙන් මුකුත් කරන්න ගියේ නෑ. තමා ඇතුලේ මාර්ගය සනාථ කරමින් ගියා. ඉතින් එහෙම කරගෙන යද්දී මොකද වෙන්නේ තමා වෙනුවෙන් මොකුත් කරන්න බෑනේ. ඉතින් බොහෝ දෙනා රහත් වුණා. අද මොකක්ද තියෙන්නේ විනය කියලා හදපු එකක්. අද පුළුවන්නම් හොයාගන්න තමා වෙනුවෙන් දේවල් නොකරන කෙනෙක්. හැමෝම කරන්නේ තමා වෙනුවෙන්.
ඔබලා තම තමන් ඉන්න තැන ඉඳන් මාර්ගය වඩන්න ඕන. ඔබ හැමෝම ස්වයංව යැපිය යුතුයි. අවශ්‍යනම් අර පරණ සම්ප්‍රදායේ ගිහිල්ලා දානෙ ටිකක් හොයා ගත්තට කමක් නෑ. මා මේ කතා කරන්නේ ශාසනය ගැන. බුද්ධ ගැන නෙවෙයි. ස්වයංව යැපෙමින් මාර්ගය වඩන්න වස්ත්‍ර මාරු කරන්න අවශ්‍ය නෑ. හිස මුඩු ගාන්න ඕනේ නෑ. කවුරුත් දැන ගන්ඩ අවශ්‍ය නෑ. ඇයි විනය නැත්තේ? විනය පනවන්නේ නෑ. මොකද දැන් විනය ජාවාරමක් වෙලා ඉවරයි. එතකොට මොකද කරන්නේ? සත්ත්වයාගේ කර්මයට සාපේක්ෂව චිත්තය වඩන්න ඕනේ. මොකක්ද මේ කර්මයට සාපේක්ෂව චිත්තය වඩනවා කියන්නේ?
සත්වයා අද පවතින විදියට සාපේක්ෂව බුද්ධ වැඩිලා තියෙන්නේ. සියළුම මිනිස්සු හිතන්නේ ව්‍යාපාරික මානසිකත්වයකින්. ආර්ථිකය කේන්ද්‍රකරගෙනයි හිතන්නේ. සත්වයාට මේ දහම තේරුම් කරන්න බෑ. මනස සැකසිලා තියෙන්නේ තොරතුරු ග්‍රහණය කරගැනීමට හා විශ්ලේෂණයට. තොරතුරු ඔලුවලට දාගෙන සංස්කාර ගොඩනගාගෙන. ඒ නිසා තමයි කර්ම පථ වලට බලපෑම් කරන්න වෙලා තියෙන්නේ. ශ්‍රද්ධාව පිහිටලා, විශ්වාසය පිහිටියොත් සත්වයන්ට මේක දුර්ලභ අවස්ථාවක්.
මේ කාලේ අයට බණ කිව්වම, ඒවා ඔළුවල පුරෝගෙන ගිහිල්ලා වෙන වෙන දේවල් හිතා ගන්නවා. අද මනස හැදිලා තියෙන්නේ තොරතුරු ගවේශණය කරන්න. අත්දැකීම් තුළ කර්මය ක්ෂය කරන පැත්තට නෙවෙයි. විමුක්තියට පත්වෙන්න නම්, කර්ම පථය දිහා බලලා කමටහන දෙන්න ඕනා.
සත්වයාට ගැලවෙන්න ක්‍රම තුනක් තියෙනවා. ඒ තමයි,
කුසල පූර්ණ කිරීම
හේතු පූර්ණ කිරීම
ප්‍රඥාව පූර්ණ කිරීම
කුසල පූර්ණ කිරීම කියන්නේ දානේ දීලා, සිහිය හදාගෙන, ප්‍රඥාව හදාගෙන යන මාර්ගය.
තව කෙනෙක් පරිත්‍යාගයෙන් අවංකව වැඩ කරලා තමන්ගේ හේතු පූර්ණ කරගන්නවා. හේතු පූර්ණ කරනකොට ප්‍රඥාව හටගන්නවා. ඒක එහෙම නොවුණොත්, හේතු වලින්ම විපාකය හටගන්නවා. හේතු හරියට හැදුනහම විපාකය එනවා. හරියට මිනියක් මැරුවාම විපාක එනවා වගේ. හේතු හදනවා කියන්නේ ඇතුලෙන් අවංක පිරිසිදු භාවයක් තියෙන්න ඕන. දානයක් දෙන කොට අකුසල සිතක් හැදුනොත් ඊට වැඩිය හොඳයි ආපහු යන එක.
ඊළඟට ආර්ය ඇසුර තුළින් හැදුණා වූ ප්‍රඥාව.
ඔය ක්‍රම තුනෙන් තමයි සත්වයා එතෙර වන්නේ.
කුසල වර්ධනය කරගන්න පුළුවන්, සාසනය තුළ හේතු හදන්න පුළුවන් , ප්‍රඥාව ආර්ය ඇසුර ලබා ගන්න පුළුවන්. එහෙම නැතුව කාටවත් සසරින් එතෙර වෙන්න බෑ. ඔය තුන සිදුවෙනකොට, ඒ හරහා කර්මානුරූපව කර්ම පථය සැකසෙනවා. මාර්ගය පාදගෙන යන්න තියෙන්නේ. මාර්ගයේ තියෙන බාධක අකුසල් කර්ම විපාක අයින් වෙනවා. පාඩුවේ යන්න හැකිවෙනවා. සමහර අය දකින්නේ නෑ ඒ අයගේ මාර්ගය පැහැදිලි වුණ බව. කර්මය ශුද්ධ වුනාම ජීවිතය පහසු වෙනවා. ඊට පස්සේ ඒ අයට හරිගිය විදිය ඒ අයට තේරෙන්නේ නෑ.
ඊළඟට බිහිවන සාසනය;
අනාගතයේ මිනිස්සු කැලෑ වගා කරනවා. ගස් වගා කරනවා. ගෙයක් හදා ගන්නවා කියන්නේ ගහක් වගා කරනවා වගේ. ගහත් එක්ක පුංචි කූඩාරමක් ගහගෙන එකේ වාසය කරනවා. අනාගතයේ ආධ්‍යාත්මිකයෝ ඉන්නේ ගස් ලඟ. ගස් ලඟ ඉන්න අය තමයි ආධ්‍යාත්මිකයෝ. එතනත් විනය නෑ. මේ කාලෙදි කර්මපථයෙන් ගැලවෙනවා වගේ, ඒ කාලෙදි තියෙන්නෙ ස්වභාදහම. ස්වභාදහමට අනුගත වී සිටීම. එතකොට ඔවුන්ට සියල්ල පැහැදිලි වෙනවා.
කොහොමද ඒක වෙන්නේ? පිරිසිදු වුණ කර්ම පථයට අදාලව ප්‍රතිඵලය එන්න ඔවුන් සොබාදහමත් එක්ක ඉන්න ඕන. මෙතන අද කරන දෙයෙහි ප්‍රතිඵලය එදාට හම්බෙනවා.
ගෞතම බුදු හාමුදුරුවෝ එදා කරපු දේ මොකක්ද අද මෙතන මේ ප්‍රතිඵලය එන්න? ගෞතම බුදු හාමුදුරුවෝ එදා සද්ධර්මපුණ්ඩරීක සූත්‍රය විදියට දේශනා කරපු කාරණය තමයි, අද මේ විදියට දේශනා කලේ. අද කාලේ මෙහෙම වෙනවා කියලා, එදා උන්වහන්සේ පැවසුවා.
“මා බිහිකරපු සාසනය අනාගතයේ මඩ ගොඩක් බවට පත්වෙනවා. ගඳ ගහනවා, බහින්නත් බෑ. ඒ මඩ ගොඩේ පිපෙනවා නෙළුමක්. ඒ තමයි එදා දායාදය ගත්ත කෙනා. එයා ඒ මඩ ගොඩේ පිපිලා, මඩ ගොඩෙන් එළියට එනවා. ජලයෙන් ලැබෙන පීඩනය මත, සමාජයෙන් ලැබෙන පීඩනය මත, ඒ පීඩනය දරාගෙන, මඩෙන් විතරක් නෙමෙයි වතුරෙනුත් මිදිලා උඩට එනවා. ඒ තරමටම නටුව දික් වෙන්න සිද්ධ වෙනවා. වතුරෙන් ලැබෙන පීඩනයෙන් පෙති ශක්තිමත් වෙනවා. මේ නෙළුම මඩේ පිපෙන්නේ මගේම සාසනයේ. මගේම ශ්‍රාවකයන්ගෙන් තමයි ඔහුට මේ පීඩනය, ජලයේ පීඩනය එල්ල වෙන්නේ. ඒ තුළින් ම තමයි පෙති ශක්තිමත් වෙන්නේ. මඩෙත් නොගෑවී මඩෙන් බිහිවෙච්ච ඒ නෙළුම, ශ්‍රාවකයන්ගෙත් නොගෑවී උඩට එනවා. මේ නෙළුම තියෙන්නේ මඩේ නිසා, ජලයේ නිසා නෙලුම ගාවට කාටවත් එන්න බෑ. එනිසා නෙළුම සුරක්ෂිතයි. මිනිස්සු දුර තියා නෙළුම දැකලා යනවා, නෙළුම ළඟට එන්න බෑ, නෙළුම කඩන්න බෑ. ඒ නිසා යනවා. හැබැයි ඒ හැමෝම නෙළුමේ සුවඳ අරන් යන්නේ. නෙළුම දැකලා යන්නේ. නෙළුමේ දැක්ම ස්පර්ශ කරගෙන යන්නේ, නෙළුමේ ආභාෂය ලබාගෙන යන්නේ.”
ඒ විතරක් නෙමෙයි ඔය අයටත් නෙළුම් වගේ වෙන්න තමයි සිදුවන්නේ. විනය නෑ. නෙළුමක් තමයි වෙන්න වෙන්නේ.
අද මම දේශනාකළ අනාගත සාසනය තුළ, ගහක් යට කූඩාරමක් ගහගෙන සිටින අය තමයි මතු ශාසනයේ ප්‍රධාන වෙන්නේ. ගස, වෘක්ෂය, සොබාදහම එක්ක එකතු වෙන අය තමයි ඒ කාලේ වන විට විමුක්ති මාර්ගයේ යන්නන් බවට පත්වී සිටින්නේ.
ගෞතම බුද්ධ ශාසනයට කලින් පහල වුන බුදු හාමුදුරුවෝ විවරණය දීපු විදිය බලනකොට කතා කරන්නේ ඇතෙක් ගැන. ගෞතම බුදුන් වහන්සේව විවරණය කලේ ඇතෙක් විදියට. ඒ ඇතා චතුරාර්ය දරාගත්, ඇවිදින, ශක්තිමත් සද්ධන්තයෙක්. පිරිස පිරිවරාගෙන යන ඇතා, ඒක තමයි උන්වහන්සේගේ ක්‍රමය. ගෞතම බුදු හාමුදුරුවෝ ඊළඟ සාසනය විදියට විවරණය කලේ නෙළුම.
මේ යුගයෙන් පසු, අනාගත සාසනය තුල ප්‍රධාන වන්නේ ගසයි ස්වභාදහමයි. ගෞතම බුදුහාමුදුරුවෝ නිරූපණය වුණේ ඇතාගෙන්. මේ සාසනය තමයි නෙළුම් මලෙන් සංකේතවත් කලේ.
ධර්මය, ධර්මතා සහ න්‍යාය
2024-08-10