අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
චිත්ත
මනෝ විඥානය
2024-08-08
විඥානය යනු බොහෝ සෙයින් බුදුදහම තුළ ඔබට අසන්නට ලැබෙන වචනයක්. චක්ඛු විඥානය, සෝත විඥානය, ඝාණ විඥානය, ජිව්හා විඥානය, පොට්ඨබ්බ විඥානය, මනෝ විඥානය ආදී වශයෙන් විඥානය සම්බන්ධයෙන් විවිධ සන්දර්භයන් පිළිබඳ ඔබට අසන්නට ලැබෙනවා.
චක්ඛු විඥානය කියන්නේ ඇස නැමැති ආයතනය හරහා ගත්තේ දේ යන අදහසයි. මස් ඇසට ආලෝකය වැටීම හරහා දෘෂ්ටි විතානය මත ඇතිවෙන ප්‍රතිබිම්බය මූලික මට්ටමේ (Raw Data ) දත්තයක් පමණයි. ඒ දත්ත ස්නායු පද්ධතිය හරහා (Optic Nerves) මොළය වෙත යම් සංවේදනයක් (Sensations) ඇති කරනවා. ඊට පසු මනසේ ආයතන ක්‍රියාවලිය සිදු වෙනවා. එම ක්‍රියාවලිය චක්ඛායතනය නමින් හඳුන්වනවා. මේ ආයතන ක්‍රියාවලිය හරහා තමයි මනසේ අනෙකුත් ක්‍රියාකාරීත්වයන්ද එකතු වී සංජානනය (Perception Through Interpretation) සිදු වන්නේ. ඒ තුළින් ලබාගත් දේ චක්ඛු විඥානය ලෙස හඳුන්වනවා. සෝත, ඝාණ, ජිව්හා, පොට්ඨබ්බ ආදී විඥානයන් ගේ ගොඩනැඟීමද මීට සමානයි. රහතන් වහන්සේ කෙනෙක් ගේ ආයතන ක්‍රියාවලියක් සිදුවන්නේ නැහැ. ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයක් පමණයි තියෙන්නේ.
මනෝ විඥානය යනු මීට වඩා සංකීර්ණ ක්‍රියාකාරීත්වයක්. එය හරියට මාෆියා නායකයෙකු ගේ චරිතයක් වැනි වූ සැඟවුණු කාරණයක්. ඒ ක්‍රියාකාරීත්වය ලේසියෙන් දැකිය හැක්කක් නෙවෙයි. මනසේ පවතින සියලුම ස්වභාවයන්, ධර්මතාවයන් සහ පුරුදු යන සියල්ලටම බලපාන්නාවූ යම් මූල ක්‍රියාකාරීත්වයක් තමයි මනෝ විඥානය කියන්නේ. මතකය, සිතිවිලි ආදිය හේතු කරගෙන ඇතිවන සංස්කාරයන්ගේ දැනීමත් ඒ ක්‍රියාකාරීත්වයේම කොටසක්. මන කියන ආයතනය තුල තමයි අනෙක් ආයතන ටිකත් ක්‍රියාත්මක වන්නේ.
මනසක පවතින ස්වභාවයන් විශාල පරාසයක පැතිරී පවතිනවා. ඒ ස්වභාවයන් එක් එක් පුද්ගලයන් තුළ විවිධාකාරයෙන් ගොඩනැගි පවතිනවා. ඒවා සංවර්ධිත ස්වභාවයන් වෙන්නත් පුළුවන්. විෂම හෝ විකෘති ස්වභාවයන් වෙන්නත් පුළුවන්. අනෙකුත් ඉන්ද්‍රියන්ට සාපේක්ෂව බැලුවොත්, මනසේ යම් ප්‍රමාණයක් පමණයි ස්වභාවධර්මයෙන් මිනිසාට ගොඩනගලා දෙන්නේ. ඒක ජානවල බලපෑම මත සිදුවන්නක්. ඉතිරි ප්‍රමාණය අත්දැකීම් උඩ ගොඩනැඟීම සඳහා විභවය මනස තුළ තිබෙනවා. නමුත් ඒ ගොඩනැඟීම සිදු වන්නේ අත්දැකීම් වලට සාපේක්ෂවයි. මනසේ විද්‍යාව හඳුනා ගැනීම හරහා ගොඩනැගුනොත් ඒ හරහා සංවර්ධිත මානසික ස්වභාවයක් ගොඩනැගෙනවා. මනෝවිද්‍යාවේ ප්‍රජනනය (Cognition) කියලා හඳුන්වන්නේ මේ පැතිකඩ. ප්‍රජානන සංවර්ධනය (Cognitive Development) ළමා අවධියේ දී බොහොම සැලකිලිමත් ව සිදු කළ යුතු කාර්යයක්. මනෝවිද්‍යාව තුළ දී ළමා සංවර්ධනය (Child Development) යටතේ බොහෝ විද්‍යාත්මක කාරණා සැලකිල්ලට ගෙන කටයුතු කරන අතර ඉදිරියටත් ඒ පර්යේෂණ වලින් අලුත් කාරණා සොයා ගන්නවා.එසේ සංවර්ධනය නොවූ මනස තුල විවිධ විෂම ක්‍රියාකාරීත්වයන්, විකෘතිතා (Cognitive Distortions) වර්ධනය වෙන්න පුළුවන්. මේ හරහා ඊට අනුරූප ස්වභාවයක් මනසේ ඇති වෙනවා. උදාහරණ කීපයක් අපට සලකා බලන්න පුලුවන්.
සමහර කෙනෙක්ගෙ මානසික ස්වභාවය තමයි ජීවිතයේ සිදුවන සිදුවීම් වල හොඳක් දකින්නේම නෑ. ඒ අයගේ මනස තුළ බොහෝවිට සෘණාත්මක පැතිකඩක් ඔස්සේම දෝලනය වෙන ස්වභාවයන් වර්ධනය වී පවතිනවා. උදාහරණයක් ලෙස කාර්යාලයේ දී සේවාදායකයා විසින් කෙනෙකුට පවසනවා, ඔහුගේ ගෙවුණු වසර තුළ කාර්යාලීය වැඩ කටයුතු පිළිබඳ ප්‍රතිචාරයක් (Feedback). එහිදී ඔහුගේ කාර්යක්ෂමතාවය පිළිබඳව පැසසුම් කර ඔහුට සංවර්ධනය කරගත යුතු පැතිකඩයන් පිළිබඳව සඳහන් කරනවා. නමුත් මෙම මානසික ස්වභාවය තුළ ඔහු හැසිරෙන්නේ සංවර්ධනය කරගත යුතුයි කියලා පවසපු කාරණා සම්බන්ධයෙන් සෘණාත්මකව බලමින් පමණයි. ඔහුගේ කාර්යක්ෂමතාවය පිලිබඳ ධනාත්මක ලැබුණු ප්‍රතිචාරයන් පිළිබඳව සතුටු වන්නේ නැහැ. වැඩි දියුණු කර ගැනීමට අවධානය යොමු කළ යුතුයි කියලා පවසපු දේ ඔහු හඳුනාගන්නේ සෘණාත්මක දෙයක් විදියටයි. මෙවැනි විෂම ස්වභාවයක් ඕනෑම කෙනෙක් තුළ කාලයත් සමග වර්ධනය වෙන්න පුළුවන්.
මනසේ තවත් ක්‍රියාකාරීත්වයක් තමයි ධර්මතාවයන්. ඒ ධර්මතාවයන් වල ප්‍රතිඵලයක් විදිහට "ධම්ම" නිෂ්පාදනයක් වෙනවා. සංජානනය හරහා ඇතිවන විඥානයන් පදනම් කරගෙන ඇති කරගන්නා නිගමනයන් වැනි දේ ධම්ම ලෙස හඳුන්වනවා.
ඒ හරහා මනෝ විඥානය පෝෂණය වන අතර මනෝ විඥානයේ බලපෑමද මේ ධම්ම වල ගොඩනැගීමට අන්තර්ගත වෙනවා. උදාහරණයක් විදිහට අපි කෙනෙකුව හඳුනාගන්න කොට, රූපයක් හෝ ශබ්දයක් අඳුර ගන්න කොට, යම් සිදුවීමක් අත්විඳින විට එතැනදී ඒ ධර්මතාවය ක්‍රියාත්මක වෙන විට මනෝ විඥානයේ බලපෑමට ද යටත්වයි එය සිදුවන්නේ. ඔබ කුඩා කල සිට බෞද්ධ සම්ප්‍රදායක ශ්‍රද්ධාව මූලිකව හැදුණු වැඩුණු කෙනෙක් නම් හාමුදුරුකෙනෙක් දුටු විට ඔබ තුළ හැඟෙන ගෞරවය මේ මනෝ විඥානය මූලික කරගෙන ඇති වෙන්නක් වීමට බොහෝ සෙයින් ඉඩ තිබෙනවා. ඒ වාගේම හාමුදුරු කෙනෙක් අතින් පැවිද්දෙකුට නුසුදුසු වැඩක් යැයි සම්මත දෙයක් සිදුවනු දකින විටදීද මනෝ විඥානයේ ක්‍රියාකාරීත්වය ප්‍රබලව නැගී එනවා. එවැනි දෙයින් මනෝ විඥානය පෝෂණය ලබන අතරම නැවත එවැනි දෙයක් සිදු වන විට මනෝ විඥානයේ බලපෑමද ඒ සිදුවීම ගොඩනගා ගන්නා ආකාරය සඳහා දායක වෙනවා.
තවත් උදාහරණයක් ගතහොත්, අපි සිතමු කෙනෙක් වැඩිපුර නිතර නිතර ආහාර ගන්නව කියලා. බාහිරින් අපිට පෙනුනත් මෙයා බඩගිනි නිසා ආහාර ගන්නවා කියලා, මනෝ විඥානයේ වර්ධනය වී තියෙන ප්‍රශ්නයක් නිසා ඇතිවන ආතතියක් වෙන්න පුළුවන් ඒ චර්යාව මතු වෙන්න හේතු වෙන්නේ. කවදාවත් මනෝ විඥානය එලියට ප්‍රදර්ශනය වෙන්නේ නෑ, එලියට එන්නේ වෙනත් කාරණයක් හරහා.
ඒ වාගේම ඇතිවන තවත් දෙයක් තමයි ගති පුරුදු. නැවත නැවත එකම දේ කිරීම නිසා ඒ දේ පුරුද්දක් බවට පත්වෙනවා. එසේ එකම දේ නැවත නැවත කිරීමට කෙනෙකු යොමුවන්නේ ඒ හරහා ලැබෙන රසාස්වාදයක්, ආශ්වාදයක් නිසයි. ඒ වාගේම අසිහිය ද මීට දායක වෙනවා. සිහිය තිබෙන විට පුරුද්දෙන් ක්‍රියාත්මක වන දේට එසේ ක්‍රියාත්මක වීමට නොහැකි වී යනවා. මේ ක්‍රියාකාරීත්වයනන්ම මොළයේ භෞතික ගොඩනැගීමද (Physiology) සෘජුව සම්බන්ධ වෙනවා. එහිදී ස්නායු පරිපථ යම් ක්‍රමවේදයකට සම්බන්ධ වීමට පටන් ගන්නවා. ඒ තමයි පුරුද්දක් ඇති වීමට පටන් ගන්නා මුල් අවදිය. පසුව එකම දේ සිදු කරන වාර ගණන වැඩි වන විට එම ස්නායු පරිපථ එකම විදියට සම්බන්ධ වීම ද තීව්‍ර වෙනවා. ඒ හරහා ස්වංක්‍රීය භාවයකට ගමන් කරනවා. පුරුද්දක් වුවත් ක්‍රියාත්මක වීමට යම් උත්තේජනයක් අවශ්‍යයි. ඒ උත්තේජනය පිළිබඳ සංඥාව ලැබුණු විගස පුරුද්ද ක්‍රියාත්මක වීමට පටන් ගන්නවා. එයින් යම් ආශ්වාදජනක වින්දනයක් ලබා ගන්නවා. ඒ හරහා මනෝ විඥානය ද පෝෂණය වෙනවා. නැවත එම උත්තේජනය පිළිබඳ සංඥාව ලැබෙන විට, මනෝ විඥානයෙන් මෙම පුරුද්ද ක්‍රියාත්මක වීම බල ගන්වනවා. පුරුද්ද ස්වංක්‍රීයව ක්‍රියාත්මක වන අවධියට පත් වූ විට තර්කය, බුද්ධිය, සිහිය වැනි කාරණාවල බලපෑමට හසු නොවී ක්‍රියාත්මක වන්නට පුළුවන්.
මුලදී ඉතා සංකීර්ණ වූ කාර්යයක් පුරුද්ද හැදුනු පසු සිහිය, බුද්ධිය නොමැතිව සිදු වන්නට පුළුවන්. රිය ධාවනය, එකක් අනිකට සමාන්තරව වාහන නැවැත්වීම, ව්‍යායාම, නර්තනය, දත් මැදීම වැනි දේ එසේ සිදු කළ හැකි සමහර කාර්යයන්. පුරුදු, ධර්මතා සහ ස්වභාවයන් යන මේ ඕනෑම දෙයක් ගොඩනැගීමට පිටුපසින් සිට දායක වන්නා වූ දෙයක් තමයි මනෝ විඥානය. එසේම මේ සියලු දේ තුළින් මනෝ විඥානයද නැවත නැවත පෝෂණය ලබනවා. ඒ මනෝ විඥානය සසර ගොඩනැගෙන විඥානයටද දායක වෙනවා. ඒ අතරම සසර විඥානයෙන්ද නිරන්තරයෙන් පෝෂණය ලබනවා.
ධර්මය, ධර්මතා සහ න්‍යාය
2024-08-10