අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
චිත්ත
මනස සිතුවිලි සහ උපාදානය
2024-08-08
මනස කියන්නේ මොළයෙහි ක්‍රියාකාරීත්වය ලෙස බටහිර විද්‍යාව බොහෝ අවස්ථාවලදි හඳුන්වනවා. සංවේදනය (Sensation) හරහා ලබාගන්නා දත්ත සංකේතකරණය (Encoding), අර්ථකථනය කිරීම (Interpretation), සංජානනය (Perception), මතකය තුල ගබඩා කිරීම සහ ආවර්ජනය (Memory storage and Retrieval), භාෂාව සහ තේරුම් ගැනීම (Language and Comprehension), බුද්ධිය (Intelligence), විශ්ලේෂණය (Analyzing), සන්නිවේදනය (communication), ප්‍රශ්න කිරීම සහ විසඳුම් සෙවීම (Questioning and problem solving), විනිශ්චයන් සිදුකිරීම (Judgements), සමබරතාවය සහ සම්බන්ධීකරණය (Balancing and Coordination) වැනි ක්‍රියාකාරිත්වයන් රැසක් මොළය විසින් සිදු කරනවා. ඒ අවස්ථාවන්හිදී මොළය භෞතික මාධ්‍යය ලෙසත් මනස ක්‍රියාකාරීත්වය ලෙසත් හඳුන්වන්න පුළුවන්.
බුද්ධ දර්ශනය තුළ ශරීරය පුරාම මනසේ ක්‍රියාකාරීත්වය දකිනවා. සෛලයක පවා ඒ ක්‍රියාකාරීත්වය තිබෙනවා. සත්වයා බිහිවූ දා පටන් ගොඩනැගෙන විඥානයට අනුව සහ කර්මානුරූපව මනස පරිණාමය වනවා. ඒ මනස, කර්මය සහ විඥානයට අනුව මොළය ගොඩනැගෙනවා. බටහිර විද්‍යාව මෙය ජානමය සාධක වැනි පැතිකඩයන් තුලින් විග්‍රහ කරනවා. මොළයේ ස්වභාවය හා ශාරීරික ස්වභාවයන් අනුව තමයි, මනස ඊට පසුව ක්‍රියාත්මක වන්නේ. සත්වයෙකුගේ මේ භවයේ Program එක වන්නේ මෙසේ විවිධ සාධක මත ගොඩනැගුණු මනසයි. මනස Program වීමට ඉපදුන දා සිටන් ලැබෙන අත්දැකීම්ද බොහෝ සෙයින් බලපානවා. මේ ආකාරයට Program වුණු මනස තමයි අපිට දැනෙන ලෝකය ගොඩනගලා දෙන්නේ. මනසට ලැබෙන ඕනම දත්තයක් Interpret කරන්නේ මනස ගොඩනැගිලා තිබෙන program එකෙන්.
එතකොට සිතුවිලි සහ සිත කියන්නේ මොනවාටද?
මේක අද බොහෝ දෙනෙකුට පැටලුණු කාරණයක්. ඇස, කන, නාසය, දිව, ශරීරය යන මේ පංචේන්ද්‍රයන් ගෙන් මනසට දත්ත ලැබෙන බව ස්නායු පද්ධතිය වල ක්‍රියාකාරීත්වයෙන් පැහැදිලි කර ගෙන තියෙනවා. නමුත් මනසට සිතුවිලි එන්නේ කොහොමද? ඒක භෞතික රසායනික ජීව විද්‍යාත්මක රාමු තුළ අනාවරණය කරගත නොහැකි කාරණයක්. ඊට හේතුව භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව වැනි සෑම විද්‍යා දැනුම් පද්ධතියක්ම ගොඩනැගිලා තියෙන්නේ යම් යම් සීමාවන් සහ අනුමානයන් (Axioms) මත වීමයි. ඒ කියන්නේ යම් සමුද්දේශ රාමුවක් ඇතුළේ (Frame of Reference) තමයි ඒ න්‍යායයන් ඉදිරිපත් කරන්නේ. මනෝ විද්‍යාව පවා ඒ සීමාවන්ට හසුවෙනවා. ඉතින් එවැනි සීමාවන් තුළ ඉන්නතාක් විශ්වයේ සමහර ධර්මතාවයන්ට විද්‍යාත්මක නමින් හඳුන්වන දැනුම් පද්ධති වලින් පදනමක් නොලැබෙන්න පුළුවන්. එහෙම වුනා කියලා ඒ ධර්මතාවයන් ක්‍රියාත්මක නොවී තියෙන්නේ නෑ.
විද්‍යාත්මක දැනුම් පද්ධති වලට බොහෝසෙයින් සීමා වුණු අය සහ ඒ දැනුම් පද්ධති ගැන ඉගෙන ගෙන, ඒවාට අනුව දියුණු චින්තන හැකියාවන් ඇති කර ගත් අය ඔවුන්ගේ කැමැත්ත පරිදි ධර්මතාවයන් යම් යම් පදනම් මත පිහිටාගෙන විස්තර කරනවා. එවැනි කාරණා විවිධ පරීක්ෂණ මගින්ද තහවුරු කරගෙන ඉදිරිපත් කරනවා. නමුත් ඒ අනුව සලකල බලලා අනෙකුත් ධර්මතාවයන් නැහැයි කියලා කියන්න බෑ. ඒ ධර්මතා විද්‍යාත්මකව ඔප්පු කරලා නැතිබව විතරයි කියන්න පුළුවන්. නමුත් ඇත්ත වශයෙන්ම හුදෙක් සංකල්ප මත පිහිටා අන්ධ භක්තියකින් වැලඳගෙන ආපු බොහෝමයක් ප්‍රාථමික කාරණා සමාජයෙන් අතුගා දමන්න විද්‍යාව සමත් වෙලා තියෙනවා. ඒක ඇත්තෙන්ම හොඳ ප්‍රවණතාවයක්. එය සමාජයේ යහපත් ප්‍රගමනයට සැලකියයුතු දායකත්වයක් සපයා තියෙනවා.
එහෙම වුණා කියලා, අද විද්‍යාත්මකව ඔප්පු කර තිබෙන කාරණා මතම රැඳිල ඉන්න අවශ්‍යතාවයක් නෑ . ඒ කාරණා ආයෙත් හෙට අභියෝගයට ලක් වන්න පුළුවන්. විද්‍යාව මේ දක්වා ඉදිරියට ආවෙත් එහෙමයි. ඒ පිළිබඳව විවෘත සහ මධ්‍යස්ථ මානසිකත්වයක් පවත්වා ගැනීම අවශ්‍යයි. විද්‍යාත්මක වෙනවා කියන්නේ අද දක්වා ඔප්පු කරලා තියෙන කාරණා මත දැඩිව එල්බගෙන අනිත් ඒවා බැහැර කිරීම ද? විද්‍යාඥයන් හා පරීක්ෂකයන් එහෙම කරනවා කියලා හිතන්න අමාරුයි. එහෙම කළොත් විද්‍යාවට ඉදිරි ගමනක් නෑ. ඒ වගේම 'විද්‍යාව' නමින් දේශපාලනීකරණය වූ සහ 'ආගම සහ දර්ශනය' ලෙස සාමාන්‍ය කරණය කරන ලද අදහස් නිරන්තරයෙන් සමාජය තුළ මුදාහැරෙනවා. එය විද්‍යාවේ හෝ සැබෑ දර්ශනයේ ඇති ගැටළුවක් නොව විද්‍යාව හෝ දර්ශනය සමාජ ගත කරන්නන් දැන හෝ නොදැන ඔවුන්ගේ නැඹුරුතාවයන් මත සිදුකරන්නක්. ඔබ විවෘතව නොදකින තාක් ඔබගේ බාහිර හෝ අභ්‍යන්තර යථාර්ථයන් දෙකම මෙහි බලපෑමට ලක්වෙනවා. නමුත් විද්‍යාව ඉගෙන ගන්නා සමහර අය තමන්ගේ කැමැත්ත පරිදි විද්‍යාව මතම එල්බ ගෙන තර්ක කරනවා. ඒක කරන්නේ තමන්ගේ රුචිකත්වය මත බව ප්‍රකාශ කරනවා නම් එතන යම් විවෘත භාවයක් තියෙනවා. නමුත් කවුරුහරි හිතෙනවනම් ඒක ම තමයි සත්‍ය, අනිත් දේවල් හුදෙක් හිස් දේවල් කියලා, එතන වැරදිලා තියෙන්න පුළුවන්.
"ඉද මේව සච්චං මෝඝ මඤ්ඤං" කියලා ගෞතම බුදු හාමුදුරුවෝ චංකී සූත්‍රයේ කිව්වෙත් මෙවැනි ලෙසම තමන්ට තේරුණු දේම ඇත්ත කියල ගන්න එක අධෛර්යමත් කරන්න. නැතිනම් එතනදි මැදුම් පිළිවෙත අහිමි වෙනවා.
අද මනෝ විද්‍යාව කියන්නේ බොහොම දියුණු දැනුම් පද්ධතියක්. මිනිසාට තම මානසික සෞඛ්‍ය පවත්වා ගැනීමට හා සංවර්ධනය කර ගැනීමට බොහෝ උපකාර වන ක්ෂේත්‍රයක්. එහි දී මනස සහ මානව චර්යා ගැන බොහෝ පරීක්ෂණයන් සිදුකර ඒ අනුව බොහෝ න්‍යායන් හඳුන්වා දී ඒ හරහා මිනිසාගේ මානසික ගැටලු නිරාකරණය, මානසික රෝග නිවාරණය, යහපත් මානසික තත්ත්වයක් පවත්වා ගැනීම, ළමා අවදියේ සිටම ඒ සඳහා සැලකිලිමත් විය යුතු කාරණා මේ ආදී බොහෝමයක් උප ක්ෂේත්‍ර හරහා විශාල සේවාවක් සිදු වෙනවා. ඒ වගේම ඒ හරහා බොහොමයක් විශ්වාස සහ ඇදහිලි අභියෝගයට ලක්වී තියෙනවා. කර්මය, දෙවියන්, භූත බලවේග මේ ආදී සාමාන්‍ය මනසට ගෝචර නොවන කාරණා උඩ තම ජීවිතය පදනම් කර ගැනීම හා ඒ හරහා මිත්‍යා මතයන්ට ගොදුරුවී භෞතික, ආර්ථික සහ සාමාජීය දියුණුවේ මාර්ගයන් වසාගැනීම වලක්වන්න මනෝවිද්‍යාව බොහෝවින් උත්සාහ ගන්නවා. එය බොහෙවින් පැසසිය යුතු කාරණයක්.
ඒ කෙසේ වෙතත්, මනෝවිද්‍යාව තුළ සිතුවිලි කියන දේ ඇති වෙන විදිය ගැන පැහැදිලි විස්තරයක් දකින්න ලැබෙන්නේ නෑ. සිතුවිලි ඇති වෙන විටත්, මනසේ භෞතරසායනික ක්‍රියාවලියේ වෙනස්කම් හඳුනා ගන්න හැකියාවක් විද්‍යාවේ දියුණුවත් සමගම ඇතිවෙන්න පුළුවන්. නමුත් එතනින් කියන්න බැහැ සිතුවිලි මුලින් ඇති වෙලා ඒ හින්ද රසායනික ක්‍රියාවන් ඇති වුණාද, නැතිනම් රසායනික ක්‍රියාවලිය මුලින් ඇති වෙලා ඒ නිසා සිතුවිලි ඇති වුණාද කියලා.
අද අපට අසන්නට ලැබෙන බුදු දහමේ සංකල්ප විදිහට විස්තර වන දේවල් අතර මේ සම්බන්ධයෙන් බොහෝ මත වාද තිබෙන්නට පුළුවන්.
සිත දුවනවා කියලා දැනෙන එක බොහෝ දෙනකුගේ ජීවිත අත්දැකීමක්. නමුත් එහෙම හිතක් කියලා දෙයක් නෑ කියලා කරුණු ඉදිරිපත් කරන අයත් ලෝකයේ සිටිනවා.
සිතක් තියෙනවා, හිත දුවනවා කියලා අපට දැනෙන්නේ කොහොමද?
ඒ දැනෙන්නෙත් මනස එහෙමත් නැත්නම් මොලේ ක්‍රියාකාරීත්වය හරහාම තමයි. නමුත් කොහොමද මනසට ඒ ස්වභාවය දැනුනේ? සිතුවිලිවල මූලය කුමක්ද? කොහෙන්ද ඒවා පටන් ගන්නේ? ඒවා ඔබගේ කැමැත්ත පරිදි සිදුවන දෙයක් ද? මේ ප්‍රශ්න වලට පිළිතුරු මනෝවිද්‍යාව තුළ තියෙනවද? නැත්නම් බුද්ධ දර්ශනය හෝ වෙනත් දර්ශනයන් තුල තිබෙනවද?
සිත කියන්නේ අල්ලන්න පුළුවන් දෙයක් නෙවෙයි විදියට (intangible) තමයි විද්‍යාත්මක දැනුම් පද්ධති තුළ විස්තර වන්නේ. බොහෝ විට සිත හා මනස යනු දෙකක් විදියට හඳුනා ගන්නේ නැහැ.
නමුත් ආධ්‍යාත්මිකත්වය තුල ගැඹුරට සිහිය වඩා ගෙන යන කෙනෙකුට මේ පිළිබඳව අත්දැකීම් ලැබෙන්න පුළුවන්. සිහිය තමන් තුළට වැඩීම දියුණු කළ කෙනෙකුට ඉතා සියුම් ධම්ම කාරණා එකිනෙක අතර යම් කාල පරාසයකින් යුතුව පැමිණ මමත්වය සහිත චේතනාවක් බවට පත්වන ආකාරය දැක ගන්න හැකියාව තියෙනවා. ඒ ධම්ම විදියට මනසේ නිර්මාණය වන කාරණා ඇති වන එක් ධාරාවක් තමයි සිතිවිලි කියල කියන්නේ. නමුත් ඒ සිතුවිලි දකින්නවත්, ඒව කොහෙන්ද එන්නෙ කියලා දැන ගන්නවත් සාමාන්‍යය සිහියකට බැහැ. එතැන ප්‍රශ්නාර්ථයක් ඉතිරි වෙනවා.
ධ්‍යාන වඩපු කෙනෙකුට සිතිවිලි එන එක, එක් එක් මට්ටමින් නතර කරමින් වෙනත් වෙනත් මානසික තල වලට යන්න පුළුවන්. එතනදි වෙන්නේ මනස සිතුවිලි ග්‍රහණය කරගන්නා සංවේදන මට්ටම වෙනස් වීමක්. එහෙම සංවේදන මට්ටම වෙනස් කරගත් විට, සිතුවිලිවලින් ඇතිවන ධම්ම එහෙමත් නැතිනම් විතක්ක විචාර දැනෙන එක ඊට අනුරූපව වෙනස් වෙනවා. එහෙත් ඒ වෙලාවේ සිතුවිලි නෑ කියලා තීරණය කරන්න අමාරුයි. කෙනෙක් නිදා ගත් විටත් ඔහුට සිතුවිලි සංවේදනය වීම දැනෙන්නෙ නැතුව යනවා. ඒ කියන්නේ ඒ වෙලාවේ සිතුවිලි නෑ කියන එකද? එහෙම කියන්න බැහැ.
මානසිකව ගොඩනගාගන්නා දර්ශනයන් තුළින් සහ විවිධ භාවනා ක්‍රම වලින් මනසේ ස්වභාවයන් වෙනස්වීම හරහා සිතුවිලි සංවේදනය වීම වෙනස් වීමෙන් ලැබෙන සැනසීම හුදෙක් මොලයේ ක්‍රියාකාරිත්වය මත පදනම්ව සිදු වන්නක්. ඒ තුලින් පටිච්චසමුප්පාදය හෝ උපාදානය හඳුනා ගැනීමට හෝ ප්‍රහීණ කිරීමට ඇති අවකාශයන් වැසී යන්න පුළුවන්. එය විවිධ ඖෂධ සහ මත් බෙහෙත් පාවිච්චි කර ලබාගන්නා සැනසීමට සමාන නොවන්නේ එම ඖෂධවලින් ලබාගන්නා සැනසීම කෙටිකාලීන වීමත් ඉහත සඳහන් කළ මානසික තෙරපි ක්‍රම වලින් ලබාගන්නා සැනසීම බොහෝ දෙනෙකුට යම් දීර්ඝ කාලයක් පැවතීමත් මත පමණයි.
මෙසේ මානසික ක්‍රියාකාරීත්වයන් වෙනස් කිරීම හරහා සිතුවිලි නැවත හට ගැනීමට හේතුවන, චිත්ත භූමි නිර්මාණය කිරීමට හේතුවන ආශ්‍රව ධර්මයන් ක්ෂය වීමක් සිදු නොවන බව ආධ්‍යාත්මික ගවේෂණයක අවංකව නිරත වූ බොහෝ දෙනකුට අත්දැකීමෙන් දැන ගන්නට ලැබෙනවා. කෙනෙක් මෙවැනි වූ යම් ප්‍රතිපදාවක් පුහුණුවක් කාලයක් සිදු කොට එයින් යම් සැනසීමක් තමන්ට ලැබෙන බව රාග, ද්වේශ, මෝහ දැන් තමන් තුළ නොමැති බව වැනි හැඟීම් ප්‍රබලව දැනෙන අවස්ථාවකට පත් වූ පසු ඒ පිළිබඳව අවංකව පරීක්ෂණයක් සිදුකළ හොත් ඒ අදහස අභියෝගයට ලක් වෙනවා. එහෙම පරීක්ෂා කරගන්න නම්, එම ප්‍රතිපදාවන් කාලයකට අත හැර දමා සාමාන්‍ය ජීවිත අත්දැකීම තුළ පරික්ෂා කළ යුතුයි. හැඟීම් යටපත්නොකර පරික්ෂා කළ යුතුයි.
සත්වයා මූලික වශයෙන් හැදිලා තියෙන්නේ බුද්ධ ශක්තිය, විශ්ව ශක්තිය,කර්ම ශක්තිය සහ චිත්ත ශක්තිය යන චතුරාර්ය ශක්තියෙන්. මේ චිත්ත ශක්තිය හා කර්ම ශක්තිය මූලික වෙලා තමයි උපාදානයන් හැදෙන්නේ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන උපාදානයන් සිදුවන්නේ. එහිදී චිත්ත වේගය මනසේ වේගයට වඩා බොහෝ සෙයින් වැඩි නිසා මනසට උපාදානය අල්ලන්න බැහැ. මනස ඒ අතින් බැලුවොත් පරිගණකයක මොනිටරය වගේ. මනසින් හදලා දෙන්න ඡායාවක් තමයි ඔබ පරිහරණය කරන්නේ. ඒ ඡායාවට සියලුම චිත්ත වේගයන් හසු වන්නේ නැහැ. ඒ නිසා යම් සීමාවක සිතුවිලි පමණයි මනස ඔබට ගෙන හැර දක්වන්නේ. ඒක හරියට කලින් තිරගත කළ චිත්‍රපටයක් දැන් පෙන්නනවා වගේ වැඩක්. ඒ චිත්‍රපටය නිර්මාණය වුණේ කර්මය සහ චිත්තවේගයන් හරහා. නමුත් එය තිරගත වන්නේ යම් යම් අවස්ථා සහ පරිසරයක් නිර්මාණය වූ පසු ඊට අනුරූපවයි. ඒ නිසා ඒ චිත්‍රපටි මනසේ ධම්ම කාරණා බවට පත්වෙලා මනසින් සංජානනය වන තැනට පත් වන්නේ කොතැනකදීද කොයි වෙලාවෙද කියලා හරියටම කියන්න බැහැ. ආලෝක වර්ෂ ගණනාවක් එහා තියෙන තරුවකින් නිකුත් වූ ආලෝකය දැන් ඔබේ දෑස මත තරුවක් නිර්මාණය කර දෙනවා වගේ. එහෙමත් නැත්නම් මීට සුළු මොහොතකට කලින් ඇති වූ අකුණක හඬ දැන් ඔබට ඇහෙනවා වගේ.
ඔබට හිතෙන්නේ පංච උපාදානය මේ මන ධම්ම වල තියෙන දෙයක් විදියටයි. නමුත් සිතුවිලි මට්ටමින් ඔබට දැනෙන්නේ කලින් අර චිත්‍රපටය හදලා දුන්නේ උපාදානය. සිතිවිලි වලින් මනස තුල එක් එක් කතන්දර නිර්මාණය කරල දෙනව. ඒ දිහා බල බල ඇති වෙනවා නැති වෙනවා දැක්කා කිව්වට ඔබ තුළ ආධ්‍යාත්මික පරිවර්තනයක් වෙන්නේ නැත්තේ ඒකයි.
තවත් වැදගත් කාරණයක් තමයි ඔබ මේ චිත්‍රපටය බලනකොට තවත් තවත් චිත්‍රපටි නිර්මාණය වෙනවා. ඔබට අරමුණක් අරගෙන එහෙම හැදෙන එක නවත්ත ගන්න පුළුවන්ද?
බෑ. ඒ ඇයි? චිත්ත වේගය මනසට වඩා වේගවත් නිසා.
චිත්ත වේග වලින් සිතුවිලි හැදිල එයින් යම් යම් සිතුවිලි මනසේ ස්පර්ශය උනහම ඇතිවෙන දර්ශනයන් තමයි ඔබට සිතුවිලි ලෙස ගෝචර වන්නේ. මේ සිතුවිලි ලෙස අපට හසුවන ටිකට අපි මායා ස්වාභාවයකට හසු වෙලා වගේ අහු වෙලා ඉන්නේ. මනසට අහු නොවී ඇති වෙලා නැති වෙලා යන සිතිවිලි කොපමණ තියෙනවද කියලා අප දන්නේ නැහැ. මේ සිතුවිලි කියලා අපි අල්ලගෙන ඉන්නේ මනසට දැනෙන සංවේදී ස්වභාවයක්. නමුත් ඒක බොහොම සීමා සහිත පරාසයක්.
ඉතින් මනස හරහා යථාර්ථය අවබෝධ කර ගැනීමක් සිදු කරන්න බැරි බව මේ කාරණා සලකා බලනකොට වැටහෙනවා. මෙතනදී අදහස් කරන්නේ මනස මූලික වෙලා කරන ගවේෂණයන්, දර්ශනවාදයන් සහ මානසික අභ්‍යාසයන්.
එහෙනම් කොහොමද සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා තමන් තුළ ඇති බුද්ධ සරණ යන්න. ඒ බුද්ධ තුළ ලබාගන්න පුළුවන් උදයවැය ඥාන වලින් චිත්තවේගය යම් දුරකට අල්ලා ගන්න පුළුවන්. "බුද්ධං සරණං ගච්ඡාමි" කියන්නේ ඒ බුද්ධියට ගෝචර කර ගන්නවා කියන එකයි.
නමුත් උපාදානයෙන් හදන චිත්‍රපටය මේ බුද්ධට දර්ශනය වෙන්නේ නැහැ. උපාදානය අල්ලන්න සම්මා සම්බුද්ධ කියන ඥාන ශක්තිය ඕනේ. වේගවත් වූ බුද්ධියක් ඕන. කමටහන් හරියටම දෙන්න නම් ඒ සඳහා ඥාන අවශ්‍ය වෙනවා. ඒක කරන්නේ මීට පෙර ඇතිවූ උපාදානයන් දැකලා. එතකොට ඒ උපාදානයන්ට අනුව අනාගතයේ චිත්‍රපටය ගොඩනැගෙන්න විදිහ යම්දුරකට පේනවා. චිත්‍රපටිය හදපු ක්‍රමය බලලා තමයි කමටහන් හදන්නේ. සූත්‍ර කියන්නේ ඒ එක එක් කෙනාට හදපු කමටහන්. ඒවා හුදෙක් මානසික විසඳුම් නොවේයි.
එහෙම දුන්න කමටහන් වඩන කොට චිත්‍රපටිය දුවන අතරේ කමටහන වැඩෙනවා. උපාදාන නිරෝධ වෙනවා. උපාදානය ඥාන දර්ශනයන්ට හසුකර ගන්න ඒ කෙනා තුළ යම් සැකැස්මක් අවශ්‍යයි. සුදුසු තත්ත්වයකට පත් කරගෙන ඉන්න ඕන. ඒ සඳහා සිහිය සහ අවංකත්වය අවශ්‍ය වෙනවා.
විදර්ශනාව තුළදී සිදුවන්නේ කෙනෙක් හදාගත් මානසික තලයන් විනාශ වී යාමක්. තිස් එක් තලයම ඔබේ මනස තුල තමයි නිර්මාණය වන්නේ. මනස හටගන්නේ විශ්වයේ ස්වභාවයකින්. ඒ නිසා මනසේ තලයන්ට අනුරූප විශ්වයේ තලයන්ද තියෙනවා. යම් මානසික තලයක සිටින කෙනෙක් මිය ගියහොත් විශ්වයේ ඊට අනුරූප තලයක රැඳෙන්න පුළුවන්. අපි සිතමු කෙනෙක් ආනාපාන සතිය එවැනි භාවනා ක්‍රමයක් හරහා සිත දුවන එක අඩු කර ගන්නවා කියලා. එහෙම වෙනකොට ඒ හරහා දියුණු චින්තන ස්වභාවයන් ඇති වෙන්න පුළුවන්. ධර්මය විග්‍රහ කිරීමේ හැකියාවන්, පැහැදිලි කිරීමේ හැකියාවන්, අර්ථකථන දීමේ හැකියාවන් වැනි දේ විදර්ශනාව දියුණු කරගෙන යනකොට සමහර අයට මගදී ලැබෙන හැකියාවල්.
මේ විදියට විග්‍රහ වෙමින් විදර්ශනා කරන විට මනසේ තිබෙන සමහර තලයන් ඒ හරහා ගැලවිලා යනවා. එතකොට ඊට අනුරූපව මනසේ එක්තරා ස්වභාවයක් හට ගන්නවා. මේ දියුණු චින්තන ස්වභාවයන් නිසා අත්දකින මානසික ස්වභාවයන් මූලික කරගෙන කෙනෙක් ඒවාට වටිනාකම් දී මාර්ගඵල ලැබුවා වැනි වැරදි නිගමන වලට එන අවස්ථා තිබෙනවා.
තවත් අය ඉන්නවා සිතිවිලි අයින් කරන අය. ඇත්තටම එතැනදි වෙන්නේ මනසේ ස්වභාවය වෙනස් කිරීම හරහා සිතුවිලි සංවේදනය වීම අඩු වී යාමක්. න්‍යායානු කූලව බැලුවහම සිතිවිලි අයින් කරන්න අපට බැහැ. ඒවා සංවේදන වීම අඩු වැඩි කරගන්න එකයි කරන්නේ. මනසේ ක්‍රියාකාරීත්වය වෙනස් කර ගැනීම තුළින්. මෙතනදි වෙන්නේ මනසෙහි රසායනික ක්‍රියාවලියේ වෙනසක්. චිත්ත වේගයන් හා ක්‍රියාකාරීත්වයන් එලෙසම ක්‍රියාත්මකයි. සංවේදනයන් පමණක් වෙනස් වෙලා මනසේ ක්‍රියාකාරිත්වයන් වෙනස්වීම නිසා.
ධ්‍යාන වලදි වෙන්නෙ මනසට සිතුවිලි සංවේදනය කරගන්න පුලුවන් පරාසයන් ගෙන් අයින් වී වෙනම තල නිර්මාණය කර ගැනීමක්. මනුෂ්‍ය ජීවිතයක් ගත කරමින් මේ සියලු තලයන් අයින් කරගෙන අසංඥ තලවල වාසය කරන්නන්ද සිටිනවා. ඒ අතර සිත ශූන්‍යත්වයට පත් කරගත් අයද සිටිනවා. ශුනතාව වඩලා මානසිකව ශූනතාව ස්වභාවයක් ලෙස ගොඩනඟා ගත් අය. අසංඥ කිව්වට එතනත් යම් ඒකජ සංඥාවක් ඉතුරු වෙලා තියෙන්නේ. මනසින් ආධ්‍යාත්මය හඳුනා ගැනීමට යාමේ අවසාන ප්‍රතිඵලය නම් මනස ඒකජ සංඥාවකට කොටුවීමයි. "සියල්ල මායාවක්", "සියල්ල සංකල්ප", "මේ ඔක්කොම හිත තමයි" "මේ සියල්ල මොළයේ පරිපථ/ ආරෝපණ", "සියල්ල කර්මය", " හැමදේම ස්වභාදහම" ...ආදී ලෙස මනස ක්‍රමයෙන් එක් සංකල්පයකට රාමුගත වෙනවා. මනස එතැන් සිට අනෙකුත් දර්ශන හා සංකල්ප සාමාන්‍යකරණය කරන අතර ඒකජ සංඥාව අභ්‍යන්තරයේ ප්‍රබල වෙනවා. අභියෝගයක් පැමිණි විට ආරක්ෂණ ක්‍රමවේදය ලෙස මෙම ඒකජ සංඥාව පිළිතුර ලෙස ඉදිරිපත් වෙනවා. එය බොහෝ විට හඳුනාගත හැක්කේ කාලයක් හොඳින් නිරීක්ෂණය කරන තුන්වැනි පාර්ශ්වයකට පමණයි. සියල්ල සංකල්පයක් ලෙස දෘෂ්ටි ගත වීම තුළද සංස්කාරයක් ඇති බවත් එයද තවත් සංකල්පයක් බවත් සිදුව ඇත්තේ තමන් කැමති අර්ථ කථනයක් දීම බවත් ඒකජ සංකල්පයට තත්වාරෝපිත වූ මනසට පෙනෙන්නේ නෑ. උදාහරණයක් විදිහට මේ සියල්ල මායාවක් කියලා කෙනෙකු ඒකජ සංඥාවකට කොටු වෙන්න පුළුවන්. එතකොට එයාට සියල්ල පේන්නේ ඒ හරහා. ඉතිං එවැනි කෙනෙකුට නැවත ධර්මය අවබෝධ කර ගැනීමට නම් මුල්ම ජීවියාගේ අවධියේ මානසිකත්වයක් තුළ සිට නැවත මනුස්ස භවයක මානසිකත්වය දක්වා මනස දියුණු කරගෙන දීර්ඝ කාලයක් එන්න සිදුවෙනවා.
මේ කිසි කෙනෙකුට චිත්ත විෂය අහුවෙලා නැහැ. උපාදාන අහුවෙලා නැහැ. භවය නිර්මාණය වෙන විදිහ අහු වෙලා නැහැ. සිත හා සිතිවිලි වල ධර්මතාවයන් ගෝචර වෙලා නැහැ. මේ සියලු දේ විදර්ශනාව නමින් තියන වැරදි ක්‍රමවේදයන්.
මාර්ගයේ යන ඕනෑම කෙනෙක් සමථය තුළ දියුණු චින්තන ස්වභාවයකට එන්න ඕනේ. ඒ ස්වභාවය වෙන දේවල් වලට යොමු නොකර තමන් තුළට යොමු කරන්න ඕනේ. බුදුන් දකින්නා තමන් දකීයි කියල කිව්වනේ. බුදුන් ඉන්නේ තමන් තුළ. කය ,වේදනාව, සිත, ධර්මතා දකින්නේ තමන් තුලින්.
මෙහෙම යනකොට ඔබට බුද්ධ කියන ස්වභාවයට පත් වෙන්න පුළුවන්. ඒ තුළ කිසිම දෙයක් නැහැ. මේ දක්වා ඔබ යායුත්තේ මට මෙහෙම එකක් තේරුණා මෙහෙමත් දෙයක් තේරුණා කියමින් නොවෙයි. අවබෝධය තුළ නිරෝධයයි හට ගන්න ඕනේ. අවබෝධය කියලා දෙයක් ගොඩනඟා ගන්නවා නම් මාර්ගය වැරදිලා. මේ හරහා තමයි උපාදානය හසු කරගන්න පුළුවන් වෙන්නේ. බුද්ධ ස්වභාවයෙනුත් ඔබ ඇතුලට යන්න ඕනේ. එතැන යම් නිරෝධ ක්‍රියාවලියක් අවශ්‍යයි. අවංකත්වය අවශ්‍ය වන්නේ ඒකයි.
ධර්මය, ධර්මතා සහ න්‍යාය
2024-08-10