අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
චිත්ත
මනස හා පටිච්චසමුප්පාදය
2024-08-08
සිතුවිලි මනසට ස්පර්ශ වන වර්තමාන සජීවී අත්දැකීමක් නොවෙයි අප හඳුනා ගන්නේ. ඒ සිතිවිලි මනේන්ද්‍රිය සම්බන්ධ මතකයට (සිතුවිලි මතකය) ආවාට පස්සේ අවධානය යොමු වූ සිතිවිලි පමණක් මනස ධම්ම ලෙස ඉදිරිපත් කරනවා. ඒවා තමයි අපි දැනගන්නේ. ඒවා සිතුවිලි නොවෙයි. සිතුවිලි ඇසුරින් මනස විසින් සාදා දෙන ධම්ම.
නමුත් අද බොහෝ දෙනා සිතිවිලි ලෙස තමයි මේ ධම්ම හඳුන්වන්නේ. මේ සිතුවිලි හරහා සාදා දෙන ධම්ම අපට "විතක්ක විචාර" කියලත් හඳුන්වන්න පුළුවන්. මේ සිතුවිලි කියන්නේ ක්ෂණයකින් ඇතිවී නැතිවී යන දෙයක්. ඒ ක්ෂණයෙන්ම දැනුවත් භාවයට යන්නෙ නෑ. සිතිවිලි සම්බන්ධ තාවකාලික මතකයට ගිහින් තමයි මනස විසින් එය දැනුවත් භාවයකට ගොඩනගලා දෙන්නේ. එසේ දැනුවත් භාවයකට යන්නෙත් අවධානය යොමු වූ ධම්ම කාරණා පමණයි. අනිත් දේවල් ඒ මතකය තුළින් වියැකී යනවා.
මනස ප්‍රබල වූ විට මේ සිතිවිලි ගලා ආවට ඒවා දැනෙන්නෙ නැති වෙන්න පුළුවන්. විවෘත මධ්‍යස්ථ මනසක් තිබුණොත් පමණයි පටිච්චසමුප්පාදය තුලින් හට ගන්නා මේ සිතුවිලි හරහා ගොඩනැගෙන ධම්ම කාරණා දැකගත හැකි වන්නේ. මනස ගොඩක් දියුණු උනාම මේ මේ විතක්ක විචාර දැකගත නොහැකි නිසා උපාදානය දකින්න බැරුව යනවා.
අනෙකුත් ඉන්ද්‍රියන් ගෙන් එන දත්තද අපට දැනෙන්නේ ඉන්ද්‍රිය මතකය හරහායි. ඒක තාවකාලික මතකයක්. ඒ ඉන්ද්‍රිය මතකය තුළ තාවකාලිකව තියෙන දත්ත වලින් තමයි සංජානනය සිදුවන්නේ. ධම්ම කාරණා නිපදවීම සිදුවන්නේ. ඒ ධම්ම කාරණා තමයි අපේ දැනුවත් භාවයට පත් වන්නේ. සක්කාය දුරු නොවූ කෙනෙකුගේ මෙම ධම්ම කාරණා සමග මමත්වයද එකතු වෙනවා. මොකද මමත්වය මනසේ ක්‍රියාවලිය නතු කරගෙන ඇති නිසා. ඒ වාගේම කර්මය තුලින් පටිච්චසමුප්පාද ගත වීමද සිදුවෙනවා. පටිච්චසමුප්පාදය නැවත මනසේ ධම්ම කාරණා සෑදීමට දායක වෙනවා. ඒවායින් සමහර කාරණා මනෝ විඥානය පෝෂණය වීමට හේතු සාධක වෙන්නත් පුළුවන්. මනෝ විඥාන ගත වෙන කාරණා සසර විඥානය පෝෂණය වීමට බලපානවා.
මානසික දියුණුව නිසා පංච උපාදානය නොදැනීම රහත් ස්වභාවයක් වන්නේ නැහැ. එතනදී පංච උපාදාන තිබෙනවා. නමුත් එය දකින්නේ නැහැ. පංච උපාදානය දුරු කරන්න නම් මනසේ සමබරතාවය අවශ්‍යයි කියන්නේ ඒ නිසා. ධ්‍යාන වඩන කෙනෙකුටත් ඉහළ මට්ටමේ ධ්‍යාන තල වලට යනකොට උපාදානය දකින්න බැරුව යනවා. භාවනාවේදී මනස වෙනස් වෙන නිසා මේ කාරණා දැන සිටීම වැදගත්.
මෙතැනදි මමත්වය සම්බන්ධ වන්නේ කොහොමද? මනසේ ඇති වන ධම්ම කාරණා, රාමු, දෘෂ්ටි දැඩිව විශ්වාස කරන තත්ත්වයට එන්නේ මමත්වය හරහායි. සක්කාය නැති වූ කෙනෙකුට මේ ධම්ම කාරණා, රාමු, දෘෂ්ටි පිළිබඳ විශ්වාසයක් හෝ අවිශ්වාසයක් නැහැ. ඒ නිසා විශ්ව ධර්මතාවය සමග එකතු වෙලා ඉන්නේ. මමත්වය විසින් ඉන්ද්‍රිය වලින් ඇති වන දත්ත තුලින් නිර්මාණය වන ධම්ම කාරණා දැඩිව අල්ලා ගන්නවා.ඒ නිසා අපට මනස හෝ ආයතන දැනෙන්නේ නැහැ. මනස විසින් නිර්මාණය කරලා දෙන කාරණා මගේ අදහස් සිතිවිලි ලෙස තමයි හඳුනාගන්නේ. මමත්වය අපිට දැනෙන්නේ සංවේදනයක් ලෙස. දුක හෝ සතුට ඇති වූ අවස්ථාවක් සලකා බැලුවහොත් මමත්වය සංවේදනය වන හැටි දැක ගන්න පුළුවන්.
මමත්වය ගොඩනැගුන වෙලාවට එය සමස්ත මානසික ක්‍රියාවලිය අභිබවා ගිහින් ප්‍රමුඛ වෙනවා. මනස හෝ ආයතන දැනෙන්නේ නැහැ. මනසත් මමත්වයේ ග්‍රහණයට හසු වෙලා ආයතනයක් බවට පත් වෙලා.
උදාහරණයක් විදිහට සිතන්න ඔබ යම් ධර්මතාවයක් සංකල්ප විදිහට ග්‍රහණය කරගෙන තව කෙනෙක් සමග වාදයකට පැටළුනා කියලා. ඒ වාදයේදී මතු වෙච්ච කාරණා, අභියෝගයට පත් වූ කාරණා පිළිබඳව ඔබේ මනස දන්නවා. දැන් ඔබ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න පටන් ගන්නවා. ඒ ධර්ම දේශනාව තුළ ඔබ වාදයට පැටලුණු මාතෘකාවට ආසන්න කාරණා අන්තර්ගතයි. එවිට ඔබේ මමත්වය ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ඉඩදෙන්නෙ නැහැ. ඒකෙන් තමන්ගේ මතය තහවුරු කරගන්න අවශ්‍ය කාරණා එකතු කර ගන්නයි පෙළඹෙන්නේ. ඒ සිදු කරන්නේ ඔබේ මමත්වයයි. මමත්වය තමන්ව සාධාරණීකරණය කර ගන්න උත්තරයක් හොයනවා. නමුත් සක්කාය නැති වූ කෙනෙකුට ඒක ලෝකයක් වෙන්නේ නැහැ. ඒකෙ අමුතු දෙයක් නැහැ.
මමත්වය මනස වෙලා ගෙන ඉන්න හින්දා සක්කාය දුරු නොවුන කෙනෙකුට මනස ක්‍රියාත්මක වන විදිය තේරෙන්නේ නැහැ. ඒ නිසා හිත කියලා තමයි කියන්නේ. මගේ හිත දුවනවා, හිත මට වද දෙනවා, මගේ හිතට ගොඩක් සතුටුයි ආදී වශයෙන් කියන්නේ ඒ නිසයි. නමුත් සක්කාය දුරු වුන දවසට මනස වෙනම පෙනෙනවා. ඒතකොට තමයි මනස කොපමණ සංකීර්ණද එහි ක්‍රියාකාරීත්වය කොපමණ ප්‍රබලද කියලා තේරෙන්නේ. එතකන් දැනෙන්නේ මමත්වයේ ගැටලුව පමණයි.
රහත් උන කෙනෙකුට චිත්ත නියාමය හරහා සිතුවිලි එනවා. නමුත් පටිච්ච සමුප්පාදයෙ ක්‍රියාත්මක නැහැ. ඒ නිසා සිතක් උපදින්නේ නැහැ.
චේතනාවක් ඇති වන්නේ මනස මූලික වෙලා. එතනදි මමත්වය මනස වෙලා ගැනීමක් සිදු වෙනවා. මනසින් හදන ධම්ම එකතුවෙලා මමත්වයේ බලපෑමටත් හසුවෙලා ඒ සියල්ලේ සම්ප්‍රයුක්තයක් ලෙස තමයි චේතනාවක් උපදින්නේ.
දර්ශනවාද වැනි දේ හරහා මනස දියුණු කළ කෙනෙකුගෙත් මනස වෙනස් වෙනවා. ධ්‍යාන වැඩූ අයගේ වගේ. ඒ වගේම ඒ දියුණු මානසිකත්වය ඒ හරහා සිතුවිලි තමන්ට අවශ්‍ය පරිදි පරිවර්තනය කරලා ගන්නා තත්ත්වයට පත්වෙන්න පුළුවන්.
මෙය ඇති කල්හි මෙය වේ.
මෙය නැති කල්හි මෙය නොවේ.
මෙය උපදින කල්හි මෙය උපදී.
මෙය නූපදින කල්හි මෙය නූපදි.
මේ කියන්නේ ධර්මතාවයක්. දෙයක් තියෙනවනම් ඒ දේ තියෙනවා. දෙයක් නැත්නම් ඒ දේ නැහැ. මේක හිතට අදාල දෙයක්.
ඇති බව දකින්නෙත් නැති බව දකින්නෙත් අවිද්‍යාව නිසා. ඒ හේතු කොටගෙන පටිච්චසමුප්පාදය හටගන්නවා. ඇති බව හා නැති බව කියන්නේ අවස්ථාවන් දෙකක්. ඇති බව තුළ පටිච්චසමුප්පාද දකිනවා නම්, නැති බව තුළ පටිච්චසමුප්පාදය දකිනවා නම් ඒ තුළ හේතුව නිරුද්ධ වෙනවා. ඇති බව සහ නැති බව එකම කාසියේ දෙපැත්ත වගේ. දෙකම අවිද්‍යා සම්පන්නයි. ඇති බව තුළ එක ධර්මතාවයකුත් නැති බව තුළ වෙන ධර්මතාවයකුත් නොවෙයි තියෙන්නෙ. ඇති බවට සාපේක්ෂවයි නැති බව හටගන්නේ. නැති බවට සාපේක්ෂවයි ඇති බව හට ගන්නේ නමුත් ද්විත්වය පෙනෙන්නේ අවිද්‍යාව නිසා. පටිච්චසමුප්පාදය දැක්කා නම් ඇති බව හටගන්නා හේතුවත්, නැති බව හටගන්නා හේතුවත් නිරුද්ධ වෙනවා මොකක්ද හේතුව? අවිද්‍යා පච්චයා කියන්නේ අවිද්‍යාව හා ඇති බව අතර සම්බන්ධය. අවිද්‍යාවට ප්‍රත්‍ය එකතු වීමෙන් තමයි සංඛාර හටගන්නේ.
"අවිද්‍යා පච්චයා සංඛාරා."
මේ "පච්චයා" ගැන තමයි මෙය ඇති කල්හි මෙය වේ යනුවෙන් කියන්නේ.
ධර්මය, ධර්මතා සහ න්‍යාය
2024-08-10