අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
චිත්ත
මනස කෙලෙස් සහ සිත
2024-08-08
මනසේ ක්‍රියාකාරිත්වය සැලකුවහොත් එය එක් එක් අයගේ විවිධාකාරයි. එක් එක් සත්ත්වයාගේ මනස විවිධාකාර විදිහට තමයි වැඩ කරන්නේ. තිරිසන් සතුන් ගත්තොත් එක විදිහක්. මනුෂ්‍යයා ගත්තොත් තව විදිහක්. මනුෂ්‍යයාගේ මනස ගත්තත් ඒකත් හෝමෝන ක්‍රියාකාරිත්වය, ජාන බලපෑම්, මතකය ආදි විවිධ සාධක මත එක් එක් පුද්ගලයා තුළ, එක් එක් අවධීන් තුළ, විවිධ අවස්ථාවලදී වැඩකරන විදිහ බොහෝ පරාසයන් තුළ වෙනස් වෙනවා. මමත්වය සහ සිත කියන දේවල් අදාල කර නොගෙන බැලුවත්, මේ මානසික ක්‍රියාවලිය එක් එක් අයගේ වෙනස් වෙන්න පුළුවන්.
අප තුළ දැකීමක්, විඳීමක් හට ගන්නේ කොහොමද? ඇස, කන, නාසය, දිව ,ශරීරය, මන ඉන්ද්‍රියන් හරහා යමක් සංවේදනය (Sense) වූ විට මනස හරහා ඒවා සංජානනය (Perception) වනවා සංස්කරණ ක්‍රියාවලිය හරහා. උදාහරණයක් විදිහට අපි මස් ඇස ගත්තොත් නිරෝගී ඇසකට පුළුවන් වන්නේ ආලෝකය සංඥා එකතුකර නාභිගත කර ස්නායු හරහා මොළය වෙත යවන්න පමණයි. ඒ ඇසට බැහැ රූපයක් ඔබට නිර්මාණය කරලා දෙන්න. මොලේ සංවේදන හා සංජානන ක්‍රියාවළියක් සමග තමයි ඇස නැමැති ආයතනය හෙවත් පෙනීමේ ක්‍රියාවලිය බිහිවෙන්නේ. මේ රූපය පිළිබඳව පණිවිඩය මොලේ තුළ පමණක් නොව මුළු ශරීරය පුරාවටම සන්නිවේදනය වන ක්‍රියාවලිය ඒ මොහොතේ පටන් ගන්නවා. මේ රූපය මුළු පද්ධතියටම දැනෙනවා. මේ ක්‍රියාවලිය කොපමණ වේගවත් ද කීවොත් එය මොහොතක් මොහොතක් පාසා ඔබට නොදැනී ක්‍රියාත්මකයි. එය ඇස හරහා එන සංවේදනයන් ගෙන් පමණක් නොව, අනෙක් ඉන්ද්‍රියන් හරහා එන සංවේදනයන් ගෙන්ද පටන් ගෙන නිරන්තරයෙන් ඔබේ ශරීරය නැමැති පද්ධතිය පුරාම ක්‍රියාත්මක වෙනවා. එය ඉතා වේගයෙන් සිදුවන දත්ත සන්නිවේදන හා හුවමාරු ක්‍රියාවලියක්. එතකොට මන කියලා කියන්නේ කුමකටද? ඔබට ඇසින් වෙන් කරලා, කනෙන් වෙන්කරලා, මොලෙන් වෙන්කරල මන කියලා දෙයක් ගැන කතා කරන්න බෑ. මේ දත්ත සම්බන්ධ සම්පූර්ණ ක්‍රියාවලිය තමයි මන කියලා හඳුන්වන්නේ. එතකොට "ධම්ම" කියන්නේ මොනවාටද? මේ ක්‍රියාවලියෙන් නිෂ්පාදන විදිහට එන කාරණා වලට ධම්ම කියලා කියනවා. "මනෝ පුබ්බංගමා ධම්මා " කිව්වේ ඒකයි.
මානසික ක්‍රියාවලිය එකම වස්තුවක් අරබයා වුවත් එක් එක් අයගේ විවිධ විදිහට සිදුවන්න පුළුවන්. තමන් තුළ ඇති කාරණා වලින් තමයි ඒ කතාව නිර්මාණය කර ගන්නේ. අතීත අත්දැකීම්, භාෂාවේ තත්ත්වයන්, මතකය, නැඹුරුතාවයන් මේ ආදී විවිධ සාධක රැසක් සංස්කරණයේ විවිධත්වය සඳහා බලපානවා. කොපමණ අලුත් සංවේදනයක් අලුත් කාරණයක් වුවත් තමන් තුළ ඇති දේවල් වලින් තමයි ඉස්මතු කරලා දෙන්නේ.
මේ තොරතුරු සියල්ල තියෙන්නේ මනස තුළ. මනසට අමතරව දැඩිව අල්ලා ගන්න යම් යම් කාරණයන් ගැඹුරින් විඥානගත වෙන්න පුළුවන්. ඒ දේවල් භෞතික ශරීරය නැති වුවත් විඥානගතව පවතිනවා.
මෙසේ සංවේදනය හා සංජානනය කර ගත් දේ ඊළඟට දැනීමක් බවට පත්වෙනවා. උදාහරණයක් විදිහට ඔබ මලක් හඳුනාගත් අවස්ථාවක එය මල ලෙස දැනීමක් ඇති වෙනවා. ඒකට මල පිළිබඳ විඥානය කියලත් කියනවා. ක්‍රියාවලිය එතනින් නතර වෙන්නේ නැහැ. කෙළෙස් හෙවත් පැවැත්මක් බවට පත්වෙනවා. එසේ වන්නේ දැනීම විඳීමක් බවට පත්කර ගන්න නිසා. ඒ විඳීම, සුඛ, දුක්ඛ හෝ අදුක්ඛම සුඛ වෙන්න පුළුවන්.
විඳීම හරහා දෙයක් එකතු කරගන්නවා. ඉතිරි කර ගන්නවා. එය විඥාන ගත වෙනවා. මේ විඳීමට අයිතියක් ලබා ගන්න එක තමයි මමත්වය කියන්නේ. එයට යම් විදිහකින් හානි වෙන බවක් හැඟුනොත් එතැනදී ගැටුමක් ඇතිවෙනවා. මමත්වයට වාසිදායක දේට කැමති වෙනවා. අවාසිදායක දේට අකමැති වෙනවා. ඒ නිසා ඒ එක් එක් දේ සම්බන්ධයෙන් මෙසේ වේවා, මෙසේ නොවේවා යන බලාපොරොත්තුව ඇතිවෙනවා.
එතනදි විඳීම තමයි කෙලෙස් වෙන්නේ. කැමති, අකමැති කියන්නේ කෙලෙස් නෙවෙයි. එහෙම වෙන්නේ කොහොමද? රස්නෙ වෙලාවට සීතල පානයකට බොහෝ දෙනෙක් කැමතියි. සිතල වෙලාවට උණුසුමක් ලැබෙන තැනක ඉන්න කැමතියි. කෑම කනකොට ලුණු රහ යම් ප්‍රමාණයකට දැනෙනවට කැමතියි. ලුණු වැඩි වුනොත් හෝ අඩු වුනොත් අකමැතියි. ඒ දේවල් කෙලෙස් නෙවෙයි. සමහර කෙනෙක් හුදෙකලාව නිදහසට කැමතියි. ඒවා කෙලෙස් නෙවෙයි. විඳීමට අයිතියක් ලබාගැනීමට යාමේ තමයි ගැටලුව තියෙන්නෙ. අයිතියක් ගැනීමට නොයා විද්‍යාව දකින්න පුළුවන් නම් එතන කෙලෙස් නැහැ.
හඳුනාගැනීම සත්‍ය වුවත් අසත්‍ය වුවත්, ඒක මනසේ ස්වභාවය නිසා ගැටළුවක් කර ගන්න අවශ්‍ය නෑ. යමෙක් දන්නවා කියලා හෝ නොදන්නවා කියලා හිතෙනවා නම් එයා මනස ගැන දන්නේ නෑ. මේ විනිශ්චයන් දෙකම මනසේ මුලාවන්. මනසට ගෝචර වන ක්‍රමවේදය අනුව තමයි නිෂ්පාදනය (ධම්ම) හැදෙන්නේ. ඒකට හසුනොවී, වහල් නොවී ඉන්න එක තමයි අවශ්‍ය වන්නේ.
දැනීම ඒ මොහොතේම නිරුද්ධ වන බව නොදන්නා නිසා ඒක කරපින්නා ගන්නවා. එතකොට මමත්වය, කෙලෙස්, භව, ජාති හටගන්නවා. මෙතනදි කර්මය කොහොමද සම්බන්ධ වන්නේ? එය සම්බන්ධ වන්නේ මමත්වය සමගයි. සෑම මොහොතකම යම් අත්දැකීමක් ලබන විට අභ්‍යන්තර සහ බාහිර ලෙස වෙන් කරන්නේ මනසේ ක්‍රියාකාරීත්වයි. එය කුඩා කල සිට ආරක්ෂාව පිණිස මනස විසින් සිදු කරන මූලික මට්ටමේ විභේදනයක්.
බාහිරයේ පැවති ස්වභාවික ක්‍රියාකාරීත්වයන් තමන්ගේ යැයි වරදවා වටහා ගෙන අයිතිකර ගැනීම නිසා, හිමිකර ගැනීමට යාම හරහා සාපේක්ෂ ප්‍රතිබද්ධ පරිණාම ක්‍රියාවලිය තුළ නව ආකාර වලින් කේන්ද්‍රගත වෙමින් අන්තර්ගතවීමක් සිදු වෙනවා. මමත්වය කියන්නේ ස්වභාධර්මයේ ඇති ක්‍රියාවලියක් තමන් වෙත පනවා ගැනීමක්. එහි ප්‍රතික්‍රියාව තමයි පුද්ගලික කර්මය ලෙස සාපේක්ෂ ප්‍රතිබද්ධ පරිණාම ක්‍රියාවලියට අන්තර්ගත වන්නේ.
ඒ තුළින් තමන් කේන්ද්‍රකරගත් වෙනමම සාපේක්ෂ ප්‍රතිබද්ධ පරිණාම ක්‍රියාවලියන් ඇති වෙනවා. පුද්ගලික කර්ම විපාක ලෙස හඳුන්වන්නේ මෙම සංසිද්ධියයි. නමුත් එය විශ්වයේ ප්‍රතිබද්ධ ගලනයේම කොටසක්. ඒ හරහා සමස්ථ හා පෞද්ගලික සාපේක්ෂ ප්‍රතිබද්ධ පරිණාම ක්‍රියාවලියේ සම්ප්‍රයුක්තයට සත්වයා හසු වෙනවා. ඒ ප්‍රතික්‍රියාවන් නිසා හිමි වීම, අහිමි වීම ඇතිවෙනවා. මේකට කර්ම න්‍යායට හසු වීම කියලත් කියනවා. මේ සමස්ත ක්‍රියාවලිය නොදන්නා බව තුළ ඇතිවන්නා වූ දැනීම හිත ලෙස ඔබට ගෝචර වෙනවා. ඔබට ලෝකය ලෙස දැනෙන්නේ ඔබේ සිතයි. ඒකයි සිත මුලාවක් කියලා කියන්නේ. සමහර වෙලාවට සිත දුවනවා කියල කියන්නේ මේ ස්වභාවයට.
සිතිවිලි කියන්නේ වෙනත් දේකට. සිතිවිලි ඇති වී නැති වී යනවා. සිතිවිලි කියන්නේ චිත්ත ශක්තියේ ක්‍රියාකාරීත්වයන් අපිට දැනෙන විදිහට මතුවී එන ආකාරයයි. සිතිවිලි නිරන්තරයෙන් මතුවී ආවත් මනසේ ක්‍රියාකාරිත්වය අනුව තමයි අපට ඒවා දැනෙන්නේ. සමහර වෙලාවට අපට සිතුවිලි නොමැති බව දැනෙන්නේ සිතුවිලි නොමැති නිසා නොවෙයි මනසේ ක්‍රියාකාරීත්වය ඒවා හඳුනා ගැනීමට යොමු නොවීම නිසයි.
මමත්වය තියන කෙනෙකුට හිත හා මනස වෙන් වෙලා පේන්නෙ නැහැ. කොටින්ම කිව්වොත් තමන්ට සාපේක්ෂව තමයි රූප බාහිරින් වෙන්කරලා දකින්නේ. මමත්වයෙන් තොරව මානසික ක්‍රියාවලිය ගෝචර වන්නේ නැහැ. කෙනෙක් තමන් අහන, දකින, අවබෝධ කරගන්න, තේරුම්ගන්න කාරණා එලෙස තේරුම් ගන්නේ මනසේ ස්වභාවය මත බව ඒ කෙනාට තේරුම් ගිය හොත් බොහෝ ප්‍රශ්න විසඳෙනවා. ඒක හරියට කොළ පාට කණ්නාඩියක් දාගෙන ඉන්න කෙනා කොළපාටින් දකිනවා. රතු පාට කණ්නාඩියක් දාගෙන ඉන්න කෙනා රතුපාටින් දකිනවා. මේ දෙන්නම දන්නවා නම් තමන් එලෙස දකින්නේ තමන් දාගෙන ඉන්න කණ්ණාඩියට අනුව බව එතන ප්‍රශ්න ගැටුම් අඩු වෙනවා. ළමා කාලෙ ඉඳන් මනස වර්ධනය වුණා ආකාරයට අනුව තමයි අපිට පෙනෙන කණ්නාඩිය නිර්මාණය වුණේ. උත්සාහය තියෙනවා නම් කණ්නාඩිය වෙනස් කර ගන්න පුළුවන්.
මමත්වය සම්පූර්ණයෙන් නැතිවෙලා එහෙත් මනස ගැන මෙහෙම අවබෝධයක් නොමැති අයත් ඉන්න පුළුවන්. තව කෙනෙක් ඉන්න පුළුවන් මමත්වය තියෙන නිසා මේ කාරණය තේරුම් ගන්න බැරි.
කුසල මාර්ගයේ ගිහින් සසරින් ගැල වුණ කෙනෙක් සලකා බැලුවොත් සෝවාන් හා සකෘදාගාමී වන විට ඔවුන්ට ඒ වෙනස තරමක් හොඳින් දැනෙනවා. මොකද ඒ පරාසය මනසට ගෝචරයි. නමුත් අනාගාමී හෝ රහත් කියන අවස්ථාවල ඇතිවන ආධ්‍යාත්මික පරිවර්තනයන් මනසට ගෝචර වන්නේ නැති තරම්.
මනස, ආයතන, කර්මය, විඥානය, මමත්වය මේ සියල්ල පිළිබඳ ධර්මතා තේරුම්ගෙන පහසුව තකා ඒ සමස්තයට හිත කියන වචන යොදා ගන්න පුළුවන්. නමුත් ඒ කිසිවක් නොදැන මනසින් මේ සියල්ල සංකල්පයක් ලෙස තත්වාරෝපණය කර ගතහොත් එහි කිසිම ධර්මයක් නැහැ, ධර්මතාවයක් තමන් තුලින් දැකීමට මග පෙන්වන. එය හුදෙක් මනස තුළ පනවා ගන්න පහසු දායක ආවරණයක් පමණයි. ඒ තුළ සත්‍යය අවබෝධයට තිබෙන මාර්ගය වැහෙනවා.
මනස තුල ඔබ යමක් අවබෝධ කර ගනීද, ඒ සියල්ල නිගමනයන්. හොඳින් විවෘත වී බැලුවොත් ඒ බව තේරුම් ගන්න පුළුවන්. ආධ්‍යාත්මික පරිවර්තනයක් නොමැතිව, අවබෝධයන් කියලා ඔබට දැනෙන සියලු දේ මානසිකව ඔබ හදාගත් නිගමනයන්. මෙහෙම නිගමනයන් හදාගත්තත් ඒවා එක් එක් අයගේ භාවිතයට එන්නේ, එලියට මතු වී එන්නේ ඒ අයගේ ප්‍රජානන හැකියාවන් (Cognitive skills) මත. ඒ අතර අධිප්‍රජානන හැකියාවක් (Higher order cognitive skills) තියෙන අය ඒ ඒ කාරණා විශ්ලේෂණය (Analysis), ඇගයීම් (Evaluation) සංස්ලේෂණය (synthesis) සහ නිර්මාණය (Creation) වැනි දේ හරහා විස්තරාත්මකව සාකච්ඡාවන්ට හා විවිධ වූ අභ්‍යාසයන්ට රැගෙන එනවා. ඒත් එසේ දියුණු මානසික දර්ශනයන් නිර්මාණය කර ඉදිරිපත් කරත් ඒවා බුද්ධ දර්ශනය වන්නේ නැහැ. මොකද බුද්ධ දර්ශනය කියන්නේ බුද්ධ ඥානයට දර්ශනය වූ දේට නිසා.
මනස, හිත, කර්මය, මමත්වය පිළිබඳව අවබෝධයක් නොමැති කම නිසා සහ න්‍යායන් නොදන්නාකම නිසා මේ සියල්ල හිත ලෙස හෝ සියල්ල සංකල්ප ලෙස කෙනෙකුට විග්‍රහ වෙන්න පුළුවන්. නමුත් එය මනස තුළ පනවා ගන්නා නිගමනයක්. මනස දැන් ඒ අනුව සකස් කර ගත් වැඩසටහනක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. දැන් ඔබට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් න්‍යායාත්මකයි කියලා කතා කරපු දේවල් එලෙසම මනසේ නිගමන අනුව ක්‍රියාත්මක වන වැඩසටහනක් වෙන්න බැරිද කියලා. නමුත් න්‍යායාත්මක කාරණාවලදී කතා කරන්නේ යමක් එසේ වන්නේ කොහොමද කියන එකයි. උදාහරණයක් විදියට ඔබ පරිගණකයේ න්‍යායන් හා තාක්ෂණයන් නොදන්නවා නම් ඔබට පෙනෙන්නේ එහි ඉතා සීමිත මතුපිට කොටස් කීපයක් සහ උපයෝගීතාවයන් ප්‍රමාණයක් පමණයි. එහෙම කෙනෙකුට පරිගණකය මොනිටරය ලෙස පෙනෙන්න පුළුවන්. නමුත් එය ඇත්ත නොවේ. මොනිටරෙන් එලෙස රූප දර්ශනය වීමට ස්පීකර් වලින් ශබ්දය එලෙස ඇසීමට පදනම් වන වෙනම යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. පරිගණක සහ අන්තර්ජාලය පිළිබඳව එහි තාක්ෂණය සහ න්‍යායන් පිළිබඳ නොදැන හුදෙක් මොනිටරය පමණක් දකිමින් කතා කිරීමේ විශාල අඩුපාඩුවක් තිබෙන බව ඔබට දැන් වැටහෙනවා ඇති. සත්වයාගේ සමස්ත යාන්ත්‍රණය නොදැන සියල්ල හිත ලෙස හෝ සංකල්ප ලෙස හෝ දෘෂ්ටි ලෙස හඳුනා ගැනීම අන්තර්ජාලය හා පරිගණකය ඇතුළු සියල්ලේ ක්‍රියාකාරීත්වය පසෙකලා ඒ සියල්ල මොනිටරය ලෙස හැඳින්වීමක් වගේ.
මේ වැටහීම තුළින් කෙනෙක්ගේ ආධ්‍යාත්මික පරිවර්තනයක් වීමට ඇති ඉඩකඩ වැසීයන්න ඉඩ තියෙනවා. ඔබගේ පරිගණකයේ හෝ අන්තර්ජාල ක්‍රියාකාරීත්වයේ ප්‍රශ්නයකට මොනිටරය ගැන පමණක් සලකා විසදුමක් ලබා දිය නොහැකිය. සමස්ත යාන්ත්‍රණය දන්නා ඥානයකට පමණයි ඒ සම්බන්ධයෙන් විසඳුම පෙනෙන්නේ. බුද්ධ ඥානය කියන්නේ සමස්ත සත්වයා සැලකූ විට එවැනි ඥානයක්. ඒ හරහා එන මාර්ග දර්ශනය මානසික තර්කයන් හෝ දර්ශනවාදයක් නොවේ. ඒ තුළ මාර්ග දර්ශනය නිර්මාණය කරන්නේ සමස්ථ විශ්වයේ හා සත්ත්වයාගේ යාන්ත්‍රණය පිළිබඳව වන න්‍යායන් තුළින්. එය බුද්ධ ඥානයන් සහ සෘද්ධිපාද වැඩීම හරහා ලබාගන්නා ඥානයන් උපයෝගී කරගෙන සම්මා සම්බුදුවරයෙකු විසින් කරනු ලබන දෙයක්. ඒ මාර්ග දර්ශනය තුළ විමුක්තිය සොයා යන්නන් තුළ බුදු ගුණ, දම් ගුණ, සඟ ගුණ තිබෙනවා. ඒ ගුණයන් වැඩෙනවා.
ඔබ සියල්ල හිත, සංකල්පය හෝ දෘෂ්ඨි ලෙස දැකීමට පමණක් රාමුගත වුණොත් ඒ හරහා මනස තාවකාලිකව දුක දැනෙන්නේ නැති තත්ත්වයකට (Condition) පත්වෙනවා. ඒ නිගමනය තුල ඔබ බැස ගත්තාට පසු ඒ හරහා සියලු දේ පෙනෙන්නට පටන් ගන්නවා. දුක, ප්‍රශ්න, කරදර, අල්ලා ගැනීම් නැති තත්ත්වයටද මනස පත්වෙන්න පුළුවන්. විඳවන්නේ නැති තත්ත්වයකටද පත්වෙන්න පුළුවන්. නමුත් එය ආධ්‍යාත්මික තලයේ පරිවර්තනයක් නොවේ. එය මානසික කාරණයක් පමණයි.
නමුත් විද්‍යාව මත පදනම් වූ මාර්ග දර්ශනයක් තියෙන කෙනෙක් එවැනි මානසික දර්ශන තුළින් ගොඩ නගා ගන්නා නිගමන, දෘෂ්ටි වැනි දෙයින් මනසට දැනෙන කිසිවක් නැති කරන්න යන්නේ නැහැ. මනසට දැනෙන සියල්ල දැනෙන තත්වයකයි ඉන්නේ. දුක, වේදනාව පවා යම් මට්ටමකින් දැනෙනවා. ඒ තුළ විද්‍යාවත් දකිනවා. ධර්මයක් දකිනවා. කර්මයේ සම්බන්ධයත් දකිනවා. හේතු පලයත් දකිනවා. විපාකයත් දකිනවා. ඒ සියල්ල ධර්මතා ලෙස දකිනවා. ඒවා ප්‍රශ්නයක් වන්නේ නැහැ. නමුත් ඔබ හිත ලෙස සියල්ල දැකීමට පටන් ගත්තොත් හෝ සියල්ල සංකල්ප දෘෂ්ටි ලෙස තවත් දෘෂ්ටියකට පත් උවොත් ඔබට එතනින් එහාට මාර්ගයක් නැති වෙනවා. බුද්ධ දර්ශනයට ඇති මාර්ගය වැසී යනවා.
හිත සහ මනස අතර වෙනස කුමක්ද?
අපි සිතමු කෙනෙක් ඇවිදගෙන යන විට පේර ගසක හොඳින් ඉදී ඇති පේර ගෙඩියක් දකින අවස්ථාවක්. එය ඇස හරහා සංවේදනය වී මනසේ ක්‍රියාකාරීත්වය සමඟ සංජානනයෙන් හඳුනා ගැනීමක් සිදුවෙනවා. එම සංස්කරණය තුළ තවදුරටත් මේක මෙහෙම රස ඇති… ආදී වශයෙන් මනසේ ඇති තොරතුරු සමග දැනීම් ඇති වෙනවා. මනස තුළ ඇති වූ මේ පේර ගෙඩිය පිළිබඳ දැකීම හරහා ඊළඟට මමත්වය ගොඩනැගෙනවා. ඒකට අයිතිවාසිකමක් හැදෙනවා. නමුත් එය මනසේ ක්‍රියාවක් නොවෙයි. එතැනදි තමයි සිත ගොඩනැගෙන්නේ.
පේර පිළිබඳ ඇති වූ දැක්ම හා විඳීම, විඳීම හරහා හටගත් කෙළෙස් හෙවත් පැවැත්ම මේ සියල්ල මානසික කාරණා. හිත ගොඩනැගෙන්නේ මමත්ව සංකල්පය එක්ක. ඒක මානසික දෙයක් නොවෙයි. අද කාලේ ධර්ම ගවේෂණයෙහි යෙදෙන බොහෝ දෙනා සෑම දේම හිත ලෙස හඳුන්වන්න පුරුදුවෙලා ඉන්නවා. නමුත් ඒක විශාල පටලැවිල්ලක්. හිත සහ මනස යන ධර්මතාවයන් පිළිබඳ යථාර්ථය නොදැන වචන භාවිතා කිරීම නිසා ඇති වූ පටලැවිල්ලක්.
හිත තමයි මුළාව හදන්නේ. මනසෙන් ගොඩනඟලා දෙන ධම්ම හෙවත් නිෂ්පාදන වලත් මුළාවක් තියෙනවා තමයි. නමුත් ඒකට කරන්න දෙයක් නෑ. ඒක මනසේ ක්‍රියාකාරීත්වය. හිත කෙනෙක්ගේ ගොඩනැගෙන්නේ නැති තත්ත්වයට පත් වුණොත් විතරයි මනසේ ක්‍රියාකාරීත්වය දැකගත හැකි වන්නේ. එහෙම වෙන්නේ කෙනෙක් අරිහත් භාවයට පත් වුණාම. ඔබට මනසේ ක්‍රියාකාරීත්වය පෙනෙන ප්‍රමාණය හිත ගොඩනොනැගෙන ප්‍රමාණයට සාපේක්ෂයි. ඇත්ත වශයෙන්ම කෙනෙක් හැමදේම හිත වශයෙන් හඳුන්වන්නේ මමත්වය සියල්ල ආවරණය කරගෙන ඇති නිසා. ඒ කෙනා සිතේ වහලෙක් බවට පත්වී ඇති නිසා. ඔහුට හෝ ඇයට ඇයට සිත සහ මනස වෙන්ව දැකිය නොහැකි නිසා.
අපි මෙහිදී උදාහරණයක් ලෙස ගත් පේර ගෙඩිය පිළිබඳ නැවතත් විමසා බලමු. ඒ පේර ගෙඩිය පිළිබඳ රූපය හඳුනා ගැනීම, පෙර පිළිබඳ දන්න තොරතුරු, විඳීම හා කැමැත්ත, මේ සියල්ල මානසිකයි. තමන්ගේ ලෙස ගැනීම හෝ තමන් සතු කරගැනීමටයාම තමයි හිතේ කාරණයක් බවට පත්වන්නේ. එය එහිදී ආත්ම බවට පත්වෙනවා. ආත්ම දෘෂ්ටිය ඒ ස්වභාවය වෙලා ගන්නවා. ඒ තුළ භවය ගොඩනැගෙනවා. සාපේක්ෂ ප්‍රතිබද්ධ පරිණාම ක්‍රියාවලිය තුළ එය වෙනමම ස්වභාවයක් ලෙස අන්තර්ගත වෙනවා.
මෙතැනදි මුලා සහගත ස්වභාවය වන්නේ ආත්ම දෘෂ්ටියට බැස ගැනීමයි. බාහිරෙන් තියෙන පේර ගෙඩියේ ප්‍රතිබිම්බය මනසේ තිබෙනවා. ඒ වගේම මනසේ තිබෙන පේර ගෙඩියේ ප්‍රතිබිම්බය බාහිරෙත් තියෙනවා. දෙපැත්තටම ක්‍රියාත්මකයි. නමුත් ඇත්තටම මේ පේර ගෙඩිය තියෙනවා කියන අදහස හදන්නේ හිතයි. ඒ පදනම මත බොහෝ දේ ගොඩ නගනවා. ඇත්තටම ඒක පදනමක් නොවේ. තාවකාලික පලංචියක් පමණයි. පේර ගෙඩිය පිළිබඳ මනසේ ඇති වූ ඒ දැනීම මොහොතකට දැනුණු දෙයක්. නමුත් මමත්ව සංකල්පය එකතුවෙලා එය ඇති බවට ගෙන සිතුවිලි ක්‍රියාදාමයක් ඇරඹුණා. ඒක තමයි සැබෑ මුළාව. හේතු ප්‍රත්‍යයන් තියෙන තාක් මනසට පේර ගෙඩිය පිළිබඳව දැනීම විටින් විට දැනෙන්න පුළුවන්. මනස එය විඳීමක් බවට පත්කරගන්න පුළුවන්. එය මනසේ ක්‍රියාකාරිත්වයයි.
නමුත් හිතේ ස්වභාවය වන්නේ හෙටත් මේ පේර ගෙඩිය සොයන එකයි. ඒ තුළින් සසරක් ගොඩනැගමින් නැවත නැවත සොයන එකයි. නැවත නැවත ඒ මායාව, මුලාව තනමින් සොයන එක තමයි හිත කියලා කියන්නේ.
ඔබ ධර්මය ශ්‍රවණය කලත්, ආයතන පහ මුල්කරගත් හිත බණ අහන එකයි සිදුවන්නේ. හිත තමයි දහම් සංස්කාර ගොඩනගමින් තවත් සසරක් නිර්මාණය කර දෙන්නේ. වෙනදා ඔබ මලක් දැක්කහම එහි සුන්දරත්වය විඳිමින් එයට බැඳෙමින් සිතිවිලි ගොඩනඟා ගත්තා. දැන් සමහර විට ඔබ ඒ මල පඨවි, ආපෝ, තේජෝ, වායෝ ලෙස දකිමින් සිතුවිලි ගොඩනගනවා ඇති. එතන ආත්ම දෘෂ්ටිය ගොඩ නැගෙන්න පුළුවන්, සිහිය හා ප්‍රඥාව නොමැතිනම්. ඔබට ශරීරය පිළිබඳ යථාර්ථය, මනස පිළිබඳ යථාර්ථය, ආයතන ක්‍රියාවලිය නොතේරෙන තාක් සිත විසින් ගොඩනගල දෙන මුලාවට හසු වෙනවා.
අද මනෝ විද්‍යාව බොහෝ සෙයින් දියුණු වී තිබෙනවා. ඒ හරහා මිනිසාට සිදු කරන සේවය අති විශාලයි. නමුත් කෙනෙක් මනෝ විද්‍යාව හදාරන කොට විය හැකි දෙයක් තමයි සියල්ල ඒ තුළින්ම දකින්නට යාම. ඕනෑම විෂය පථයකට සීමාවක් තිබෙනවා. බොහෝවිට තමන් කැමති විෂය පථය තුලින් සියල්ල විග්‍රහ කර ගැනීමට යාම ඕනෑම කෙනෙකු අතින් වීමට හැකි දෙයක්. නමුත් එතැනදි කෙනෙක් මුළාවට පත් වෙන්න පුළුවන්. ධර්ම මාර්ගයේ යන කෙනෙකුටත් එහෙමයි. එක් එක් සන්දර්භයන්ට අදාල වන විෂය පථයන් හරියාකාරව තෝරා ගත යුතුයි. මනෝවිද්‍යාවට හිත පිළිබඳ ධර්මතා සහ ආධ්‍යාත්මික කාරණා පිළිබඳව, මනස පිළිබඳව විග්‍රහ කරගන්නා ආකාරයේ ආකෘතිවලින් විග්‍රහ කරන්න බැහැ. විවෘත මනසින් යුතු මනෝ විද්‍යා ක්ෂේත්‍රයේ අය මේ පිළිබඳව පරීක්ෂණයන් සිදු කරමින් විද්‍යාත්මකව කරුණු විග්‍රහ කර ගැනීමට කටයුතු කරනවා. නමුත් තවත් අය ඉන්න පුළුවන් මනෝ විද්‍යාව දැන් විග්‍රහ කරගෙන තියෙන ආකෘතිවලටම හිත සහ ආධ්‍යාත්මය කියන කාරණා ඇතුලත් කරගෙන තමන්ගේ අභිමතය පරිදි අදහස් ඉදිරිපත් කරන. ඔවුන් මනස ගැන විග්‍රහ කරන අතරම, ඔවුන් මනසට හසුවෙලා,, සීමාවෙලා. එයට හේතුව ඔවුන් මනස පිළිබඳව උගතුන් පමණක් වීම සහ ඒත් මනස හා හිත වෙන්ව නොදැකපු පිරිසක් වීම.
ධම්මපදය ප්‍රසිද්ධ ගාථා දෙකක් තිබෙනවා. මනස ගැන අතිශය වැදගත් ධර්මතාවයක් ඉදිරිපත් කරන.
මනෝ පුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨේන - භාසතීවා කරෝතිවා
තතෝ නං දුක්ඛමං වේති - චක්කං'ව වහතෝ පදන්ති
හිත පිළිබඳව තේරුම් නොගෙන හිතට ඕනා විදියට දුවන්න ගියොත්, කරත්තය අදින ගොනා බවට මනස පත්වෙනවා. එතැනදි මනසේ ක්‍රියාකාරීත්වය වෙනම පේන්නේ නැති වෙනවා. හිත කියන දේ පමණයි පේන්නේ. එතනදී ගොනා පසුපස එන කරත්තයෙන් දක්වන්නේ හිතට හසුවීම තුළ සාපේක්ෂ ප්‍රතිබද්ධ පරිණාම ක්‍රියාවලියට ඔබ කොපමණ අන්තර්ගත වනවාද යන්නයි.
මනෝ පුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පසන්නේන - භාසතීවා කරෝතිවා
තතෝ නං සුඛමං වේති - ඡායාව අනපායිනී
ඔබ සිත කියන මුලාව හදුනා ගතහොත්, සිත සහ මනස යනු කුමක්ද කියලා ඔබට අවබෝධ වුවහොත් ඔබට පැවැත්ම ගොනා බැදි කරත්තය සේ වන්නේ නැහැ. එය හුදෙක් සෙවණැල්ලක් බවට පත්වෙනවා. ඒ අවබෝධය තුළ ඔබ සංසාරයෙන් ගැලවිලා සැහැල්ලුවට පත් වෙලා.
විඳීම හරහා කෙලෙස් බවට පත්වෙලා හදාගත්තේ දේ විඥාන ගත වන අතර එය තමයි ඇතිවී නැතිවී යන සිතිවිලි සමග එකතු වන්නේ. මනසේ හටගත් දැකීම නොවෙයි සිත පරිහරණය කරන්නේ.
සිතන්න ඔබේ ඉතා සමීපතමයෙක් මරණයට පත්වූ අවස්ථාවක්. ඇයි ඔබ එවැනි අවස්ථාවකදී අඬන්නේ? ඔහු හෝ ඇය හරහා ඔබ ලැබූ මේ විඳීම් වලට සාපේක්ෂව පෝෂණය වූ මමත්වයට දැන් හානි වෙලා. ඒක මමත්වයට දරා ගැනීමට අපහසු වෙලා. සමහර විට ඔහු හෝ ඇය ගෙන් ඔබට සතුට ලැබෙන්න ඇති. ආරක්ෂාව ලැබෙන්න ඇති. ඔබ කැමති දේවල් ලැබෙන්න ඇති. ඒ දේවල් තවදුරටත් ලැබෙන්නේ නැහැ. නමුත් ඒ විඳීම් වලට ඔබ බැඳිලා. ඔබේ මමත්වය ඒ විඳීම් ලබන අවස්ථාවලදී ඒවා සමග එකතුවෙලා පෝෂණය ලබලා.
නමුත් ඔබ යමෙක් නිසා දුක් වින්දා නම් ඔහු හෝ ඇය නැති වූ විට ඔබට එවැනි දුකක් දැනෙන්නේ නැහැ. ඒ දුකින් නිදහස් වීම පිළිබඳ සතුටක් දැනෙන්න පුළුවන්. මමත්වය ගොඩනැඟෙන්නේ මෙසේ විඥානගත වී ඇති කාරණා වලට සාපේක්ෂවයි. මනසේ ඇති දත්ත වලට සාපේක්ෂව නෙවෙයි.
විඳීමට යමක් තමයි හැම තිස්සේම සොයමින් ඉන්නේ. මොලේ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය සිතේ හා සළායතනවල ක්‍රියාකාරීත්වයකට පෙරලිලා. ඒ තුළ තමයි ආත්ම දෘෂ්ටිය නිර්මාණය වන්නේ. හිතෙන් කරන්නේ විඥානය මූලික කරගෙන ආත්ම දෘෂ්ටිය හදන එකයි. ඒකට තණ්හාව නමැති ස්වභාව ධර්මතාවයද එකතු වෙනවා. විඥානය සිත බවට පත් උනහම, ආත්ම දෘෂ්ටිය එකතු උනහම එතැනට තණ්හාවද සම්බන්ධ වෙනවා. සාපේක්ෂ ප්‍රතිබද්ධ පරිණාම ක්‍රියාවලියද සම්බන්ධ වෙනවා. තණ්හාව එකතු වුණාම තමයි පංච උපාදාන ක්‍රියාවලිය හටගන්නේ.
පංච උපාදානය පංච උපාදානයක් විදියට දකින්න බෑ සාමාන්‍ය මනසෙන්. එහෙම දකින්න යන තැනම උපාදානය තිබෙන නිසා. සිහිය, සිහිකල්පනාව ,සිහිබුද්ධිය, බුද්ධිය ,බුද්ධ ආදී වශයෙන් මාර්ගය වැඩිලා ඥානයක් බවට පත් වුණාමයි උපාදානය පේන්නේ.
තරහ යාම, දුක දැනීම, කල්පනා කිරීම මේ සියල්ල මානසික කාරණා. මේ දේවල් රසායනික බෙහෙත් වලින් මොළේ ක්‍රියාකාරිත්වය පාලනය කරලා ඒ අනුව වෙනස් කරගන්න පුළුවන් බව පරීක්ෂණාත්මකව ඔප්පුවෙලා තියෙනවා. ඒවා සමහර මනෝවිද්‍යා ප්‍රතිකාරවලදී භාවිතයටත් ගන්නවා.
රහත් වීම කියන්නේ අධ්‍යාත්මික කාරණයක්. ඒක මානසික කාරණයක් නොවේ. නමුත් භාවනා ක්‍රම පුරුදු කිරීම හරහා මනස වෙනස් වීම නිසා, ඒ වෙනස් වීම රහත්වීම කියලා සලකන අය ඉන්න පුළුවන්. ඒක මනස රහත් කර ගැනීමක් පමණයි. සැබෑ ආධ්‍යාත්මික පරිවර්තනයක් නොවේ.
සමාජය සාමාන්‍යයෙන් පුරුදුවෙලා ඉන්නෙ මානසික කාරණා මත රහත් භාවය තීරණය කරන්න. නමුත් ඒක ආධ්‍යාත්මික පරිවර්තනයක් නිසා බාහිරින් විනිශ්චය කරන්න බැරි දෙයක්. රහත් වුණ කෙනෙක් ගේ මනස සැලකිය යුතු ලෙසකින් බාහිරව වෙනස් වී නොපෙනෙන්න පුළුවන්. රහත් වූණාද කියන එක දැනගන්න පුළුවන් වන්නේ ආසවක්ඛය ඤාණය හරහා පමණයි. ගෞතම බුදු හාමුදුරුවන්ගේ කාලයේ සිදුවුණු සමහර සිද්ධි සම්බන්ධයෙන් කතා තියෙනවා, සමහර පුද්ගලයින් චෝදනා අරන් එනවා භික්ෂූන් වහන්සේලා ගැන ගෞතම බුදුන්ට. එතකොට ගෞතම බුදුන් කියනවා ඒ භික්ෂුව රහතන් වහන්සේ නමක්, ඔබට ඔහුගේ බාහිර ක්‍රියාකාරීත්වයෙන් බලලා චෝදනා කරන්න බැහැ. අවශ්‍ය නම් ක්‍රියාව පමණක් විවේචනය කරන්න කියලා.
ආදරය, කරුණාව, පරාර්ථය, ඉවසීම මේ ආදී කාරණා නිරෝගී මනසක ලක්ෂණයන්. ධර්ම මාර්ගයේ යන කෙනෙකුටත් එහෙම නිරෝගී මනසක් තියෙන්න ඕනේ. නමුත් රහත් බව සහ ඒ අතර සම්බන්ධයක් නැහැ.
ධර්මය, ධර්මතා සහ න්‍යාය
2024-08-10