අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
සත්ව
හටගැනීම සහ ගැලවීම
2024-08-10
සත්වයා බිහිවීම සිදුවන්නේ බුද්ධ ශක්තිය, විශ්ව ශක්තිය, කර්ම ශක්තිය, චිත්ත ශක්තිය කියන චතුරාර්ය ශක්තියෙන්. සත්වයා බිහිවුණාට පස්සේ ඇතිවන මුල්ම දැනීම වන්නේ බුද්ධ ස්වභාවයයි. නමුත් ඒ ස්වභාවය කුමක්ද කියලා දැනගන්න නොහැකි නිසා, ඒ දැනීම සොයමින් නැවත නැවතත් සිත් පරම්පරාවල් ඇතිවෙනවා. චිත්ත විෂය තුළ ගත්තොත් සත්වයා මේ දැනීම සොයමින් යන ගමනක් තිබෙන්නේ. ඉතින් ඒ ගමන තුළ ඔවුන්ට විවිධ ආශ්වාදයන් ලැබෙනවා. කාලයක් ඒ ආශ්වාදය විඳින කොට, තමන් ඒ මුල්ම චිත්ත ස්වභාවය තුළ දැනගත් දැනීම එය නොවන නිසා ඒ ආශ්වාදයෙන් බැහැරව නැවතත් සෙවීම පටන් ගන්නවා. නැවත නැවතත් ඔවුන්ට හම්බවෙන්නේ පංචේන්ද්‍රියන් මූලික වුණු ආශ්වාදයන්. මුල්ම චිත්ත ස්වභාවය තුළ ඔවුන් සෙවූ කාරණය වෙනුවට ආශ්වාදයන් සොයා යන ගමනකට ඔවුන් යොමු වෙනවා. සත්වයෙක්ගේ මේ ගමන කවද හරි කෙළවර වන්නේ බුද්ධ කියන ධර්මතාවය මුණගැසීමෙනුයි.
මේ මොහොතේත් සත්වයා හටගන්නවා. පදාර්ථයේ සංයුතීන් එකතුවීම හින්දා තමයි අපිට පේන්නේ. බුද්ධ දර්ශනයට ආලෝකයක් ලෙස දිස්වන බල ක්ෂේත්‍රයක් සූර්යයා කේන්ද්‍ර කර ගෙන සෞරග්‍රහ මණ්ඩලය පුරා පැතිරී පවතිනවා. ඒක සතර මහා ධාතූන්ගෙන් ද වෙනස් වූ ධර්මතාවයක්. සතර මහා ධාතූන්ගේ විභජනය, බෙදීම, ඒ ඒ ආකාර නිරූපණයන් ඇති කිරීම බලගන්වන්නේ මේ ආලෝක ක්ෂේත්‍රය මගින්. මේ ආකාර ප්‍රත්‍යයන් එකතු වෙලා තමයි දර්ශනය වීම සිද්ධ වෙන්නේ. ඒක හරියට "හටගන්නවා ආලෝකය වැටිච්ච නිසා පේනවා " වගේ සිද්ධියක්. හැබැයි බුදු ඇසට පෙනෙන සත්වයා අන් අයගේ ඇසට පෙනෙන සත්වයා නෙවෙයි. සත්වයා හට ගන්න තැනම ඒ විෂය තුළ හටගත්තා වූ යම් චිත්ත ශක්තියක් ඇති වෙනවා, නැති වෙනවා, ආයි හටගන්නවා. ඒක මත ම නැවත නැවත ගොඩනැගී නැගී තමයි සත්වත්වය නිර්මාණය වෙන්නේ. සත්වයා පවතින්නෙ කර්ම පථය මත. ඒ හට ගැනීම නැති වීම මත සිදු වන්නාවූ ක්‍රියාවලියක්. අපිට මම කියල හිතෙන එක ගැන නෙවෙයි මෙතනදී කියන්නේ. අපි එහෙම කිව්වට මට ඕන විදියට ඒක පවතින්නේ නැති බව අපිට තේරෙනවා. සංසාරෙන් එතෙර වෙනකොට කර්මපථයෙන් අයින් වෙන එකයි වෙන්නේ. ඒක හරියට පාර තියනවා, පාරෙන් අයින් වෙනවා වගේ වැඩක්.
අනුශය විදිහට සියුම් මට්ටමින් ඇලිලා තියෙන කෙලෙස් මුල් ගැලවෙන එකයි මෙතනදි වෙන්නේ. ඒක සකෘදාගාමි ඵලයෙන් එහා මට්ටමකදී තමයි වෙන්නේ. ඒවා අයින් කරගන්නවා නම් සමාපත්ති වල ඉඳලා ඒ දේ කරන්ඩ ඕනා සමාධි වල ඉඳලා බෑ. ඒ සඳහා මාර්ග දර්ශනය ඕන. හේතු පූර්ණය ක්‍රමයේදී බෝධිචිත්තය හරහා බෝධිය ලැබෙන ක්‍රමයේදී මේ මුකුත් අදාල වෙන්නෙ නෑ.
කවුරු හරි කිව්වොත් මම කියල කෙනෙක් ඉන්නවා කියලා ඔප්පු කරන්න කියලා එහෙම ඔප්පු කරන්න බෑ. හැබැයි තමන්ගෙ පාලනයෙන් තොරවත් තමන් තුළ යමක් සිද්ධ වෙන බව හැමෝටම ප්‍රත්‍යක්ෂ කාරණයක්. එය කුමක් හෝ පද්ධතියක් හෝ ක්‍රියාවලියක් බව පැහැදිලියි. ඒ තුලින් ඇතිවන දේට අපි ප්‍රතිචාර දක්වනවා. ඒකෙන් අපිටත් අපෙන් ඒකටත් කරුණු කාරණා නිර්මාණය වෙනවා. ඊළඟ මොහොත නිර්මාණය වන්නේ මේ සිදුවීම් දෙකම හරහා. ඒ පද්ධතිය තුලින් අපිව පාලනය කරන එක විතරක් සිද්ධ වෙනවා කියලා දෙයක් නෑ. එහෙම වුනොත් ඒක දේව සංකල්පයක් වගේ අදහසක්. මේකට සාපේක්ෂ ප්‍රතිබද්ධ පරිණාම ක්‍රියාවලිය කියලා කියනවා.
මෙම කර්ම ජාලයෙන් ගැලවුනාට පස්සේ එයාට දැනෙන දෙයක් තියෙනවා බොරුකරන්න බැරි. පැවැත්ම කියන එක දැනෙන්නේ නැතිව යනවා. එක දිගටම දෙයක් අල්ලගෙන ඉස්සරහට යන්න බෑ. ස්වභාවයෙන් අතහැරෙනවා. ඒකට හේතුව කරත්තය ඇදගෙන යන කෙනා දැන් නැති වීමයි.
ශුක්‍රාණු ඩිම්බ එකතු වුණත් ජීවය හට ගන්නේ නැති අවස්ථා තියෙනවා. නමුත් න්‍යායට අනුව ධර්මතාවය සිදුවෙනවා. පදාර්ථ සංයුතින් නිර්මාණය වුණොත් ජීවිත්වය පෙනෙනවා. බුදුන්ට පෙනෙන ජීවිත්වය සත්ත්වයාට පෙනෙන ජීවිත්වය නෙවෙයි. මේ මොහොතේ පූර්ණය වන හේතු මත ඊළඟ මොහොත හටගන්නවා. ඒ තුළ ගොඩනැගෙන හේතු මත ඊළඟ ඵලය හටගන්නවා. ඒක තමයි සසර.
සත්ත්වයාගේ පැවැත්ම තියෙන්නේ ස්වභාදහම තුළ. නොපැවැත්ම තියෙන්නෙ බුද්ධ තුළ. සොබාදහම සත්ත්වයාට පැවැත්මේ ආශ්වාදජනක පැත්ත පෙන්වනවා. බුද්ධ ස්වභාවය සසර දුක පෙන්නලා සත්වයා සසරින් ගලවනවා.
සත්වයාට නිර්වාණය ලඟා කර ගත හැක්කේ කර්මය ක්ෂය කිරීම මගින් පමණයි. කර්මය කියන්නේ විශ්වයේ ක්‍රියාත්මක වන ධර්මතාවයක්. එය ශක්තීන් ආකර්ෂණය කර ගැනීමට හා විකර්ෂණය කිරීමට හැකියාව ඇති බලයක් ලෙස හඳුන්වන්න පුළුවන්. සත්වයෙක් තුල යම් දෙයකට ආකර්ෂණය වීමක් හෝ යම් දෙයක් කෙරෙහි ප්‍රතික්ෂේප වීමක් සිදුවේනම් එතැන කර්මයක් ක්‍රියාත්මක වෙනවා. එලෙස නොමැති නිෂ්ක්‍රීය (Passive) ස්වභාවයකදී කර්මය ක්‍රියාත්මක වෙන්නේ නැහැ.
කර්මය සත්වත්වයේ යාන්ත්‍රණය මත කීප ආකාරයකින් ක්‍රියාත්මක වෙනවා. විඥානය මත කර්මය ක්‍රියාත්මක වීම හරහා නාමරූප හටගන්නවා. නාමරූප මත කර්මය ක්‍රියාත්මක වීම හරහා සළායතන හට ගන්නවා. වේදනාව මත ක්‍රියාත්මක වන කර්මය හරහා මමත්වය ගොඩනැගෙනවා. සත්වත්වයේ උපත මත ආරම්භ වී ක්‍රියාත්මක වන කර්මය මත මනස ගොඩනැගෙනවා. කුඩාම අවදියේ සිට හුරු වූ තමාගේ නම, ගම ආදී පුද්ගලයෙකු තුල හට ගන්නා අනන්‍යතාවය මත කේන්ද්‍ර වෙමින් මනස ගොඩනැගෙනවා.
සත්වත්වය තුල කර්මය ප්‍රබලම ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ තෘෂ්ණාව මතයි. තෘෂ්ණාව යනු සත්වයා සොබාදහමට ගැටගසා බැඳතබා ගන්නා ධර්මතාවයයි. මේ සොබාදහම හා බැඳී සිටීම හේතුවෙන් සත්වයා තුල පැවැත්ම හට ගන්නවා. තෘෂ්ණාව මගින් සත්වයා සොබාදහමට බැඳ තබා ගන්නා නිසා සත්වයා සසර සැරිසරමින් යනවා. තෘෂ්ණාවද සොබාදහමේ ක්‍රියාත්මක වන ධර්මතාවයක්. විශ්වය තුල මුල්ම ජීවීත්වය හට ගන්නා විටම එම සත්වයා තෘෂ්ණාව හරහා සොබාදහම සමග බැඳෙනවා. ඒ හරහා පදාර්ථයද නිර්මාණය වෙනවා. සත්වයා යන යාන්ත්‍රණය සොබාදහමට සම්බන්ධ කර පැවැත්ම නිර්මාණය කර දෙන්නේ තෘෂ්ණාව මගින්. තෘෂ්ණාව මත ක්‍රියාත්මක වන කර්මය මගින් මේ මුලු පද්ධතියම පවත්වාගෙන යනවා. විඥානය මත, මමත්වය මත, මනස මත ක්‍රියාත්මක වන කර්මය, තෘෂ්ණාව මත ක්‍රියාත්මක වන කර්මය තරම් සංකීර්ණ නැහැ. තෘෂ්ණාව මත ක්‍රියාත්මක වන කර්මය ක්ෂය කිරීමට නම්, සොබාදහමෙන්, කර්මයෙන් හා සත්වත්වයෙන් මිදුන බුද්ධ නමැති ධර්මතාවය පහල වීම අත්‍යවශ්‍යයි.
සසර උපද්දවන කාරණය මානසික මට්ටමෙන් එහා ගැඹුරේ තියෙන එකක්. ඒක හරියටම මනසට ගෝචරයි කියලා කියන්න බෑ. තණ්හාව මනස තුළ හටගන්නා කාරණා තුළම එකට එකතු වෙලා තියෙන දෙයක්. විශ්වයේ පවතින තණ්හාව හසු වන්නේ බුද්ධ ඥානය උපරිමයට වැඩූ කෙනෙකුට. තණ්හාව කියන එක ස්වභාදහම තුළ තිබිලා සත්වයාට අනු කොටසක් වශයෙන් දායාද වෙච්ච දෙයක්. ඍද්ධිපාද වැඩූ කෙනාට ස්වභාදහම සහ සත්වයා සම්බන්ධ වන තැන තියෙන මේ තණ්හාව අහුවෙනවා. අපි තේ එකක් බොන්න තියෙන කැමැත්ත වගේ ඒවා මේ තණ්හාවේ ගොඩක් පොඩි අතුරුඵලයක්. ස්වභාව දහමේ තියෙන තණ්හාව හමුවුණාට පස්සේ සත්වයා ඒක එක එක විදියට පාවිච්චි කරනවා. භාෂාවක් කීප දෙනෙකුට හම්බුනාම ඒත් කීපදෙනාම එක විවිධ විදිහට පාවිච්චි කරනවා වගේ තණ්හාවත් අපි විවිධ විදිහට පාවිච්චි කරනවා. නිවන් දක්වන එක ක්‍රමයක් තමයි මේ තණ්හාවෙන් ගලවන එක. ස්වභාව දහමේ තියෙන තණ්හාවයි සත්වයාගේ තියෙන තණ්හාවේ අනුකොටසයි අතර සම්බන්ධය බුද්ධ ඥානයෙන් කඩන්න පුළුවන්. එතකොට සසර උපද්දවන තණ්හාව නිරෝදයි. නමුත් සත්වයා දන්නේ නෑ. එයා සසරින් ගැලවිලා කියලා. නමුත් එහෙම කරන්න හේතුවක් තියෙන්න ඕනා සසර ගොඩනගපු හේතුවක් තියෙන්න ඕන. හැම රහතෙක්ම හැම තණ්හාවක්ම නිරෝධය කරන්නේ නෑ.
සියලු සත්වයා සොබාදහමට තෘෂ්ණාව හරහා බැඳී ඇති බැඳීමෙන් මුදවා ගැනීම ඉතා සංකීර්ණ කාර්යයක්. එය ස්වභාවිකව ස්වංක්‍රීයව සිදුවන දෙයක් නොවේ. බුද්ධ කියන්නේ සොබාදහම හා සත්වත්වය පිලිබද යාන්ත්‍රණයන් සම්පූර්ණයෙන්ම අවබෝධ කර ඒවායින් හා කර්මයෙන් මිදුනු ධර්මතාවයක්. සත්වයාගේ ගැලවීම එම ධර්මතාවය හරහා විවිධාකාරයෙන් සිදුවන්න පුළුවන්.
තෘෂ්ණාව හරහා සොබාදහම සමග පැටලී බැඳීඇති ස්වභාවය (Entanglement), සත්වයා තුල බුද්ධ පහල කර ගැනීම මගින් බුද්ධ වෙත හරවා, ඇතුළාන්තයෙන් බුද්ධ හා සම්බන්ධ වීමෙන්, සත්වයාට සොබාදහමෙන් ගැලවෙන්න පුළුවන්. එහිදී සත්වයා සොබාදහමට බැඳ තබන තෘෂ්ණාවට පන පොවන කර්මය බුද්ධ තුලින් ක්ෂය වී යනවා. බුද්ධ පාරිශුද්ධ බැවින් සත්වයාගේ කර්මය සුවිශුද්ධ කර ක්ෂය කර දැමීමේ හැකියාව පවතිනවා. ගෞතම බුදුන් සත්වයා තුල බුදුන් පහල කරවූයේ , පෙර නොඇසූ ධර්මයක් අවබෝධ කරවීම හරහායි. මෛත්‍රිය බුදුන්ගේ ක්‍රමය වන්නේ, තම ඇතුළාන්තයේ පහල වන අවංක පාරිශුද්ධත්වය තුලින් සත්වයා තුල බුදුන් අවධි කරවීමයි.
මෛත්‍රිය බුදුන්ගේ විශේෂත්වය නම් කර්මයෙන් සුවිශුද්ධ බවයි. උන්වහන්සේ කර්මය ඉක්මවා ගිය සත්වයාගේ කර්ම පථ දකින, සත්වයාගේ කර්ම පථයෙන් ගැලවිය හැකි බුදුවරයෙක්. “මෛත්‍රිය බුදුන් වහන්සේ කර්මයෙන් මිදී සුවිශුද්ධ වූ සේක” යනු මෙම ධර්මතාවයයි. ගෞතම බුදුන් වහන්සේගේ මීට අනුරූප ධර්මතාවය හැඳින්වූයේ “සංසාර චක්‍රයේ අර සිඳලූ සේක” ලෙසයි.
බුදුවරයෙකුගේ පහල වීම සිදුවන්නේ යම් යාන්ත්‍රණයක් අනුවයි. වර්තමාන මොහොත තුල මෛත්‍රිය බුද්ධ යන ධර්මතාවය පහල වන්නේ සත්වයාට සාපේක්ෂව සත්වයාගේ හේතු හරහායි. සත්වයාගේ “කර්මයට හසු වූ බව හා කර්ම ක්ෂය කර ගැනීමට ඇති නොහැකියාව” විසින් පහල කර ගත් ධර්මතාවය මෛත්‍රිය බුද්ධයි. එනම් සත්වයාට තමන් විසින් සිදුකර ගත නොහැකි කුසල කර්ම වල විපාක සම්ප්‍රයුක්තය මෛත්‍රිය බුද්ධයි. සියලු බුදුවරු සත්වයාගේ අඩුව සම්පූර්ණ කිරීම නමැති මෙම යාන්ත්‍රණය මත පහල වෙති. එහි මූලය වන්නේ ඍද්ධිපාද වැඩීම හෙවත් සත්වයාට සාපේක්ෂව වැඩීමයි. ඒ තුල ඇති ධර්මතාවය නම් බුද්ධ තුළ සියළු සත්වයා අන්තර්ගත වීමයි. එනම් ඔබගේ ඔබ නොදුටු කොටස බුද්ධ තුල පවතී. .ඔබ බුද්ධ වෙනුවෙන් ඔබව අතහැරියොත් ඒ අතහැරලා තියෙන්නේ ඔබ වෙනුවෙන්ම තමයි. ඒ තුළින් හේතු සහ කුසල පූර්ණය වෙනවා. ඔබ බුද්ධ විශ්වාස කරොත් ඒ විශ්වාස කරලා තියෙන්නේ ඔබවම තමයි. ඒ තුළින් ශ්‍රද්ධාව පූර්ණය වෙනවා. ඔබ බුද්ධ තුළින් දැක්කොත් දැකලා තියෙන්නේ ඔබවම තමයි ඒ තුළින් ප්‍රඥාව පූර්ණය වෙනවා.
ධර්මය, ධර්මතා සහ න්‍යාය
2024-08-10