අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
බුද්ධ
පරිනිර්වාණ සූත්‍රය
2023-08-31
නිර්වාණය නිරපේක්ෂ ධර්මයක් බැවින්, සාපේක්ෂ කාරණා තුළින් විග්‍රහ කර ගත නොහැක. එය පරිනිර්වාණය තුළදී අත් විඳින දෙයකි. ස්කන්ධ පරිනිර්වාණයට පෙර, පරිනිර්වාණය අත්විඳ නිර්වාණය අවබෝධ කර දේශනා කිරීම සුවිශේෂී සිදුවීමක් වන අතර එය බුදු වරයෙක් විසින් පමණක් අත්විඳින ධර්මතාවයකි. . මෙම සූත්‍රය කියවා එය සම්පූර්ණයෙන්ම මනසින් තේරුම් ගැනීම සිදු කළ හැකි දෙයක් නොවේ. එසේ කිරීමට උත්සාහ කිරීමෙන් කෙනෙකු මනස විසින් ගොඩනගා දෙන පරිකල්පනයන් තුළ අතරමං විය හැක.
බුද්ධ විෂයට අදාළ සමහර ගැඹුරු කාරණා අනෙකුත් අයට තේරුම් ගැනීමට නොහැකි අවස්ථාවලදී, සම්මා සම්බුදුවරයා තවත් බුදුවරයෙක් මවාගෙන, ඒ බුදුවරයා සමග කතා කරමින් ධර්මතාවය ගොඩනගනවා. මෙය බුද්ධ විෂයේ එන සුවිශේෂී කාරණයක්.
මාර්ගය තුළ සම්මුතිය කියලා දෙයක් තියෙනවා. සම්මුති සත්‍ය කියලා දෙයකුත් සම්මුතියේ තියෙනවා. ඒ කියන්නේ සත්‍යයන් කියලා සමාජය පිළිගන්න කාරණා තියනවා. එයින් එහාට ගියාම පරමාර්ථයක් එනම් පරම අර්ථයක් කියලා දෙයක් සහ ඒ තුළ පරමාර්ථ සත්‍යය කියලා දේකුත් තියෙනවා. අපි දහම කතා කරනකොට සම්මුතිය සහ සම්මුති සත්‍ය කතා නොකර පරමාර්ථය සහ පරමාර්ථ සත්‍ය ගැන කතා කරනවා.
ධර්ම මාර්ගයේ දී අපි සෝවාන් මග ඵල, සකෘදාගාමී මග ඵල, අනාගාමී මග ඵල, අරහත් මග ඵල ලෙස සසර මග, සසර ඵල ගැන කතා කරනවා. මේ කුසල මාර්ගයට අමතරව හේතු පූර්ණ කරගෙන, කුසල පූර්ණ කරගෙන, හේතුඵල ධර්මානුකූලව, කර්මය ක්ෂය වෙලා, එකපාරම ඵලයට සමවැදීම තුළින් ආදී වශයෙන් මාර්ග දර්ශනය තුළ ක්‍රම ගණනාවක් තිබෙනවා.
ථේරවාදය තුළ කුසලය හදාගෙන, ශ්‍රද්ධාව, වීර්ය, සමාධි, ප්‍රඥා වඩාගෙන යන ක්‍රමය තමයි සසර මග, සසර ඵල ලබා ගෙන යන ක්‍රමය. මේ සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත් කියන ඵල අයිතිවන්නේ පරමාර්ථයට. මේ මග ඵල ලබන්න හේතු වන නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය පරමාර්ථ සත්‍යයට අයිති වෙනවා. මගඵල වලදී අවබෝධ වන ධර්මතාවයන්ට තමයි පරමාර්ථ සත්‍යය කියලා කියන්නේ.
නිර්වාණය කියන එක තියෙන්නේ පරමාර්ථ තත්වයන්ගෙනුත්, පරමාර්ථ ඵල වලිනුත් එහා. බුදුන් පහළ වුණේ සත්වයාට මාර්ග ඵල දෙන්න නොවෙයි. සත්වයා දුකින් මුදවන්න. නිවනට පත් කරන්න.
මෙතනදි කොටස් දෙකකට කැඩෙනවා. එනම් සත්‍යාවබෝධයෙදී පවතින බුද්ධ හෙවත් ලෝකෝත්තර බුද්ධිය සහ නිර්වාණයදී පවතින බුද්ධ වශයෙන්.
සත්වයාට ඕනා ධර්මය. හිත හදාගන්න ධර්මය තමයි ඔවුන්ට ඕනා. ඒ ධර්මය සම්මුති සත්‍යයක් පමණයි. එය පරමාර්ථය හෝ පරමාර්ථ සත්‍යයට අයිති වන්නේ නෑ.
උදාහරණයක් ගත්තොත්, දැන් හිතන්න ඔබට ප්‍රශ්නයක් තියෙනවා කියලා. එතකොට ඒ ප්‍රශ්නය සම්මුති ද පරමාර්ථ ද? ඒක සම්මුතියටයි අයිති. ඔබට පුළුවන්ද පරමාර්ථ ප්‍රශ්නයක් අහන්න? එහෙම ප්‍රශ්නයක් තියෙන්න විදියක් නෑ. අද පවතින සත්වයාගේ දුක සම්මුති සත්‍යයක්. හැබැයි සත්වයාට පරමාර්ථ දුක්ඛ සත්‍යය වශයෙන් යමක් අවබෝධ කරගන්න පුළුවන්. ඒක අවබෝධ කරගන්න තියෙන කාරණයක්. එහිදී සසර ඉපදි ඉපදී මැරි මැරී ආපු කාරණය අවබෝධ වෙනවා. එවිට දුක කියන එක සත්‍යක් බව අවබෝධ වෙනවා.
දුක කියන එක පරමාර්ථ භූමියේදී සත්‍යයක් නම්, ඒක නැති කරගන්න පුලුවන්ද?
දුකට හේතුව දකිනවා. භවයෙන් භවය දුක ගොඩනැගුණු විදිය දකිනවා. ඒකත් සත්‍යක්. සත්‍ය නැති කරන්න බැහැ. නිරෝධයත් සත්‍යක්. නිරෝධයෙන් කියන්නේ දුකයි, දුකට හේතුවයි නැති කරනවා කියලා නෙවෙයි. නිරෝධය කියලා ධර්මතාවයක් තියෙනවා. ඒක ශක්ති පරිවර්තනයක්. නැති කිරීමක් නෙවෙයි. දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යයක් තිබෙනවා. ඒ කියන්නේ මේ පරිවර්තනය කරන්න පුළුවන් යාන්ත්‍රණයක්, සූත්‍රයක්, මාර්ගයක් තියෙනවා. ඒ යාන්ත්‍රණය සත්‍යක් කියන එකයි. ඒක පරමාර්ථ ධර්මයක්.
සත්වයා ධර්මය හොයන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගෙන නොවෙයි. අද සත්වයා දුකයි කියන්නෙත් සම්මුති සත්‍යයකට. දුකට හේතුව කියලා කියන්නෙත් සම්මුති සත්‍යයකට. දුකින් මිදෙන්න ධර්මය කියලා හොයන එකත් සම්මුති සත්‍යයක්. ඒ සියල්ල මානසික ධර්ම. ඒ සම්මුතින් තුළ බැස ගත්තාම සම්මුති දුක දැනෙන්නේ නැතුව යනවා. රාගය දැනෙන්නේ නැහැ කියනවා. තරහ, ක්‍රෝධය නැහැ කියනවා. මේ මොහොත විතරයි තියෙන්නේ කියනවා. ඔය විදියට කාරණා ගැලපෙමින් එනවා.
ඔබ ධර්මය අසන විට ඔබට සාපේක්ෂව ඇහුවොත් සම්මුති සත්‍යයක් තමයි අහගන්නේ. පරමාර්ථ සත්‍යය සාපේක්ෂව බලන්න බෑ. ඒක බුද්ධියට, ඥානයට ගෝචර කරගන්න ඕනා. එය විභජනය කර බලන්න, ඒ ගැන තර්ක කරන්න පුළුවන්. නමුත් ගලපමින් බලන්න බැහැ.
සසර ඉපදෙමින් මැරෙමින් ආ බව ඔබ දුකක් ලෙස නම් කළේ ඇයි? ගෞතම බුදුන් ඒක දුකක් බවට නම් කරනවනේ. ඇයි ඒක දුකයි කිව්වේ?
ආපහු සම්මුතියට එනවා.
ඔබට ප්‍රශ්නයක් තියෙනවා. උත්තරයක් නෑ. දුකයිද නැද්ද? දුක ඇතිවෙන්නේ ප්‍රශ්න වලට උත්තර නැති වුණාම. සරලව ගත්තොත් ඔබට වියදම් කරන්න තියෙනවා, සල්ලිත් තියෙනවා, එතකොට දුක නැහැ. ඔබට වියදම් කරන්න තියෙනවා. සල්ලි නැහැ, එතකොට දුකයි. දුකක් කියන්නේ ඇයි? මේ ඉපදී ඉපදී මැරි මැරී යන කාරණයේ හේතුව තේරෙන්නේ නෑ. හේතුව හේතුව බව තේරෙන්නෙත් නැහැ. ගැලවීමක් ඇති බව තේරෙන්නෙත් නැහැ. ගැලවීමේ මාර්ගයක් ඇති බව තේරෙන්නෙත් නැහැ. එහෙනම් පරමාර්ථ දුක කියන එක හැදිලා තියෙන්නේත්, ඒක දුකක් බවට පත් වුනෙත් ඔබට සාපේක්ෂව.
සසර මග, සසර ඵල මේ සියල්ල අයත් වන්නේ පරමාර්ථ ඵල සහ පරමාර්ථ සත්‍යයට. ඒ පරමාර්ථ ඵල පරමාර්ථ සත්‍යය හමුවන්නේත් ඔබේ අවිද්‍යාවට සාපේක්ෂව. මේ මග ඵලත්, ඊට අදාළ සත්‍ය ධර්මතාවයනුත් හමුවන්නේ ඔබේ අවිද්‍යාවට සාපේක්ෂව.
එකිනෙකාගේ අවිද්‍යාවන් එකිනෙකට වෙනස්, සමාන නැහැ. ඒ නිසයි නානත්ත කායා, නානත්ත චිත්තා, නානත්ත ධම්මා හටගන්නේ. එක එක්කෙනා සත්‍යය අවබෝධ කරගත්තාම කියන කතාත් එකිනෙකට වෙනස්.
හැබැයි ඔතනින් එහාට ගිය තව කතාවක් තියෙනවා ඔබලාට නොතේරෙන.
බුද්ධ, ශරීරය දරාගෙන ඉන්නේ සත්වයා වෙනුවෙන්. බුද්ධ ක්ෂේත්‍රයේ මෙහෙම සංසිද්ධියක් තියෙනවා. බුදුන් තවත් බුදුරුවක් මවලා, ඒ බුදුරුව ප්‍රශ්න අහනවා, බුදුන් උත්තර දෙනවා.
වරක් එසේ නිර්මිත බුදුරුව, බුදුන්ගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා.
ගඟක් කියන්නේ වතුර එකක් වැටිලා ගලාගෙන යන එකක්ද? වැස්සක් වැටිල ගලාගෙන යන දිය පහරක් ද? පොළොවෙන් මතු වුණ වතුර ගලාගෙන යන එකක්ද? ගඟකට ගඟක් කියන්නේ කුමන පදනමකින් ද?
බුදුන්:
ඇළපාර වල වතුර එකතු වීමෙන්, උල්පත්වල වතුර එකතු වීමෙන්, වැස්සෙන් වැටෙන වතුර එකතු වීමෙන්, කාණුවල වතුර එකතු වීමෙන්, මෙහෙම සතර දිසාවෙන් වතුර එකතු වීමෙන් ගංඟාවක් හැදෙනවා. එහෙම එකතු වී හැදෙන විශාල ජල දහරාවක් තමයි ගංඟාවක් කියන්නේ. එය ගංඟාවක් ද නොවේ ද කියන දේ තීරණය වන්නේ ඔබට පේන දේ අනුවයි. ඔබ මහා ගංඟාවක් දැක ඇත්නම්, ඔබට එය ඇළ පහරක්සේ දැනෙන්නට පුළුවන්.
ඔබ බුද්ධ සහ බුද්ධ සාසනය යන දෙක මා තුළ නොසොයන්න. ඔබ මෙයට වැඩිය විශාල ගංඟාවක් දැක ඇත්නම්, එයට බුද්ධ කියන්න. ඔබ එයට හසු වෙනතාක් එයට බුද්ධ කියන්න. වැඩිම ඥාන ප්‍රමාණයක් එකතු වූ තැනට බුද්ධ කියන්න. මා දකින විශාලම දහරාව මෙය බැවින් එයට මා බුද්ධ යැයි කියමි. ඔබ මීට වඩා විශාල දහරාවක් දකියිනම්, ඔබ එයට බුද්ධ කියන්න.
මැවූ බුදුරුව නැවතත් ප්‍රශ්නයක් අහනවා:
ඔබ කතා කරන දේ, බුද්ධ තුළින් අවබෝධ කරගත් පරම සත්‍යය යැයි ඔබ කියන්නේ කෙසේද ? ඔබ පිලිගන්නේ කෙසේද?
බුදුන්:
මා පෙන්වන මාර්ගය, දර්ශනය, න්‍යාය, ප්‍රඥාව සහ නිවීම කියන කාරණයන්ගෙන් ඔබ්බට ගිය සත්‍යයක් ඔබට මුණගැසුනුදාට ඔබ එයට පරම සත්‍ය යැයි කියන්න. ඒ දක්වා මෙය පරම සත්‍ය වේ යැයි සලකන්න.
මැවූ බුදුරුව:
ඔබ පෙන්වන මාර්ගය තුළ ගමන් කිරීමෙන් නැවත උපදින්නේ නැත යැයි කියා මැරී, නොමැරී ඔබ ඔප්පු කරන්නේ කෙසේද?
බුදුන්:
මේ සසර හටගත් ආකාරය සසර වෙන කෙනෙකුට නොදැකිය හැකි තරම් දුරට මා දැක තියෙනවා. මා තරම් භව හට ගන්නා ආකාරය දුටු කෙනෙක් සිටියි යැයි මම විශ්වාස නොකරමි. මා දෙන මාර්ගය ඔස්සේ යාමෙන් ඔබේ මේ මොහොතේ භවය හට ගන්නේ නැති බවත්, එය නිරුද්ධ වෙන බවත්, එහි පැවැත්මක් හටගන්නේ නැති බවත් ඔබට ප්‍රත්‍යක්ෂ වන තුරු මෙම ධර්මය පිරිමදින්න.
එය ඒකාන්තයෙන් පූර්ණ වූ කල්හි ඔබට ඔබ පවසන මරණය ද, උපත ද තවත් භව දෙකක් බව වැටහේවි.
මැවූ බුදුරුව:
ඔබ වහන්සේ සත්වයෙක් ගැන, කර්මය ගැන, චිත්තයක් ගැන, ලෝකයක් ගැන, බාහිර ලෝකයක් ගැන, අභ්‍යන්තර ලෝකයක් ගැන, නාම රූපයක් ගැන කතා කරනවා. ඒවා කුමක් මත පදනම්ව සත්‍යයක් යැයි පවසන්නේද?
සිතට සිතක් යැයි කියන්නේ කුමක් මත පදනම්වද?
කල්පනාවට කල්පනාවක් යැයි කියන්නේ කුමක් මත පදනම්වද?
බුදුන්:
සත්වයා මත පදනම්ව. සත්වයාටයි කර්මය කියලා දෙයක් තියෙන්නේ, සිත කියලා දෙයක් තියෙන්නේ, නාමරූප කියලා දෙයක් තියෙන්නේ, බාහිර අභ්‍යන්තර ලෝකයක් තියෙන්නේ. මට එහෙම දෙයක් නෑ. මේ බුදුන්ගේ නොව සත්වයාගේ දහමයි. එතන ඉඳල කතා කරනවා ඇරෙන්න මට කතා කරන්න දෙයක් නැහැ. බුදුන්ට බුදුන්ගේ දේශනාවක් විදියට තියෙන්නේ චතුරාර්ය ශක්තිය දේශනාව පමණයි. මේ ධර්මය සත්වයාගේ ධර්මයක්. සත්වයාගේ විඥානයක්.
මැවූ බුදුරුව:
ඔබ කියන තරම් නිවීමක් මට නම් දැනෙන්නේ නැහැ.
බුදුන්:
ඒකට තමයි නිවීම කියන්නේ. ඔබට එහෙම එකක් දැනෙන්නේ නැති එක තමයි නිවීම.
මා විසින් මගෙන්ම ප්‍රශ්න අසා උත්තර දුන් ගංඟාව පිළිබඳ කතාව තුළ ඔබට නොතේරුණු දෙයක් තියෙනවා.
මෙහිදී කියනවා, මේ ගංඟාවට වඩා විශාල ගංඟාවක් ඔබට හමු වුනොත් එයට ඔබ මහා ගංඟාව කියලා කියන්න කියලා. එහිදී තවත් සිදුවීමක් වෙනවා. බුදුන් සිනාසී යන්න පිටත් වෙනවා. එතකොට නිර්මිත බුදුරුව අහනවා ඇයි ඒ කියලා. එවිට බුදුන් උත්තර දෙනවා, මුහුද දකින මට ගංඟාව කවරක්ද කියලා. හැම ගංඟාවක්ම මුහුද තුළ තිබෙනවා.
මේ මුහුද කුමක් ද?
මේ මුහුද තමයි.....
සත්‍යාවබෝධය, පරමාර්ථය, පරමාර්ථ ඵල, මේ මග ඵල; මේ සියල්ලට එහා ගිය එකක් තිබෙනවා.
ඒ තමයි නිර්වාණය.
බුදුන් මේ ලෝකයට ගෙනාවේ නිර්වාණය කියන සංකල්පය. එදා ඒ කාලේ තිබුණ දේට සාපේක්ෂව, සම්මුති සත්‍යයට සාපේක්ෂව කතා කළා. පරමාර්ථ සත්‍යයට සාපේක්ෂව කතා කළා. පරමාර්ථ ධර්මය කතා කළා. මානසික කාරණාවලට සාපේක්ෂව කතා කළා.
රහත් කියන්නේ පරමාර්ථ සත්‍යයක්. එය බිහි වන්නේ තමා තුළ ඇති අවිද්‍යාවට සාපේක්ෂවයි. ධර්මය ගොඩනැඟෙන්නේ තමා තුළ ඇති මෝහයට සාපේක්ෂවයි. රාගය, ද්වේශය තියෙන කෙනාට එයට සාපේක්ෂව ධර්මය තේරෙනවා. හැබැයි එහෙම වුණා කියලා නිර්වාණය පුර්ණ වන්නේ නැහැ.
හැබැයි ඔබලා සිතන්නේ රහත් වුණාට පස්සේ නිවන් පූර්ණය වුණා කියලයි. හැබැයි මම කියනවා රහත් කියන්නේ පරමාර්ථ සත්‍යයක්. එය බිහිවෙන්නේ තමා තුළ ඇති අවිද්‍යාවට සාපේක්ෂවයි. කර්මය ගොඩනැගෙන්නේ තමා තුළ ඇති අවිද්‍යාවට, මෝහයට සාපේක්ෂවයි. රාගයෙන් යුක්ත කෙනාට ඊට සාපේක්ෂව ධර්මය තේරෙනවා. ද්වේශයෙන් යුක්ත කෙනාට ඊට සාපේක්ෂව ධර්මය තේරෙනවා. තමන් ඉන්න තැනට සාපේක්ෂව නානාප්‍රකාරව ධර්මය තේරෙනවා. හැබැයි එහෙම වුණා කියලා නිර්වාණය පූර්ණ වෙන්නේ නෑ.
නිර්වාණය පූර්ණ වෙන්න නම් හිතක් ඔබට තිබෙන්නට බැහැ. රහත් වුණාම හිත නිවන් දකිනවා කියල හිතන්න එපා. තමන්ගේ හිත නැති වෙලාද බලන්න. හිත නැති වෙලා නම් පංච උපාදානස්කන්ධය නැති වෙලා. ඇත්තටම හිත නැති වෙලා ද? හිත නැති වුණාට පස්සේ ඔබට මේ ලෝකේ තිබෙන පරම සැපත, අග්‍ර සැපත, සක්විති රජ සැපතටත් එහා ගිය ඒ සැපත හම්බ වෙනවා. ඒ සැප මේ දැන් භුක්ති විඳින්නට ලැබෙනවා.
මෙහෙම හිතන්න. අපි පිරිමියෙකුට සාපේක්ෂව බලමු. කාන්තාවන් පස් දෙනෙක් මෙතන ඉන්නවා කියලා හිතන්න. එක කාන්තාවක් කලුයි, තව කාන්තාවක් කැතම කැතයි, එක්කෙනෙක් විකෘතියි, තව කෙනෙක් ගොඩාක් වයසයි, අනිත් එක්කෙනා ලස්සනයි, ඔබට මේ අතරින් එක්කෙනෙක් තෝරාගන්න කිව්වොත් කාවද තෝරාගන්නේ. ඔබ ලස්සනම කාන්තාව තමයි තෝරා ගන්නේ. නිවන් සැපත හම්බවුන කෙනෙක් මේ ලෝකෙ තව සැපතක් හොයන්නේ නැහැ. හැබැයි ඒ සැපත ජීවමානව ඔහොම ඉන්න ගමන් භුක්ති විඳින්නට පුළුවන්.
ඔබ නිවනින් බුදු වෙන එකත්, සත්‍ය අවබෝධයෙන් බුදු වෙන එකත් දෙකක්.
සත්‍යය අවබෝධ කරගෙන තමයි නිවන කියන පරම සත්‍යයට සමවැදිලා, ඒ සැපත විඳින්නේ. හැබැයි, සත්‍ය අවබෝධය අරන් යන්න බෑ නිවනට. සත්‍ය හටගන්නෙත් එනම් සම්මුතිය, සම්මුති සත්‍යය, පරමාර්ථය, පරමාර්ථ සත්‍යය හටගන්නෙත් අවිද්‍යාවට සාපේක්ෂව.
අවිද්‍යාවක් නැති වුණාම ධර්මයකුත් නැහැ. සත්‍ය කියල දේකුත් නැහැ. සත්‍යයක් තියෙන්නේ මෝහයට සාපේක්ෂවයි. මම දැන් ඉඳගෙන ඉන්න එක සත්‍යයක් වෙන්නේ හිටගෙන ඉන්න එකට සාපේක්ෂව. නිවන කියලා ඔබ හිතාගෙන ඉන්න එක ගැන නෙවෙයි මා මේ කතා කරගෙන යන්නේ.
එය අටලෝ දහමින් කම්පා නොවීමත් නොවෙයි. කම්පා නොවීම නොවීමත් නොවෙයි. සැප කියන ලෝකය, දුක කියන ලෝකය, ලාභය කියන ලෝකය, අලාභය කියන ලෝකය, යස කියන ලෝකය, අයස කියන ලෝකය, නින්දා කියන ලෝකය, ප්‍රශංසා කියන ලෝකය මේ සියළු ලෝක අභිබවා ගිය තැනක්.
සම්මුති ලෝකයත්, ලෝකෝත්තර යැයි කියන තැනත් අභිබවා ගිය තැනක්. නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයත් අභිබවා ගිය තැනක්. මේ සියල්ලෙන් එහා නිවනක් තිබෙනවා. ඒක මැරුණට පස්සේ හම්බෙන එකක් නෙවෙයි. පූර්ණ වශයෙන්ම අවබෝධ කරගත හැකි එකක්. ඒ නිවන අවබෝධ කරගන්නවා කියන එකත් සත්‍ය අවබෝධ කරගන්නවා කියන එකත් දෙකක්.
ඔබට අවශ්‍ය සත්‍යය අවබෝධ කරගන්න ද? නිවන අවබෝධ කරගන්න ද?
ඔබට ඕනෑම ප්‍රශ්නයක් දැන් අහන්න.
B: එතකොට කුසල මාර්ගය සහ ඔය කිව්ව නිර්වාණ අවබෝධය අතර සම්බන්ධයක් නෑ කියලා ද කියන්නේ?
හාමුදුරුවෝ: ඒ සියලු ඉණිමං අත හරින්න වෙනවා. සත්‍ය ගවේෂි, කුසල ගවේෂි සියලු මාර්ග අත හරින්න වෙනවා. ඒවා සත්වයාගේ චෛතසික වලට සාපේක්ෂව ගොඩ නැගුණු සමාජ ස්ථාවරභාවය ගොඩනැගීම පිණිස හැදුනු ක්‍රමවේද පමණයි.
දැන් ඔබලාට බණක් කියනවා කිව්වම එන්නේ අලුත් දෙයක් එකතු කරගන්න. ගොඩනැගීමක් සිදු කරගන්න. එහෙම තමයි ආගම සහ දර්ශනය හැදෙන්නේ. ඒවා ක්‍රමවේද පමණයි.
B: හැබැයි ඒවාට අදාළ ආධ්‍යාත්මික ඵලයන් තියෙනවා?
හාමුදුරුවෝ: ආධ්‍යාත්මික ඵලයන් තියෙනවා. හැබැයි ඒ සම්මුතිය, සම්මුති සත්‍යය, පරමාර්ථය, පරමාර්ථ සත්‍යය ආකාරයට. ඒක තීරණය වෙන්නේ තමන්ගේ අවිද්‍යාවට සාපේක්ෂව. තමන්ට රාගය යම් ප්‍රමාණයක් තියෙනවද, මොනවහරි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වැනි කාරණයක් අවබෝධ කරගෙන රාගයට සාපේක්ෂව යම් සුවයක් විදින්න පුළුවන්. රාගය තියෙන කෙනා රාගය යටපත් කරගෙන ඊට උඩින් කොන්ක්‍රීට් එකක් දාගන්නවා. උදාහරණයක් විදිහට ඔබට රාගය තියෙනවා කියලා හිතන්න. රාගය නැති කර ගන්න ලේසි විදිහක් තියෙනවා. මම කියනවා ඔබ රහත් කියලා. ඔබ රහත් කියලා ගත්තම රාගය මතුවෙන්නෙ නැහැ. “මම රහත්” කියලා දාගන්න දෘෂ්ටියට සාපේක්ෂව රාගය මතුවෙන්නේ නැහැ. එයා කල්පනා කරනවා රාගය මතු වුණොත් රහත් භාවය බිඳිලා යන බවට. රාගයට සාපේක්ෂව මම රහත් කියලා හදාගත්ත සංකල්පය එයා තුළ ප්‍රභලයි. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ, රහත් කියන පරමාර්ථ සත්‍යයට අදාළ පරමාර්ථ ඵලයක් නෑ කියලා. ධර්මය කියන එක ගොඩනැගෙන්නේ තමන් ගාව තියෙන අවුලට සාපේක්ෂවයි.
මෙතන ඉන්න කෙනෙක්ගේ සමීපතමයෙක් මිය ගිහින් නම්, එයාට මේ කතා කරන දෙයින් ප්‍රභලව තේරෙන්නේ අහිමිවීම පිළිබඳවයි. ඒකයි ඒවාට දුක්ඛ සත්‍ය, සම්මුති සත්‍ය, පරමාර්ථ සත්‍යය ආදී ලෙස කියන්නේ.
B: සාපේක්ෂ නම්, සම්මුතිය හා පරමාර්ථය අතර වෙනස මොකද්ද? පරමාර්ථයත් සාපේක්ෂ නම් වෙනසක් තියෙනවද?
හාමුදුරුවෝ: සම්මුතිය කියන්නේ එදිනෙදා ජීවිතේදි භාවිතයේදී පනවාගත් කාරණා. එහෙම හදාගත් කාරණා වලින් එහාට ගිහිල්ලා, අපි තුළ හැදුන ගැඹුරු කාරණා උදාහරණයක් විදියට රාග, ද්වේශ, මෝහ ආදී යම් හිතේ සැඟවී පවතින සාපේක්ෂ කාරණා තමයි පරමාර්ථ වෙන්නේ. සරලව කිව්වොත් අපේ හිතේ තිබෙන කුණු ටික.
සම්මුතිය කියන්නේ අපි එලියෙන් පිළිගෙන තිබෙන දේ. නමුත් අපේ ඇතුලේ රහස් ජීවිතයක් තියෙනවා. ඒ රහස් ජීවිතයට අනුව සැකසුනු ක්‍රියාකාරීත්වයකට සාපේක්ෂව තමයි ඒ පරමාර්ථ කාරණා ගොඩනැගෙන්නේ. ඒක එයාට පරමාර්ථයි. ඒ පරමාර්ථ ධර්ම ගොඩනැගෙන්නේ එයාට සාපේක්ෂව.
B: තන්හා, රතී, රඟා ස්වභාවයේ තිබෙන බාහිර ධර්මතා ලෙස විස්තර වෙනවා නේ. ඒවා තමන්ගේ කාරණා නොවෙයිනේ.
එහෙම වෙනකොටත් ඒවා සාපේක්ෂ කාරණා වෙනවද?
හාමුදුරුවෝ: ඔව්,
විරාග, අද්වේශ, අමෝහ වලට සාපේක්ෂව තමයි, තණ්හා රතී රගා තියෙන්නේ. ආලෝකය තියෙන්නේ අදුරට සාපේක්ෂව නේ.
B: එතකොට ඒ විශ්වයේ තියෙන ධර්මතා පවතින්නේත් සාපේක්ෂව ද?
හාමුදුරුවෝ: ඔව්.
සාපේක්ෂ ප්‍රතිබද්ධ ක්‍රියාවලිය. ඒ හැමදේම සාපේක්ෂ ධර්මතාවයන්. හැබැයි නිර්වාණය සාපේක්ෂ ධර්මතාවයක් නොවෙයි.
නිර්වාණය සාපේක්ෂ ප්‍රතිබද්ධ ක්‍රියාවලියට අන්තර්ගත වෙන්නේ නැහැ.
B: නිර්වාණය ඕනේ කියලා ගත්තොත්, ඒක සාපේක්ෂ ප්‍රතිබද්ධ ධර්මතාවයක් වෙනවා නේද?
හාමුදුරුවෝ: ඔව්.
K: නිර්වාණය බුදුන්ට සාපේක්ෂව හා ප්‍රතිබද්ධව පවතිනවා කියලා කියන්න පුළුවන් නේද?
හාමුදුරුවෝ: නෑ.
K: පරමාර්ථ සත්‍යය වුණත් සාපේක්ෂයි නේ. විඳපු දුකට සාපේක්ෂවනේ සැප වුණත් ගොඩනැගෙන්නේ. එතකොට ඒක මානසික කාරණාවක් වෙනවා. ඒක මානසික කාරණාවක් බව ක්‍රමයෙන් අවබෝධ වෙන කොට, ඒ දුක අඩු වෙනවා. එතකොට ඔය තියෙන නිවන ඒ විදියට පුහුණු වීම නිසා ඇති වූවක් ද?
හාමුදුරුවෝ: නෑ, ඊට ඔබ්බෙන් පවතින දෙයක්.
K: සාපේක්ෂ නොවන කාරණයක් ගොඩනැඟුණු බව දැනගන්නේ කොහොමද?
භාවනා කරන කොට දැනෙන සිතුවිලි මගින් ද? එහෙම නැත්නම් දර්ශනයක් තුළින් ද? නැත්නම් ප්‍රඥාවන්ත කෙනෙක් දැකලා කියන කොට ද ඒ බව දැනගන්න පුළුවන් වෙන්නේ?
හාමුදුරුවෝ: ඔබ දකින නිවනත්, ඔබ දකින ධර්මයත්, ඔබ දකින සත්‍යයත්, ඔබ දකින මග ඵලත්, ඔබට සාපේක්ෂව ගොඩ නැගෙන කාරණා. ඔබට පුළුවන් නම් ඒ පරමාර්ථ කාරණා, ඒ සාපේක්ෂ ගොඩනැගෙන කාරණා අතහරින්න; ඒ සංස්කාර පද්ධතිය අත හරින්න පුළුවන් වුණොත් එහෙම, එදාට නිර්වාණය අවබෝධ වෙනවා.
K: අතහරින්නේ කුමක් පදනම් කරගෙන ද?
හාමුදුරුවෝ: මොකුත් පදනම් කරගෙන නොවෙයි.
K: අතහරින සිතිවිල්ල පහළ වෙන්නේ කුමක් පදනම් කරගෙන ද?
හාමුදුරුවෝ: එහෙම එකක් නැහැ.
B: අතහරින්න කියලා කවුරුහරි කියන එක මත ද, එයාම දැනගෙනද අතහරින්නේ ?
හාමුදුරුවෝ: ඒ කෙසේ හෝ.
රහතෙක්ට හිතක් නෑ. අද රහත් ස්වභාවයට පත් වූ අය ඉන්නවා. හැබැයි නිවනට පත් වූ අය ඉන්නේ ඉතාම අතළොස්සයි. මග ඵල නොවි රහත් ස්වභාවයට යන්නත් පුළුවන්. අපි පැවිදි වුණාම පැවිදියි කියන දැනීම ගොඩනැගෙනවා. දොස්තර කෙනෙකුට තමන් දොස්තර කියන හැඟීම එනවා. ඒ වගේම සමාධියක් තිබෙන බවට, ධ්‍යාන තිබෙන බවට, රහත් බවට හැඟීම එන්න පුළුවන්. ඒ හැඟීම් ගොඩනගාගන්නත් පුළුවන්. ඒ සංස්කාර පද්ධතීන්ට සාපේක්ෂව රාග, ද්වේශ, මෝහ අතුරුදහන් වෙලා යනවා. උදාහරණයක් ලෙස යම් පියෙකුට දියණියක් ඉඳලා නැති වුණොත්, ඔහුට එම දුක නැති වන තුරු කුසගින්න නොදැනෙන්න පුළුවන්. රාගය නොදැනෙන්න පුළුවන්. හැබැයි එහෙම කාලයකට යටපත් වෙලා තිබිලා නැවත මතුවෙනවා. බොහෝ වෙලාවට මරණාසන්න මොහොතේදී මතුවෙනවා. මොකද එයා හදාගෙන ඉඳපු ලෝකය එතනදී බිඳිලා යනවා. ඊට කලින් ගුරුවරයෙකු විසින් එය බිඳ දැමුවොත් හරි.
දැන් ඔබලා ගුරුවරයකු ගාවට එන්නේ ඇයි? තමන් කැමති විදියේ ධර්ම කාරණා අහගෙන යන්න. තමුන්ගේ රාමු හරි කියලා ලකුණක් දාගෙන යන්න. හරි ගුරුවරයෙකු ගාවට ඔබ ගියොත් ඔබව ඉතුරු කරන්නේ නැහැ. එහෙම වුනොත් විතරයි එලියට බහින කොට අලුත් පියවරක් තියන්නේ.
මම කියන නිර්වාණය ඔබට තවම තේරෙන්නේ නෑ. තව ප්‍රශ්න කරන්න.
K: කෙනෙක් හිත නැති කලත්, තාම ඉන්නේ සම්මුතිය මත ද?
හාමුදුරුවෝ: ඔව්. මනස මත.
K: ඒ කියන්නේ නිර්වාණය කියන්නේ මනසත් නිරෝධ වුණ තැනක් ද?
හාමුදුරුවෝ: ඔව්. මනසත් නිරෝධ වුණ තැනක්.
K: එතකොට මනස නිරෝධ වුණ කෙනෙකුට ආයිත් ජීවත් වෙන්න පුළුවන්ද?
හාමුදුරුවෝ: පුළුවන්.
K: එතකොට මනස ආපසු ඇතිකරගන්න වෙනවා?
හාමුදුරුවෝ: ඔව්
K: මනසට ආවා කියන්නේ නිවන නෙවෙයි?
හාමුදුරුවෝ: පරිනිර්වාණය වූ කෙනාට ඒත් නිවන භුක්ති විඳින්න පුළුවන්; මනසට ආවට සාපේක්ෂ ප්‍රතිබද්ධතාව (Entanglement) කැඩිලා තියෙන්නෙ. අරහත් මග හා අරහත් ඵලයෙදි Entanglement එකක් තියෙනවා. අරහත් බෝධිය, මනසත් එක්ක Entangle වෙලා තියෙන්නේ.
මිනිස්සුන්ට ඕනේ ධර්මය. ධර්මය ද ඕනා නිවනද ඕනා?
නිවන් ඕනා නම් ධර්මය අහන්න එපා.ධර්මය අහලා ඔබගේ ඇතුළේ තියෙන ප්‍රශ්න වලට සාපේක්ෂව අලුත් සංස්කාර පද්ධතියක් හදාගන්න එකයි කරන්නේ.
නිවන් දකින්න එක ලේසියි. සත්‍ය අවබෝධ කරගන්න යන ගමන දුරයි. බුදුන් තමයි සත්‍යය අවබෝධ කරගෙන නිවන් දැක්කේ. රහතන් වහන්සේලා හැමෝම සත්‍ය අවබෝධ කළේ නැහැ. ඒ අය නිවන් දැක්කා. ඔබලා බුදුන් කල දේ තමයි කරන්න යන්නේ.
පටාචාරා කකුල් දෙක හෝදලා වතුර ගලාගෙන යන එක දැකලා රහත් වුණත් පරම සත්‍යය අවබෝධ කළේ නැහැ. සිත නිරුද්ධ කරන ක්‍රමය දැනගත්තා. තමන්ගේ සිත නිරෝධ කරන ක්‍රමය හොයාගන්නේ නැතුව 84,000 නිවන් දකින ක්‍රමය ගැන හොයමින් යනවා. එහෙම කර කර රහත්, මඟ ඵල දැනීම් ආරෝපණය කර ගන්නවා. ඇයි බණ දන්නවනේ. ඒවායින් මග ඵල ලැබුණා කියලා හැඟීම් හදා ගන්නවා.
K: නිවනට සාපේක්ෂව බෝධිය මත පිහිටීම වැරැද්දක් ද?
හාමුදුරුවෝ: වැරදියි.
K: එතකොට බුදු උන එකත් වැරැද්දක් ද?
හාමුදුරුවෝ: බුදු වුණු නිසානේ, වැරදුනු නිසානේ හරි පාරක් දැන් ඔබලාට අහගන්න පුළුවන් වන්නේ. ගෞතම බුදුන් වැරදි වැරදී ගවේශනයක් කරමින් ගියා. බුදුවරු මේ ලෝකයට පහළ වෙන්නේ සත්වයාට නිර්වාණය අවබෝධ කරගන්න මිසක්, සත්වයාට සත්‍ය අවබෝධ කරගන්න නොවෙයි. සත්‍ය නිර්මාණය වෙන්නේ තමන්ගේ රාග, ද්වේශ, මෝහ, අවිද්‍යාව සාපේක්ෂව. හැබැයි නිවන අවබෝධ කරගන්න අසුරු සැනක් ගහන වෙලාවක් පමණයි යන්නේ.
K: ඕක අනිත් පැත්තට බැලුවොත්, අවිද්‍යාවට සාපේක්ෂව නම් බුදු වෙන්නේ, බුදු වෙන්නේ අවිද්‍යාව වැඩිම කෙනා කියලා කියන්නත් පුළුවන් නේද?
හාමුදුරුවෝ: ඔව්.
ඔබ දකින විදියට රහත් වුනාම ආයිත් උපදින්නෙ නෑ කියන හේතුව හෝ පදනම මොකක්ද? කොහොමද ඔබ ඒක තහවුරු කරගන්නේ?
K: එතනට වෙනකම් මාර්ගය දුන් කෙනාගෙන් අහන්න වෙනවා.
හාමුදුරුවෝ: ආපහු මුලට ආවොත්, සත්‍ය අවබෝධ කරනවා කියන එකත්, සක්කාය ගලවා ගන්නවා කියන එකත් (සෝවාන්), ලෝකය නිරුද්ධ වෙනවා කියන එකත් (සකෘදාගාමී), වර්තමාන ක්ෂණය නිරුද්ධ කරගන්නවා කියන එකත් (අනාගාමී), අනුශය නිරුද්ධ කරනවා කියන එකත් (රහත්) මම වැරදියි කියන්නේ නැහැ. ඒවායෙත් යම් සත්‍යතාවයක් තියෙනවා. නමුත් ඒවා සාපේක්ෂ කාරණා. ඇයි ඒවා සාපේක්ෂ කාරණා විදියට කියන්නේ, ඔබට කෙලෙස් විදිහට තියෙන කාරණා නැති කර ගැනීම තුළ ඔබට මානසික සුවයක් ලැබෙනවා. හැබැයි ඒ සියලු සැපයට එහා ගිය සැපයක් තමයි නිර්වාණය කියන සැපය. ගෞතම බුදුන් රම්‍ය, සුරම්‍ය, සුභ ආදී මාලිගාවල තිබුණු සැපයකට වඩා ඉහළ සැපතක් තමයි සොයා ගත්තේ. ලෙඩ වෙනවා, වයසට යනවා, මැරෙනවා නම් මෙතැන නියම සැපත නෑ. බුදුන් හෙව්වේ නියම සැපත කුමක්ද කියලා.
නමුත් අද බොහෝ අය දුක තමයි හොයන්නේ. දුක වෙළඳ ප්‍රචාරණයට හොඳ දෙයක් බවට පත් වෙලා. දහම වෙළඳ ප්‍රචාරණයක් වෙලා. ගැලවීම නෙවෙයි තියෙන්නේ.
K: නිවන අවබෝධ කර ගන්න දෙයක් ද?
හාමුදුරුවෝ: ඔව්.
K: එහෙනම් ඒක ප්‍රඥාවක් ද?
හාමුදුරුවෝ: නෑ.
K: ප්‍රඥාව මත ගොඩනැගෙන එකක් ද?
හාමුදුරුවෝ: ඒත් නෑ. ප්‍රඥාව වගේ ඒවා වුණත් ගොඩනැගෙන්නේ අවිද්‍යාවට සාපේක්ෂව.
B: අවබෝධය අර්ථ දැක්වූයේ ධර්මතාවයක් තමන් තුළින් තේරෙනවා කියන අර්ථයෙන් නේ. මේ කියන අවබෝධය ඊට වඩා වෙනස් දෙයක් ද?
හාමුදුරුවෝ: ඔව්
N: ඒ කියන්නේ ඒකට තමන්ගෙන් පිට කෙනෙක්ගෙන් උදව්වක් ඕන ද?
හාමුදුරුවෝ: එහෙම කියන්නෙත් නෑ. නැත්තෙත් නැහැ. අපිට තැනකට මුලින්ම යන්න පාර අහගන්න වෙනවා නේ.
N: ඒකයි, කුසල මාර්ගයයි වෙනස් වෙන්නේ කොහොමද? නිර්වාණය කුසල පූර්ණය විදියට ගත්තොත්?
හාමුදුරුවෝ: එහෙම ගන්න බෑ. නිර්වාණයට යාමට කුසල පූර්ණයෙනුත් මිදෙන්න ඕනේ.
B: ඒක බෝධියේ දී වෙන්නෙ නැද්ද?
හාමුදුරුවෝ: නෑ. බෝධිය කියන්නේ… රහත් උනාට පස්සේ පැවැත්මක් නෑ. ඒ නිසා බෝධියක් හදා ගන්නවා තමන්ගේ ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න හෝ සත්ත්වයාට සේවය කරන්න.
B: එතකොට එතැනදී බෝධියක් හැදුනේ නැත්නම්?
හාමුදුරුවෝ: එතකොට මනස සමබර නැහැ. පවතින්න බෝධිය ඕනා. බෝධියේ දී නිර්වාණයත් අවබෝධ කරගන්න ඕනා. එතකොට පුර්ණයි.
B: බෝධිය යම් දවසක පූර්ණ වෙනවා කියලා කලින් කියලා තියෙනවා. එදාට නිර්වාණ අවබෝධය වෙන්නෙ නැද්ද?
හාමුදුරුවෝ: එදාට ඒක වෙනවා. අරිහත් ඵලයට පත් වුණාම එයා මැරෙනකොට නිවන හම්බ වෙනවා. ඒක නෑ කියලා නොවෙයි මේ කියන්නේ. හැබැයි දැනුත් ඒක අවබෝධ කරගන්න පුළුවන්. අපි හිතමු ඔබලා රහත් කියලා. හැබැයි මේ රහත් ඵලය, ඇත්තටම රහත්ද කියලා තහවුරු වෙන්නේ නිර්වාණ අවබෝධයේ දී. නැත්නම් එය මානසික ස්වභාවයක් වෙන්න පුලුවන්. ඇතුලේ තියෙන මානසික කාරණා වලට සාපේක්ෂව හටගත් දෙයක් වෙන්න පුළුවන්.
N: එතකොට ඔය නිර්වාණ අවබෝධයත් එහෙම එකක් වෙන්න බැරිද?
හාමුදුරුවෝ: නෑ. එහෙම වෙන්නේ නැහැ. මෙහි කිසිම සාපේක්ෂතාවයක් නැහැ. එතනදි ඔබ පිරිනිවන්පා ඇති බව ඔබට තේරෙනවා. දැනෙනවා. එතන කිසිදු සංස්කාරයක් නැහැ. සිහියක්ද නැහැ.
N: මනසට දැනෙනවා කියනකොට සංස්කාරයක් නෑ කියන්න පුළුවන්ද?
හාමුදුරුවෝ: නැහැ. සංස්කාරයක් නැහැ. මනස නිරුද්ධයි. ආපහු වෙන පැත්තකින් කියන්නම්. ධ්‍යාන වඩන්න පුළුවන්නේ. ලෞකික වශයෙන් ධ්‍යාන වඩලා, ලෞකික වශයෙන් නිරෝධය අල්ලන්න පුළුවන්. ඔබ අහල තියෙනවද ගෞතම බුදුන් සහ රහතන් වහන්සේලා නිරෝධ සමාපත්තියේ සිට නැගිටල යනවා කියලා, කියලා තියෙනවා? නිර්වාණය තුළයි ඒ වැඩවාසය කළේ. හැම තැනම Entangle එකක් තියෙනවා. හැබැයි මෙතන එහෙම එකක් නැහැ. මෙතැන "නහි ජාතු ගබ්බ සෙයියං පුනරේ තීතී" ඒක ඒකාන්තයි. Entangle එකක් නැහැ.
B: එතකොට රහත් ඵලය මනසත් එක්ක Entangle එකක් තියනවද ?
හාමුදුරුවෝ: ඔව්. ඵලය මනසත් එක්ක Entangled. බුද්ධ, බෝධියත් එක්ක Entangled. බුද්ධ, සත්වයා එක්කත් Entangled.
හැබැයි නිර්වාණය Entangle නෑ.
N: එතන බුද්ධත් නෑ?
හාමුදුරුවෝ: නෑ. බුද්ධත් නෑ.
C: අංගුලිමාල සත්‍යය අවබෝධ නොවී නිර්වාණය අවබෝධ කළා කිව්වා. ඒක පැහැදිලි කරන්න.
හාමුදුරුවෝ: ඔබලා අද මොනව හරි සංස්කාරයක් හදා ගන්නයි උත්සාහ කරන්නේ. නිර්වාණය කියන්නේ පටිසෝතගාමී, සංස්කාරයක් හදා නොගැනීම තුළ ඇතිවන ධර්මතාවයක්. එතකොට අංගුලිමාලට නවතින්න කියන එක තුල අපි අද හදාගෙන ඉන්නේ සමාජගත කරන ලද ධර්මයක්. බුද්ධ දර්ශනය සමාජය තුළ පැතිරෙන එකක් නොවෙයි. නිවන් දකින්න පුළුවන් එකක් විතරයි ඒක. ඒක පවතින්න තියෙන දහමක් නොවෙයි. අනිත් ආගම්වලට සාපේක්ෂව බුද්ධාගම කියලා එකක් පවතින්න හැදුවා. ඒ පවතින්න හදපු එකෙන් නිවන් දකින්න බැහැ.
ඔබලා කැමති පහන් පත්තුවෙලා තියෙනවා දකින්න. පහන් නිවුණාම මුකුත් නෑ. ආගම් හැම එකකම මොනව හරි තිබෙනවා.
C: නිවන් දැකීමයි, සත්‍ය අවබෝධ කිරීමයි දෙකක් ද?
හාමුදුරුවෝ: ඔව්.
C: අපි අහලා තියෙන්නේ අවිද්‍යාවෙන් තමයි මෙහෙම දිගටම එන්නේ කියලා. එතකොට අවිද්‍යාව නැති කරනවා කියන එක නිර්වාණය වෙන්නෙ නැද්ද?
හාමුදුරුවෝ: නැහැ.
ඔන්න බල්ලෙක් යනවා, වතුර වලක් ගාවට. ඌ වතුර වලේ බල්ලෙක් දකිනවා. දැකලා ඌ බුරනවා. බුරන සද්දෙත් ආපහු ඇහෙනවා. බල්ලා තව බුරනවා. ටිකක් වෙලා ගිහිල්ලා බල්ලාට හිතෙනවා, මේ පේන බල්ලාට මෛත්‍රී කරන්න. එහෙමත් කරලා පස්සේ තේරුම් ගන්නවා, වතුරෙ බල්ලෙක් නෑ, හෙවනැල්ල දැක්කේ කියලා.
මොකක්ද එකේ වෙනස? බල්ලා දැනගත්තා බල්ලා රැවටිලා හිටියේ කියලා. ඒත් බල්ලා ඉන්නවා.
K: එතකොට ඔය නිර්වාණය කියන්නේ බල්ලා සතුටින් ඉන්න තැනක් ද ? බල්ලා නැති වෙන තැනක් ද ?
හාමුදුරුවෝ: බල්ලා බල්ලා ගෙන් මිදෙන තැනක්. බුද්ධ විෂය තුළ සාසනය පැහැදිලි කළා මිසක් නිර්වාණය පැහැදිලි කළේ නැහැ. නිර්වාණය අද පැහැදිලි කළා Entangle එකෙන් මිදීම කියලා.
B: ඵලයට Entangle එකක් තියෙනවා කිව්වා මනසත් එක්ක. ඒකෙනුත් අයින් වුණා නම් ආයෙත් මනසට එන්නේ කොහොමද? නිර්වාණය බුක්ති විඳලා ආයිත් මනසට එනවනේ. ආයෙත් මනසට entangle වෙන්නෙ කොහොමද?
හාමුදුරුවෝ: කළින් මනස තිබුණනේ, එතකොට මනසත් එක්ක Entangle වෙලා හිටියේ. ඒ Entanglement එක මනසට අතහැරිලා යනවා. ඒ නිර්වාණය කියන දේට මනස ද පත්වෙනවා. නිර්වාණයෙන් මිදෙන කොට, ඒ මිදීමේ අවශ්‍යතාවය ගොඩ නැගෙන්නේ මනස තුළම තමයි. නිර්වාණයට විවෘත වූ මනස නැවත එයින් මිදෙනවා.
B: ඵලයයි මනසයි එක්ක ඉන්නකොට එහෙම වෙන්නෙ නැද්ද?
හාමුදුරුවෝ: නෑ. ඵලය වෙනම එකක්. මනස වෙනම එකක්.
K: කෙනාට කෙනාට සාපේක්ෂව අවිද්‍යාවක් තියෙනවානේ?
හාමුදුරුවෝ: ඔව්. හැබැයි නිවනට සාපේක්ෂතාවයක් නෑ.
K: කෙනාට සාපේක්ෂව අවිද්‍යාව තුළින්, එයා එයාගෙ අවිද්‍යාවට සාපේක්ෂව ධර්මයක් අවබෝධ කරනවානේ. එක්කෝ බුද්ධ ගේ උදව් ඇතිව හෝ නැතිව හරි එයා ධර්මයක් අවබෝධ කරනවා. නැත්නම් ස්වයංභූ ඥානය ඇති අයට ධර්මය දැනෙන්න ගන්නවා. නැත්නම් එයාට ස්වභාවයෙන් මාර්ගය පෙන්නනවා වැනි සදහන් කරපු මාර්ග ඔස්සේ අවබෝධ කරනවා. එතකොට එහෙම අවබෝධ කළ කෙනෙකුට විතරයි ද නිර්වාණ අවබෝධය ලබන්න පුළුවන්? ඊට කලින් අවධියක ඉන්න අයට හිමි නෑ නේද?
හාමුදුරුවෝ: එහෙම නොවීත් පුළුවන්.
K: පාරේ පාන් ගෙන්න යන කෙනාට මේකට යන්න බැහැනේ?
හාමුදුරුවෝ: පුළුවන්
K: මම කියන්නේ අහගෙන නෙවෙයි. නිකන් පාන් ගෙන්න යනවා. හැබැයි ඒකට අදාල මොකක්හරි සැකැස්මක් එයා තුළ තියෙන්න එපැයි.
හාමුදුරුවෝ: ඔව් ඒක හරි.
K: එක්කෝ එයා අවබෝධ කරගෙන තියෙන්න ඕන, නැතිනම් යන පාර කාගෙන් හෝ අහගෙන මාර්ගයේ යන කෙනෙක් වෙන්න ඕනා. එසේත් නැත්නම් එයා නොදැනුවත්ව හේතු පූර්ණය වුණ කෙනෙක් වගේ වෙන්න ඕනා. එහෙම නේද?
හාමුදුරුවෝ: තවත් කරුණක් කියන්නම්, සියලුම සත්වයන් නිවන් දැකලා ඉන්නේ. හැබැයි ඒ සත්වයා තමන් හදාගත්ත පදනමක් මත ජීවත් වෙනවා. ඒක තුළ දෝලනය වෙනවා. හැබැයි ඔහුට හිමි නිවන තමයි. නිවුණු හිතක් තියෙන්නේ. හැබැයි මේ හිත කර්මයෙන් හා තණ්හාවෙන් නිරන්තරයෙන් පත්තු කරනවා. රාග, ද්වේශ, මෝහ සමග ගැටී ගැටී ඉන්නේ නැතිව ලෙහෙසියෙන්ම නිර්වාණය අවබෝධය කර ගත හැකියි. නමුත් එය සත්‍යාවබෝධය නොවේ. සත්‍යාවබෝධය කියන්නේ වෙනම දෙයක්.
K: කෙනෙකු වාහනයේ ඉඳගෙන යනවා. එසේ යද්දී, නිර්වාණය බවට පත් වීමට වාහනයේ යන ගමන් පුලුවන්ද? නැත්තම් ගසක් යට හිඳ ගැනීමට අවශ්‍යද? කුඹුරු කොටන කෙනා කුඹුරු කොටන ගමන්ම පුළුවන් ද?, මං කියන්නේ එයාට සැකැස්මේ අඩුවක් නෑ; ඔහු අවබෝධයට පත් වෙලා මනසත් එක්ක ක්‍රියාකාරකම් වල යෙදෙන ගමන් නිර්වාණයට පත් විය හැකිද? නැතිනම් සියලු ක්‍රියාකාරකම් නවතා අයිනකින් හිඳ ගත යුතුද?
හාමුදුරුවෝ: දෙකෙන් ම පුළුවන්.
K: මූලික කතාව, ඉඳගන්නවා කියන එක සම්මතයේ ගත්තාම පැහැදිලි කාරණයක්නේ. අනිවාර්යයෙන් විය යුත්තක්නේ. එතකොට සැකැස්ම තිබෙන කෙනාට පාන් ගේන්න යන ගමන් නිර්වාණයට පත් වෙලාම පානුත් අරන් ගෙදර එන්න පුළුවන්?
හාමුදුරුවෝ: ඔව්
නිවන් දකින්න යන්නේ ඉතා ක්ෂණික කාලයක්. රවුමේ යන්න තමයි ලොකු කාලයක් ඕන වෙන්නේ. ඒ කියන්නේ තමන් මොහොතකට හරි තම සිත කියන එක දැක්කොත්… සිත කියන්නේ ක්‍රියාවලියක්. හිත දකිනවා කියන්නේ සිතුවිල්ලක් දකින එක නොවෙයි.
උදාහරණයක් නම් " ඔන්න බැන්නා. බැන්න එක මට දැනුනා, සිතුවිල්ලක් හටගත්තා, ඒ සිතුවිල්ල දැක්කා වශයෙන්…" එහෙම නෙවෙයි . හිත කියන්නෙ ක්‍රියාවලියක්. මොහොතකට හරි ඒබව දැක්කොත් එයාගෙ හිත සදහටම අත ඇරෙනවා.
K: එයාට කර්මයෙන් වද දෙන්නත් බෑ, එයාට චිත්තයෙන් වද දෙන්නත් බෑ. එයාට විශ්වයෙන් වද දෙන්නත් බෑ, ඊට පස්සේ එයාට බුද්ධට වද දෙන්නත් බෑ . එහෙමද?
හාමුදුරුවෝ: ඔව්
B: පංච උපාදානස්කන්ධය දුරු කරපු කෙනෙකුට හිත දකින්න බැහැනේ?
හාමුදුරුවෝ: ඔව්, පංච උපාදානස්කන්ධය නිරුද්ධ කෙනාට සිහිය තියෙනවනේ. සිහිය උපකාරයෙන් තමයි පංච උපාදානස්කන්ධය දකින්නේ. පංච උපාදානස්කන්ධය විහිදුවා දකින්නෙත් සිහියෙන්. එසේම යථාභූත ඥාන දර්ශනය හෝ විදර්ශනා ඥානයෙන් වෙන්නත් පුළුවන්. ඒ වගේම බුද්ධගෙනුත් පංච උපාදානස්කන්ධය විහිදුවා දැකිය හැකියි.
හැබැයි එසේ දකින අවස්ථාවේ එය නිරුද්ධ වී ගෙන යන කොට එයට සාපේක්ෂව තව ධර්මතා කිහිපයක් හටගන්නවා. ඒ කියන්නේ දහම, ප්‍රඥාව හටගන්නවා. ඒ පිළිබඳ සංස්කාරත් අත්හැරෙන්න ඕනා. ඒ කියන්නේ සියල්ල සුවිශුද්ධ වන තැනදී ධර්මය තේරෙන්න පටන් අරගෙන ඒක බාධකයක් වෙනවා නිර්වාණ අවබෝධයට. ඒ පිළිබඳවත් අවබෝධ වෙලා ඒ සංස්කාරත් අත්හැරෙන්න ඕනා. එතකොට ඒ කෙනාට නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන්. එසේම ඒ වෙලාවේ නිර්වාණාවබෝධය කරගත්තේ නැති වුණොත්, ඒ කෙනා මරණ මොහොතේ දී නිර්වාණයට පත් වෙනවා. හැබැයි ඒ නිවන අවබෝධ වෙලා නෙවෙයි. ඔවුන් පරම සැපත අත්විඳලා නැහැ. ඒ නිසා ඔවුන් වෙන සැප හොයනවා.
C: නිවන් දකින එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මේ චක්‍රය කැඩෙන එක ද? පරම සැපයක් ගන්න එකද? මොකක්ද?
හාමුදුරුවෝ: නිවැරදි වචනය නිර්වාණයයි. ඔබේ ප්‍රශ්නයට ආවොත්, එය හරියට ඔබ බඩගින්නේ ඉන්නවා. මම ඔයාට කෑම එකක් දෙනවා. ඔබ අහනවා ඇයි ඒ කෑම එක කන්න ඕන කියලා. ඒ වගේ දෙයක්.
C: එතකොට අපි කෑම එක කන්නේ බඩගින්න නැති කරගන්න නේ?
හාමුදුරුවෝ: මම දන්නේ නෑ, ඔබ බඩගින්නේ ඉන්න බව සත්‍යයි.
C: ඔව්. කෑම එක කන්න හේතුව මම බඩගිනේ ඉන්න එකනේ. එතකොට බඩගින්නට සාපේක්ෂවයි බඩගින්න නිවෙන්නෙ, ඒ වගේම නේද පරම සැපයක් හෙව්වොත්, තිබුණු දුක්වලට සාපේක්ෂවයි පරම සැපතක් ලැබෙන්නේ. මේ චක්‍රය කඩනවා කිව්වොත්, සසරක් යනවා කියන එක තමයි සාපේක්ෂව කැඩෙන්නේ, ආපහු එතැන නිවන සාපේක්ෂ දෙයක් ලෙස ගොඩනැගෙන්නේ නැතිද ?
හාමුදුරුවෝ: ඔතන සාපේක්ෂතාව ගොඩනැගෙනවා. සම්මුති සත්‍යය සහ පරමාර්ථ සත්‍යය කියන කාරණා තුළ දී ඕක ඔය ආකාරයට ගොඩ නැගෙනවා. එසේ ගොඩ නැගුනට, පෙන්නලා දෙන්න වෙනවා, ඊටත් එහා ගිය දෙයක් තියෙනවා කියලා. ඒකට ඔය සංස්කාරය අත් හරින්න ඕනේ.
සාපේක්ෂව ගොඩ නැගෙන සංස්කාරයක් ඔබ තුළ හට ගන්නවා නේ. ඔබ මේ මේ දැන් ගොඩනැගෙන සංස්කාරය අතහරින්න. සංස්කාරය මත පදනම් වෙලා නේ දුක හෝ සතුට, ධර්මය සහ විද්‍යාව, අවිද්‍යාව සියල්ල ගොඩනැගෙන්නේ. අවිද්‍යා පච්චායා සංඛාරා නේ. අවිද්‍යාව නිසානෙ සංඛාර හටගන්නේ. ඔබට පුලුවන් වුනොත් එහෙම, සිත කියන මුලාව පිරිසිඳ දකින්න; අපි දැන් හිතමු, අපිට ධර්මය කියලා මොනවහරි තේරුනත්, ඒක සංස්කාරයක් හරහා තමයි තේරෙන්නේ. ඒක තිබුණ සංස්කාර වලට වඩා හොඳයි. ඇත කියන සංස්කාරයට වඩා නැත කියන සංස්කාරය හොඳයි. මේ දෙකම සංස්කාර. නිත්‍යයයි කියන සංස්කාරයට වඩා අනිත්‍යයයි කියන සංස්කාරය හොඳයි. හැබැයි දෙකම සංස්කාර ධර්මයෝ. නැසෙන සුලුයි. නැසෙන්නවු වූ සංස්කාර ධර්මයන් අල්ලාගෙන ජීවත් වෙන්නේ.
N: එසේනම් නිර්වාණය කියන්නේ දැකපු සංස්කාර අත හරින එකද ?
හාමුදුරුවෝ: නෑ , සියලු සංස්කාර ධර්මයන් ගෙන් මිදුණු තැනක් මිස අත හැරපු තැනක් නොවේ. අතහරින කොට, අත්හරින්න තව සංස්කාරයක් ඕනේ.
N: ඔබ වහන්සේ පවසන ආකාරයට බුද්ධ වර්ග දෙකක් තිබෙනවා. සත්‍යාවබෝධ කරන බුද්ධ සහ නිර්වාණාවබෝධ කරන බුද්ධ කියලා. එතැන නිර්වාණය දකින බුද්ධ හැදෙන මාර්ගය මොකක්ද ?
හාමුදුරුවෝ: ඔබ යම් බුදු බුදුකෙනෙක් ඔබගේ ඇතුලෙන් දකිනවා නේද, ඒ බුදුන් තමයි නිර්වාණය අවබෝධ කරගත් බුදුන්.
K: එතකොට තමන්ගෙ ඇතුලේ ඉන්න බුදුන්ට සාපේක්ෂව හම්බවෙන නිසා නිවන සාපේක්ෂයි කියලා තර්ක කරන්න පුළුවන්. හැම කෙනා ළගම ඉන්න බුදුන් නේ නිර්වාණයට පත් වෙන්නේ.
හාමුදුරුවෝ: නෑ. මෙයා ඇහැව්වේ මම ඒ කියන නිර්වාණය දකින බුදුන් කොහෙද ඉන්නේ කියලා. ඒකට තමයි මම උත්තර දුන්නේ.
K: හරි හරි …
B: එයා තමයි නිර්වාණය දකින බුදුන් කියලා ඔබ වහන්සේ කියන්නේ. එතකොට සත්‍යාවබෝධ කරන බුදුන් ඉන්නේ කොහෙද?
හාමුදුරුවෝ: ඒ සත්‍ය කියලා පෙනෙන්නේ අවිද්‍යාවට සාපේක්ෂව. සත්‍ය පෙනෙන කොට එයා එළියෙ බුදුන් දකිනවා.
K: හැම කෙනෙක්ටම නිවන් දකින්න මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය එයාට නොදැනෙන්න දෙන්න ඕන. ඒ මාර්ගය එයා දැනගෙන දුන්නොත් වෙන්නේ ඒ මාර්ගයට එයා අහු වෙනවා.
හාමුදුරුවෝ: ඔව්
K: එයාට නොදැනී මාර්ගය දුන්නාම ඒ මාර්ගයේ අවසානය තමයි, එයාට සාපේක්ෂව එලියේ පහළ වෙන්න පුළුවන් බුද්ධගේ උපරිමය.
හාමුදුරුවෝ: ඔව්
K: එතකොට ඒ තැනට පත්වුණ කෙනෙකුට තමයි මෙතනට යන්න පුළුවන්?
හාමුදුරුවෝ: ඔව්
K: ඒ තැනට පත්වුණ කෙනෙකුට, මැදුම් පිළිවෙත මොහොතක් හරි දැකපු කෙනෙකුට මෙතැනට යන්න පුලුවන්?
හාමුදුරුවෝ: ආපසු මම මුලට යනවා. ධර්මය ගොඩ ගැහුවොත් එහෙම ධර්මයෙන් චරිතයක් වේවි, මිනිස්සු ගොඩක් බණ අහයි, මේ දහමත් එක්ක එකතු වෙයි. මිනිස්සු ඒ දහමට බුදුන් හරි, රහතන් හරි කියලා වැදුම් පිදුම් කරලා ඒ දේවල් කරයි. හැබැයි නිවන දේශනා කරොත් මිනිස්සු නිවන අවබෝධ කරගන්නවා. නිවන් දැක්කොත් ඒ අය උන්හිටි තැනක්වත් හොයා ගන්න බැරි වෙනවා. ධර්මය පවතිනවා නිවන පවතින්නේ නැහැ.
K: අපි දන්නවනේ සමාජයට අඳුරන්න විදියක් නෑනේ රහත් වුණු කෙනෙක්ව. බුද්ධ ඥාන හරි, ආසවක්ඛය ඥානය හරි තියෙන කෙනෙකුට විතරයි රහතෙක්ව අඳුර ගන්න පුළුවන් වෙන්නේ. එතකොට නිර්වාණය ස්පර්ශ කළ කෙනාව ඒ ඥානයකට දැනගන්න පුලුවන්ද?
හාමුදුරුවෝ: බෑ. දකින්න දෙයක් නෑ.
තව කතාවක් ඔබලාට කියන්නම්. ධර්මය කියන කාරණය ගැන කතා කරලා සාසනය ගොඩ නැගුනනේ. සාසනය කියන එක ගොඩනැගිලා, සාසනය තුළ ඔබලාට සකස් වෙන්න කාලය දෙනවා. ඒ තුළ සාසනයේ කාර්යභාරය වන්නේ සත්වයාට නිවන අවබෝධ කරදීම මිසක් ධර්මය දේශනා කර කර යන එක නොවෙයි. ධර්මය දේශනා කර කර යනවා කියන්නේ ප්‍රචාරණයක්. නිවන අවබෝධ කරවනවා කියන්නේ ප්‍රචාරණයක් නොවෙයි. ඒ අය නිවලා දානවා කියන එකයි.
K: ඒ දෙක වෙන් කරන්නේ කොහොමද?
B: එතකොට සත්වයා එතැනට එන්නේ කොහොමද? ධර්මය දේශනා කරන කොට එතන මාර්ගයක් පේනවනේ. මිනිස්සුන්ට එල්ලෙන්න තැනක් එතන හැදෙනවා නේ.
හාමුදුරුවෝ: එය උපක්‍රමයක්.
B: එතකොට ඒක හරහා ආපු කෙනෙකුට විතරයි නේ ඕක කරන්න පුළුවන්.
හාමුදුරුවෝ: ඔව්, තේරුම් ගන්න ධර්මය කියන එක සාපේක්ෂව ගොඩනැගෙනවා මිසක් පරම සත්‍යය නොවෙයි. පරම සත්‍ය වෙනයි. නිර්වාණය වෙනයි.
K: ඔබ වහන්සේ කියන්නේ ධර්ම දේශනා ධර්ම ප්‍රචාරය ධර්ම සාකච්ඡා කියන ඒවා නිර්වාණය නොවෙයි. ඒවා අයිති මාර්ගයට කියලා.
හාමුදුරුවෝ: ඔව්
K: මාර්ග සත්‍යය දේශනා කරන්න පුළුවන් නිර්වාණය දේශනා කරන්න බෑ?
හාමුදුරුවෝ: බෑ. එතනට එයාට පත් වෙන්න පුළුවන්.
K: මාර්ග සත්‍යය ප්‍රචාරය කරන්න පුළුවන්?
හාමුදුරුවෝ: ඔව්, මාර්ග සත්‍ය ප්‍රචාරය කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට බණ මත්තේනේ මිනිස්සු එකතු වෙන්නේ, ඇත්තටම ඔවුන් නිවන වරද්දා ගන්නවා. මිනිස්සු හොයන්නේ හිතට සංස්කාර ධර්මයන්. නිවන් දකින්න නම් මිනිසුන් මනස සංස්කාර ධර්මයන්ගෙන් මුදවන්න ඕනේ. මනස පුරුදු වෙලා ඉන්නේ සංස්කාර ධර්මයන්ට. අද මනස ගොඩක් දියුණුයි නේ. මනස තොරතුරු ගොඩක් මත ගොඩනැගිලා තියනවානේ.
මැවූ බුදු රුව සමග කතාවෙදි, මේ ගංගාවට වඩා තවත් ගංගාවල් දකීද කියලා අහනවනේ, එහෙම ගංගාවක් දැක්කොත් ඒකට මහා ගංගාව කියන්න කියලා කියනවනේ. එතනදි මුහුද දකින මට ගංගාව කවරක්ද කියලා මම හිනා වෙලා යනවනේ. එතනදි අර බුදුරුවත් හිනාවෙන එක තමයි කරන්නේ. හැම මහා ගංගාවක්ම වැටෙන ඒ මුහුද ඔබ අවබෝධ කරගත යුතුයි. එය අවබෝධ කර කරගැනීමෙන් විතරමයි මේ මාර්ගය සත්‍යයක් බවට ප්‍රත්‍යක්ෂ වන්නේ. ඔහොම ඉඳලා ඒ නිර්වාණය අවබෝධය කරගන්න පුළුවන්.
හැමෝම බණ කිය කියා ඉන්නවා. සත්වයා නිවන් දකින්න ඕනේ. සංස්කාර වලින් මුදවන්න ඕනේ. සියලු සත්වයා සංස්කාරයන් මත හිර වෙලා ඉන්නවා. දැන් ඔබලා සංස්කාරයක් මත හිර වෙලා ඉන්නවා. මේ කියන්නේ ඇත්තද බොරුවක්ද ? පට්ටපල් බොරුවක් ද කියලා. ඒක සංස්කාරයක් නේ. මා මේ කීවේ සංස්කාර වලින් එහාට ගියපු තැනක්; සංස්කාර වලින් තොර තැනක්.
අවසානය දැනගෙන යන්න ඕනේ. අවසානය අවබෝධ කරන්න ඕනේ. අවසානය මැරුණට පස්සෙ හම්බවෙන එකක් නොවෙයි. මැරුණට පස්සේ නිවන් දකින කතාවක් නෑ. ඒක වෙන නිවනක්. නිවන අවබෝධ කරගන්නවා කියන එක වෙනම එකක්.
සත්‍යාවබෝධ කරගන්නද ඕනේ? නිවන් අවබෝධ කරගන්නද ඕනේ? සත්‍යාවබෝධ කරගන්න නම් සසරේ පෙරුම් පුරාගෙන යන්න වෙයි. නිවන් අවබෝධ කරගන්න එක එච්චර දෙයක් නොවෙයි. හට ගන්න සංස්කාර වලින් මිදෙන්න තියෙන්නෙ. මැරෙන්න කලින් ඒක ස්පර්ශ කර ගන්න හැකි වුණොත්… මේ ලෝකේ තියෙන පරම සැපත නිර්වාණය අවබෝධ කර ගැනීම. ඊට එහා සැපයක් නෑ, හැබැයි ඒ දහමේ පැවැත්මකුත් නෑ.
K: එතනට යන විදිය තාක්ෂණිකව පැහැදිලි කරන්න පුළුවන් ද?
හාමුදුරුවෝ: එතනට යන විදියක තාක්ෂණය කිව්වට වැඩක් නෑ. ඒක සංස්කාරයක් මතයි ගොඩනැගන්නේ. මුලින්ම ඔබ සංස්කාරයක් මත ජීවත් වෙන බව දකින්න. සංස්කාරයක් ඔබේ භවය හදලා දෙනවා. නිවන හදලා දෙනවා. සංස්කාරයක් දහමක් හදලා දෙනවා. සංස්කාරයක් මග හදලා දෙනවා. සංස්කාරයක් සත්‍යක් හදලා දෙනවා. සංස්කාර ධර්මය හොදින් දකින්න. එතනින් පටන් ගන්න. එතකොට සත්‍ය කියලා දෙයක් මේ ලෝකේ නැතිව යනවා.
K: ඒක අධෛර්යට කාරණයක් වෙන්නේ නැතිද සාසනය විදියට ඉදිරියට යන්න?
හාමුදුරුවෝ: ඒක ආගමික කාරණයක්නේ, සාසනය විදියට ඉදිරියට යනවා කියන එක. නිර්වාණය කියන කාරණය පවතින්නේ නෑ. ඒ නිසා තමයි ධර්මය ස්ථාපිත කරලා තියෙන්නේ සත්වයාගේ පැවැත්ම උදෙසා. හැබැයි ඒක තුළ සත්වයාට නිවන් දකින්න බෑ. ඒකේ එල්ලිලා ඉන්න පුළුවන්. සත්වයා ඒවායේ එල්ලිලා ඉන්නවා. සත්වයාට ඒකේ එල්ලිලා ඉන්න එකත් දුකක් වෙලා තියෙන්නේ. මේ හැම සත්වයාම එල්ලිලා ඉන්න තැනින් ගලවා ගන්න ඕන. ඉන්න තැන ඉඳලම ඔවුන්ට නිවන අවබෝධ කරවන්න ඕන. කොටසක් රුවන්වැලි සෑයේ, කොටසක් ශ්‍රී මහා බෝධියේ, කොටසක් මාලිගාවේ, කොටසක් එක් එක් ස්වාමීන් වහන්සේලාගාව, කොටසක් ත්‍රිපිටකයේ. එක එක දහම්වල ඒ ඒ තැන් වල ඔහොම හිටපු දෙන්. ඔබ කොතැනක එල්ලී සිටියත් එය සංස්කාරයක් ඔස්සේ සංස්කාරයක් මත ගොඩනැගිලා. සංස්කාරයක් කියන්නේ අවිද්‍යාවක්. සරල තැනින් පටන් ගෙන, ගහ පුංචියට හැදෙන්න පටන් ගෙන, පීදෙන ගානට හැදෙන්න කොපමණ කාලයක් ගියත්, ගෙඩිය හැදෙන්න කොපමණ කාලයක් ගියත්, ගෙඩිය තියෙන්නේ පුංචි නැට්ටකින් එල්ලිලා. එතැනින් තමයි කඩන්න තියෙන්නේ
K: මනසයි හිතයි සංස්කාරයි ඒ තුන වෙන් කරන්නේ කොහොමද ?
හාමුදුරුවෝ: මනස කියන එක ආයතනයක්. සංස්කරණය කරන එකනේ කරන්නෙ. සිත කියන එක උපාදාන ස්කන්ධයක්, නැත්නම් පටිච්ච සමුප්පාදය. එතකොට අනිත් පැත්තෙන් චිත්ත නියාමය තිබෙනවා; චිත්ත නියාමය කියන්නේ සිතුවිල්ලක් ඇති වෙනවා නැති වෙනවා. එතකොට පංච උපාදානස්කන්ධයත් චිත්ත නියාමය නිසා ඇති වෙනවා නැති වෙනවා. හැබැයි ඇතිවෙලා නැති වුණාට මොකද වෙන්නේ, මේ පංච උපාදානස්කන්දය ස්කන්ධය නිසා ඒක වෙනස් වෙමින් පවතිනවා; කැරකෙනවා වගේ; වෙනස් වෙමින් පවතිනවා. ඒ නිසා තමයි අපිට දුක කියලා එකක් පවතින්නේ; සැප කියලා එකක් පවතින්නේ; ඊළඟ මොහොතක් හෙටක්, ජීවිතයක්, භවයක් කියලා එකක් පවතින්නේ. මේ පංච උපාදානස්කන්ධය වෙනස් වෙමින් පවතින නිසා. ඊළගට මේ පංච උපාදානස්කන්ධයේ ස්වභාවය තමයි, හිත කියන එකේ ස්වභාවය තමයි මේ සියලු කාරණා මවලා දෙන එක. ඒ බව දැක්කොත් පංචඋපාදානස්කන්ධය නැති කරන්න දඟල දඟල ඉන්න ඕන නෑ.
මම පුංචි උදාහරණයක් වෙන කතාවකින් කියන්නං. ඔබගේ බිරිඳව අවුරුදු විස්සක් තිහක් විතර විවාහ වෙලා විශ්වාස කරගෙන ඉන්නවා. ඔබ අහම්බෙන් දකිනවා බිරිඳ වෙන පුද්ගලයෙක් එක්ක යනවා. අත් දෙක අල්ලගෙන යනවා දකිනවා. දැක්කට පස්සෙ මෙච්චර අවුරුදු තිහක් පැවති සම්බන්ධය විශ්වාසය තවදුරටත් පවතීද? කැඩෙනවා නේ. ආයෙ කවදාවත් ඔබ හිතේ වහලෙක් වෙන්නේ නැහැ, හිත කැඩුනොත් කැඩුනම තමයි, ඒක නැවත හදන්න බෑ. ඒ හිත කැඩීම තුළ ඔබට ඒ සියල්ල, හිතේ යථාර්ථය හරියටම තේරුනොත් ඔය හිත, ලෝකය කියන සමස්ථය නිරුද්ධ වෙලා යනවා. එසේ සිත නිරෝධ වෙලා යනකොට, ඔබේ හිත සියලු සංස්කාර වලින් මිදෙන දිශාව පෙන්වන්න ඕන. කාට ද එහෙම පෙන්වන්න ඕන? මනසට. ඒ ඇයි? මනස තමයි නියමුවා. මනස ප්‍රමුඛව ගමන් කරනවා, කුමකටද ප්‍රමුඛව ගමන් කරන්නනේ?
ඉස්සෙල්ලා පංච උපාදානස්ඛන්ධයට ප්‍රමුඛව ගමන් කරනවා. පංචඋපාදානස්කන්ධය නිරුද්ධ වුණාට පස්සේ, රවට්ටන බව අවබෝධ වුණාට පස්සේ, ඒ මනස ප්‍රමුඛ කරන්න ඕනා නිර්වාණයට, නිර්වාණයට ඒක ප්‍රමුඛ කරාට පසුව මනස ප්‍රමුඛ වෙලා තියෙන්නේ නිර්වාණයට. එවිට සියලු Entanglement වලින් ගැලවෙනවා.
අපි මෙච්චර කල් Entangle වීම පිළිබද ධර්මයනේ කතා කළේ. Entangle වීමෙන් මිදෙනවා කියන එක ඊට වඩා ලෙහෙසියි. අන්න ඒ පණිවිඩය දෙන්නයි ඕනේ.
K: ඒ කියන්නේ නිර්වාණාවබෝධය කරනවා කියන එක, ඒක පහසු දෙයක් බව සහ එය කළ හැකි බව පිළිබඳ අනාවරණය.
එතකොට මනසට පවතින්න තැනක් නැතිව යනවා නේද?
හාමුදුරුවෝ: ඔව්, පවතින්න තැනක් නෑ. මනස මනස මතම පවතිනවා. මේතාක් කතා කර සියල්ල ක්‍රමවේද පමණයි. බුදු හාමුදුරුවෝ කතා කරන දර්ශනය හේතුඵල ධර්මයක් ද? කර්මය ගැන ද කතා කරේ? හිත ගැන ද කතා කරේ? නැති නම් හේතුඵල දහම ගැන ද කතා කළේ? මනස ගැන ද කතා කළේ? ලෝකය ගැනද කතා කළේ? මොනාව ගැන ද කතා කළේ? බුදුහාමුදුරුවෝ කතා කලේ එය ඇති කල්හි එය ඇත. ඔබට කර්මය කියලා එකක් තියෙනවා නම් එය ඇති කල්හි එය ඇත. හැබැයි මෙයාට තියෙනවා හිත කියලා එකක්. එය ඇති කල්හි එය ඇත. සියල්ල සංස්කාර ධර්මයෝ මත පදනම් වී ඇත. හැබැයි සිත කියන මුලාව දැක්කොත් Entanglement එක කැඩෙනවාම තමයි. එතනදී මතක තියාගන්න, හිත කියන දෙය කැඩුනට පස්සේ යම් ස්වභාවයකට පත්වෙනවා. අපි ඒ ස්වභාවයට අහු වෙනවා. ස්වභාවයෙන් නිර්වාණය බවට පත්වෙනවා. ඒ කියන්නේ නිර්වාණයේ duplicate එක හමු වෙනවා. ඒ තමයි අරහත් ස්වභාවය. අරහත් ස්වභාවය duplicate. ඒ කෙනා මැරෙන කොට තමයි නිර්වාණය හමුවෙන්නේ. නිර්වාණයට පත් වෙනවා එයා දන්නේ නෑ. හැබැයි ජීවත්ව ඉන්න ගමන් නිර්වාණය අවබෝධ කරගත්ත කෙනාට සෘජුවම දකින්න පුළුවන් නිවන් දකින එක ලෙහෙසි කියන එක. නමුත් අද හැමෝම යන්න හදන්නේ සත්‍ය අවබෝධ කරගන්න.
K: ඒ කියන්නේ මාර්ගයේ ගිහින් අවබෝධ කර ගන්නත් පුළුවන්, සෘජුවම නිවනට යන්නත් පුළුවන්?
හාමුදුරුවෝ: ඔව්
C: හාමුදුරුවනේ, ඔබ වහන්සේ එක තැනකදී කියනවා සත්‍යය කියලා දෙයක් පවතින්නේ නෑ කියලා
හාමුදුරුවෝ: ඔව්
C: එතකොට දැන් ඔය කර්මය වගේ දේවල් ඒ ගත්ත න්‍යායන් වගේ දේවල් පරම සත්‍යයක් නොවේ ද?
හාමුදුරුවෝ: නෑ.
C: එතකොට ඇයි අපට ඒවා ඕන වෙන්නේ?
හාමුදුරුවෝ: අපට ඒවා ඕන වෙන්නේ, අපි ඉන්න මේ ලෝකේ විද්‍යාව, science එක තේරුම් ගන්න. මෙහෙම බලන්න. දැන් විදුලිය නිෂ්පාදනය වන විදිහ ගත්තොත් එහෙම, ඒක සත්‍යයක්ද අසත්‍යයක්ද කියලා ඇහුවොත් එහෙම, ඒක සම්මුති සත්‍යයක් නේ. හැබැයි ඒක පරම සත්‍යයක්ද කියලා ඇහුවොත් එහෙම, මම දන්නේ නැහැ. මොකද science වලට යද්දි පරම සත්‍යය කියලා ඇහුවොත් එහෙම, මං ඇත්තටම දන්නේ නෑ ඒ ගැන .
K : ඒක න්‍යායන් ගොඩක් මත පදනම් වෙන්නේ.
H: ස්වාමීන් වහන්ස ඕක හරියට, අපි වයර් එකක් ගත්තොත්, විදුලිය යන්නේ වයර් එක දිගේ නෙවෙයි.
B: ඔව් වයර් එක මාධ්‍ය විතරයි. අපට Energy කියන එක දකින්න බෑ. අපට ගෝචර වෙන්නේ Energy වල යම් යම් ගති ලක්ෂණ හා ස්වභාවයන් ටිකක් විතරයි.
හාමුදුරුවෝ: එතකොට ඒක අන්න ඒ වගේ දෙයක්. ඒ කියන්නේ හිත කියන එක පවතින ධර්මතාවය. ඒ කියන්නේ නිර්වාණය කියන්නේ මුහුද නම්, ඒ මුහුදට ජලය ගලාගෙන එන එක එක ගංගාවල් තමයි. හැබැයි ගංගාවල් මුහුදටම යවන්න ඕනා; වෙන තැන් වලට ගියොත් එහෙම හරියන්නේ නෑ. අපේ අවිද්‍යාවට සාපේක්ෂව ඒ න්‍යාය සාපේක්ෂ න්‍යායක්. ඒක ධර්මයක්. ඒ න්‍යාය හරි. කර්මය කියන එක, ඒක න්‍යායක්.
C: එතකොට දැන් අපි බෞද්ධයෝ විදියට කර්මය කියන එක දන්න හින්දද අපිට කර්මය තියෙන්නේ? වෙන ආගමක කෙනෙක්ට කොහොමද කර්මය එනනේ නැතිද?
හාමුදුරුවෝ: කර්මය කියන එක අද ඉන්න බෞද්ධයෝ හිතාගෙන ඉන්න විදිය සම්පූර්ණ වැරදියි. කර්මය කියන්නේ Entangle වෙන එක. එහෙම නැත්නම් සාපේක්ෂ ප්‍රතිබද්ධ පරිණාමය.
C: දැන් මෙහෙම අපි ගත්තොත් නම් ඒක කර්මයක් වෙන්නේ, අන්‍ය ආගමික කෙනෙක්, එයා කර්මය විශ්වාස කරන්නේ නැති කෙනෙක් කියලා ගමුකො. එතකොට එයාට කර්මයේ න්‍යාය වැඩ කරන්නෙ නැද්ද?
හාමුදුරුවෝ: වැඩ කරනවා. කර්මය කියලා ඔබ හිතන් ඉන්න අදහස වැරදියි. දැන් මම කතා කරපු දෙයින් ඔබ මට entangle වුනානේ. මම කතා කරද්දී ඔබ entangle වෙලා හිටපු නිසයි ඔය ප්‍රශ්නය අහන්න හිතුනේ. මගේ ක්‍රියාකලාපයට ඔබ මට entangle වී සිටීමත් බලපාල තියෙනවා ප්‍රශ්නය මතු වෙන්න. ඒක තමයි කර්මය කියන ධර්මතාවය.
C: එතකොට ඒක පරම සත්‍ය වෙනවා නේද? නැද්ද?
හාමුදුරුවෝ: ඒක පරම සත්‍යය වෙන්නේ ඔබයි මමයි සිටීම තුළ. ඔබයි මමයි හිටියේ නැත්තං ඒක පරම සත්‍යක් වෙන්නෙ නෑනේ, හැබැයි ඒ න්‍යාය ඔබයි මමයි සිටියේ නැතත් පරම සත්‍යයක්.
K: තමන්ට සාපේක්ෂව අවබෝධ වෙන්නේ කියලා තේරෙන්න ඕනා නේ.
H: ස්වාමීන් වහන්ස සෝපාදිසේස නිර්වාණය හා අනුපාදිසේස නිර්වාණය කියල නිර්වාණයන් දෙකක් ගැන කියනවනේ. එතනදි ඔය කියපු සංසිද්ධිය කයත් එක්ක තියෙන නිසාද, අරහත්වයට පත් වෙච්ච කෙනා මරණින් මත්තේ මේක දකින්නේ? ඒකට මොකක් හරි සම්බන්ධයක් තියෙනවද?
හාමුදුරුවෝ: ඒකට හේතුවෙලා තියෙන්නේ එයා අරහත් ස්වභාවයට පත් වෙනවා. අරහත් ස්වභාවය එක්ක මනස Entangle වෙනවා. ඒකෙන් ගැලවෙන්න බැරිව යනවා. නමුත් මැරෙන කොට ස්වභාවය අතහැරෙනවා. ස්වභාවය අත හැරෙන කොට ඒ ස්වභාවයට අල්ලා ගන්න දෙයක් නැති නිසා, මනස අතහැරෙන නිසා ඒ ස්වභාවය නිර්වාණයට පත් වෙනවා. හැබැයි ඒක මනසේ තියෙන පද්ධතියට ගෝචර වෙන්නෙ නෑ.
හැබැයි එයාට නිර්වාණය පිළිබඳ යාන්ත්‍රණය, ධර්මතාවය අවබෝධ කර ගන්න බැරිව යනවා. ඒකට අහු වෙලා ඉන්න හින්දා. ඕකම බුද්ධ ස්වභාවයෙත් තියෙනවා. බුද්ධ ස්වභාවය, සත්වයා සසරින් ගොඩ දාන්න ඕන කියන මහා කරුණාවත් එක්ක Entangle වෙලා තියෙන නිසා, එයට අසාමාන්‍ය ලෙස බුද්ධියක් සහ අසාමාන්‍ය ලෙස ධර්ම ස්කන්ධයක් ගොඩනැගෙනවා. ඇයි ඒ සත්වයාට Entangle වෙලා ඉන්න නිසා. එතකොට බුද්ධ කියන එක පිරිනිවුනොත් එහෙම, ඒ කියන්නෙ බුද්ධ කියන ස්වභාවය සත්ත්වයාට සාපේක්ෂව ක්‍රමයෙන් වැඩිලා, සත්ත්වයාට ක්‍රමයෙන් මාර්ගය දෙනවිට බුදුන් ගේ තියෙන යුතුකම් ටික ඉෂ්ට වෙනවා සමාජයට. එහෙම ඉෂ්ට වෙන කොට මොකද වෙන්නේ, පිරමීඩයේ උඩටම එනවා. සත්වයාට දැන් ඕනම දේ මොකක්ද කියන කාරණයට එනවා.
බුදුන්ගේ මූලික අරමුණ තමයි සත්වයාට නිවන පෙන්නලා දීම. සත්වයාට බණ කිය කියා ඉන්න බුදුවරු පහළ වෙන්නේ නැහැ. ඒක ඕනම දාර්ශනවාදියෙකුට කරන්න පුළුවන්. දාර්ශනිකවාදීන්ට ධර්මය කතා කරලා සමාජයේ පොරක් වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් සත්වයාට නිවීම ලැබෙන්නේ නෑ.
K: බුදු කෙනෙක් නිර්වාණයට පත්වෙලාද ඉන්නේ? බුදු කෙනෙක් නිර්වාණයට පත් වෙන්නේ කොයි වෙලාවටද? සාසනය පිහිටවපු වෙලාවෙද? බුදු වෙච්ච වෙලාවෙ ද?
හාමුදුරුවෝ: ඔව්. සාසනය පිහිටෙව්වට පස්සේ.
K: එතකොට සතර ඍද්ධිපාද වඩන කෙනෙකුට නිර්වාණයට පත් වෙන්න පුළුවන්ද?
හාමුදුරුවෝ: පුළුවන් , ඕන කෙනෙකුට පුළුවන්.
K: ඍද්ධිපාද වැඩීම බාධාවක් වෙන්න බැරිද නිර්වාණය අවබෝධ කිරීමට?
හාමුදුරුවෝ: ඍද්ධිපාද බෝධිය පැත්තට සමපාත වෙනවා. හැබැයි ඒ යන ගමන් වුනත් නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි එතන පරස්පරයක් ඇති වෙනවා. මොකද එයාගේ පැවැත්ම නැතිව යනවා නේ.
සාසනය හැදුණම සාසනයේ කාර්යභාරය මොකක්ද? නිර්වාණය අවබෝධ කරවන එක. ඒකට අවශ්‍ය මාර්ගය කියා දෙන්න ඕන සත්වයා ඉන්න අවිද්‍යාවට සාපේක්ෂව මිසක් තමන්ගේ මාර්ගය කියලා දීල වැඩක් නෑ. කටපාඩම් කරගත් බණ කිව්වා කියලා වැඩක් නෑ.
K: එහෙම කියන්නෙ නිර්වාණයට පත් වීම ලෙහෙසි හින්දා නේද?
හාමුදුරුවෝ: ඔව් ලෙහෙසියි, ඒකට සත්වයාව තේරුම් ගන්න එපැයි. දැන් මේ වෙලාවේ, ඔයාව තේරුම් ගන්න එපැයි, ඔයාට අවශ්‍ය දේ කියලා දෙනවා මිසක් මම තේරුම් ගත්ත මගේ පම්පෝරිය ඔයාට කියලා දීලා හරියන්නේ නෑ . ඔයාට ඕන දේ කියලා දෙන්න ඕනේ. එතකොටනේ මේක කෙටි වෙන්නේ. නැතිනම් මම අවබෝධ කරගත් දේවල් වැඩක් නෑ. එයාට ඕන දේ කියලා දෙන්න ඕනේ.
B: එයාට ඕනේ දේ කියන්න නම් ආසවක්ඛය ඤාණය ඕනේ නැද්ද?
හාමුදුරුවෝ: ඕන නෑ. තේරුම් ගත්තාම හරි. මේකයි, එකම මැටි ගොඩක් නේ තියෙන්නේ, ධර්මය කියන්නේ, එකම මැටි ගොඩකින් මෙයාට අවශ්‍ය අලියෙක් නම් මැටියෙන් අලියෙක් හදලා දෙනවා. අරයා කැමති මල් පෝච්චියකට නම් මල් පෝච්චියක් හදල දෙන්නවා.
B: දැන් අර කියනවනේ පිරිනිවන් පාන්න කලින් නිර්වාණය විඳින්න පුළුවන් කියලා, එතකොට මනස එක්ක Entangle නොවී කොහොමද විදින්නේ?
හාමුදුරුවෝ: නෑ. නිර්වාණයෙදි කිසිම Entanglement එකක් නෑ. නමුත් මනස නිර්වාණයට විවෘත වුණාම, මනස නිවනට Entangle වෙනවා.
B: ඉස්සෙල්ලා Entangle වෙන්නේ ඵලයයි මනසයි?
හාමුදුරුවෝ: ඔව්
K: ඵලය රහත් ස්වභාවය නේද?
හාමුදුරුවෝ: ඔව්
එතනදී තමයි ඇත්තටම මේක සැබෑ නිර්වාණයද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. මනස නිර්වාණයත් එක්ක Entangle වුණොත් තමයි.
C: හාමුදුරුවනේ එතකොට මනසත් එක්ක Entangle වුණ ගමන් මනසට සාපේක්ෂව නේද ඒක පෙනෙන්නේ?
හාමුදුරුවෝ: නෑ නෑ, පෙනෙන එකක් නොවෙයි. මනස නිර්වාණයට Entangle වුණාම විවෘත වෙන එක විතරයි වෙන්නේ. ඔබගේ කන මගේ ශබ්දයට විවෘත වෙලා තියනවනේ. ඒ වගේ ඔබගේ කන මගේ ශබ්දයට විවෘත කරපුවාම මම කතා කරන එක ඇහෙනවා මිසක් ඔබට වෙන මොකුත් ඇහෙන්නේ නෑනේ, බව් බව් කියනවා ඇහෙන් නෑ නේ, තේරුණාද?
ඒ වගේ මනස නිර්වාණයට Entangle වුණාම නිර්වාණය කියන ධර්මතාවය අවබෝධ වෙනවා මිසක් මනසට ඕන කාරණය හටගන්නේ නෑ.
K: එතකොට නිර්වාණයයි මනසයි Entangle වුණාම නිර්වාණය ප්‍රමුඛ වෙනවා; මනස ප්‍රමුඛ වෙන්නේ නෑ?
හාමුදුරුවෝ: ඔව්
K: අර කලින් කිව්වා වගේ බිරිඳ වෙන කෙනෙක් ගේ අතින් අල්ලන් යනවා දැක්කම අමුතුවෙන් හිතන්න දෙයක් නෑනේ, අවුරුදු තිහක් හතළිහක් තිබුණු බැඳීම කැඩෙනවානේ. ආයිත් ඒක මොන විදිහකින්වත් ගොඩනැඟෙන්නේ නෑනේ. අන්න ඒ විදියට අපිට වෙන්නේ ස්වභාවයත් එක්ක අල්ලපුවම හිටපු ගමන් ස්වභාවය ප්‍රමුඛ වෙනවා, හිටපු ගමන් මනස ප්‍රමුඛ වෙනවා, එතකොට මේ මනස ද ස්වභාවය ද කියන එක මත පීඩනයක් එල්ල වෙනවා නේ, එකේ හොඳම එක තමයි බෝධිය මත පිහිටනවා කියන එක. බෝධිය මත පිහිටනවා කියන එකෙන් අදහස් කරන්නේ මනසයි ස්වභාවයයි කියන එක සමතුලිතතාවයට පත්කරගන්න පුළුවන් එතනදී. සමතුලිතතාවයට පත්කරගැනීම කියන එක අභිබවා ගිහිල්ලා නිර්වාණයට විවෘත වුණාට පස්සේ ඒක ප්‍රමුඛ වෙනවා. එතකොට අනිවාර්යෙන් සමතුලිත කරන්න දරන ආයාසය හරි මේක තේරුම් ගන්න, විද්‍යාව දකින්න තියෙන ආයාසය හරි , ඒ සංකාරයන් ගොඩනැගෙන්නේ නැතිව යනවා. විද්‍යාව දකින එකත් සංස්කාරයක් නේ. සංස්කාරයක් ගොඩනගන්න තියෙන අවශ්‍යතාවය නැති වෙනවා.. පටිච්චසමුප්පාදයක් කිසිසේත්ම හටගන්නේ නැහැ. එහෙම හැකියාවක් නැහැ.
N: නිර්වාණය අරමුණු කරන්න මනසට ස්පර්ශය නැත්නම් මොකක්ද අරමුණු වෙන්නේ?
හාමුදුරුවෝ: සියල්ල අහිමි වීම තුළ ඉතිරි වන එකම දේ තමයි නිර්වාණය.
N: ඒකත් මුලාවක් නොවේද?
හාමුදුරුවෝ: සංස්කාර වලින් තොරයි කියලා තේරෙනවද? එය මුලාවක් වුණත්, ඒ තුළ ආයේ උපතක් නෑ. මොකද ඒ තුළ සංස්කාරයක් නෑ.
N: එතැන උපතක් නැති බව තේරුම් ගන්නේ කොහොමද?
හාමුදුරුවෝ: තේරුම් ගන්න බැහැ. තේරුම් ගන්න කාරණයක් නැහැ නිර්වාණය ගැන.
N: එතකොට අසංඥ තලයක ගියොත් එහෙම, ඒත් ඔහොම එකක්නේ තියෙන්නේ?
හාමුදුරුවෝ: නෑ. අසංඥ තලයක් කියන්නේ මනස තුළ කාරණයක් තදින් ගොඩනැගීම. එහෙම දෙයක් නෑ නෑ කියලා මනස තුළ දැඩිව දෘෂ්ටියක් ගොඩනැගීමක්.
N: ඒක දකින්නේ කරන කෙනා නෙවෙයිනේ. බාහිරෙන් ඉන්න කෙනානේ. දැන් අපි අසංඥ තලයක ඉන්න කෙනෙක් ගත්තොත් එයාට තේරෙන්නේ එයා හරි කියලානේ, එතකොට ඒකේ සහ නිවනේ වෙනසක් නෑ වාගේ දැනෙනවානේ?
හාමුදුරුවෝ: ඒක මැන ගන්න තියෙන එකම විදිය තමයි… සංස්කාරයක් එක්ක හිටිය ඔබට සංස්කාර වලින් තොර බව තේරෙන්න ඕනා. ගින්දරත් එක්ක හිටපු මනුස්සයෙකුට සීතල කියන දේ උගන්වන්න ඕනේ නෑනේ. ඒ වගේ සංස්කාර නොමැති බව තමන්ට වෙනම ලොකු වෙනසක් ඇතිව තේරෙනවා. අසංඥ තල හැම එකකම සංස්කාරයක් තියෙනවා. ඒ සංස්කාරයට එයා එයාට රුචි අර්ථකතනයක් දීලා තියෙන්න පුළුවන්. සංස්කාරයක් කියන්නේ බොරුවක් මුලාවක්. එහෙම එකක් නෑ කියලා එයා අලුත් සංස්කාරයක් හදාගෙන ඉන්නේ. කර්මය කියලා එකකුත් නෑ, හිත කියලා එකකුත් නෑ, භවය කියලා එකකුත් නැහැ, ලෝකය කියලා එකකුත් නෑ, කය කියලා එකකුත් නැහැ කියන ඒවා තමයි එයා හදාගෙන ඉන්න සංස්කාරයන්. ඉතින් එයාට කියන්න ඕනේ ඔබ ඔය හදාගෙන ඉන්නේ සංස්කාරයක්ම තමයි කියලා.
K: සාසනයේ කාර්යභාරය නිර්වාණ අවබෝධය ලබා දෙන එක මිසක් බණ කිය කියා යන එක හරි මිනිසුන්ට බුදුහාමුදුරුවෝ ගැන ප්‍රචාරණයන් කර කර යන එක නෙවෙයි නේද?
හාමුදුරුවෝ: ඔව්. ඒවා සියල්ලම හුදෙක් marketing විතරයි. Entangle එක ගැන කතා කරා; ඊට පස්සේ entangle එකෙන් මිදෙන එක ගැන නේ දැන් කතා කළේ. එතකොට ඒ සමස්ත න්‍යාය දැනගෙන ඉන්න එපැයි. සාසනය හැදෙන්නේ කොහොමද, ලෝකය හට ගන්නේ කොහොමද, ථේරවාදය හට ගන්නේ කොහොමද, මහායානය හට ගන්නේ කොහොමද, බුද්ධ හට ගන්නේ කොහොමද, රහත් හට ගන්නේ කොහොමද, සම්මා සම්බුද්ධ හට ගන්නේ කොහොමද, බුද්ධ සාසනය හට ගන්නේ කොහොමද සම්පූර්ණ පින්තූරය දැකලා තියෙන්න එපැයි.
K: දැන් මේ කාලේ ගත්තම හාමුදුරුවෝ ඉන්නවා නේ, මනස මත ඉඳන් සියල්ල සිතුවිලි කියලා ඔක්කොම බැහැර කරලා දාන අය ඉන්නවා. එතකොට මනස යම්කිසි තත්වයකට පත් වෙනවා. එහෙම නැත්නම් මම බුදු වෙලා ඉන්නේ කියලා කියන අය දැන් බොහෝ පිරිසක් බිහිවෙලා ඉන්නවානේ. ඇත්ත කතාව එයාලත් එයාලගේ ඇතුළත ගොඩනැගෙන කතාවට සාපේක්ෂව අවිද්‍යාවට සාපේක්ෂව එළියේ යම් පින්තූර ටිකක් ගොඩ නගලා තියෙනවනේ. එතකොට සත්වයා හරි දේ මොකක්ද කියලා දැන් ගන්නේ කොහොමද?
හාමුදුරුවෝ: "එව බලව". ඇවිල්ලා බලන්න වෙනවා.
K: එතකොට සත්වයාට මේ හැම තැනටම යන්න වෙනවා?
හාමුදුරුවෝ: නැහැ, නැහැ. ඒක අපි දෙයක් කියලා දෙනවා. ඒකේ වෙනස සත්වයා තේරුම් ගනීවි කාලයත් සමග.
K: දැන් අපි කියනවා නම් එව බලව කියලා, මේක නිවැරදියි කියලා, දැන් ඔබ වහන්සේ කියන්නේ අනිත් අය වැරදියි නොකියා මේක නිවැරදි කියන එක විතරයි නේ. මේක නිවැරදි කියන්න මොකද්ද තියෙන පදනම?
හාමුදුරුවෝ: ඕනම තැනකින් පටන් ගන්නාවූ ගංඟාවක් මුහුදට ගලා බැස යන පාර කියන්න පුළුවන් වන්නේ යම් සේද, ඕනම තැනකින් පටන්ගෙන නිර්වාණයට යා හැකි මාර්ගය මා කියනවා, ඒකට අදාල න්‍යාය මා කියනවා.
අද දක්වා පොතක් අරන් කියවලා නෑ. ඒක තමයි ඒකට දෙන්න තියෙන තැන. ඔබ ඉන්න තැන කොතනද එතැන ඉඳන් මාර්ගය කියන්න පුළුවන්. මේ තියෙන සියලු කාරණා තුළ මා කතා කරලා තියෙන්නේ න්‍යායක්. ධර්මය කතා කරලා නෑ. Mechanism එකනේ කතා කරලා තියෙන්නේ. එතකොට ඒ Mechanism එක තමයි එකම සාක්ෂිය.
හාමුදුරුවෝ: ඔබට ඒක කියන්න හේතුව තමයි, ඒක සාපේක්ෂව ගොඩ නැගිලා තියෙන්නේ. ආපහු ගත්තොත් එහෙම සත්වයා වෙත මහා කරුණාවෙන් සත්වයාට මාර්ගය දේශනා කිරීමේ Entanglement එක සත්වයාගෙන් ගැලවිලා නිර්වාණයට යනවනේ, නිර්වාණයට ගියාට පස්සේ නිර්වාණය අවබෝධ කරගෙන, මනස මත පිහිටලා සත්වයාට මේක අවබෝධ කරන්න ඕනා කිව්වනේ. එතකොට මොකක්ද වෙලා තියෙන්නේ? ඒ නිර්වාණය සත්වයාට Entangle වෙලා වෙලානේ තියෙන්නේ. ඒක එහෙම නම් ඒක එහෙම වෙන්න එපැයි, ඉතින් අපි මොකටද කලබල වෙන්නේ?
B: ඒ කිව්ව නිර්වාණය සත්වයාට Entangle වීම තව පැහැදිලි කරන්න.
හාමුදුරුවෝ: මම ඔබව දැක්කා කියලා හිතන්නකෝ. එතකොට ඔබව දකිනකොට මගේ මනස තුළ මූලික වෙලා තියෙන්නේ නිර්වාණය කියන දේ නම්, එතකොට මට හිතෙන්නේ ඔබටත් නිර්වාණය පෙන්නන්න ඕනා කියලා. නිර්වාණය පිළිබඳ කියලා දෙන්න ඕනා කියල. අපේ මනස තුළ යම් දෙයක් Entangle වෙලා තියෙද්දි, ඒක හරහා තමයි අපි බාහිර දේවලුත් දකින්නේ. සත්වයාව දැක්කම හිතෙන්නේ ඉස්සෙල්ලාම සත්වයාව කුසලයේ පිහිටවා සත්වයාට නිර්වාණය අවබෝධ කරල දෙන්නේ කොහොමද කියලා. මනස තුළ හැදිච්ච ඔය වගේ ඒවා තමයි ඥාන බවට පත් වෙන්නෙත්. ඒවගේ Entangle ගොඩක් තියෙන්න පුළුවන්.
ඔබව දැක්කම ඔබට නිවන අවබෝධ කරවන්න ඕනෙ කියන එක නෙමෙයි, ඔබව තේරුම් ගත්තහම හිතෙන්නේ. ඔබව තේරුම් ගත්තහම ඔබට අදාළ කාරණය මා හරහා Entangle වෙනවා. ඔබගේ හේතුඵල ධර්මය, කුසලය වගේ දේවල් දැක්කම ඒ අදාල කාරණා ටික නිකම්ම ගැලපිලා එනවා. මනසේ පිළිවෙලට ඒ වගේ ඒව පෙලගැසෙනවා.
මනස පිරිසුදුව තියෙද්දි ඒකෙ සාමාන්‍ය පුද්ගලයෙක් වගේ මුකුත් කුණු දාගෙන නැහැ .ඒ කෙනාව තේරුම් ගත්තම එයා මත සමපාත වෙනවා. ආ මෙයාට මේ ක්‍රමය තමා හරියන්නේ කියලා දැනෙනවා. නැත්නම් අපිට හිතෙනවානේ හැමෝටම මේක දෙන්න ඕනා කියලා. තමන්ට දහම අවබෝධ වුණ ස්පර්ශ වුණ ක්‍රමය තමයි හරිම ක්‍රමය කියලා හිතෙනවානේ. මේකම තමයි ඔක්කෝටම හරියන්නේ කියලා හිතෙනවා. ඒක වැරදියි. ඒවා සාමාන්‍යකරණය වුණු කාරණා. ඥාන හරහා කෙනෙකුට එනම් සත්වයෙකුට විශේෂිතව හටගන්න Entangle එක තුළින් එන කාරණාවලින් ඒ ඒ සත්වයාට සුවිශේෂී වූ කාරණා මතුවෙලා එනවා.
මේ සියල්ල ගෙනුත් බැහැලා මැදුම් පිළිවෙතට ආවට පස්සේ තමයි සියල්ලම හරියට පෙනෙන්නෙ. එතකොට Entangle වන ඥානයට කාරණයට අදාළව මැදුම් පිළිවෙතක් වෙනම තියෙනවා.
K: බාහිරය මත කතා කරන්න පුළුවන් ඔච්චර තමයි නේද? තමන්ට සාපේක්ෂව අහගන්න ඕනේ, තමන්ගේ අවිද්‍යාවට සාපේක්ෂව
හාමුදුරුවෝ: ඔව්
එතකොට කියන්න වෙන්නේ ධර්මය සහ මාර්ගය
K: ධර්මය සහ මාර්ගය කියන්න වෙනවා පංචඋපාදානස්කන්ධය අල්ලගෙන?
හාමුදුරුවෝ: ඔව්
B: ශුන්‍යතාවයට පත්වීම කියලා කියලා කිව්වේ ඔතනම නොවෙයිද?
හාමුදුරුවෝ: ශුන්‍යතාව කියන වචනය යොදන්නට බෑ; මනස සහ ධ්‍යාන වළිනුත් ශුන්‍යතාවයක් අහුවෙනවා. එතකොට කවුරුහරි ඒක ගළපා ගත්තොත් අවුල් කරගන්නවා. නිර්වාණය කියලා කියන්නේ සත්‍යයෙන්ද මිදී… සත්‍යයෙන් ද මිදී කියලා කියන්නේ අසත්‍යයෙන් ද මිදුනා කියන එකයි. එතකොට සංස්කාරයන්ගෙන්ද මිදී….සංස්කාර වලින් මිදුනා කියන්නේ අවිද්‍යාවෙන් ද මිදුනා කියන එකයි. ඒ සියල්ලගෙන් මිදුනුතැනක්. ගෞතම බුදුහාමුදුරුවෝ නිවන ගැන සිංහ නාදයක් කරනවනේ, එක තැනකදී. එතකොට අපි හිතමු ඔබ වගේ කෙනෙක් එතන ඉඳලා අහනවා,
"ස්වාමීනි, දැන් නිර්වාණය මිත්‍යාවක් නෙවෙයිමයි කියලා කොහොමද දැනගන්නේ" කියලා.
බුදුහාමුදුරුවෝ ආපසු ඔබෙන් අහන දේ මොකක්ද?
"ඔබ දැන් ඉන්න තැන මිත්‍යාවක් නොවෙයිමයි කියලා ඔබ දන්නවාද?" ඔබගෙන් අහනවා .
" නෑ ස්වාමීනි " කියලා උත්තර දෙනවා.
" එහෙනම් මම මිත්‍යාවක් නොවේ යැයි කියන එකවත් විශ්වාස කරන්න. ඔබ ඉන්න තැන මිත්‍යාවක් නොවේ යැයි ඔබට විශ්වාස නම් මේක විශ්වාස කරන්න ඕනෙ නෑ. ඒක විශ්වාස නැත්නම් මේක විශ්වාස කරන්න. මේ සාසනය රැඳිලා තියෙන්නේ කල්‍යාණ මිත්‍රත්වය මත පදනම් වෙලා. ඔබලාට බොරුවක් කියනවා කියලා හිතෙනවා නම් කිසි ප්‍රශ්නයක් නෑ. පිළිගන්න එපා. එහෙම නැත්නම් ඔබ හිතනවා නම් ඔබ ඉන්න තැන අවුල් කියලා, ඒක තේරෙනවා නම් තමන්ගේ ඇතුළත තමන් දන්නවනේ… අවුල් කියලා තේරෙනව නම්, මේ නිවන් මාර්ගය තුළ ප්‍රශ්න කරලා ඒක අවබෝධ කරගන්න උත්සාහ කරන්න. " බුදුන් ඔබට කියනවා.
ඒක තමයි කතාව. ඔබ ඉන්න තැන විශ්වාසද? කල්‍යාණ මිත්‍රත්වය මත පිහිටලා මං කියන දේ විශ්වාස කරලා බලන්න. මේ බැඳීම් සියල්ල සංස්කාරයක් මතනේ ගොඩනැගිලා තියෙන්නේ, දැන් මේ මොහොතේ මේ මෙහෙම ඉන්නකොට ඔයාලගෙ ගෙවල් දොරවල් අඹු දරුවෝ සියල්ල අත ඇරිලා නේ, එතකොට ඒ ගෙවල් දොරවල් අඹු දරුවෝදරුවෝ මොකක් මත ද රඳා පැවතිලා තියෙන්නේ, සංස්කාර මත. සංස්කාර පද්ධතිය නිවනට පත්කරොත් කොහොම තියෙයිද?
හාමුදුරුවෝ: සසර පෙරුම් පුරාගෙන යම් පිරිසක් ආවා නම් නිර්වාණය අවබෝධකර ගන්න, ඔවුන් ඒකාන්තයෙන්ම නිර්වාණය අවබෝධ කරගන්නවා.
ඒක ධර්මතාවය. ඒ කිව්වේ යම් සේද, ඒක අනිත් පැත්තට ක්‍රියාත්මක වෙනවා. Entangle එකම තමයි. නිර්වාණයක් ගැන කතා කරන්නේ ඊට සාපේක්ෂව අනිත් පැත්ත ගොඩනැගෙන්න එපැයි. මේ ධර්මතාවය හරි නම් කැලේ අතරමං වෙලා ඉන්න කෙනා, එලියේ බෙර ගහන කොට බෙර සද්දෙට කැලෙන් එලියට එනවා.
C: මගේ කලින් ප්‍රශ්නය ආයෙ එනවා. දැන් නිවන කියන්නේ සසරට සාපේක්ෂවම නේද ගොඩනැගෙන්නේ?
හාමුදුරුවෝ: ඔව්
C: එහෙම බෑනේ. නිවන කියන එක නිරපේක්ෂයි නේ.
හාමුදුරුවෝ: ඔව් නිරපේක්ෂයි, හැබැයි ඔබ සසර කියන එක අරන් බැලුවොත් එහෙම සාපේක්ෂයි. ඔබ සසර කියන එක අරන් නිවන බැලුවොත් එහෙම සාපේක්ෂයි තමයි. සසර කියන එක ගන්නේ නැතිව ඔබ නිර්වාණය බවට පත්වුනොත් එහෙම ඒක නිරපේක්ෂයි. ඒ දෙකම ගත්තේ ඔයා නේ.
C: නිවනක් පවතින්නේ සසරක් තියෙන තාක් කල් නේද?
හාමුදුරුවෝ: නෑ… ඒක තමයි ඔයාගේ Entanglement එක. තේරුණාද? මම කියන නිර්වාණය සාපේක්ෂතාවයෙන් තොරයි.
C: එතකොට නිවන කියන එක අයින් කරොත් සසරක් නෑ … එහෙමද ?
හාමුදුරුවෝ: ඈයි මේ සසරට සාපේක්ෂව නිවන හොයන්නේ? සසරට සාපේක්ෂව තියෙන්නෙ දුක.
N: සසර ගලා යාම නතර වුණු තැන ගැනනේ කතාකලේ.
B: එතකොට ඕකයි… සමහර දර්ශන වල කියනවානේ විශ්වයට අයෙත් එකතු වෙනවා කියලා…අන්න ඒ දෙක දෙකක් කියලා කොහොමද කියන්නේ?
හාමුදුරුවෝ: ඒ දෙක දෙකක්. ඇයි එහෙම කියන්නේ… එයා ඒ විශ්වය කියලා දැනෙන එක තුළ…විශ්වය කියලා දැනෙන්නේ…ඒ විශ්වය කියලා දැනෙන කාරණා ටිකක් එතන තියෙනවනේ. විශ්වය කියන එක තුල පැවැත්මක් තියෙනවා. නිර්වාණය කියන එක තුළ ගොඩනගන්න, අල්ලන්නන, පැවැත්මක් හිටින්නේ නැහැ. ඔතන විශ්වය කියන එක තියෙනවා. දැන් ඔබට විශ්වය කියපුවාම ඔයාලගේ ඔළුවට රූපයක් මොකක් හරි දෙයක් ආවා නේ, හැබැයි නිර්වාණය කියපුවහම ඔයාලගේ ඔළුවට මොකක් හරි ආවා ද?
එතකොට ඒක දකින එක තුළත් අන්න ඒ විදිහේ එකක් තමයි තිබෙන්නේ. පාරිශුද්ධත්වය කියන දේ ඒ තරමටම එතන අන්තර්ගතයි. ඒ වෙනස තේරෙනවා. ගින්දරයි වතුර යි හම්බ වුණාම තියෙන වෙනස ලොකුවටම දැනෙනවා. ඵල සමාපත්තිය අත හරින්ට තියෙන්නේ ඵල සමාපත්තියේ ඉන්න අයට. ඵල සමාපත්තිය අතහැරලා නිර්වාණයට පත්වෙන්න තියෙන්නේ. නිර්වාණයට පත් වෙනවා කියලා කියන්නේ තමන්ගේ මනස යම් සංස්කාරයක් මත පවතී ද, ඒ සියලු සංස්කාර ධර්මයන් අත්හරිනවා.
හොඳයි, කලබල වෙන්න එපා. ඕක වැඩිය හිතට ගන්නත් එපා. පැත්තකින් තියලා යන්න, සත්‍යාවබෝධය කියන්නේ එක කතාවක්. නිවන් දකිනවා කියන්නෙ තව කතාවක්. නිවන් දකින්නට පුළුවන්. නිවන් දකින්න හරි ලේසියි. එහෙනම් ඔබ තුළ වැපුරූ සියලු සංස්කාර ධර්මයන්ට මට සමාවෙන්න කියලා කියනවා. ඔය සංස්කාර ධර්මයෝ අතහැරලා දාලා සැනසිල්ලේ ඉන්න.
ධර්මය, ධර්මතා සහ න්‍යාය
2024-08-10