අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
බුද්ධ
රහත් බෝධිය සහ විමුක්ති මාර්ග
2024-08-08
මාර්ග දර්ශනයක් මතුවෙන්නේ බුද්ධ නමැති ධර්මතාවය හරහා සත්වයාට ආවේණික මාර්ගයන් විවර වීමත් සමඟයි. ඕනම කෙනෙක් කුසල හේතුවක් සමඟ පැමිණියොත් බුද්ධ තුලින් ඒ කෙනාට අදාළ මාර්ග සත්‍යය විවර වෙනවා. බුද්ධ තුලින් හැර වෙන විදියකින් සත්වයාට මාර්ග දර්ශනයක් විවෘත වෙන්නේ නෑ. මෙසේ මාර්ගය ලැබිලා ඒ මාර්ග සත්‍යය තුළ අවබෝධය හෝ විමුක්තිය ලබන අය කතා කරන්නේ දහම පමණයි. ඒ අයට කාටවත් වෙන කෙනෙකුට මාර්ගය දෙන්න බෑ.
පරිනිර්වාණය කියන්නේ බෝධිය පිළිබඳ ධර්මතාවයක්. පරිනිර්වාණය වන කෙනෙක් නැහැ. බෝධිය තමයි පරිනිර්වාණය වන්නේ.
රහත් වීම කියන්නේ විශ්ව නියාමයක්.
කුසල මාර්ගය වඩලා, මාර්ග ඵල ලබාගෙන, අරිහත් ඵලයට පත් වෙන්න යන මාර්ගය තමයි බොහෝ දෙනා අහල තියෙන්නේ. නමුත් ඒ මාර්ගයේ සෝවාන් ඵලයේදී සක්කායදිට්ඨිය විතරක් නැති වීම මදි, අරිහත් ඵලය දක්වා යන්න. මාර්ග දර්ශනය ලබා තිබෙන්න ඕනා. එහෙම නැත්තං සකෘදාගාමි ඵලයෙන් එහාට යන්න අමාරුයි. තමන්ට අදාළ මාර්ගය දැනගෙන ඉන්න ඕනා. මාර්ග දර්ශනය තනියෙන් අවබෝධ කරගන්න බෑ. මහායානයෙන්, ඒ කියන්නේ බුදු, පසේබුදු හෝ මහරහත් කෙනෙක්ගෙන් ඒ දර්ශනය ලැබෙන්න ඕන. එහෙම මාර්ග දර්ශනය ලැබුණු අයට මාර්ගය පිළිබඳ ඉව පහළ වෙනවා. නැත්නම් බෝධිචිත්තය ලැබෙන්න ඕන. බෝධි චිත්තය හරහාත් එයාට මාර්ගය පිළිබඳ ඉව පහළ වෙනවා. සෝවාන්, සකෘදාගාමී ඵල ස්වභාවයන් සහ මාර්ග දර්ශනය අතර සම්බන්ධයක් තිබෙන්නත් පුළුවන්, සම්බන්ධයක් නැති වෙන්නත් පුළුවන්. කෙනෙක් ඉන්න පුළුවන් මාර්ග දර්ශනයක් නැතුව කුසල මාර්ගයේ යන. නමුත් සකෘදාගාමි ඵලයෙන් එහාට එහෙම මාර්ග දර්ශනයක් නැතුව යන්න අමාරුයි. අවසානයේදී අරහත් බෝධියට පත්වෙලා ඒ බෝධිය තමයි පරිනිර්වාණය වෙන්නේ. අරහත් බෝධියට පත්වී පරිනිර්වාණය වීම සඳහා එක් එක් අයට වෙනස්වූ සහ ආවේණික වූ මාර්ගයන් තමයි තිබෙන්නේ. කෙනෙකුට අදාළ මාර්ග සත්‍ය ලැබෙන්නේ, ඒ මාර්ග දර්ශනය දෙන්න පුළුවන් ඥාන දර්ශනයකින් පමණයි. දහම කතා කිරීම තුළ මාර්ග සත්‍යය ලැබෙන්නේ නෑ. එයින් ධර්මය තේරුම් ගැනීම පමණයි සිදුවන්නේ.
ධර්ම න්‍යායට අනුව පරිනිර්වාණය වන්නේ බෝධියයි. රහත් පලයට පත්වූ කෙනෙක් පරිනිර්වාණය තෙක් අවබෝධයෙන් පැවැත්ම ගොඩනගාගන්නේ බෝධිය හරහායි. තවත් විදියකින් කිව්වොත් මේ දක්වා පැමිණි කර්ම පථයෙන් වෙනස් කර්මපථයකට බෝධිය තුළදී මාරු වෙනවා. නමුත් හැම රහතන් වහන්සේ කෙනෙකුටම බෝධියක් නැහැ. සම්මා සම්බුදු වරයෙක් යම් කෙනෙකුගේ රහත් ඵලය පිළිබඳ විවරණයක් දෙන විට ඒ කෙනාට එයාගේ බෝධිය කෙසේ සකස් වෙන්න ඕනද කියලා පැහැදිලි කරලා බෝධියක් දෙන අවස්ථාවන් තියෙනවා. බොහෝ විට එහෙම වන්නේ සත්වයා වෙනුවෙන් යම් සේවයක් කිරීම සඳහා බෝධියට අදාළව කාර්යයන් පැහැදිලි කරදීම තුළින්. තමන්ගේ බෝධිය තමන් විසින්ම පනවගන්න පුළුවන් අයත් කලාතුරකින් ඉන්න පුළුවන්. එහෙම වෙන්නේ බෝධි චිත්තයේ ස්වභාවය අනුවයි. රහත් ස්වභාවයට පත්වෙලා බෝධියක් නොලැබූ කෙනෙක් පරිනිර්වාණය වන විට බෝධිය හටගෙන එම බෝධිය පරිනිර්වාණය වනවා. එසේ නොවුනහොත් එවැනි කෙනෙකුගේ පරිනිර්වාණය සම්මා සම්බුදුවරයෙක් හරහා සිදුවනවා. උදාහරණයක් විදියට සුද්ධාවාස වල ඉන්න එවැනි අය සම්මා සම්බුදු වරයෙකුගේ ආලෝක චිත්ත ධාරාවකින් පරිනිර්වාණය වනවා.
ගෞතම බුද්ධ ශාසනයේ මූලිකව තිබුණේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයන් හරහා ධර්මය අවබෝධ කර ගැනීමේ ක්‍රමයක්. ඒ අනුව සමහර අවස්ථාවලදී කර්මපථය බලලා, ඒ අනුව ගලපලා, පොල් කටුවකින් වතුර ඉහින්න වගේ කර්මස්ථාන දීපු අවස්ථා තිබුණා. අද කාලේ මනස දියුණු නිසා එවැනි ක්‍රම ප්‍රයෝජනයක් වෙන්න තියෙන අවස්ථා අඩුයි. අද කාලේ බුද්ධ සාපේක්ෂව වැඩිල තියෙන්නේ, සතර ඉද්ධිපාද වැඩිලා තියෙන්නේ, ඒ වගේ කාරණා මත නෙවෙයි; කර්මයට කෙලින්ම බලපෑම් කරන්න පුළුවන් විදියට. ඉහත කිවු ක්‍රම වැනි ක්‍රම හැදුවට මනසින් විශ්ලේෂණය වීම වැඩි නිසා ඒවා මේ කාලේ සාර්ථක වෙන්නේ නෑ. විපස්සී බුදු හාමුදුරුවන්ගේ කාලයේ ඒක සාටක බමුණා එකම සළුව පූජා කරළා බෝධි චිත්තය ලැබුණා. එතනදි ගෞතම බුදු හාමුදුරුවන්ගෙන් චීවරය ගන්නවා කියන ඵලයත්, විපස්සි බුදු හාමුදුරුවෝ සර්වඥතා ඥානය තුළින් දකිනවා. ඒක නියත විවරණය වගේ පූර්ණ වූ දෙයක්. ඒ බව ඒක සාටක බමුණා දැනගන්න ඕන කියලා දෙයකුත් නෑ. මේ ඵලය සකස් වන විට කරන්න පුළුවන් සුවිශේෂී දේ තමයි එයා පරිනිර්වාණය වෙනකන් ඉන්න ඕන තලය නිර්මාණය කරන්න පුළුවන්. ජාති ජරා ව්‍යාධි මරණ නොමැතිව පරිනිර්වාණය වෙනකන් සිටින්න, කර්මක්ෂය වෙනකන් සිටින්න තැන නිර්මාණය වෙනවා. මෛත්‍රිය ගේ පාරමී බලය තුළ ලබාගෙන ඇති නම්‍යශීලීත්වය කොපමණද කියනවා නම් අර කෙනාගෙ ලෝකයට ගිහිල්ලා ඒ කෙනා බවට පත්වෙලා ඒ ඵලය නිර්මාණය කරන්න පුළුවන්. ඒ සඳහා සත්වයාගෙන් ලැබිය යුත්තේ ඔහුගේ අවංක පාරිශුද්ධ ස්වභාවය පමණයි. ඒක තමයි ඔහු හෝ ඇය සපුරා දිය යුතු හේතුව. ඒ තුළ කර්ම නිරෝධය සිදුවෙනවා. මග වැඩීමක් කියලා දෙයක් අවශ්‍ය වෙන්නේ නෑ.
අවබෝධයට පත් වුණත් බෝධිය ලැබුනේ නැත්නම්, කර්ම ජාලය තුළ තමන්ගේ කර්ම පථයෙන් වෙන පථයකට මාරු වීම සහ මාරු වෙන විදිය නොදන්නාකම නිසා පරණ කර්ම පථය තුළම ක්‍රියාත්මක වෙනවා. ඒ තුළ සමබරතාව ගිලිහී යනවා. ඒ තුළම භවය නැවත හදා ගන්නවා. අරහත් ස්වභාවය තිබුනත් එම භවය කෙළවර කර ගැනීමට දන්නේ නෑ. බෝධිය නොමැතිව පරිනිර්වාණය වෙන්න බැරි ඒකයි.
මාර්ග දර්ශනයක් නොමැතිව පැමිණි අයගේ ගැඹුරු ආධ්‍යාත්මික ස්වභාවයක් නැහැ. මොකද ඒ අය එන්නෙ බුදුහාමුදුරුවන්ට හරි දහමට හරි ශ්‍රද්ධාවෙන් සංකල්පමය වශයෙන් වෙන පරිවර්තනයකින්. අධ්‍යාත්මික වීම කියන්නේ ඊට වඩා ගොඩක් ගැඹුරු ස්වභාවයක්. ආධ්‍යාත්මික කෙනෙක් ඕනෑම කාරණයක මුල මැද අග හේතු ඵලය බාහිරව දකිනවා. ඒකට ඒ අය අහුවෙන්නේ නෑ. ඒක තුළ මමත්වය ගොඩනගා ගන්නේ නෑ. ඒ කාරණා සම්පූර්ණයෙන්ම බාහිර වූවන්. ඔවුන් එය සම්පූර්ණයෙන්ම දැක පසෙකින් තබනවා.
ඵලයට පත් වුනාම ඵලයෙන් එළියට එන්න ඕන. නැත්තං කොණ්ඩෙ කපන්න සැලුන් එකට ගිහිල්ලා කොන්ඩෙ කපලා ඉවර උනාමත් සැලුන් එකේ ඉන්න වගේ වැඩක් වෙන්නේ. අවබෝධය පුර්ණ නම් ඒක ඇතුලටම වෙලා ඉන්න අවශ්‍යතාවයක් නෑ. පොල් ගහට නැගලා පොල් කැඩුව නම් ගහෙන් බිමට බහින්න ඕන. බුද්ධ ස්වභාවය අතහැරලා මනසට එන්න ඕනා. වෙනස තියෙන්නේ එතකොට විපාක නෑ, හේතුඵල නෑ, හිත නෑ. නව කර්ම නෑ. ඵල ස්වභාවයෙන් එළියට එන ක්‍රමය තමයි, එයා දකින්න ඕනා තමන්ගේ ඵල ස්වභාවය තුළ සියුම් මමත්වයක් ගොඩනැගී ඇති බව. ඒක සියුම් මමත්වයක්. ඒක අත් අරිනකොට අතහැරෙන්නේ එයා මේ දක්වා පැමිණි කර්මපථය. එහෙම අත අරින කොට මනසත් එක්ක එයාගේ ඉදිරි පැවැත්ම හැදෙනවා. මස් කඩේ වැඩ කරා නං දිගටම මස් කඩේ වැඩ කරනවා. ඒක අවුලක් නෑ. කර්ම නෑ. අතහැරීම තුළ එයා ඉන්න පරිසරයට අනුව අලුතින් හැදෙන එකක් තියෙනවා. ඒ අලුතින් හැදෙන එක තමයි බෝධිය කියලා කියන්නේ. ඒක තුළ කර්මපථය නෑ. බුද්ධගේ ඥානය කියලා එකක් තිබුණට, අරහත් ඥානය කියලා එකක් නෑ, අරහත් බෝධියයි තියෙන්නේ.
රහත්ඵලයට ගිය කෙනා ඒ ස්වභාවය තුල ගොඩනැඟුණු මමත්වය දැකලා, ඒ පලය අතහැරලා, නැවත මනස හරහා පැවැත්ම ගොඩනඟා ගන්නවා. එතනදි මනසින් කල්පනා කරන්න ඕනා, මේ පරිසරය තුළ කොහොමද ඉන්න ඕනා කියලා. එතකොට මනස තුළ අලුතින් ඒ ක්‍රමය ගොඩනැගෙනවා. එයාට හිත කියලා එකක් නෑ, මනස විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ. අලුතින් ගොඩ නැඟුණු ක්‍රමයත් එක්ක ඒ ඒ මොහොතේ කරන්න ඕන වැඩ ටික කරනවා.
බෝධිය කියන්නේ බුද්ධිය. කෙනෙක් බෝධිය ලබන්නේ පිරිනිවෙන අවස්ථාවේ. බෝධිය පූර්ණය උනහම ඒ බෝධිය තමා පරිනිර්වාණය වෙන්නේ. පිරිනිවීමෙන් පස්සේ ඔහුට හෝ ඇයට මේ ලෝකයේ පැවැත්ම නැවත ගොඩනඟා ගන්න දෙන ක්‍රමයක් තමයි බෝධිය කියන්නේ. සමහරවිට බෝධිය තුළ ඔහුට බෝධිසත්ව මාර්ගයේ යම්කිසි කාර්යභාරයක් පැවරෙන්නත් පුළුවන්. තව පැත්තකින් ගත්තොත් පරිනිර්වාණය දක්වා ඔහුගේ කර්මය යෙදෙන විදිය පිළිබඳව ඥානයකින් දැකලා, ඒ අනුව කියන පැවැත්මක් තමයි බෝධිය හරහා ලැබෙන්නේ. සසර ආපු විදිය දැකලා, ඉන්න ඕන විදියත් දැකලා ඒ සියල්ල ගලපලා දෙන පැවැත්මක්. කෙනෙක් අතින් මේ සැලසුමට පිටින් දේවල් සිදුවෙන්න පුළුවන්. එවිට ඒ දේවල් කර්මය තුළින් සමබර වන ආකාරය සමහරවිට බෝධිය හරහා දුන් මැදුම් පිළිවෙත තුළින් එය සමබර වන ආකාරයට වඩා ගැටලුකාරී වීමටත් ඉඩ තියෙනවා. ඒක හරියට වහින්න පුළුවන්, අඳුර වැටෙන්න පුළුවන්, ඒ නිසා කුඩයක් විදුලි පන්දමක් අරන් යන්න කිවුවම එසේ නොකිරීම නිසා කරුවලේ තෙමීගෙන යන්න වෙනවා වගේ දෙයක්.
එකිනෙකාගේ බෝධි මූලයන් එකිනෙකට වෙනස්. එය ඔවුන්ගේ අරමුණ මත, සත්වයාගේ යහපත උදෙසා සිදු කිරීමට ඇති කාර්යය මත වෙනස් වෙනවා. එම කාර්යය තුළදී බෝධිය යනු මධ්‍යයට සාපේක්ෂව හෝ න්‍යායට සාපේක්ෂව පටහැනි වීමක් ලෙස ද කෙනෙකුට හැඟෙන්න පුළුවන්. බෝධිය කියන්නේ වෙනම බුද්ධිමත්ව හිතලා වර්ධනය කරගන්න එකක්. එය විටින් විට සම්පූර්ණයෙන්ම අතහැර අලුත් විධි වලින් නැවත නැවත නිර්මාණය කර ගන්නවා. ඒක සමබරතාවය හදාගන්න ක්‍රමයක්.
කොහොම උනත් අන්තිමට ඵලය අත ඇරලා මනසට එන්න ඕන. පැවැත්ම සඳහා මනස බුද්ධිමත්ව සකස් කරගන්න ඕන. නමුත් මනස තුළ පෙර තිබුණු මතකයන් ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. මතකයන් වල වටිනාකම අඩු වෙනවා. මතක තියාගන්න දෙයක් නෑ ඒවා අසත්‍යයන් නිසා. අරහත් බුද්ධිය තමයි මෙතනදී පැවැත්ම හදාගන්න උදව් වෙන්නේ. ඉස්සෙල්ලා පැවැත්ම හදලා දුන්නේ මමත්වය විසින්. දැන් පැවැත්ම හදලා දෙන්නේ අරහත් බෝධිය. නමුත් ඒක තුළ අර දිගටම ආපු කර්මපථය නෑ; ඒකෙන් අයින් වෙලා. ඒක මැරිල උපදිනවා වගේ වැඩක්. ඒකයි ඒකට පිරිනිවන් පානවා කියන්නේ. ඒ පැවැත්ම සත්වයාගේ හිත සුව පිණිසම හදාගන්නවා කියලා කතන්දරයකුත් නෑ.
මාර්ග දර්ශනය තුළ ධර්මතාවයන්ට අනුව එක් එක් අයගේ මාර්ග සත්‍යයන් ගොඩනැගෙන ආකාරයන් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වෙන් කළ හැකියි. ඒ තමයි කුසල මාර්ගය, හේතු පූර්ණය සහ ප්‍රඥාවන්තයින් ඇසුරු කිරීම.
කුසල මාර්ගය හරහා ඇවිල්ලා රහත් ස්වභාවයට පත් වෙන අය ඉන්නවා. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත් කියන මාර්ගය තමයි කුසල මාර්ගය කියලා කියන්නේ. කුසලතාවයන් වැඩිවෙන තරමට මාර්ගය තුළ සමබරතාවය හැදෙනවා. සිහිය, සිහිකල්පනාව, සිහි බුද්ධිය, විදර්ශනාව වැනි කුසලතාවයන් වඩන එක තමයි කුසල මාර්ගයේදී සිදුවන්නේ. කුසල මාර්ගය වඩන අය සැලකුවත්, ඒ අයට ඒ තුළ මාර්ගය වැඩෙන්නේ එක එක්කෙනාට ආවේණික විදියට. උදාහරණයක් විදිහට කෙනෙක් ඉන්න පුළුවන් සිහිය හොඳට වඩා ගෙන, ඒ තුළ සිහිකල්පනාව හැදිලා, සිහි බුද්ධිය හැදිලා, සිහි බුද්ධිය හරහා ආයතන නිරෝධය තුළින් අරහත් ස්වභාවයට පත්වෙන. ඒ අයට ධර්ම අවබෝධයක් ඇතිවෙන්න තියෙන අවස්ථාව අඩුයි. ජීවිත අවබෝධයද සමග ආස්වාද ආදීනව නිස්සරණ යන ධර්මතාවයන් අවබෝධ කරගෙන කෙනෙක් රහත් ස්වභාවයට පත්වෙන්න පුළුවන්. තව කෙනෙක්ට සිහිය හොඳට හැදිලා සිහිය තුළ මැදුම් පිළිවෙතට පත්වෙලා පෙර නොඇසූ විරූ ධර්මය තමන් තුළින් අවදිවෙන්න පුළුවන්. ඒ වගේ අයට ධර්ම අවබෝධයන් ඇතිවෙනවා. කුසලය වැඩීම තුළ ද්විත්වය බිඳෙන තැන දැක රහත් ස්වභාවයට පත්වන එක තවත් මාර්ගයක්. තවත් කුසල මාර්ගයක් තමයි සිහිය හොඳින් හදාගෙන පංච උපාදානස්කන්ධය විහිදුවා දකින එක. එය ගැඹුරු විදර්ශනාවක් සහිත මාර්ගයක්. යමක මූල ස්වභාවය හෙවත් යථාර්ථය භූත වන තැනම දැකිය හැකි යථාභූත ඥානය හා බුද්ධ ඥාන දක්වා කෙනෙකුගේ ඥානදර්ශනයන් විකාශනය වන්නට පුළුවන්.
ධර්ම අවබෝධයන් කියන්නේ ආධ්‍යාත්මික පරිවර්තනයන්ම නොවෙයි. ධර්ම අවබෝධයන් කියන්නේ බොහෝ අය මාර්ගඵල ලැබුවා කියලා රැවටෙන අවස්ථාවක්. ආධ්‍යාත්මික පරිවර්තනයක් හෝ මාර්ග පලයක් ලැබුවා කියන්නේ දෙයක් ලැබුනා කියන එක නෙවෙයි. එතනදි වෙන්නේ තමන් නොවන දෙයක් තමන් ලෙස හිතාගෙන ඉඳපු දේවල් ටික නැතිවෙලා යන එකයි. ධර්ම අවබෝධයක් එක්ක ප්‍රඥාව වැඩුනොත් තමයි මේ නිරෝධය සිදුවෙන්නේ. ප්‍රඥාව නොවැඩුණොත් මමත්වය ධර්ම අවබෝධයන් තුළ නැවත මතුවෙන්න පුළුවන්. පොත්පත්වල කාරණා, අන් අය කියන කාරණා, ධර්ම අවබෝධයන් ලැබූ අය කියන දහම් කාරණා අහලා දැකලා ධර්මය ගවේෂණය කරන අයටත් ඒ පිළිබඳව කැමැත්ත ඇතිවෙනවා. මේ කාලයේ තොරතුරු වලට දෙන වටිනාකම වැඩි නිසාත් මෙවැනි නැඹුරුතාවයන් වැඩියි. ධර්ම අවබෝධයන් ලබන සැකැස්ම නොමැති අය මෙවැනි නැඹුරුතාවයන්ට හසුවෙලා මනසින් දහම් කාරණා ගොඩනගාගෙන ආධ්‍යාත්මික මාර්ගය වසා ගන්න අවස්ථාද බහුලව තියෙනවා.
ධර්මය කියන්නේ භාෂාවක් ඔස්සේ ගොඩ නැගෙන දෙයක් නොවේ. භාෂාව ඔස්සේ ගොඩ නැගෙන එක එක් අදියරක් පමණයි. භාවනාව තුළ ධර්මය විවිධ ස්වරූප වලින් අවබෝධ වන්න පුළුවන්. එහි එක් ආකාරයක් තමයි විඥානයේ ජාති මෙනෙහි වීම. භාවනාව තුළ ගැඹුරට යද්දී විඥානයේ ගැඹුරු ස්වභාවයන් මතු වෙන්න පටන් ගන්නවා. පෙර භවයන්, පෙර මතකයන් කුසල අකුසල ආදී කාරණා, යටපත් වී ඇති රාගය වැනි ස්වභාවයන් නැවත මතුවෙන්න පටන් ගන්නවා. එවැනි ශක්තීන් ප්‍රබලව හැඟීම් හා දැනීම් බවට පත්වෙලා මතුවෙන්න පටන් ගන්නවා. විවිධ දෘෂ්ටි හා ස්වරූප ලෙස ගොඩනැගෙන්න පටන් ගන්නවා. එවැනි දේට හසු නොවී නිවැරදි දිශානතියකට මාර්ග සත්‍ය ගොඩනැගෙන්න නම් පාරමී පිරිලා තියෙන්න ඕනා. නැතිනම් කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය තුළින් ලැබෙන උපදෙස් පවා පිළිගන්නේ නෑ. මේ භවයේ කාරණා වල මුලාව නැතිකරන්න ගිහින් වෙන භවයන් ගොඩනගා ගන්නවා. ධර්ම අවබෝධය හරහා විමුක්තියට පත්වෙන්න ලේසි නැත්තේ ඒකයි. ඒ සඳහා සසර තුල දීර්ඝ කාලයක් සැකසෙන්න ඕනා. එවැනි කෙනෙකුට ඒ පරිණතභාවය නිසා දක්ෂ ලෙස දහම කතාකරන්න පුළුවන්. නිවැරදි මාර්ග දර්ශනයක් තියෙන කෙනෙක් ධර්මාවබෝධය ලබන මාර්ගයක ගියත්, ඔහු ඒ මාර්ගයේ යන විට ලැබෙන විවිධ අත්දැකීම් වලට හසු නොවී තමන්ගේ නිවැරදි දිශානතිය සොයාගන්න දන්නවා. මෙසේ විඥානයේ ජාති මෙනෙහි වීමෙන් පසු ඒ දේවල් තමාගේ දෙයක් බවට පත්වෙන එක ගැන ධර්ම මාර්ගයේ ගමන් කරන ඕනම කෙනෙක් සැලකිලිමත් විය යුතුයි. ඊට පස්සේ ඒ අතරට තමාගේ දේවල්ද එකතු වෙන්න පටන් ගන්නවා. එහෙම එකතුවෙලා කතන්දර නිර්මාණය කරගන්නවා. ඒ වනවිට අවබෝධයට බොහෝ බාහිර කාරණා එකතු වෙලා. ඒ අතර සමහර අයට අලුත් කරුණුම අවබෝධ වන්නට පුළුවන්. රූප තුළින් පෙනීම, රූප තුළින් පෙනී ධර්මතාවයන් අවබෝධ වීම, රූප තමාට ඉතා තදින් සංවේදී වීම, රූප සංවේදී වෙන ගමන් අවබෝධයද වීම, ධර්මයක් අවබෝධ වන ගමන් එය සසර කී වාරයක් අවබෝධ වූයේ ද, මෙය මුලින්ම ඇසුවේ කොහෙදීද ආදී වශයෙන් පූර්ව අපර සන්ධි ගැලපෙමින් අවබෝධවීම, වැනි අවබෝධයේ විවිධ අවස්ථා තිබෙනවා. තවත් අවබෝධ වන ආකාරයක් තමයි දහමක් අවබෝධ වන අතර එය අවබෝධ වීමට බලපාන ලද හේතුවද ඒ මොහොතේ දැනීම. උදාහරණයක් විදියට අනිච්ච අවබෝධ වන විට එය අවබෝධ කරගත යුත්තේ තමාගේ සිතේ කුමක් දුරු වීමට ද යන්න දැනෙන්නට පුළුවන්. ධර්ම අවබෝධයේ අවස්ථාවක් තියෙනවා ධර්මය ඵල ගත වීම ලෙස හඳුන්වන. මෙයින් කියන්නේ අවබෝධ වන ධර්මතාවය බවට ඔබ පත්වීම. මෙහිදී ඔබට සම්මුති පරමාර්ථ ලෙස දෙකක් දැනෙන්නෙ නෑ. මෙනෙහි කිරීම් කළ නොහැකි වෙනවා. අරහං කියන විට ඔබ අරහං ගුණයක් බවට පත්වෙනවා. අනිත්‍යයි කියන විට ඔබ අනිත්‍ය බවට පත්වෙනවා. මෙහිදී නාම, රූප කියලා දෙකක් නෑ.
ඊළඟට එන්න පුළුවන් අවස්ථාවක් තමයි ධර්මයක් දෙස බැලු ක්ෂණයෙන් එම ධර්මයේ ඵලයට සම වදින්න හැකියාවක් ලැබීම. එතකොට පහසුවෙන් ඵල සමාපත්ති ගත විය හැකි තැනට පත්වෙලා. ඒ තුළ තවත් පරිණත වන විට ඵල සමාපත්ති විඳිමින් කෙලෙස් අවදි වන්නට ඉඩහැර බුද්ධිය මෙහෙය විය හැකි තත්වයකට පත්වෙනවා. එවිට මහා ධර්ම ස්කන්ධයන් අකුණු ක්ෂණයක් තරම් අඩු කාලයක් තුළ දැනෙන අවස්ථාවන් අත්දකින්න පුළුවන්.
මෙහි ඇති තවත් පැතිකඩක් තමයි මම ධර්මයේ මෙහෙම ගමන් කරන කෙනෙක්, මම මේ විදිහටයි රහත් වෙන්නේ, බුදු වෙමි, පසේ බුදු වෙමි, රහත් වෙමි ආදී වශයෙන් මුලාවට පත්වීම. මේවා ධර්මය තුල මමත්වය ඉදිරියට රැගෙන යාමට උදව් කරනවා. ප්‍රාර්ථනයක් තිබීම හොඳයි. නමුත් බොහෝ දුරට සිදුවන දේ තමයි මේ සියල්ල හිත හදාගන්න ඇතිකර ගන්න මානසික අල්ලස් බවට පත් වීම.
තව කොටසක් ඉන්නවා හේතු පූර්ණය හරහා රහත් ස්වභාවයට කෙලින්ම පත්වන අය. ඉතා පාර්ශුද්ධ භාවයෙන් යම්කිසි ක්‍රියාවක් කරලා එහි කුසල විපාකයක් විදියට කර්මපථයෙන් අයින් වෙන්න අවස්ථාවක් ලැබෙන එක තමයි මෙහිදී සිද්ධ වෙන්නෙ. අවංක පාරිශුද්ධ කෙනෙක් තවත් අවංක පාරිශුද්ධ කෙනෙක් සමග තමයි මෙතැනදි හේතු පූර්ණය සිද්ධවෙන්නේ. එතනදි එයාට හිතෙන දේවල්, දැනෙන ස්වභාවයන් වෙනස් වෙන එකයි වෙන්නේ. මාර්ගඵල කතන්දරයක් නෑ. දහම කියලා දෙයක් විශේෂයෙන් අවබෝධ කරගන්න අවශ්‍ය වෙන්නෙත් නෑ. නිකම්ම අත හැරිච්ච ස්වභාවයක් තමයි තියෙන්නේ. ධර්මයත් පෙර නොඇසූ විරූ විදියට තේරෙන්න ගන්නවා. ඇලීම් ගැටීම් නැතුව යනවා. මේ වගේ අයට සාමාන්‍යයෙන් බණ කියන්න බෑ. ඒගොල්ලො වැටෙන්න හීන ඥාන ගණයට. ඥාන දර්ශනයන් පහළ වුණොත් විතරයි බණ කියන්න පුළුවන් වෙන්නේ. සත්‍ය ගවේෂී කියන මාර්ගය ඇරඹෙන්නේ ඒ විදිහට. ඒ අයව මහරහතන් වහන්සේලා කියලා හැඳින්වනවා. කෙනෙක් මහ රහත් වෙන්නේ විෂය පථය අවබෝධ වීමෙන්. හේතු පූර්ණය වුණ කෙනාට බුදුවරයා පැවැත්ම හදාගන්න විදිය සාමාන්‍යයෙන් කියලා දෙනවා. ඒක කරන්නේ කර්මපථය බලලා. බුදුවරයාට පුළුවන් හේතු පූර්ණය වුන කෙනෙක්ගෙ මුල ඉදලා ඒ වෙනකම් සම්පූර්ණ කර්මපථය විස්තර කරලා කියන්න. එතකොට එයාට එයාගේම සාක්ෂි තුළින් ඒක තහවුරු වෙනවා. එතකොට එයාට තවදුරටත් නිරෝධ කරන්න සිහියෙන් ඉන්න, භාවනා කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. මනසත් එක්ක නැවත පැවැත්ම හදාගෙන ජීවත් වෙන්නයි තියෙන්නේ. ඒක තමයි අරහත් බුද්ධිය තුළින් පැවැත්ම හදා ගන්නවා කියලා කියන්නේ. ඉස්සෙල්ලා පැවැත්ම හැදුනේ රාග ද්වේශ මෝහ වලින්. දැන් පැවැත්ම හැදෙන්නේ අරහත් බුද්ධිය තුළින්.
ප්‍රඥා මාර්ගය තුළ තව පිරිසක් සසර මග, සසර ඵල එකවර පූර්ණය කරමින් රහත් බවට පත් වෙනවා. අතරමග ඵලවල නතර වෙන්නත් පුළුවන්. එතනදි ශ්‍රවණය මූලික කරගෙන තමයි විමුක්ති මාර්ගය වැඩීම මූලික වශයෙන් සිදුවෙන්නේ. තමන්ගේ බුද්ධ අවධි කරගෙන ඒ තුළින් ශ්‍රවණය කල හැකි නම් බුද්ධ ශ්‍රාවකයෙක් බවට පත්වෙන්න පුළුවන්. තමන්ට තමන් අතහැරෙන විදියට ශ්‍රද්ධාව මත පිහිටලා බුදුන් ජීවමාන කරගෙන බණ අහන්න පුළුවන් නම් ඒ ශ්‍රද්ධා බීජය බුද්ධ බීජයක් බවට පත්වෙනවා. සුතමය ඥානය ඇති අයටත් මේ මාර්ගයේ ගමන් කිරීම පහසුයි. සුතමය ඥානය තිබෙන අයට බණ අහන විට තමන්වත් පෙනෙනවා, ඛණ කියන්නේ කුමණ කාරණයක් මත පදනම් වෙලාද කියලත් පෙනෙනවා.
පරිපූර්ණ කුසලයක් සිදුකර ගන්න හැකිනම් ඒ හරහාත් නිවන් මාර්ගයක් තිබෙනවා. යම් සත්වයෙක් බුදුන් බව දැන ඒ කෙරෙහි හිත පැහැදී යම් ක්‍රියාවක් කරනවද, එතනදී එම සත්වයාගෙ ශ්‍රද්ධාව පූර්ණ වෙනවා. ඒ තුලින් පරිපූර්ණ කුසලයක් සිදුවෙනවා.
සතර මහා ධාතූන්ගේ ස්වභාවය පූර්ණ කොට අවබෝධ කරගත්තොත්, ඒ තුළ බෝධිචිත්තය පිහිටවලා ඒ හරහා බෝධිය පිහිට වන්නත් පුළුවන්. ඒක තවත් මාර්ගයක්.
මීට අමතරව තවත් මාර්ග ගණනාවක් එක් එක් සත්වයාගේ වෙනස්කම් මත බුදු වරයෙක් විසින් ඒ ඒ සත්වයන්ට සාපේක්ෂව විවර කරනවා. සමහර අය බුදුන් වෙත පැමිණෙනවා විශේෂ කුසල හෝ හේතු පල ඇති අය. හේතු පලය බිඳීම, කර්ම පථය විසන්ධි කිරීම, හේතු පල පූර්ණය, කුසල පූර්ණය වැනි තව ක්‍රම ගණනාවක්ද විමුක්ති මාර්ගයන් ලෙස පවතිනවා. හේතුඵලය බිඳීමේදී සිද්ධ වන්නේ පෙර බුද්ධ සාසනයකදී සකස් වුණු ප්‍රධාන හේතුඵලයක් තවත් බුදුවරයෙකු විසින් බිඳලා දැමීමක්. බුද්ධ ශාසනයක යම් කටයුත්තක් කිරීම සඳහාම විශේෂයෙන් සැකසිලා පැමිණෙන අය එම කාර්ය අවසන් කිරීමෙන් පසු හේතුපල පූර්ණයෙන් හෝ කුසල පූර්ණයෙන් විමුක්තියට පත්වෙනවා. තවත් සමහර අය ඉන්නවා බුදුවරයෙක්ගේ වචනයක් හොයාගෙන පැමිණෙන අය. “මහණ මෙහි එව”, “ මා නැවතිලා ඉන්නේ, ඔබත් නවතින්න” වැනි වචනයකින් ඔවුන්ගේ සසර ගමන අවසන් වෙනවා. විමුක්තියට පත්වෙන්න සියලු ම කාරණා සම්පූර්ණ කරලා බුදුවරයාගේ වචනය හොයාගෙන තමයි ඔවුන් පැමිණෙන්නේ.
බුද්ධ කියන්නේ සත්වයාට සාපේක්ෂව ගොඩනැගෙන ධර්මතාවයක්. ඒ ධර්මතාවය කෙසේ කුමන ආකාරයෙන් මතු වුණත්, අවසානයේ සත්වයාම තමයි තමන්ගේ විමුක්තිය එම ධර්මතාවය තුළින් මතු කරගෙන තියෙන්නේ. ඒකයි ඔබේ විමුක්තිය ඔබ තුළයි තියෙන්නේ කියලා කියන්නේ. ඒ වගේම තමයි බුදුන් දැකලයි නිවන් දකින්නේ. ඔබේ පැවැත්ම අවසන් වන්නට නම්, බුද්ධ නමැති ධර්මතාවය කුමන හෝ මාර්ගයකින් ඔබට මුණ ගැසෙන්න ඕනා. එය ආගමකට හෝ සංස්කෘතියකට අයිති දෙයක් නොවෙයි. ඔබේ ධර්මතාවයක්. මුලාවේ පැවැත්ම අවසන් වන්නේ එම ධර්මතාවයෙන්. එක් එක් එක් අයට එම ධර්මතාවය මුණ ගැසෙන විදිය වෙනස්. බුදු කෙනෙක් විසින් විවර කරන මාර්ග දර්ශනය තුළ එක් එක් සත්වයාට සාපේක්ෂව විවිධ මාර්ග ලෙස මතුවන්නේ මෙම ධර්මතාවයයි.
.
ධර්මය, ධර්මතා සහ න්‍යාය
2024-08-10