අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
කර්ම
සාපේක්ෂ ප්‍රතිබද්ධ පරිණාමය
2024-08-08
කර්මය යනු එකක් අනිකට සාපේක්ෂව හෝ ප්‍රතිවිරුද්ධවව ගොඩනැගෙන ලෙස හටගන්නා ක්‍රියාවලියකි. මනසට ගෝචර වන්නා වූ කාලය නමැති මානය තුළ, වෙනස් වෙමින් පවත්නා ගලනයක් ලෙස සියලු දේ ගොඩනැගෙන්නේ මෙම සාපේක්ෂ ප්‍රතිබද්ධතාවය හරහායි. ඒ තුළින් හටගන්නා හේතුඵල ක්‍රියාවලීන් ඔබේ මනසට ගෝචර හේතුඵල ක්‍රියාවලි දක්වා විවිධාකාරයෙන් ගොඩනැගේ.
විශ්වයේ පවතින හෝ ඇති වන්නා වූ ඕනෑම ඒකකයක්, අංශුවක්, සත්වයෙක්, සිතුවිල්ලක් මේ ඕනෑම දෙයක් සැලකූ විට, එය ඒ වටා ඇති අනෙකුත් එවැනි ඕනෑම දෙයක් සමග නිරන්තරයෙන් එකිනෙකෙහි බලපෑමට හසු වේ. එය, විශ්වය යම් දිනක ඇරඹුණද එතැන් සිට මේ දක්වාත් පසුවත් අතෝරක් නොමැතිව සිදුවන ක්‍රියාවලියකි. මේ සාපේක්ෂ පරිණාම ක්‍රියාවලිය තුළ සත්ත්වයාට සිතිවිල්ලක් ඇති වූ විට එහි ඇති අනාත්ම ස්වභාවය වටහා ගත නොහැකි වීම නිසා මුළාවට පත් වේ. සෑම සිතිවිල්ලක්ම මම, මාගේ යැයි ගනිමින් විශ්ව පටිච්ච සමුප්පාද ධර්මයෙන් බැහැරව පරිකල්පනය කරයි.
උදාහරණයක් ලෙස මෙවැනි සිදුවීමක් සලකා බලන්න. ඔබ ඔබේ පවුලේ අය සමග නිවසේ සාලයේ සතුටු සාමීචියේ යෙදී සිටිනවා. එක්වරම නිවසේ සීනුව නාද වෙනවා. එවිට ඔබ එක් එක්කෙනාට ඒ මොහොතේ කතාබහ කරමින් සිටි මාතෘකාවෙන් පිට විවිධ වූ සිතුවිලි එන්නට පුළුවන්. ඔබට සිතෙන්නට පුළුවන් ඒ ඔබගේ මිතුරෙක් වන්නට පුළුවන් කියා. තවත් කෙනෙකුට සිතෙන්නට පුළුවන් ඒ විදුලි බිල හෝ ලියුම් සපයන්නා කියා. තවත් කෙනෙකුට මේ අනපේක්ෂිත මොහොතේ සීනුව නාද කරන කෙනා කවුරුන් විය හැකිදැයි කෙලෙසකවත් අනුමාන කරගත නොහැකිවන්නට පුළුවන්. සමහර විට මේ වෙලාවේ සතුටු සාමීචිය තුළ තිබූ ආශ්වාදයට බාධා වීම තුළ කෙනෙක්ට තරහ සිතුවිල්ලක් එන්නටත් පුළුවන්.
ඔන්න දැන් ඔබ ගිහින් නිවසේ දොර විවෘත කරනවා. නිවසේ දොරකඩ සිටින්නේ කෑම ඕඩරයක් සපයන්නෙක්. ඔහු ඔබට පවසනවා කෑම ඕඩරයට බිල ගෙවා ඇති බව සහ එය භාරගන්නා ලෙස. එය ඔබ ඉතා කැමති වර්ගයේ කෑම ජාතියක්. ඔබගේ සිත සතුටින් පිරීයනවා. නමුත් ඒ එක්කම කවුද මේ කෑම තමන් වෙනුවෙන් ඕඩර් කර බිල ගෙවා එව්වෙ යන ප්‍රශ්නය ද ඔබ තුළ නැගෙනවා. මේ කෑම පාර්සලය දැකීමෙන් නිවසේ අනිත් අය ද සතුටට පත් වෙනවා. ඒ සමඟම ඔබට දුරකථන ඇමතුමක් එනවා. බලනකොට ඒ ඔබේ පරණ පාසල් මිතුරෙක්. අතීතයේ ඔබ ඉතා ළඟින් ඇසුරු කළ මිත්‍රයෙක්. ඔහු ඉන්නේ පිටරට. හදිසි වැඩකට ලංකාවට ඇවිත් ඉතා කාර්යබහුලව සිට ඔහු ආපහු පිට රටට යන බව ඔබට පවසනවා. පාසලේ ප්‍රාථමිකයට ඔබ ඇතුලත් වූ දිනයේ තමයි ඔබට ඔහුව මුලින්ම හමුවුණේ. එදා මුලින්ම දහවල් ආහාර ගන්නා විට ඔබ ඔහුට ඔබගේ කෑම එකෙන් කොටසක් දෙනවා. එතනින් ඇති වූ මිත්‍රත්වය තමයි දිගටම පැමිණියේ.
ඉතින් මේ විදිහට බැලුවහම මේ මොහොතේ සීනු හඬ ඇහෙන්ඩ කොපමණ කාරණා එකින් එකට සාපේක්ෂව ගොඩනැගිල තියෙනවද? විමසා බැලූවොත් තව තවත් මුලට මුලට යා හැකියි. එදා ඒ කෑම හදලා දුන්න ඔබේ ආච්චි අම්මා. ඇය ඒ කෑම එක හැදුවේ එදින ඔබේ අම්මා අසනීප වෙලා සිටිය නිසා. ආච්චි අම්මා හදපු කෑම ජාතිය ඔබේ මිතුරාගේ ප්‍රියතම ආහාරයක්.
ඒ වගේම මේ විදියට කෑම එක හදලා ඕඩර් එක ගෙදරට එන්න, දුරකථන ඇමතුමක් ඒ විදියට එන්න තාක්ෂණය ඒකට දායක වෙලා තියෙනවා. ඒ තාක්ෂණය ඒ විදියට නිර්මාණය වෙන්න, ගොඩනැඟෙන්න කොපමණ කාරණා හේතු සාධක වුණාද?
මේ ආකාරයට අපිට ඕනෑම මොහොතක ගොඩනැගෙන ඕනෑම සිදුවීමක හේතුඵල අපගේ මනසට ගෝචර වන ආකාරයට, අපට මතක තියෙන තොරතුරු ආශ්‍රයෙන්, අපගේ සිහිය උපයෝගී කරගෙන යම් කිසි වපසරියක් ආවරණය වන පරිදි හා යම්කිසි දුරක්, ගැඹුරක් දක්වා ගලපාගන්න පුළුවන්. එවිට ඒ තුළ සිදුවී ඇති සාපේක්ෂ ගොඩනැගීම යම් දුරකට හා වපසරියකට හඳුනා ගන්න පුළුවන්. ඒ වපසරිය හා ගැඹුර ක්‍රමයෙන් වැඩි කරන විට ඒ හා සම්බන්ධ වන සොබාදහමේ ඒකකයන් හා සම්බන්ධතාවයන්ද එන්න එන්න වැඩි වෙන අතර ඒ ගැඹුර හා වපසරිය ඊට අනුරූපව තව තවත් වැඩි වෙනවා.
මේ සාපේක්ෂ ප්‍රතිබද්ධ පරිණාමය තුළ ගොඩනැගෙන යම් එක් ඒකකයක් සැලකුවහොත් එයට මේ සමස්ත පද්ධතියටම බලපෑම් කිරීමේ හැකියාව ද පවතිනවා. එයයි මෙහි ඇති සුවිශේෂීභාවය. ඒ නිසා හේතුඵල ක්‍රියාවලිය ස්වංක්‍රීයව ඉබේ සිදුවන්නක් ලෙසට හැඳින්විය නොහැකියි.
අද සමාජයේ ප්‍රචලිතව පවත්නා "අවිද්‍යා පච්චයා සංඛාරා....."ආදී වශයෙන් හඳුන්වන පටිච්චසමුප්පාදය කෙනෙකුට දැනගත හැකි වන්නේ කෙසේද යන්න හොඳින් විමර්ශනය කර බැලුවොත් පෙනෙන කාරණයක් වන්නේ සංඛාර, විඥාන ආදී සෑම දෙයක්ම කෙනෙකුට දැකගත හැකි වන්නේ අවිද්‍යාව තුළ සිටම බවයි. ඒ බව එම න්‍යාය දක්වා ඇති ආකාරයෙන්ම පැහැදිලි වේ. ඒ අනුව කෙනෙකු සංස්කාර හේතුවෙන් විඤ්ඤාණය ඇති වන බව ද, විඤ්ඤාණ හේතු කරගෙන නාම රූප ඇති වන බව ද........ ආදී වශයෙන් මේ සම්පූර්ණ ක්‍රියාවලිය තේරුම් ගැනීමට යන්නේ "අවිද්‍යා පච්චයා සංඛාරා" හෙවත් අවිද්‍යාව මතම පදනම් වූ සංස්කාරයන් තුළිනි.
ඔබට අවිද්‍යාවෙන් තොර ව මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය තේරුම් ගන්න බෑ. ඉතිං ඒ තේරුම් ගැනීම තුළ විද්‍යාව නෑ. මුළාව මත ගොඩනැගෙන සංස්කාර ක්‍රියාවලිය පමණයි ඔබ එයින් දැනගන්නේ. ඉතිං ඒ තේරුම් ගැනීම තුළ විද්‍යාව නෑ. මෙතන අවිද්‍යාව කියන වචනය හරහා, බුදු ඇසින් දකින සම්පූර්ණ චිත්‍රයම බුද්ධ දර්ශනයම වැසී තිබෙන බව තමයි අඟවන්නේ. එසේ වැසුණු තැන සිට හටගන්නා සංස්කාර තුළින් ඔබ ලෝක යැයි සිතා ගන්නා දෙය ගොඩනැගිලා ඒ හරහා බවය හැදෙන ආකාරය තමයි පෙන්වන්නේ. ඔබට සංස්කාර තේරෙන්නේත්, වේදනා තේරෙන්නෙත්, ඵස්සය තේරෙන්නෙත් මේ සියල්ල තේරෙන්නේත අවිද්‍යාව මත පදනම්වයි.
පටිච්චසමුප්පාදයේ මතුපිට කතාවක් පමණයි මෙහිදී සිදුකර ඇත්තේ. එහි සත්ත්වයාට නොපෙනෙන කතාව පිළිබඳව ඉඟියක් පමණක් දී තිබෙනවා මේ ආකාරයට.
ඉමස්මිං සති ඉදං හෝති - ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති.
ඉමස්මිං අසති ඉදං නහෝති - ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති
සාපේක්ෂව, එකක් අනෙකට ප්‍රතිබද්ධව අන්තර්ක්‍රියා වෙමින් ගලනයක් ලෙස ස්වයං බුද්ධි ස්වභාවයත් සහිතව සිදුවන කර්ම ක්‍රියාවලිය හා මනසට ගෝචර ලෝකය මේ ආකාරයට වෙන් කර දක්වා තිබෙනවා. එය බුද්ධ විෂයට අදාල කාරණාවක්.
ඉතාමත් හොඳින් සිහිය දියුණු කළ කෙනෙකුට පෙනෙනවා, සිතිවිලි හැඟීම් දැනීම් ආදිය තමන්ගේ පාලනයෙන් තොරව යම් ක්‍රියාවලියකින් පටන්ගෙන උඩට මතු වී එන දේවල් බව. නමුත් ඒ පිළිබඳව න්‍යායන් සත්ත්වයාට ස්වයංව අනාවරණය කරගත හැකි කාරණා නොවයි.
මේ කාරණා මෙසේ වුවත් පටිච්චසමුප්පාදය අචින්ත්‍යයි කියන තැනට යන්න සුදුසු නැහැ. ඒක කර්මය අචින්ත්‍යයි වැනි මට්ටමකට යන්නේ නැහැ. සීමා සහිතයි. පටිච්චසමුප්පාදයේ බලපෑමට ලක්වන කෙනෙක් බවට පත් නොවී පටිච්චසමුප්පාදයට බලපෑම් කරන කෙනෙක් වීමටයි උත්සාහ කළ යුත්තේ. ඒ සඳහා මාවත වැටී ඇත්තේ මැදුම් පිළිවෙත හරහායි. නමුත් පටිච්චසමුප්පාදය අවිද්‍යා මූලික බව දැනගෙන සිටීම වැදගත්.
මාර්ගඵල ලාභියෙකුගේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය ගතහොත් එතැන වෙනත් අයෙකුට වඩා වෙනස් බවක් තියෙනවා. මොකද මගඵල ලැබීම තුළ එයාගෙ මමත්වයට බලපෑමක් සිදු වෙලා තියෙනවා. ඒ තුළ සමස්තයටද බලපෑමක් වෙනවා. තවද මාර්ගඵල ලාභියෙකුගේ මාර්ග දර්ශනය කියන දේ බොහෝ දුරට යම් නොවෙනස්වන දිශානතියකට යොමු වෙලා තියෙනවා.
පටිච්චසමුප්පාදය ගත්තම, කෙනෙක් දන්න දේවල් මත පදනම් වෙලා, තොරතුරු මත පදනම් වෙලා, පරිකල්පනය මත පදනම් වෙලා ගන්න තීරණ වලට අනුව සහ හැඟීම් ඔස්සේ හිතිලා ගොඩනැගෙන දෙයක් විදිහට තනි කෙනෙක් සම්බන්ධව අපිට සරලව මට්ටමින් කතා කරන්න පුළුවන්. නමුත් මෙහෙම අය ගොඩක් ඉන්න කොට ඒ ඒ අය අතර අන්තර් සම්බන්ධතාවයන් අනුව එන බලපෑමටද හසු වෙන බව අපිට තේරුම් ගත හැකියි. එය පටිච්ච සමුප්පාදය සහිතව ගොඩනැගෙන ධර්මතාවයක් බව අපට තේරුම් ගන්න පුළුවන්. අපි තව තවත් බලන විට එහි වපසරියද විශාල වන අතර ගැඹුරද වැඩි වෙමින් පෙනෙනවා.
පටිච්ච සමුප්පාදය ගොඩනැගෙන්නේම අවිද්‍යාව මත. විද්‍යාව නම් පටිච්ච සමුප්පාදය එසේ ගොඩනැඟෙන බව අවබෝධ වීමයි. විද්‍යාවෙන් පටිච්ච සමුප්පාදයක් ගොඩනැගෙන්නේ නැහැ. අවිද්‍යාව නිරෝධ වූ කෙනෙකුගේ සිත යම් මට්ටමකට සාමාන්‍ය ජීවිතේදි ගොඩ නැගුනත් ඒක පියවර කීපයකින් නවතිනවා. දිගට දිගට ගොඩනැගෙමින් යන්නෙ නෑ. ඒක එයා බවට පත් වෙන්නේ නෑ.
තනි පුද්ගලයෙක් ගතහොත් පටිච්චසමුපාදය මූලික කරගෙන කර්මය හට ගත්තා යැයි කිව හැකියි. එසේම අනෙක් පසින් කර්මය මුල් කරගෙන පටිච්චසමුප්පාදය හට ගත්තා යැයිද කිව හැකිය. උදාහරණයක් විදිහට පවුලක සිටින සහෝදර සහෝදරියන් කර්මය මූලික කරගෙන එසේ හමුවන අතර ඔවුන් ඊට පසු එකිනෙකා කටයුතු කරන ආකාරය, අන්තර් සම්බන්ධතා ගොඩ නගන ආකාරය මත පටිච්චසමුප්පාදය ගොඩනැගෙනවා. ඒ මත නැවතත් කර්මය ගොඩනැඟෙනවා.
සාමාන්‍ය කෙනෙකුගේ සිත අවිද්‍යා මූලිකව, පටිච්චසමුප්පන්නව තමයි ගොඩනැගෙන්නේ. හිත එසේ ගොඩනැගෙන්නේ මනස විසින් සකස් කර දෙන තොරතුරු හා සංස්කරණයන් මතයි. එහි දී මනස මූලික මට්ටමේ සංස්කරණය කරන ලද තොරතුරු ප්‍රමාණයක් ඉදිරිපත් කරනවා. විඥාන ආලෝක ධාතුවේ ක්‍රියාකාරිත්වයද එයට බලපානවා. ඒ තුළ තමයි ඉන්ද්‍රියන් හරහා එන රූප දර්ශනය ගොඩනැගෙන්නේ. ඒ තුළද අවිද්‍යාව ගැබ්ව තියෙනවා. ඒ නිසා මනසේ ක්‍රියාකාරීත්වය හරහා ගොඩනැගී සංස්කරණය වී ඉදිරිපත් වන මූලික මට්ටමේ තොරතුරුද පටිච්චසමුප්පන්නව ගොඩනැගෙන කාරණයක් ලෙස සැලකීම වරදක් නැහැ.
තව පැත්තකින් බැලුවොත්, මනස ඒ විදිහට ක්‍රියාකාරී වන්නේද කර්මය මතයි. එක් එක් අයගේ මානසික ක්‍රියාකාරීත්වයන් අතර වෙනසක් පවතින්නේ ඒ ඒ අයගේ කර්ම මත පදනම් වී ගොඩනැගී ඇති නිසයි. මෙතැනදී කර්මය, මනස, චිත්ත විෂය පටිච්චසමුප්පාදය හරහා කතා කලත් මේ කාරණා දැන ගත්තා කියලා සසර ගමන කෙළවර වෙන්න නෑ. ලෙඩක් බව දකිනවා , නමුත් ලෙඩෙන් ගැලවෙන ක්‍රමය ඒ තුළ නෑ. විද්‍යාව පහළ වෙන්න නම් පෙර නො ඇසූ විරූ දහමක් ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. ඒ හරහා බුද්ධිය හැදෙනවා, බුද්ධිය තුළ මමත්ව සංකල්පය ගොඩ නැගෙන එක නතරවෙනවා.
ධර්මය, ධර්මතා සහ න්‍යාය
2024-08-10