අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
බුද්ධ
සාසනයේ යාන්ත්‍රණය
2024-08-08
බුදු වරයෙක් මූලික වෙලා සාසනයක් නිර්මාණය වෙන්නේ සත්වයාගේ විමුක්තිය උදෙසායි. මෙසේ සත්ත්වයාගේ විමුක්තිය උදෙසා නිර්මාණය වන සාසනය බුදුවරයාගේ පටන් මහරහතන් වහන්සේලා, සංඝයා වහන්සේලා, ථෙරවාදී රහතන් වහන්සේලා හා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස ආදී වශයෙන් බෙදා දැක්වීම එහි යාන්ත්‍රණය යම් ආකාරයකට පැහැදිලි කරගත හැකි එක්තරා පැතිකඩකි.
සත්ත්වයා කියන්නේ හැඟීම් දැනීම් වලට මමත්වයෙන් එකතු වෙලා, හැඟීම් දැනීම් සහ මනසේ ගොඩනැගෙන කතන්දර තුල දෝලනය වෙමින් ජීවත් වන කෙනෙක්. නමුත් උපාසක හෝ උපාසිකා කියන්නේ යම් විදියකට ඒ දේවල් සම්බන්ධයෙන් කටයුතු කල හැකි උපායන් දන්නා කෙනෙක්. උපාය දන්නා පුද්ගලයා තමාට දුක ආවත්, සතුට ආවත්, ප්‍රශ්නයක් කරදරයක් මානසික පීඩාවක් ආදී කුමක් ආවත් ජීවිතය උපායශීලී විදිහට ගතකරන්න දන්නවා.
භික්ෂු, භික්ෂුණී කියන්නේ ආධ්‍යාත්මික මාර්ගයක් තියෙන, ඒ මාර්ගය අනුගමනය කරන පිරිසයි. ඒ තුළ ඔවුන්ගේ මාර්ග සත්‍යය අත්විඳිමින්, ධර්මතාවයන් තේරුම් ගනිමින් හා දකින්නට උත්සාහ කරමින් විමුක්තිය කරා ළඟා වීමට ඔවුන් කටයුතු කරනවා.
විශ්වයේ හැම සත්වයෙකුටම ගැලපෙන, විමුක්තිය ළඟා කරගත හැකි පොදු සූත්‍රයන් නැහැ. සෑම සත්වයෙක්ම ඔවුන්ට ආවේණික වූ ක්‍රමයකටයි ගොඩනැගිලා තියෙන්නේ. බුදු වරයෙක් මූලික වෙලා සාසනයක් ගොඩනැගෙන විට කුසලයන් වඩාගෙන යම් සැකස්මක් ගොඩනැගිලා තිබෙන සත්වයන්ට ඔවුන්ට ගැලපෙන, ඔවුන්ට ආවේණික සූත්‍රය ලැබෙනවා. තමන්ට ආවේණික වූ සූත්‍රය වැඩීම හරහා තමයි හීනයානය තුළ රහතන් වහන්සේලා බිහිවන්නේ. බොහෝවිට උන්වහන්සේලා දන්නේ සහ කතා කරන්නේ තමන් මාර්ගය ලෙස වැඩූ සූත්‍රය මූලික කරගෙන පමණයි. සමහර විට වෙනත් කෙනෙකුගේ විමුක්ති මාර්ගයට අදාල සූත්‍රයන් හීනයානික රහතන්වහන්සේලා බැහැර කරන්නත්, සැක කරන්නත්, විවේචනයන්ට ලක් කරන්නත් ඉඩ තිබෙනවා. එක් එක් සත්වයාගේ මාර්ගය හා අදාළ සූත්‍රය පිළිබදව හරියටම දකින්න පුළුවන් බුදු වරයෙකුට පමණයි. මහ රහතන් වහන්සේලාට සහ පසේ බුදුවරුන්ටත් එක් එක් සත්වයාට ආවේණික විවිධ මාර්ග සහ සූත්‍රයන් පිළිබඳව යම් දැක්මක් තිබෙනවා. මහායානය නිර්මාණය වන්නේ බුදුවරු, පසේබුදුවරු, සහ මහ රහතන් වහන්සේලාගෙන්. සංඝයා වහන්සේලා බිහිවෙන්නේ මහායානයෙන් තමන්ට අදාළ සූත්‍රය ලැබීමෙනුයි. හීනයානික රහතන්වහන්සේ නමක ගෙන් වෙනත් කෙනෙකුට හරියටම මාර්ගය වැඩෙන සූත්‍රය ලැබීම සිදුවනවා කියන එක අතිශය දුර්ලභ කාරණයක්.
ථෙරවාදී රහතන්වහන්සේ නමකට තමන්ගේ කුසලතාවයන් හා ධාරිතාවයන්ගේ ප්‍රමාණයේ හැටියට මහායානය තුළ මහරහතන්වහන්සේ නමක් බවට පත්වීමට ද හැකියාවක් තියෙනවා. මහායානය බවට පත්වෙනකොට සිද්ධ වෙන කාරණය තමයි දාර්ශනික විෂයය පථයන් තුළ පුළුල් වීම හරහා පටු චින්තනයන්ගෙන් ඉවත්වීම. රාමු වලට හිරනොවී ඉන්න තාක් මේ කාරණය යථාර්ථයක් බවට පත්කරගන්න හැකියාව තියෙනවා.
හීනයානය තුළ බිහිවන රහතන් වහන්සේලා බොහෝ විට තමන්ට වැටහුන, තමන් අත්දැකපු කාරණයම නිවැරදි යි කියලා ප්‍රකාශ කරන අවස්ථා තියනවා. ඒ වුනත් තව විවිධාකාර වු ක්‍රම තියෙන්න පුලුවන් කියන කාරණය උන්වහන්සේලා බොහෝ විට දකින්නේ නැහැ. මේක හීනයානය සම්බන්ධ කාරණාවක්. හීනයාන රහතුන්ගේ මතය වෙන්නේ තමන්ට වැටහුණ, තමන් අත්දැකපු කාරණය විතරක් ඇත්ත කියන එකයි. මේක හීනයානය සම්බන්ධ කාරණාවක්. උදාහරණයක් විදියට සමහරක් හීනයාන රහතුන්ගේ මතය වෙන්නෙ උදයවැය ඥානය වඩල විතරක් රහත් වෙන්න පුලුවන් කියන එක; තවත් රහතුන්වහන්සේ කෙනෙක් විඥානය නැති කරල රහත් වෙනවා කියන මතය තුළ ඉන්න පුළුවන්; තවත් රහතන්වහන්සේලා මමත්වය නැති කරලා විතරයි රහත්වෙන්න පුලුවන් කියලා කියන්න පුළුවන්; තවත් කෙනෙක් තුළ තියන විශ්වාසයක් තමයි පිං දහම් කරලා , දිව්‍ය තල වල ගිහින් නිවන් පූර්ණ කරන්න පුලුවන් කියන එක. මේවා කොයි විදිහකින් හරි හීනයාන රහතුන් තුළට රිංගල තියන අදහස්.
සමහර හීනයාන රහතන්වහන්සේලා බිහිවෙලා තියෙන්නේ මොකක් හරි එක මාර්ගයක් හෝ සූත්‍රයක් වැඩීමෙන්. තවත් විදිහකට හේතුඵල දහම බිඳිලා, ඵල පූර්ණය කරපු රහතන්වහන්සේලා ඉන්නත් පුලුවන්. නමුත් උන්වහන්සේලාට තමන් පූර්ණය කරපු ආකාරය විස්තර කළ නොහැකි වෙන්නට පුලුවන්. උදාහරණයක් විදිහට බෝම්බයකට අසුවුන මිනිසෙක්ට පුලුවන්ද බෝම්බය පුපුරපු ආකාරය කියලා දෙන්න? එය කළ නොහැක්කක්. ඒ ආකාරයටමයි තමන්ට හැඟෙමින්, දැනෙමින් තිබුණ දෙයක් විනාශ කළ විට එය හැඟීමක්, දැනීමක් ලෙස පවතින්නට හැකියාවක් නැහැ. මේ අනුව හීනයාන දහම දේශනා කරන රහතන් වහන්සේලා ඇසුරු කිරීමෙන් බොහෝ විට බිහිවන්නේ සිව්වනක් පිරිසයි. මගපල ලාභීන් බිහිවීම සිදුවෙන්න තියෙන හැකියාව ඉතාමත් අල්පයි. හීනයාන රහතුන් වහන්සේලාට තවත් රහතුන් බිහිකිරීමේ හැකියාව විරලයි. එසේ වන්නේ හීනයාන රහතන් වහන්සේලාට අවබෝධය තියෙන්නේ තමාට ග්‍රහණය වූ මාර්ගය ගැන පමණක් වීමයි. උදාහරණයක් විදිහට කෙනෙක් ඉන්නවා කියල හිතන්න තමන්ගේ ඇඳුම විතරක් මහගන්න දන්න. එයා දැනුවත් තමන්ගේ ඇඳුම, ප්‍රමාණය ගැන විතරයි. තමන් වෙත පැමිණෙන සියලු දෙනාට ඇඳුම් මසන්නට එයාට හැකියාවක් නැහැ. හීනයාන රහතුන්වහන්සේලත් ඒ වගේ. ඒ රහතන් වහන්සේලා දන්න මාර්ගයට ගැලපෙන සැකැස්මක් තිබෙන කෙනෙක් මුණගැහෙන්නේ ඉතාමත් කලාතුරකින් වෙන්න පුලුවන්.
මහායානික මහරහතන්වහන්සේලා බොහොමයක් විවිධ ඥාන දර්ශනයන් සහිත විශේෂ කුසලතාවයන් ඇති අය. දේශනා කරන ඕනෑම දහමක් තේරුම් ගත හැකි අය. කොතරම් ධර්ම දේශනා ශ්‍රවනය කළත් රාමුවක් තුල පිහිටන්නේ නැතුව ශ්‍රවනය කළ හැකි, ධාරණය කරගත හැකි පිරිසක්. බුදු කෙනෙක් පහළ නොවුනු සමයක මහායානයේ නමක් පහළ වුනොත් උන්වහන්සේ බුදු කෙනෙක් විදිහට හඳුන්වන්න පුලුවන්. බුදු කෙනෙකුන් නැති කාලයක මේ මහායන මහරහතන් වහන්සේලාගෙන් බුදු කෙනෙක්ගෙන් වගේ සේවයක් සිද්ධ වෙනවා. එසේ වන්නේ කොහොමද කියලා කියනවා නම්, හිරු නැති ලොවට සඳෙන් ආලෝකය ලැබෙනවා වගෙයි.
බුදු කෙනෙකුන් සමඟ ධර්මය අග මුල නෑර සාකච්ඡා කරලා වටහා ගැනීමේ හැකියාව බොහෝ විට මහරහතන් වහන්සේලාට පවතිනවා. ගෞතම බුදුන් වහන්සේ ගැඹුරු ධර්ම විෂයය කාරණා සාකච්ඡා කළේ මහරහතන් වහන්සේලා සමඟයි. චිත්ත විෂයය, කර්ම විෂයය, ලෝක විෂයය, සත්ත්ව විෂයය, බුද්ධ විෂයය ආදී වූ මේ සියලු ගැඹුරු විෂයය කාරණා සාකච්ඡා කළේ සැරියුත් මහරහතන්වහන්සේ, කාශ්‍යප මහරහතන් වහන්සේ ආදී අතලොස්සක් වූ මහරහතන් වහන්සේලා සමඟයි. අනිත් අයට ලබා දුන්නේ ඔවුනොවුන්ට ගැලවී යන මාර්ගයයි. නමුත් ධර්මය කියන විෂයය පථයන්, එහි සාරය හෝ මූලය සාකච්ඡා කළේ, පැහැදිලි කළේ මහරහතන් වහන්සේලාටයි. ඒ ගැඹුරු කාරණා වටහා ගැනීමේ හැකියාව ඇත්තේ ද උන්වහන්සේලාටයි. ඒ සියල්ල වටහා ගත් පසු මහායානයේ මහරහතන් වහන්සේලා මෙහි යාන්ත්‍රණය, තාක්ෂණික විෂයය පථයන් අවබෝධ කරගෙන අන් අයට කුසල් පූර්ණය කරගැනීමට අවස්ථාව සකසාදීමේ හැකියාවන් දියුණු කරගන්නවා. සම්මා සම්බුදු වරයෙක් නොමැති කාලයකදී මහරහතන් වහන්සේ නමක් බුදු කෙනෙක් වගේ කියලා පවසන්නේ මේ නිසාවෙන්.
කෙනෙකුගේ විමුක්තිය ධර්ම අවබෝධයක් හරහාම වනවා කියලා දෙයක් නෑ. අවංකත්වය හා පාරිශුද්ධවය තුළින් මේ වගේ මනස ප්‍රබල කාලයකදී සසරෙන් ගැලවීම පහසුයි. මොකද ධර්ම අවබෝධයන් ලෙස බොහෝ දෙනා මනස තුළ කතන්දර තමයි හදාගන්නේ. ඒ තුළ යම් තේරුම් ගැනීමක් තිබිය හැකියි. නමුත් ඥාන දර්ශනයකින් දකින්නේ නැතුව නිරෝධය සිදුවන්නේ නෑ. යම් කිසි කෙනෙක් බුදු කෙනෙක් මුණගැහිලා හරියටම බුදුන් බව දැකලා, සිහිය නුවණ පිහිටුවා වන්දනා කළහොත් එයම ඒ කෙනාගේ නිවීමට ප්‍රමාණවත් වෙනවා. ඒකට හේතුව ඒ මොහොතේ ඒ පුද්ගලයා තුළ තියෙන ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි, ප්‍රඥා කියන්නා වූ පංච බලයන් මුල් කරගනිමින් ඒ පුද්ගලයා ගැලවීමේ හැකියාව බුදුන් සතු වෙනවා. එය සිදුවන්නේ සර්වඥතා ඥානය තුලින්. එතනදි බුද්ධ කියන ධර්මතාවය තමයි සර්වඥතා ඥානය හරහා ක්‍රියාත්මක වන්නේ. ඒ ධර්මතාවය හරහා හේතු පූර්ණයක් තුළින් විමුක්තියට පත්විය හැකි අවස්ථාවක් නිර්මාණය වෙනවා. මෙහිදී ඒ පුද්ගලයාගේ පරණ තිබෙන හේතුඵලයක් හරහා ආධ්‍යාත්මය විවෘත වීමක් සිදුවෙනවා. හේතුඵලයක් හෝ විශේෂ කුසලයක් තිබීම හා ඒ කෙනාගේ පාර්ශවයෙන් සිදු වන ආධ්‍යාත්මික විවෘත වීම හරහා මේ දේ සිද්ධ වෙනවා.
උදාහරණයක් විදිහට දිනක් ගෞතම බුදුන් වහන්සේට දානය පූජා කරන්න විශාල පිරිසක් රැස් වෙලා සිටියා. මේ අතර රජවරු සිටුවරු පවා සිටියත් බුදුන් වහන්සේ දානය පිළිගත්තේ එක්තරා මහලු, දුප්පත් මවකගෙන්. ඒකට හේතුව වුනේ ඒ මව බුදුන්ට දානය ලෙස පූජා කරන්න රැගෙන ආපු රොටිය සකස් කරලා තිබුණේ නිවසේ තමන්ට ආහාරය සඳහා අන්තිමටම ඉතුරු වෙලා තිබුණ සහල් පිටි ටික හූරලා වගේ අරන් ඒ කුඩු වලිනුයි. ඒ මොහොතේ ඒ අම්මා තුල හැදිලා තිබුණ හේතුඵලය හරහා ඇයගේ අවංකත්වය, පාරිශුද්ධත්වය මත බෝධි චිත්තයක් හටගෙන හේතු පූර්ණය වීමක් සිදුවුණා.
සාසනය යනු සංඝයායි. සංඝයා පහළවන්නේ මහරහතන් වහන්සේලා හරහා මගපල ලාභීන් බිහි වීමෙන්. ඒක හරියට පරම්පරාවක් බිහි වෙනවා වගේ. සැරියුත් හා මුගලන් පරම්පරාව කියන්නේ ක්‍රමවේදයන් දෙකක්. ඒ හරහා මතුවන්නේ දහමේ සත්වයා ගැලවිය හැකි ක්‍රමවේද දෙකක්. ඒ තමයි සච්ච ගවේෂී සහ කුසල ගවේෂී කියන ක්‍රමවේදයන් දෙක. සැරියුත් මුගලන් ලෙස අදහස් කරන්නේ උන්වහන්සේලා දෙනමගෙන් කියන එක නෙමෙයි. පරම්පරාවක් යන්නයි. මෙතනදි පරම්පරාව ලෙස හඳුන්වන්නේ විද්‍යාවක්. ක්‍රමවේදයක්. ඒ තුළින් සංඝයා බිහිවෙනවා.
සම්මා සම්බුදු බුදුකෙනෙකුගේ ධාරිතාව දරා ගන්නට ධර්මධර, විනයධර සහ ඥානධර මහරහතන්වහන්සේලා, පසේ බුදුවරු හා අග්‍ර උපස්ථායක උපස්ථායිකා ලෙස සැකසී ආ අයට යම් හැකියාවක් පවතිනවා. එක් එක් අවස්ථාවන් වලදී බුදුන් තුලින් විද්‍යාමාන වන ධර්මතාවයන්, විනය කාරණා සහ පෙර නොඇසූ විරූ ගැඹුරු ධර්ම කාරණා වල මාත්‍රාව, ස්වාභාවය සහ ස්වරූපය මොන විදිය වුණත් ඒවා තේරුම්ගැනීමේ සහ දරාගැනීමේ නිපුණතාවයක් එවැනි මහරහතන්වහන්සේලා, පසේ බුදුවරු සහ අග්‍ර උපස්ථායක හා උපස්ථායිකාවට තියෙනවා. ඒ නිසා එවැනි අවස්ථා වලදී බුදුන්ට වෙන්න පුලුවන් අපහසුතා මගහැර පහසු වටපිටාවක් සකසන්න ඒ අයට පුලුවන් .
උදාහරණයක් විදිහට බුදුන් වහන්සේ එක්තරා අවස්ථාවක සැරියුත් මහරහතන් වහන්සේ සමඟ සිටි පිරිසක් බැන එලවා දමනවා. නමුත් සැරියුත් මහරහතන් වහන්සේ ඒ අවස්ථාවේ බුදුන් වහන්සේ තුල පැවති ස්වභාවය වටහාගෙන සිටිය නිසා ඒ ස්වභාවය උද්ගත වූයේ කුමක් නිසාද කියන කාරණය ගැන පරිණත අවබෝධයකින් යුක්තයි. නමුත් අනිත් පුද්ගලයින්ට මේ ගැන වැටහීමක් නැහැ. ඒනිසා එවැනි අවස්ථාවන් සුදුසු පරිදි කළමනාකරණය කරන්නට උන්වහන්සේ සමත්වෙනවා. මේ විදිහට සිදුවන ඕනෑම සිදුවීමක් සමඟ මනාව ගණුදෙනු කිරීමේ හැකියාව තියෙන්නෙ මහරහතන් වහන්සේලාටයි. උන්වහන්සේලා දකින්නේ ඒ මොහොතේ බුදුන් වහන්සේගේ ස්වරූපය නෙමෙයි බුදුන් පෙන්වා දුන් මාර්ගයයි. නමුත් බාහිර පුද්ගලයින් දකින්නේ බුදුන්වහන්සේට තරහගියා කියන කාරණාවයි. මහරහතන් වහන්සේලා බුදුන්වහන්සේ එම ස්වරූපය හරහා පෙන්නලා දුන්න මාර්ගය වටහා ගන්නවාත් එක්කම එහෙම වුනේ ඇයි කියන හේතු දැකීමේ හැකියාවෙනුත් යුතුවෙනවා.
භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස බිහිවෙන්නේ මහරහතන් වහන්සේලාගෙන් හා රහතන් වහන්සේලාගෙනුයි. ඒ බිහිවන සිව්වනක් පිරිසට අයිති හැමෝටම නිවන් දකින්න අවශ්‍යවෙන්නේ නැහැ. ඔවුන් සමහරෙක්ට අවශ්‍ය වන්නේ සාකච්ඡා කරන දේ තේරුම් ගනිමින් රැඳී සිටීමයි. බුදුන් වහන්සේ හරහා සිව්වනක් පිරිස ඍජුවම පහළ වන්නේ නැහැ. ඒ වගේම බොහෝ විට ඔවුන් සමඟ ඍජු සන්නිවේදනයක් සිදුවන්නේත් නැහැ. එසේ සිදුවනවා නම් එය සිදුවන්නේ ඔවුන්ගේ මාර්ගය හෝ විවරණ සම්බන්ධයෙන් පමණයි.
බුදුන්ට ගණුදෙනු කිරීම වඩාත් පහසු වන්නේ කුසල කර්ම පථයක් හරහායි. සිව්වනක් පිරිස තුළ හා සාමාන්‍ය ජනතාව තුළ නිතරම මෙවැනි කුසල කර්ම පථයක් පවතින්නේ නැහැ. එවැනි අවස්ථා වලදී බොහෝ විට මේ ගණුදෙනුව සිදුවන්නේ අග්‍ර උපස්ථායක හරහායි.
සම්මා සම්බුදු බුදුවරයකු හරහා සිදුවන ප්‍රධාන කාර්‍යයන් ලෙස,
1. චතුරාර්ය ශක්තිය දේශනා කිරීම.
2. දම්සක්පැවසුම ( කාලයට අනුරූපව ධර්ම චක්‍රය පවත්වන විදිය)
3. එක් එක් සත්වයාට ආවේණික මාර්ග සත්‍යයන් දේශනා කිරීම
4. සාසනය බිහි කිරීම
යන කාරණා සැලකිය හැකියි.
සාසනය බිහිකිරීම සම්බන්ධ කාරණය ඉතිහාස කොටසක් ඇසුරින් මෙසේ පැහැදිලි කරන්නට පුලුවන්. ගෞතම බුදුන් වහන්සේ බුදු වුනත් ඒ සමගම සාසනය බාහිරය තුළ පහළ වුනේ නැහැ. සාසනය පහළ වෙන්නේ පළවෙනි මහරහතන් වහන්සේ පහළ වුනාට පසුවයි. සම්මා සම්බුදුන් පහළ වන්නේත් ඒ සාසනය තුළ යි. කොණ්ඩඤ්ඤ තවුසාණන් රහත් ඵලය පූර්ණය කළාට පස්සෙ බුදුන් වහන්සේ “ කොණ්ඩඤ්ඤ , සාසනයේ උපත දැන් ආරම්භ වුනා” යැයි උන්වහන්සේ පැවසුවා. මහරහතන්වහන්සේලා, රහතන්වහන්සේලා, මගපල ලාභීන් වගේම කුසල් රැස් කරගත් පිරිස්ද, පිං කරගත් පිරිස් ද ඒ හරහා දිව්‍යමය මනෝ භාවයන් ඇතිකර ගත් පිරිස්ද මේ අතර සිටින්නට පුළුවන්. මෙය එක් මොහොතක් තුළ නොව, විශාල කාලපරාසයක් තුල සිදුවුන දෙයක්. ඒ ආකාරයට සාසනය බිහිවීමෙන් පසු සම්මා සම්බුදුන් බිහිවන අතර, සාසනය බිහිකළ හැක්කේ සම්මා සම්බුදුවරයෙකුට පමණයි.
මේ අතර, මහායානය තුළ එහෙමත් නැත්නම් මහ රහතන් වහන්සේලාට අදාළ වන අභ්‍යන්තර කාරණයන්ද තියනවා. මහ රහතන් වහන්සේලාට, බුදුවරුන්ට තමන්ගේ අභ්‍යන්තරයේ මේ වැඩපිළිවෙළ කරගෙන යන්න පංච උපාදානස්කන්ධය විනාශ වන තැනක්, හේතුඵල ධර්මය විනාශ වන තැනක්, වගේම තමන්ගේ අභ්‍යන්තරයේ සාසනය පහළ වන තැනක් තියෙනවා. මුලින්ම තමන්ගේ අභ්‍යන්තරයේ තියන සත්ත්ව ලෝකය තුළ සාසනය පහළවෙනවා. ඉන්පසුව උන්වහන්සේලාට බාහිර සාසනය නිර්මාණය කරන්නට පුලුවන් වෙනවා. සම්මා සම්බුදු බුදුන් වරයෙකු තුළත් මේ සංසිද්ධිය සිදුවෙනවා. සම්මා සම්බුදු වරයෙක් තුළ සත්වයාට සාපේක්ෂව වැඩීම නිසා අභ්‍යන්තරව හටගන්නා සත්ව ලෝකය තුළ මුලින්ම බුදු වෙනවා. උන්වහන්සේ තමන්ගේ ලෝකයට බුදුවෙලා, බුද්ධ පූර්ණය වෙලා, සසර පුරා තමන් ආපු එක් එක භව වලට ගොස් ඒ සෑම භවයක්ම බුදු කරනවා.
පන්සිය පනස් ජාතක තුළ තියන්නේ මේ සංසිද්ධියට අදාළ කාරණායි. එක් එක් ආත්මවලට ගිහින් බුදුන් ඒ භව බුදු කරවනවා. උදාහරණයක් විදිහට වඳුරු ආත්මයට ගිහින් ඒ ආත්මය බුදු කරවනවා. මෙයින් අදහස් කරන්නේ උන්වහන්සේ සැබැවින්ම වඳුරෙක් වූ බව නෙවෙයි. එයින් අදහස් වෙන්නේ එහිදී සිදුකළ දෙයයි. භව බුදු කළ බවයි. ගෞතම බුදුන්වහන්සේගේ ඇති සුවිශේෂීත්වය වන්නේ ද උන්වහන්සේ භව වලට ගොස් ඒ භව බුදු කිරීමයි. භව වලට ගිහින් භව තුළ බුදුවුණු නිසා උන්වහන්සේ ගෞතම බුදුන් නම් වුණා. බුදු වීම තුල උන්වහන්සේගේ බුද්ධත්වය ප්‍රබල වුනේ ඒ ඒ භව වලට ගොස් බුදු වීම තුළිනුයි. උන්වහන්සේගේ සියලු සත්ත්ව භවයන්හි බුදු වුණා. ඒ විදිහට තමා තුල හැදුන සත්ව ලෝකය තුළ බුදු වුනාට පස්සේ තමයි බාහිර ලෝකය තුල සම්මා සම්බුදු වීම සිදුවන්නේ. ඒ බුද්ධත්වය කෙතරම් පූර්ණ දැයි කිවහොත් නිරපේක්ෂ, අවිඥාන සහගත, මානසික ලෝකය තුල නොදැකිය හැකි ධර්මය මිනිසුන්ගේ මනෝ ගර්භයට වැටෙහෙන විදිහට කතාකරන්නට තරම් හැකියාවක් උන්වහන්සේ තුළ සකස් වෙනවා.
බුදුන් වහන්සේ විසින් භාෂාවකින් තොර, විඥානයකින් තොර, මතකයකින් තොර ධර්මය සමාජය තුළට ගෙනවිත් සමාජය තුළ සනාතන දහමක් ලෙස ගොඩනංවනවා. එසේ වීම තුල ලෝකයා උන්වහන්සේ බුදු කෙනෙක් ලෙස දැකීම ආරම්භ වෙනවා. එය කෙලෙසකවත් නැවත්විය හැකි දෙයක් නොවෙයි. ජන විඥානය තුළ බුදු කෙනෙක් කියන කාරණය හටගන්නවා. එය සිද්ධවෙන්නෙ බාහිර සමාජයට ධර්මය මතුකිරීමට සාපේක්ෂවයි. මෙසේ පංච ගෝචර නොවන ධර්මය, පදාර්ථ ඝනය තුළ බිහිකරන හැකියාව බුදුන් සතුයි. උදාහරණයක් විදිහට, ශක්ති මට්ටමේ තිබුණ හයිඩ්‍රජන් හා ඔක්සිජන් ජලය ලෙසට පදාර්ථ ඝනයට පත්වීම වගේ දෙයක්. මේ ආකාරයට ධර්මය ශක්ති මට්ටමෙන් පදාර්ථ ඝනයට පිහිටුවීම බුදුවරයෙක් හරහා සිදුවෙනවා. එසේ ධර්මය පදාර්ථ ඝනයට පිහිටුවීමෙන් පස්සේ, බාහිර ලෝකයේ මිනිසුන්ගේ ප්‍රඥා චෛතසිකයන්ට මේකේ ඉව වැටෙන්නට පටන් ගන්නවා. ඒක අති ප්‍රබල සිදුවීමක්. සාසනයේ හටගැනීම කියන්නේ මෙයයි. මේ ආකාරයට තමයි බුදු වරයෙක් හරහා බාහිර ලෝකයේ සාසනයක් බිහිවෙන්නේ. ගෞතම බුද්ධ සාසනයේ මූලය වන්නේ ගෞතම බුදුන්ගේ සාසනය පවත්වාගෙන යන්න බිහිවුණු බුදු, පසේබුදු, මහරහතන්වහන්සේලා ඇතුළු පිරිසයි. සාසනය පහළ වෙනවත් එක්කම චතුරාර්‍ය ශක්තිය දේශනාවන් සිදු කරමින් සාසනය ගොඩනැගීම වෙනුවෙන් බුදුන්වහන්සේ සම්බන්ධවෙලා ඉන්නේ මහරහතන් වහන්සේලාගෙන් විහිදිලා යන සාසනයේ මූලය සමඟයි.
සම්මා සම්බුදු වරයෙක් සමීපව ගණුදෙනු කරන්නේ ඉතා සුළු පිරිසක් සමඟ පමණයි. උන්වහන්සේ සමඟ සමීපව ගණුදෙනු කළ පිරිස තමයි සමාජයට දහම රැගෙන ගියේ. ඒ හරහා සතර මහා ධාතුව තුළ නොපවතින බුද්ධ නැමති පණිවිඩය පදාර්ථකරණය වෙලා ලෝක සත්වයාට ඇහෙන්නට දැනෙන්නට පටන්ගන්නවා. චුල්ලපන්ථක හාමුදුරුවන්ට ලබා දුන් ස්පර්ශය හා වේදනාව පිළිබද සූත්‍රය අදටත් පවතිනවා. ගෞතම බුද්ධ සාසනය තුළ ගෞතම බුදුන් හරහා පැමිණි බුද්ධ පිළිබඳ ඒ පණිවිඩය අදටත් ජීවමානව පවතින්නේ මේ සාසන නිර්මාණය කාර්යය තුළයි.
ධර්මය, ධර්මතා සහ න්‍යාය
2024-08-10