maithribodhi
maithribodhi

අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න

maithribodhi

කර්ම

නිවැරදි වීම ක්‍රියාවෙන් පටන් ගන්න

2024-08-08

Maithribodhi

අපි අහල තියෙනවා චේතනාව තමයි කර්මයට මුල පුරන්නෙ කියලා. මේ සන්දර්භයේදී චේතනාවක් කියන්නේ මොකක්ද කර්මය කියන්නේ මොකක්ද චේතනාව කර්මයට මුල පුරන්නේ කොහොමද ඒදේ එතනින් එහාට ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියලා අපි බලමු. 

 

චේතනාවක් සකස් වෙන්නෙ කොහොමද? අපිට ඇඳුමක් මිලදී ගන්න හිතෙන අවස්ථාවක් සලකා බලමු. ඒ මුලින්ම හට ගත්ත දේ තමයි අරමුණ. ඉස්සෙල්ලම අපේ මනස තුළ ඒ ඇඳුම පිළිබඳව රූපයක් හටගන්නවා. ඒ රූපය කේන්ද්‍රකරගෙන ඊට පස්සේ සිතිවිලි එකින් එක හටගන්න පටන් ගන්නවා. ඒ සිතුවිලි රූපය මූලික කරගෙන තමයි හටගන්නේ. ඒ සිතිවිලි පහළ වන ප්‍රමාණය ටිකෙන් ටික වැඩි වෙනවා. එතකොට කැමැත්ත ආසාව වැඩි වෙනවා. අරමුණ මූලික කරගෙන තමයි ඒ සියල්ල වැඩි වෙන්නේ. එක පැත්තකින් බැලුවොත් ඒක ආකර්ෂණ නීතියට අනුකූලයි. ඒ සිතිවිලි යම් ප්‍රමාණයක් ඉක්මවා යනවිට චේතනාවක් හටගන්නවා. හැම සිතිවිල්ලක්ම කියන්නේ ශක්තියක්. තමන්ගේ ඇතුලතාන්තය මේ සිතිවිලි විසින් අභිබවා යනවා. චේතනාව බලවත් වෙනවා. මෙතනින් අදහස් කරන කර්මය තමයි ක්‍රියාව කියන එක. චේතනාවක් නැතුව ක්‍රියාවකට මුලපිරීම සිද්ධ වෙන්නෙ නෑ. 

 

යමක් කරන්ඩ ඕන කියලා අරමුණක් ආවා. ඒක හරියට ඉලක්කයක් වගේ දෙයක්. ඒ හා සම්බන්ධ රූපයක් ගොඩනැඟුණා. ඊට අදාලව සිතිවිලි පහල වෙන්න පටන් ගත්තා. ඒ සිතිවිලි ගොන්නක් ඇති වුණාට පස්සේ ඒකට චේතනාවක් පහළ වුණා කියනවා.  චේතනාව බලවත් උනාට පස්සේ කර්මය සිද්ධ වෙනවා. 

 

අරමුණු පහල උනාට චේතනාව බලවත් නොවෙන්නත් පුළුවන්. චේතනාව බලවත් වුනොත් තමයි ක්‍රියාත්මක වීම සිද්ධ වෙන්නේ. බුදුවරු රහතන් වහන්සේලාට අරමුණු තිබ්බෙ නැත්තං පැවැත්මක් නෑ. එතකොට කැලේ තියෙන ගස් වගේ. ඒ අය අරමුණු පහළ කර ගන්ඩ ඕනා. අනිත් අයට රාග ද්වේශ මෝහ මූලික කරගෙන අරමුණු පහළ වෙනවා. 

 

ධර්ම මාර්ගයේ යන අය විදියට අපි කුසල චේතනා සහ කුසල ක්‍රියා පැත්තට යොමු වෙන්න ඕන. ඒ සඳහා තමන් තමන්ගේ නිත්‍ය අරමුණු තීරණය කර ගන්ඩ ඕන. රාග ද්වේෂ මෝහ වලින් තොර අරමුණු හදාගන්න ඕනා. තමන්ට යමක් හිතෙනවා නම් ඒ තුළ මමත්වය රාග ද්වේශ මෝහ තියෙනවද කියලා බලන්න ඕනා. එසේ අරමුණ පරික්ෂා කිරීමෙන් අරමුණ පිරිසිදු කරගන්න පුළුවන්. අරමුණ පිරිසිදු නම් එය කේන්ද්‍ර කරගෙන ඇති වන සිතිවිලි ද පිරිසිදු වෙන්න පටන් ගන්නවා. එහෙනම් පිරිසිදු අරමුණක් හදා ගැනීම තමයි මූලික වෙන්නේ. 

 

අරමුණත් පිරිසිදුයි, සිතිවිලිත් පිරිසිදුයි, නමුත් ක්‍රියාව අපිරිසිදු වෙන්න පුළුවන්. ඒකට හේතුව, ක්‍රියාත්මක වෙන්නේ කෙසේදැයි මනා අවබෝධයක් නොතිබීමයි. උදාහරණයක් විදියට හාමුදුරු කෙනෙක් පිණ්ඩපාතේ වඩිනවා දැකලා පිණ්ඩපාතය පූජා කරන්න අරමුණක් ඇති වෙනවා. ඒ පිළිබඳ සිතිවිලි පහළ වෙනවා නමුත් කොහොමද ඒක දෙන්නෙ කියලා දන්නෙ නෑ. ඒ වගේ තැනකදී ක්‍රියාව අපිරිසිදු වෙන්න පුළුවන්. මෙතැනදී කර්මය තමයි ක්‍රියාව කියලා අදහස් කරන්නේ. නිසා අපි ක්‍රියාවත් පිරිසිදු ද කියලා විමසිලිමත් වෙන්න ඕන. අවසානයේ වඩා වැදගත් වන්නේ ක්‍රියාව පිරිසිදු වීමයි. කෙනෙක් වසලයෙක් වෙන්නෙ බ්‍රාහ්මණයෙක් වෙන්නෙත් මේ අනුව කියලා ගෞතම බුදුහාමුදුරුවො කිව්වෙ ඒකයි. 

 

ක්‍රියාව නිවැරදි වෙන්න ධර්ම ශ්‍රවණය බලපානවා. කල්‍යාණ මිත්‍රත්වය බලපානවා. එහෙම නැතුව ක්‍රියාව පිරිසිදු කරගන්න අමාරුයි. බොහෝ අයගේ අරමුණ පිරිසිදු උනාට ක්‍රියාව මිථ්‍යාදෘෂ්ටිකයි. වංචනිකයි. මෙහිදී සම්මුතියට සහ පරමාර්ථයට දෙකටම සාපේක්ෂව නිවැරදි වීම සමබර වීම තමයි විය යුත්තේ. උදාහරණයක් විදිහට දහම් සාකච්ඡා කිරීමේ අරමුණ පිරිසිදුයි. නමුත් වචන භාවිතා කිරීමේදී සැලකිලිමත්ව ඒ දේ කළ යුතුයි. මාර්ග සත්‍ය තුළදී සම්මුතියත් සත්‍යක්, පරමාර්ථයත් සත්‍යයක්. සම්මුතියේ ඉන්නකොට පරමාර්ථය පෙනෙන්නෙ නෑ පරමාර්ථයේ ඉන්නකොටත් සම්මුතිය පෙනෙන්නේ නෑ. හැබැයි අවබෝධයට පත් වෙච්ච කෙනා සම්මුතියටත් පරමාර්ථයටත් දෙකටම හානි නොකර කටයුතු කරනවා. 

 

ක්‍රියාව නිවැරදි කර ගැනීම සඳහා, ඒ තුළ නිවැරදි සිහිය තියෙනවද කියලා බලන්න. නිවැරදි කල්පනාව තියනවද කියල බලන්න. සම්මා දිට්ඨියත් මෙතනදි වැදගත් වෙනවා. ඒ වගේම ක්‍රියාව තුළ දී ඇලීම ගැටීම අයින් කරගන්න පුළුවන් නං,  ඒ ක්‍රියාව වඩා නිවැරදි වෙනවා. අනිත් කාරණය තමයි අවිහිංසා වාදී වීම. සිතින් කයින් වචනයෙන් කිසිවකුට හිංසාවක් නොවිම. 

 

චේතනාව පහළ වීම ස්වාභාවිකයි.  ඒක බලෙන් හදාගන්න බෑ. අරමුණක් ඇති වෙච්ච ගමන් එය කේන්ද්‍රකරගෙන සිතිවිලි පහල වෙන එක ස්වභාවිකයි. 

 

අපිට එකපාරට සර්ව සම්පූර්ණ වෙන්න බෑ. ක්‍රියාවෙන් ක්‍රියාව තමයි නිවැරදි වෙන්න වෙන්නේ. මේ කතාව දැනුමක් විදියට තේරුම් ගත්තොත් ප්‍රායෝගික වෙන්නේ නෑ. තමන්ගේ ඇතුලට බැහැලා ඇතුළාන්තයේ ඉඳන් තේරුම් ගන්ඩ ඕන. 

 

මේ සංසිද්ධිය විශ්ව කර්ම න්‍යායට සම්බන්ධ වෙන්නේ කොහොමද? 

 

කර්මය ක්‍රියාත්මක වෙනකොට, ඒ ක්‍රියාව තුළින් තමයි බලපෑම සිද්ධ වෙන්න පටන් ගන්නේ. මම සහ බාහිර කෙනා කියන අභ්‍යන්තර හා බාහිර අන්ත දෙකත් හේතු පලයත් හට ගන්නේ එතනදී. ආර්යයෙකුට ඔබ යමක් පූජාකරොත් එයා ඇත්තටම ඒක බාර ගන්නේ නෑ. පුජා කරන කෙනාගේ හේතු ඵලය තමා අනුමෝදන් වෙන්නේ. හේතුව බාරගෙන එයාට ඵලය දෙනවා. එතනදි පූර්ණය වෙන්නේ කුසල හේතු. ඒ තුල කුසල විපාකයකට කාරණා සකස් වෙනවා. එහි විපාකය තුළ නැවත හේතු සකස් වෙනවා. දන් දීම සිල් රැකීම භාවනා කිරීම මේ සියල්ලදීම වෙන්නේ කුසල හේතු සකස් කිරීම. හේතුවක් හේතුවක් වන්නේ කෙසේද ඵලයක් ඵලයක් වන්නේ කෙසේද කියන තැනදි තමයි මෙය කර්ම න්‍යායට සම්බන්ධ වන්නේ.


 

Buddha Bodhi ලෝක

ධර්මය, ධර්මතා සහ න්‍යාය

ධර්මය කියන එක සැලකුවාම ඒ තුළ ස්වභාවයන්, ලක්ෂණ, තොරතුරු, ක...
Buddha Bodhi ලෝක

පෘතුවිය, සක්වල හා ආත්මය

*පෘතුවිය ගෝලයක්ද?   අධ්‍යාත්...
Buddha Bodhi ලෝක

ලෝකෝත්පත්තිය

බුද්ධ ඥාන තුල ඇති එක්තරා හැකියාවක් තමයි සෛලයක...
Buddha Bodhi සත්ව

ආලෝකයේ මෝහ අඳුර

බුද්ධ ගේ දර්ශනයට ආලෝකයක් ලෙස දිස්වන බල ක්ෂේත්‍රයක් සූ...

අධ්‍යාත්මය මනසින් දැකිය නොහැක.

ඔබේ ආවේණික ධර්ම මාර්ගය අවංකත්වය හෝ ඥාන දර්ශනය තුලින් සොයාගන්න....