maithribodhi
maithribodhi

දත්ත නොමැත.

maithribodhi

රාහුලෝවාද

2024-08-10

Maithribodhi

රාහුල කියන්නේ සිද්ධාර්ථ බෝසතාණන් ගේ පුතා. රාහුල කුඩා කාලයේම මහණ කලත්  මහණ වෙලා මාස හයක් වගේ කාලයක් පමණයි පැවිදි ජීවිතයේ සිටියේ. ආපහු ගිහි ජීවිතයට ගියා. ගෞතම බුදු හාමුදුරුවෝ මේ සම්බන්ධයෙන් මුකුත් කියන්න ගියේ නෑ නිහඬව සිටියා. නමුත් මේ සිදුවීම ගෞතම බුදු හාමුදුරුවන්ගේ දුර්වලතාවයක් විදිහට තමයි එදා සමාජය අඳුරගත්තේ.

 

ඒ කෙසේවෙතත් රාහුල නිතරම හාමුදුරුවරු ආශ්‍රයේ තමයි හැදුනේ වැඩුනේ. ඔහුගේ හොඳම යාළුවා වුණේ අනාථපිණ්ඩික සිටුතුමාගේ පුතා. ඒ හැරෙන්න ඔහු බොහෝවිට තනියෙන් හිටපු, අනිත් අයගෙන් වෙන් වූ ස්වාධීන චරිතයක්. පැවිදි ජීවිතයේ නොසිටියත් නිතරම බුදුන් වහන්සේ සමීපයේ සහ ආරාමයන් තුළ තමයි රාහුල හැදුනේ වැඩුනේ. භාවනා කරන හාමුදුරුවරුන්ට වතුර ගෙනත් තියෙනවා සිවුරු හෝදලා දෙනවා වගේ උපස්ථාන වැඩත් කලා.

 

මේ අතර රාහුලගේ පුරුද්දක් තිබුණා වැලි අහුරක් අරන් උඩ දාලා ප්‍රාර්ථනා කරනවා මේ වැලිකැට ගානට මට අවවාද ලැබේවා කියලා.  දවසක් එහෙම කරන අතරේ මුගලන් හාමුදුරුවෝ එතනට ආවා. රාහුල වැලියහුර උඩ දානවා දැකලා, උන්වහන්සේ රාහුලගෙන් ඇහුවා, 

“ඔය වැලි ඇට උඩ දාන්නම ඕනද අවවාද ලබා ගන්න” කියලා. 

“වැලි අහුර උඩදාන්නම ඕන නැහැ අවවාද ලබාගන්න. වැලි අහුර උඩ නොදැම්මත් අවවාද ලබාගන්න පුළුවන්.” කියලා රාහුල පිළිතුරු දුන්නා. 

“එහෙනම් ඇයි ඕක හැමදාම කරන්නේ?” කියලා මුගලන් හාමුදුරුවෝ අහනවා.

එවිට රාහුල කියනවා, 

“ඔබවහන්සේ වැලි අහුරක් උඩ දාලා අවවාද ලැබෙනවාද කියලා  බලන්න.” කියලා.

මුගලන් හාමුදුරුවෝ එතකොට මෙහෙම කියනවා.  

“මට  මේ වැලි අහුර අතින් උඩ දාන්නේ නැතිව  චිත්ත ආකාරයට වැලි අහුරක් උඩ දාන්නත් පුළුවන්. පොළොව උඩදාන්නත් පුළුවන්. තව තව ක්‍රමවලටත් වැලි අහුරක් උඩ දමන්න පුළුවන්. ඕනෑම ආකාරයකට මට එහෙම කරන්න පුළුවන්. වැලි අහුරු උඩ දාන්න වැලි අතට ගන්නම ඕන නැහැ.”

මේ කතාව අහගෙන හිටපු රාහුල කියනවා, “ඔබ වහන්සේට ඒ ඔක්කොම පුළුවන්නේ. හැබැයි වැලි අහුරක් අතට අරන් උඩ දාල නැහැනේ. විසි කරල බලන්නකෝ” කියලා. 

 

මුගලන් හාමුදුරුවෝ නිහතමානී චරිතයක් නිසා රාහුල කිව්ව විදිහට වැලි අහුරක් අරන් උඩ දාලා  වැලි කැට ගානට අවවාද ලැබේවා කියලා හිතනවා. ඊට පස්සේ රාහුල මුගලන් හාමුදුරුවන්ගෙන් අහනවා මොකක්ද දැන් හිතුනේ කියලා. 

උන්වහන්සේ කියනවා, 

“මම හිතන පතන කරන සියලු දේ පිළිබඳ මට හරි අවබෝධයක් තියෙනවා නම්, මට නැවත නැවතත් අවවාද බාහිරින් සෙවීමට අවශ්‍ය නැහැ කියන කාරණය තමයි තේරුනේ” කියලා.   

 

ඇත්තටම හරියට අර්ථකථනය කරොත් ඒක තමයි ධර්මතාවය. අවවාද හැමදාම පිටින් බලාපොරොත්තු වෙනවා කියන්නේ හැමදාම තමන් වැරදියි කියන එකයි. ඒ කියන්නේ තමන් තවමත් නිවැරදි වෙලා නැහැ හැදිලා නැහැ කියන එකයි. 

 

රාහුල කියනවා,

“හැමදාම මම හිතන පතන සහ කරන දේ පිළිබඳ හරි අවබෝධයෙන් හරි දැක්මෙන් කරනවා නම් මටත් අවවාද අවශ්‍ය නෑ කියන එක තමයි  හැමදාම තේරුනේ” කියලා. 

 

මුගලන් හාමුදුරුවෝ නැවත ප්‍රශ්න කරනවා, “ඇයි එහෙනම් ඒ දේ නැවත නැවත කරන්නේ?”යනුවෙන්.  

ඒකට හේතුවක් රහසක් තියෙනවා කියමින් රාහුල කෙලින්ම පිළිතුර දෙන්නේ නැතුව එතනින් පිටත් වෙලා යනවා.මෙතනදී මුගලන් හාමුදුරුවන්ට සැකයක් ඇතිවෙනව  මේ රාහුල නොකියන හේතුව කුමක්ද කියන එක පිළිබඳව. එයා දන්නවා රාහුල ප්‍රඥාවන්තයෙක් බව. 

 

වැලි අහුරක් උඩ දැමීමේ කතාව ඔතනින් තමයි ප්‍රසිද්ධ වෙන්නේ. ඉන් පසු මේ කාරණය පිළිබඳව භික්ෂූන් වහන්සේලා අතර ලොකු දහම් කතිකාවක් ඇති වී දම්සභා මණ්ඩපය තුලදී සාකච්ඡාවට භාජනය වුණා. වැලි අහුරක් උඩ දාලා ඕවාද ප්‍රාර්ථනා කරනවා කියන එක  මොනතරම් හරිද කියලා. ඒ කතාවට ලොකු ප්‍රසිද්ධියක් ලැබුණා. ඒ තුලින් තමයි මේක සමාජගත වෙන්නේ. එතෙක්  ඇත්තටම කවුරුත් මේ ගැන දැනගෙන හිටියේ නැහැ. 

 

ඊලඟට ඔය කතාව බුදුහාමුදුරුවන් ගෙන් විමසනවා.

”රාහුල හැමදාම වැලි අහුරක් උඩ දාලා ප්‍රාර්ථනා කරනවා මේ වැලිකැට 

ගානට අවවාද ලැබේවා කියලා. මේක මොනතරම් සාර්ථකද?  ඇයි මෙහෙම කරන්නේ. එක වෙලාවක වැලි අහුරක් උඩ දාලා ඒ ප්‍රාර්ථනාව කරලා හරියට අවවාද ගත්තා නම් ඒ ඇතිනේ. මේක ප්‍රායෝගිකද?” කියලා භික්ෂූන් බුදුහාමුදුරුවන්ගෙන් අහනවා.  ඒ ගැන විවිධ අදහස් ඉදිරිපත් කරනවා.

 

මේ අවස්ථාවේදී ගෞතම බුදු හාමුදුරුවෝ  ඕවාද සූත්‍රය දේශනා කරනවා.

 

ඕවාද සූත්‍රය කියන්නේ රාහුලට දුන්න අවවාද කියන එක නෙමෙයි. අවවාදයක් අවවාදයක් විදියට දිය යුතු ක්‍රමය හෙවත් සූත්‍රය තමයි  දේශනා කරන්නේ. අවවාදයක් දෙනවා නම් ඒකට සූත්‍රයක් තියෙනවා. ක්‍රමයක් තියෙනවා. මොකක්ද ඒ සූත්‍රය? ක්‍රමය? බුදුහාමුදුරුවෝ මේ අවස්ථාවේදී භික්ෂූන් වහන්සේලා ඉදිරියේ උන්වහන්සේගේ පාරමී ශක්තිය ඥාන ශක්තීන් සහ තමා විසින් අවබෝධ කරගත් ධර්මය හා වගකීම් පිළිබඳ සිංහ නාදයක් ද කරනවා.

  

“මා සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සේ පාරමී, උපපාරමී, පරමත්ථ දම් පාරමී සපුරා සියලු ගුණ ධර්ම පුරා සියලු සත්‍යවයන් අවබෝධකර, සියලු කෙලෙසුන් ප්‍රහීණ කර ලබා ගත්තා වූ සියලු ඥාන ලබාගෙන සම්මා සම්බුද්ධත්වයට පත්වී ඒ තුළ දතයුතු සියලු ධර්මයන් අවබෝධ කරගත්තා.  මා මේ කරණ ලද ප්‍රකාශය ඔතැන සිටින කිසිවෙකුට හරි කරන්න පුළුවන්ද? “ කියලා අහනවා. 

“කාටවත් බැහැ. කාටවත් එවැන්නක් නැහැ. ඔබලා හිතනවද මෙහෙම ප්‍රකාශයක් බුදුකෙනෙකුට හැර කාට හරි කරන්න පුළුවන්ද?”

“අපි නම් හිතන්නෙ නෑ ස්වාමීනී” කියලා භික්ෂූන් පිළිතුරු දෙනවා. 

 

“මා කතා කරන ඕවාද සූත්‍රය නම් මෙයයි. මා දේශනා කළා යැයි, මා වදාළේ යැයි,  ඔබට ධර්මයක් දේශනා කරන්නට තරම් ඔබ මා දේශනා කරන ධර්මය කෙරෙහි පැහැදී, ඒ ධර්මය ශ්‍රවණය කර, ධර්මය ධාරණය කර, ඒ ධර්මයට අනුරූපව, ඒ ධර්ම න්‍යායට අනුකූලව, ඔබ සත්වයාට ධර්මය දේශනා කරයිද, මා ඒ  ධර්මයට වගකියනවා. ඒ කියන්නේ බුද්ධ ඒ ධර්මයට වග කියනවා. එතකොට මේ ලෝකයේ යම් සත්වයෝ ප්‍රමාණයකට අවවාද අනුශාසනා කරයිද, ඒ අවවාද අනුශාසනා වලටත් මම වග කියනවා. මම මේ සියල්ල දත යුතු නුවණින් දතයුතු ආකාරයටම අවබෝධ කරගත් බැවින් මා මේ කතා කරන විෂයය පථයට සහ එයට අනුරූප කතා කරන හැමදේකටම මා වගකියනවා.”

ඔය විදියට ගෞතම බුදුන් වහන්සේ තමන් දේශනා කරන ධර්මයන්ට වග කියන බව පැහැදිලි කරමින් ඒ පිළිබඳව දීර්ඝ විස්තරයක් කරනවා.

 

“රාහුල වැලි අහුරක් හැමදාම උදේට උඩ දාලා අවවාද ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම  ඒ අවවාද ප්‍රාර්ථනා කරන අරමුණ තමයි උන්වහන්සේ ධර්ම විනය කියන කාරණාවට පිටින් යන්නේ නැහැ කියන එක. කිසි දිනක ධර්මය සහ විනය කියන මේ බුද්ධ දේශනාවට පිටින් යන්නේ නැහැ කියන එක තමයි උන්වහන්සේගේ එකම ප්‍රාර්ථනය සහ අරමුණ වී ඇත්තේ...”

 

මෙහිදී ගෞතම බුදුහාමුදුරුවෝ තවදුරටත් මෙහෙම කියනවා.

“මාගේ ශාසනය තුළ ප්‍රථම  ධර්ම ප්‍රචාරකයා වූයේ රාහුලයි. ඒ ධර්ම න්‍යාය රැකගත් ප්‍රථම කෙනා රාහුලයි”

 

රාහුලෝවාද  සූත්‍රය කියන්නේ රාහුලට දුන්න අවවාද ටිකක් කියන එක නෙමෙයි. ඕවාද සූත්‍රයක් තියෙනවා. ඕවාද සූත්‍රය කියලා කියන්නේ ඔබ යම්කිසි ඕවාදයක් දෙනවා නම් ඔබ එහි වගකීම දරන්න ඕනේ. ඕවාද දෙනවා කියන එක බරපතල අමාරු වැඩක්.  ඔබ මේක කරන්න එපා කිව්වොත් එහෙම ඒ කියන එක තුළ  එයට ඔබ සීයට සියයක් වගකීමෙන් බැඳෙනවා. ඕවාද දෙනවා කියන්නේ බරපතල දෙයක් කිව්වේ ඒ නිසයි. හැබැයි සත්වයා වෙනුවෙන් ඔබ දෙන අවවාද, ඔබ කරන කුමන හෝ ක්‍රියාවකට, තුණුරුවන් වගකියන බව තමයි  එතනදි ධර්ම විනයට අනුකූලව ගලපලා පෙන්වලා දුන්නේ. 

 

එතකොට දැන් ඔන්න ඔතනදි ප්‍රශ්නයක් මතු වුණා, බුදුන් වහන්සේගේ ධර්ම ප්‍රචාරය ප්‍රථම වශයෙන් සිදුවුණේ රාහුල අතින් පමණක් යැයි ප්‍රකාශ කළ නිසා. ඒක පුදුම සහගතයි. එතකොට මෙච්චර මේ සාසනේ භික්ෂූන් වහන්සේලා පහළ වෙලා ධර්ම ප්‍රචාරයක් සිදුවුණේ නැද්ද කියන  එක පිළිබඳ භික්ෂූන් අතර කතාබහක් ඇතිවුණා. 

 

එතනදි බුදු හාමුදුරුවෝ ප්‍රකාශ කරනවා, 

“ඔබ එළියේ ගිහිල්ලා ප්‍රචාරය කරන සියලු දේට වගකීවේ කවුද? ඇත්තටම ඒ වගකීම තම තමන් අතේ තමයි තිබුණේ. හැබැයි රාහුල කතා කරන හැම දහමකටම වගකීම මා සතු උනා.  ඒ නිසයි මාගේ ධර්ම ප්‍රචාරය කරේ උන්වහන්සේ පමණයි කියලා එතනදි ප්‍රකාශ කරන්නේ.”

 

ඊට පස්සේ බුදුහාමුදුරුවෝ  මා දේශනා කරන බැවින් මෙසේ දේශනා කරයි ද,  මා කියනා බැවින් මෙසේ කියයිද මා බෙදා දේශනා කරන බැවින් මෙසේ දේශනා කරයි ද මා මෙසේ දේශනා කරයි යැයි යම්කිසි කෙනෙක් දේශනා කරයිද, ඒ සියලු දේට මා වගකියනු ලැබෙයි යනුවෙන් ප්‍රකාශයක් කරනවා.  මේ අයුරින් රාහුලෝවාද සූත්‍රය සහ ඒ ධර්ම ප්‍රචාරය කියන කාරණාව මොන ආකාරයකට ද මතුවී ගියේ යන්න එදා පැහැදිලි වුණා.

 

 

රාහුල ඉතා සියුම් සූක්ෂම නුවණක් තිබුණ කෙනෙක්. රාහුලගේ ක්‍රියාවේ හරය ඔබට තේරුණාද? ඇයි රාහුල ඕවාද විතරක් අරන් ගියේ. ඒ ධර්මවල සියලු වගකීම බුදුන් විසින් දරන විදියට තමයි ඔහු කටයුතු කලේ.  ඔහු කිසිවිටෙක ඔහු කියන ධර්ම කාරණා සම්බන්ධයෙන් වගකීමක් ගත්තේ නෑ. ඔහු හැම විටම ප්‍රකාශ කළේ මම දන්නෙ නැහැ බුදුහාමුදුරුවෝ තමයි කිව්වේ යන්නයි. ඒක තමයි බුදුහාමුදුරුවෝ, මට රාහුලට  වග කියන්න වෙලා තියෙනවා කියලා කිව්වේ. මොකද එයා කරන්නේ මම කියන දේ විතරයි. එතනදි එයා ගැලවිලා ඉන්නේ. රාහුල කියනවා මට අවබෝධය නෑ. මට සියල්ල පිළිබඳ ප්‍රත්‍යක්ෂ අවබෝධය නෑ.  එනිසා මම ඔබ වහන්සේ කියන එක කියනවා. අනෙක් අය සියල්ල දත් අය මෙන් ප්‍රකාශ කරන නමුත් රාහුල එහෙම කළේ නැහැ.  ඒක තමයි මගේ ප්‍රථම ධර්ම ප්‍රචාරකයා රාහුල යනුවෙන් බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළේ. බුදුන්ගේ පණිවිඩය අරන් ගියේ රාහුල පමණයි. මේ පිළිබඳව ඔබට කියන්න තවත් ලොකු කතාවක් තිබෙනවා.  

 

බුදුන්ගේ දහම විතරක් ඉදිරියට අරන් ගියේ රාහුල විතරයි කියන එක දැනට මතක තබාගන්න. රාහුලගේ ක්‍රියා කලාපය තුළ තිබුණු විශේෂත්වය තමයි තමන් කරන කියන සෑම ක්‍රියාවකටම බාහිර පුද්ගලයෙකු හෝ පිරිසක් සම්බන්ධ කරගෙන ඔහු හෝ ඒ පිරිස තුළින් ගැටලු ඉදිරිපත් කර විසඳුම් ලබාදීම. රාහුල කිසිවකට පැටලුනේ නැහැ.  ඔහු ධර්මය ධාරණය කරගත්තේ නැහැ. ඔහුට ධාරණ ශක්තිය අඩුයි. ඕවාද විදියට අරන් කිව්වේ ඒකයි.  ගෞතම බුදුහාමුදුරුවන්ට ධාරණ ශක්තිය වැඩියි. ඒ නිසා ධර්මය කඩලා පැහැදිලි කරන්න පුළුවන් වුණා. 

 

රාහුල  ඕවාද විදිහට ධර්මය ගත්තේ. ඒ නිසා ඔහු තමන් ඉදිරිපත් කරන කරුණු කුමක් මත පදනම් කරගෙනද ප්‍රකාශ කළේ යන්න පැහැදිලි කළා. වගකීමට බැඳුණේ නැහැ. නමුත් එක ධර්ම කාරණයක් ගත්තම ඒ  තුළ අන්තර්ගත වන ගැඹුරු  දහම් විෂයය පුළුල්ව දකින්න පුළුවන් හැකියාව තිබුණා.

 

මේ සිදුවීමෙන් පස්සේ අනිත් අයටත් තේරුණා, මේ පදනම ඔස්සේ බුදුන්ගේ දහම ඉදිරියට ගෙනයාම තමයි වඩාත් ප්‍රඥාවන්ත වන්නේ කියලා. ඒ වෙනකන් හැමෝම තමන්ගේ දහම තමයි කතා කලේ. මේ බව ඔවුන් බුදුන්ට පැවසුවාම, ගෞතම බුදුන් වහන්සේ මෙසේ පැවසුවා. 

 

එහෙනම් විනය, සූත්‍ර, අභිධර්ම විදියට මම කාරණා ගොනු කරලා ඔබට කියන්නම්. ඔබ එය මේ පදනම උඩ, මේ පුද්ගලයා අරබයා මෙසේ දේශනා කළ බව පවසමින් ඒ කාරණා ඉදිරියට අරන් යන්න කියලා.

 

 

Buddha Bodhi

සේරිවාණිජ

බාලයා ද පණ්ඩිතයා ද සිටින්නේ ඔබ තුළ ය. දෙව්දත් ද බ�
Buddha Bodhi

කැඩපත

දවසක් බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා ගෞතම බුදුන්ගෙන් ම
Buddha Bodhi

මනෝ පුබ්බංගමා ධම්මා

මනස කියන්නේ සියල්ල ආවරණය කළ කටුවක් (shell) වගේ දෙයක්.
Buddha Bodhi

මනස හා අධ්‍යාත්මිකත්වය

සාසනය බිහිවෙලා ආරාම වල පිරිස වැඩිවන්නට පටන් ගත්

අධ්‍යාත්මය මනසින් දැකිය නොහැක.

ඔබේ ආවේණික ධර්ම මාර්ගය අවංකත්වය හෝ ඥාන දර්ශනය තුලින් සොයාගන්න....